මිත්‍යාවෙන් ප‍්‍රඥාවට


Srilankamirror – මිත්‍යා වෙන් නෙත් වැසී අතරමං වූ පිරිස් අද අප අතර බොහෝය. මිත්‍යා මායාවෙන් මිදී ඔවුනට පාර කියාදමට අප සමග එක් වූයේ තෙරුවන සංවිධානයේ සභාපති ගෞරව ශාස්ත‍‍්‍රවේදී වස්කඩුවේ සිරිසරණ ස්වාමීන් වහන්සේයි.

මිත්‍යා දෘෂ්ටිකත්වය යනු කුමක්ද?
සරලව පැහැදිළි කළොත් මිත්‍යා දෘෂ්ටිකත්වය කියන්නේ වැරදි දැකීම. යම් නිවැරැුදි දෙයක් පිළිබඳව  පවතින ආකාරයට වඩා වෙනස් වූ ස්වරූපයකින් දැකීම ලෙස තවදුරටත් පැහැදිළි හැකියි. මිනිසුන් ඈත අතීතයේ සිට අද දක්වා විවිධ වූ මිත්‍යා දෘෂ්ටින් වල ඇලී ගැලී සිටිනවා. සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැකීම තුළින් මිත්‍යා දෘෂ්ටිය නැති කරන්න පුළුවන්

බෞද්ධ දර්ශනය තුළ මිත්‍යා දෘෂ්ටිකතිවය පිළිබද කියවෙනවාද?
බුදුන් වහන්සේ තමන්ගේ පළවෙනි ධර්ම දේශනාවෙන්ම මිත්‍යා දෘෂ්ටිය බැහැර කළා. උන් වහන්සේ ඒ වන විට භාරත සමාජයේ වෙලා ගෙන පැවැති ප‍්‍රධාන මිත්‍යා දෘෂ්ටික මතවාද දෙකක් වූ කාම සුකල්ලිකානු යෝගය සහ අත්තකිලමතානු යෝගයත් බැහැර කළා. ඒ වගේම ඒ සමාජයේ පැවැති 62ක් වූ මිත්‍යා දෘෂ්ටීන් ගැන බුදුදහමේ සඳහන් වන අතර බුදුරජානන් වහන්සේ මේ දෘෂ්ටීන් සියල්ල  ප‍්‍රතික්ෂේප කළා. එදා බුදුරජානන් වහන්සේගේ පහළ වීමත් සමග මිත්‍යා දෘෂ්ටියේ ගැලී සිටි පිරිස් වැරදි දැකීමෙන් මිදී සම්මා දිට්ඨිය හෙවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාධ්‍යට ඔවුන් යොමු වුණා. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිකත්වය සම්පූර්ණයෙන්ම බැහැර කළ දර්ශනයක්.

වත්මන් ජනතාව අද බුදු දහම සහ මිත්‍යා මතවාද අතර අතරමං වෙලාද?
ඔව්. වර්තමානය දිහා බලනකොට ඇතැම් මිත්‍යා මතවාද බෞද්ධාගමික වේශයකින් පවා පෙනී සිටිනවා. සරල උදාහරණයක් ගත්තොත්  බුදුදහම තුළ මෛත‍්‍රි බෝධි සත්වයන්  දෙවියෙකු හැටියට සලකා වන්දනයේ යෙදෙන්නේ නෑ.  නමුත් අද මෙත‍්‍රී බෝධි සත්ව වන්දනාව වෙහෙර විහාරස්ථාන තුළම සිදුකරනවා.
ඒ වගේම තමයි මිනිසුන් තෙරුවන් සරණ යාම කියන එක වැරදියට අවබෝධ කරගෙන ඉඩන්නේ. නිවැරදිව තෙරුවන් සරණ යනවා කියන්නේ තෙරුවන් ගුණයන් පිළිබඳව අවබෝධකර ගැනීම. නමුත් අද බොහෝ දෙනා විවිධ පුද පූජා පවත්වනවා මිසක් තෙරුවණ් ගුණ අවබෝධ කරගන්න උත්සහා කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අද සමාජයේ දේව වන්දනයට  යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ආදියට ඇබ්බැහි වෙලා. අපි මේවා ග‍්‍රාමිය සමාජයේ දේවල් කිව්වට අද මධ්‍යම පාන්තිකයන් බොහෝ දෙනෙක් මෙම මිත්‍යා විශ්වාසයන්ට නැඹුරු වී සිටිනවා. ඒක හරිම කණගාටු දායක තත්ත්වයක්.

ජෝත්‍යෂය , කේන්දර , නැකත් , පලාපල මේවා මොනවද?
කේ්න්දර පලාපල නැකැත් පොරොන්දම් ආදී මේ සියල්ලම තමයි ජෝතිෂ්‍ය කියලා කියන්නේ. ඉපැරණි ශාස්ත‍්‍රයක් වන මේ තුළින් සියයට සියයක් අපගේ අනාගතය කියන්න බැහැ. වර්තමානය දිහා බැලූවම මේ දේවල් වලට මින්ස්සු බොහෝ සෙයින් නැඹුරු වෙලා ඉන්නවා. අද එය කොතරම්ද කියනවා නම් ජෝති්‍යෂ තොරතුරු කිසිවක් පළ නොව මාධ්‍යක් නැති තරම්. ජෝතිෂ්‍ය තුළ යම් සත්‍යයක් තිබුණත් අද මේ ව්‍යාපාරයක් වීම නිසා මේ සත්‍ය යටපත්වෙලා බොරුව ඉස්මතුවෙලා තියෙනවා.

මිත්‍යා මතවාද මිනිසා තුළට කාවැද්දීම නිසා ඔහු ශක්ති හීන පුද්ගලයෙකු බවට පත්වෙලා තියෙනවා නේද?
ඔව්. ඇතැම් වෙලාවට මේ මිත්‍යා විශ්වාස පසුපස යන මිනිස්සු ශක්ති හීනයන් බවට පත් වෙනවා තමයි. මොකද ඔවුන් තමන්ගේ ශක්තියට වඩා බාහිර නොපෙනෙන ශක්තීන් පිළිබඳ විශ්වාස කරනවා. අතීතයේ වගේම අදත් සමහර මානසික රෝගී තත්ත්වයන්  පිළිබඳව සමාජයේ ඇත්තේ මිත්‍යා විශ්වාස. ඒ නිසා ඇත්තටම ප‍්‍රතිකාර ගන්න පවා යොමු වෙන්නේ නෑ. ඒකෙන් වෙන්නේ ඒ මානසික රෝගය තව තවත් උත්සන්න වීමයි. දෙවියන් භූතයන් යක්ෂයන්ට වඩා මිනිසා කියන්නේ ප‍්‍රබල ජීවියෙක්. මේ ප‍්‍රබලත්වය, මේ මානසික ශක්තිය අපි හඳුගන්න  ඕනේ. නමුත් අවාසනාවකට අපි බාහිර ශක්තීන් පිළිබඳ විශ්වාස කරනවා.

බෞද්ධ දේශනාව තුළ මනස දියුණු කළ පුද්ගලයන් දෙවියන් යක්ෂයන් දමනය වූ ආකරය පිළිබඳ සඳහන් වෙනවා. ඒ අනුව නූතන මනෝවිද්‍යාව අතින් ගෙන බැලූවත් අපට තිබෙන මානසික ශක්තිය හරි ප‍්‍රබලයි. මිත්‍යා විශ්වාස තුළින් සිදු කෙරෙන්නේ මේ මිනිසාගේ මානසික ශක්තිය දුර්වල කිරීම.
ලෝකය මෙච්චර දියුණු වෙලා තිබියදීත් මිනිසුන් මිත්‍යාවල ගැලී සිටීම ඛේදනීය තත්ත්වයක් .

ඔබ වහන්සේට හැගෙන පරිදි ආසියාතික රටවල මිත්‍යා දෘෂ්ටිකයින් වැඩි වීමට හේතුව කුමක්ද ඒක එහෙමම කියන්න බෑ. පෙරදිග බටහිර කියලා නැහැ හැමෝම මිත්‍යා විශ්වාසවලට යොමු වෙලා ඉන්නවා. පසුගිය කාලේ මිත්‍යා විශ්වාස නිසා තමන්ගේ මෑනියන් සහෝදරයා පවා මරා දැමූ පුද්ගලයා පිළිබඳ යුරෝපයෙන් වාර්තා වුණා. විවිධ වේශයන්ගෙන් මේ මිත්‍යා විශ්වාස ලෝකය පුරා පවතිනවා.
සරල උදාහරණයක් ගත්තොත් චීන ෆෙංෂුයි ක‍්‍රමය එක්තරා විදිහක මිත්‍යාවිශ්වාසයක්. ලාෆින් බුද්ධා මීට තවත් උදාහරණයක්  ලෙස පෙන්වා දෙන්න පුළුවන්. බටහිර ලෝකෙත් මන්ත‍්‍ර සහ අද්භූත දේ පිළිබඳව ලොකු විශ්වාසයක් තියනවා. 13 අසුභ අංකයක් ලෙස සැලකීම, ක‍්‍රීඩාවේදී 111 අසුභ අංකයක් ලෙස සැලකීම මීට හොඳ උදාහරණ. මෙවැනි විශ්වාසයන් ආසියාවට වඩා තිබෙන්නේ බටහිර රටවල.

මිනිසා මිත්‍යාවෙන් මිදෙන්නේ කොහොමද?

මිත්‍යාවෙන් මිදෙන්න නම් අපි හැමදේම නිවැරදිව හෙවත් සම්මා දෘෂ්ඨියෙන් දකින්න  ඕනේ. හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දැකිය යුතු බව බුද්ධ දේශනාවේ සඳහන් . ඒ වගේම පුද්ගලයා තමා පිළිබඳව ආත්ම විශ්වාසය ගොඩ නගා ගන්න  ඕනේ. තමන් පිළිබඳ ආත්ම විශ්වාසය නැති කෙනාට තමයි මිත්‍යා විශ්වාසවල පිහිට අවශ්‍ය වන්නේ. ‘‘ හිටියොත් හොඳට හැදී දෙවියොත් නමවඳී’’ කිව්වා වගේ ආත්ම විශ්වාසයෙන් යුතුව ධර්මික පුද්ගලයාට දෙවියන් භූතයන් නැකැත් තරු මේ සියල්ල පරද්දන්න පුළුවන්. අපි අපි තුළම සැඟවිලා තියෙන ප‍්‍රබල මානසික ශක්තිය අවදිකරගත යුතු කාලයක් තමයි මේක. ඒතුළින්   ඔබට මිත්‍යා විශ්වාසයෙන් මිදෙන්න පුළුවන්.

සංවාදය- ශිරන්තනි මානවඩු

1 Comment

  1. sachini says:

    balanakota api godak aya mithyawene galila inne
    apita mithyawen midenna me widihata hari danuwat kireema itha watinawa