මානව හිමිකම් කොමිසමට ලංකාවෙන් අතුරු යෝජනාවක් !
Srilankamirror – ශ්‍රී ලංකා රජයට එරෙහිව ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර තිබෙන යෝජනාවට එරෙහිව අතුරු යෝජනාවක් ඉදිරිපත් කිරීම පිලිබදව රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.
ආණ්ඩුවට හිතවත් ජාත්‍යන්තර නීති කටයුතු පිළිබද විශේෂඥයින් කිහිප දෙනෙකුම මේ සම්බන්ධයෙන් උපදෙස්දී තිබේ.
ලංකාව වහාම මේ අවස්ථාවේදී අතුරු යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ද ‘ඉරිදා ලක්බිම’ පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී අවධාරණය කර තිබේ.
මෙම යෝජනාව ඇමරිකාව විසින් කෙටුම්පත් කරනු ලැබ තිබෙන නිසා අනෙකුත් රටවල සහාය ඇමරිකාවට ලැබිමේ වැඩි අවස්ථාවක් ඇතැයිද ඔහු පවසයි.
ඒ අනුව ලංකාවේ මානව හිමිකම් දෙස බලනවාට වඩා ඇමරිකාවේ හොඳ හිත ආරක්ෂා කරගැනීමේ අරමුණ ඇතිව අනෙක් රටවල් මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් ඇතැයිද ඔහු සදහන් කරයි.
මේ නිසා මහානාමහේවා මහතා පවසන්නේ, ලංකාව වහාම මේ අවස්ථාවේදී අතුරු යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවයි. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා රජය ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා රජය ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් මෙම අතුරු යෝජනාව ඉදිරිපත් කළ යුතු බවද ඔහු පවසයි.
“එවැනි අතුරු යෝජනාවක් ගෙන ඒම මගින් ජාත්‍යන්තර මතය අපේ පැත්තට හරවාගැනීමේ අවස්ථාව තිබෙනවා. ඇමරිකාව ඉදිරිපත් කර තිබෙන කරුණු තුනට ගැළපෙන ආකාරයට මේ යෝජනා ඉදිරිපත් කළ යුතුයි”.
ඇමරිකාව විසින් ඉදිරිපත් කරනු ලබන මෙම යෝජනාව පරාජය කරනවා වෙනුවට ලංකාව අතුරු යෝජනාවක් ඉදිරිපත් කර එය සම්මත කරගැනීම තුළින් මෙම බලපෑම් සියල්ලම තුලනය කරගැනීමට ලංකාවට හැකියාව ලැබෙන බවද මහානාමහේවා අවධාරණය කරයි.
ඇමරිකාව ඉදිරිපත් කර තිබෙන මෙම යෝජනාව සම්මත වුවහොත් එමගින් ලංකාවට විශාල බලපෑමක් එල්ලවිය හැකි බව මහානාමහේවා පවසයි. එම නිසා යෝජනාව පරාජය කිරීම වඩාත් වැදගත් වනු ඇතැයිද හෙතෙම සදහන් සදහන් කරයි.
“ඇමරිකාව විසින් කෙටුම්පත් කර තිබෙන මෙම යෝජනාව අනුව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ලංකාවට විශේෂ කාර්ය පටිපාටියක් ලබාදෙනවා. අපි එය ලබාගැනීමට බැඳී සිටිනවා. මේ ක්‍රියාත්මක වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වැනි සැසිවාරයයි. මේ යෝජනාව සම්මත වුණොත් 22 වැනි සැසිවාරය දක්වා බැඳීම් ඇතිකරගැනීමට අපිට සිදුවෙනවා. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා අපි ගෙන තිබෙන පියවරවල ප්‍රගතිය 22 වැනි සැසිවාරයේදී අපිට ඉදිරිපත් කිරීමටත් සිදුවෙනවා. මේ නිසා මෙම යෝජනාව පරාජය කිරීම සඳහා කටයුතු කළ යුතුයි.”
මේ යෝජනාව සම්පූර්ණ වශයෙන් සම්මත කරගැනීමට අවස්ථාව ලබාදෙනවා වෙනුවට යෝජනාවේ සඳහන් එක් එක් කරුණු සංශෝධනය කර එකඟතාවකට පැමිණීමට ලංකාවට අවස්ථාව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන බර්නාර්ඩ් ගුණතිලක මහතා සඳහන් කරයි. ඇමරිකාව විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ සඳහන් කරුණු සංශෝධනය විය යුතුනම් ඒ සඳහා සංශෝධන එක් කිරීමට ලංකාවට අවස්ථාව තිබෙන බවද ඔහු පවසයි. මෙසේ සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසුව එකඟතාවකට පැමිණීමට නොහැකි කරුණු සම්බන්ධයෙන් ඡන්ද විමසීමකට යාමට හැකියාව තිබෙන බවද ඔහු කියා සිටියි.




Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed





