දිළින්දෙකු වී මිය ගිය හින්දි තිරයේ වීරයා මෝතිලාල්


Srilankamirror – 1930 දශකයෙහි සිනමාවට පිවිසි දක්‍ෂ රංගන ශිල්පියකු වූ ඔහු හින්දි තිරයෙහි මෙතෙක්‌ සිටි හොඳම ස්‌වභාවික රංගන ශෛලියක්‌ සතු සිනමා ශිල්පියකු ලෙසද ප්‍රකටය. සැබෑ දිවියෙහි හොඳ මහත්මා ගතිගුණවලින් හෙබි පුද්ගලයකු වූ මෙම රංගන ශිල්පියා ප්‍රේක්‌ෂක හා විචාරක ප්‍රසාදය නොඅඩුව දිනාගත් මෝතිලාල්ය.

ජනප්‍රිය ඉන්දීය සිනමා නළුවකු වන නස්‌රුදීන් ෂා වරක්‌ ප්‍රකශ කර තිබුණේ මෝතිලාල් හින්දි සිනමාවේ සිටි දක්‌ෂතම රංගන ශිල්පීන් 3 දෙනාගෙන් අයෙකු බවයි.

මෝතිලාල් රාඡ්වන්ශ් නමින් 1910 වසරේ දෙසැම්බර් 04 වැනිදා ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්හි සිම්ලා නගරයෙහි උපත ලැබූ මෝතිලාල් දිල්ලි නගරයෙහි පදිංචි සමාජයේ පිළිගත් ධනවත් පවුලක සාමාජිකයකු විය. ඔහුගේ පියා ප්‍රසිද්ධ අධ්‍යාපනඥයකු වූ අතර මෝතිලාල්ගේ වයස අවුරුද්දක්‌ වන විට පියා හදිසියේ මිය ගියේය. පියාගේ මරණයෙන් පසු ඔහුව හදා වඩා ගන්නා ලද්දේ උත්තර් ප්‍රදේශ් හි සිටි ශල්‍ය වෛද්‍යවරයකු වූ මාමා කෙනකු විසිනි.

මෝතිලාල් කුඩා කල ඉගෙනුම ලැබුවේ සිම්ලා හි පිහිටි ඉංග්‍රිසි විදුහලක වූ අතර පසුව උත්තර් ප්‍රදේශයෙහි පාසලක ඉගෙනුම ලැබීය. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු උසස්‌ අධ්‍යාපනය සඳහා දිල්ලි නගරයට ගිය මෝතිලාල් අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් අනතුරුව නාවුක හමුදාවට බැඳීම සඳහා බොම්බාය නගරයට (වර්තමානයේ මුම්බායි) පැමිණියේය.

එහෙත් හදිසියේ අසනීප වීම නිසා ඔහුට නාවුක හමුදාවට බැඳීමේ පරීක්‌ෂණය සඳහා පෙනී සිටීමට නොහැකි විය. අනතුරුව ඔහුගේ ඉරණම වෙනස්‌ වූයේ දිනක්‌ සාගර් චිත්‍රාගාරයේ සිදු කෙරුණු චිත්‍රපට රූගත කිරීමක්‌ නැරැඹීමට ගිය අවස්‌ථාවේදීය. සිනමා අධ්‍යක්‍ෂ කේ. පී. ගෝෂ් විසින් අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයක රූගත කිරීම් එදින සිදු වූ අතර එය නරඹමින් සිටි කඩවසම් පෙනුමකින් යුතු මෝතිලාල්ව ගෝස්‌ගේ නෙත ගැටිණි. එහි ප්‍රතිඵලය වූයේ 1934 වසරේ දී සාගර් සිනමා සමාගමේ නිෂ්පාදනයක්‌ වූ “ශහෙර් කා ජාඩු”චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය රඟපෑමට අප කථානායකයාට අවස්‌ථාව ලැබීමයි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 24 ක්‌ විය.

සාර්ථක අන්දමින් තිරගත වූ එම චිත්‍රපටයෙහි මෝතිලාල් ප්‍රධාන චරිත රඟපෑවේ එවකට ජනප්‍රිය නිළියක වූ සබීතා දේවී සමගිනි. ඔවුන් දෙපළ අනතුරුව “ඩොක්‌ටර් මධුරිකා” (1935) හා “කුල්වඩු” (1937) යන අති සාර්ථක චිත්‍රපටවල එකට රඟපෑහ.

අනතුරුව සාගර් සිනමා සමාගමෙන් ඉවත් වූ මෝතිලාල් රංජිත් සිනමා සමාගමට එක්‌විය. එහිදී ඔහු ජනප්‍රිය සිනමා අධ්‍යක්‍ෂකවරයකු වූ මෙහ්බුබ් කාන්ගේ “ජගිර්ෂුර්” (1937), “හම් තුම් ඕර් වෝ” (1938), “ටග්ධීර්” (1943) යන සිනමා නිර්මාණවල මෙන්ම කිඩාර් ශර්මා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද “ආර්මාන්” (1942), “කාලියාන්” (1944) වැනි නිර්මාණවල රඟපෑහ. මේ වන විට සිනමාව තුළ ස්‌ථාවරත්වයක්‌ ඇති කරගෙන තිබූ මෝතිලාල් ජෙමිණි සිනමා සමාගම විසින් නිපදවූ එස්‌. එස්‌. වාසන් විසින් අධ්‍යක්‍ෂණය කළ “පයිගම්” හා රා- කපුර්ගේ “ජග්තෙ රහෝ” යන චිත්‍රපටවල ද අති සාර්ථක රඟපෑමක නිරත විය.

මෝතිලාල් විසින් රඟපෑ “සිල්වර්Êකින්ග්”, “ලග්නා බන්ධන්” (1936) හා “ජගිර්දාර්” (1937) යන චිත්‍රපට බොක්‌ස්‌ ඔµSස්‌ වාර්තා බිඳ හෙළමින් තිරගත විය.

කෝකිලා නමැති නිළිය සමගින් රඟපෑ කැප්ටන් කීර්ති කුමාර් (1937), ඩොක්‌ටර් මධුරිකා (1935) හා “ත්‍රී හන්ඩ්රඩ් ඩේස්‌ (300) ඇන්ඩ් ආµaටර්” (1938) යන චිත්‍රපට හරහා මෝතිලාල් සිනමාවේ ඉහළ තලයකට පැමිණියේය.

“ත්‍රී හන්ඩ්රඩ් ඩේස්‌ ඇන්ඩ් ආµaටර්” චිත්‍රපටයෙහි ඔහු රඟපෑවේ විකට චරිතයකි. ඔහු රඟපෑ චරිත අතුරින් එම විකට චරිතය තම හොඳම රඟපෑම බව වරක්‌ ඔහු ප්‍රකාශ කර තිබිණි. ඔහු රඟපෑ ආර්. එස්‌. චමුද්‍රිගේ “සච් හායි (1939), සුධාමාගේ “ආප්ති මාසි” (1939) යන චිත්‍රපට බොහෝ දෙනාගේ පැසසුමට ලක්‌විය. ප්‍රේක්‌ෂක විචාරක ප්‍රසාදය නොඅඩුව හිමිවූ ඔහුගේ රංගනයන් ඇතුළත් සෙසු චිත්‍රපට වූයේ විවිධ තේමාවන් රැගත් “දීවාලී” (1940), “හෝලි” (1940), “අචුට්‌” (1940) හා “ශාදි” (1941) යන චිත්‍රපටයි.

මෝතිලාල්ගේ රංගන ශෛලියෙහි ඇති විශේෂත්වය වූයේ ඔහු තම ස්‌වාභාවික රංගන ශෛලිය භාවිත කරමින් ඕනෑම චරිතයක්‌ සජීවී ආකාරයෙන් නිරූපණය කිරීමට දැක්‌වූ දක්‌ෂතාවයයි.

ඔහු අනතුරුව රඟපෑ “දෝස්‌ත්” (1944) හා “ගඡ්රේ” (1948) චිත්‍රපටවල චරිතයන් ප්‍රේක්‌ෂකයන්ගේ නෙතට කඳුළු ඉනීමට සමත් විය. මෙහ්බුබ් කාන්ගේ “තක්‌දීර්” (1943), මසර්Êකාන්ගේ “පහේලි නසර්”(1945), ශෝබනා සමාත් විසින් නිෂ්පාදනය කරමින් අධ්‍යක්‍ෂණය කළ “හමාරි බේටි” (1950) මෝතිලාල් විවිධ රඟපෑම් ඉදිරිපත් කළ සෙසු චිත්‍රපට විය.

හින්දි සිනමාවේ වීරයා මෙන්ම දක්‌ෂ රංගන ශිල්පියෙකු ලෙස නමක්‌ දිනාගෙන සිටි මෝතිලාල් විවාහ වූයේ වෛද්‍යවරියක්‌ සමගය. නිවසෙන් බැහැරව සිටියදී විනෝදයෙන් හා විහිළුවෙන් කාලය ගතකළද නිවසේදී ඔහු නිහඬ පුද්ගලයකු වූ අතර ප්‍රීතිමත් විවාහ දිවියක්‌ ගතකළ අයෙකු විය. කෙසේ වුවද ඔහුටද සෙසු බොහෝ නළු නිළියන්ට මෙන් ප්‍රේම සබඳතා පැවැති බවට සිනමා සඟරා එකල වාර්තා කර තිබිණි.

හින්දි සිනමාවේ එකල සිටි ජනප්‍රිය නිළියක වූ ශෝබනා සමාත් (නිළියන් වූ නුටාන් හා තනුජාගේ මව) තම සැමියාගෙන් වෙන්වීමෙන් පසු මෝතිලාල් හා පෙමින් වෙළී සිsටි බව සිනමා සඟරා හෙළිකර තිබිණි. ශෝබනා විසින් තම වැඩිමහලු දියණිය වූ නුටාන් සිනමාවට රැගෙන ඒම සඳහා නිපදවූ “හමාරි බේටි” (1950) චිත්‍රපටයෙහි නුටාන්ගේ පියා ලෙස රඟපෑවේ මෝතිලාල්ය.

එකල හින්දි සිනමාවේ දුෂ්ට චරිත රඟපෑ නිළියක වූ නදීරා සමගද ඔහු ප්‍රේම සබඳතාවක්‌ පැවැත්වූ බවට වාර්තා විය. මෝතිලාල් සිනමා දිවියෙහි තවත් සුවිශේෂී අත්දැකීමක්‌ වූයේ සාගර් චිත්‍රාගාරයට තම මව සමග චිත්‍රපට රූගත කිරීම් නැරැඹීමට පැමිණි කුඩා දැරියක වූ නාගීස්‌ තම කර මත තබාගෙන සුරතල් කළ ඔහුට නාගිස්‌ සමග පසුව “තක්‌දීර්” චිත්‍රපටයෙහි පෙම් යුවළක්‌ සේ රඟපෑමට අවස්‌ථාව ලැබීමය.

මෙය ආදර්ශයට ගනිමින් වරක්‌ මෝතිලාල් සාදයකදී එවකට හින්දි සිනමාවේ සිටි ජනප්‍රිය ළමා තරුවක්‌ වූ ඩේසි අයිරානි අමතා පවසා තිබුණේ මම ඉක්‌මනින් සිනමාවෙන් ඉවත් වෙන්නේ නැහැ. ඔබ වැඩිවියට පත්වූ පසු ඔබත් සමග චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපානවා” යනුවෙනි.

ඔහුගේ මෙම හාස්‍යමය වදන් වරක්‌ ඔහුගේ ජීවිතය මරුවාගෙන් බේරා ගැනීමටද උපකාරී විය. 1952 වසරේ දී ඔහු දැඩි සේ රෝගාතුර වී සිටි අවස්‌ථාවේදී බෙහෙත්වලට වඩා ඔහුගේ දිවිය බේරීමට හේතු වූයේ එම හාස්‍යමය කතාවන් බව වෛද්‍යවරුන් පවා ප්‍රකාශ කර තිබිණි.

රංගන ශිල්පියකු වුවද මෝතිලාල් ක්‍රිකට්‌ ක්‍රීඩාවට ඇළුම් කළ දක්‌ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයකු ද විය. 1926 වසරේÊ සිට පළමු පන්තියේ තරගවලට ක්‍රීඩා කළ ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වූ ඔහු වරක්‌ ප්‍රකාශ කර සිටියේ තමා සිනමාවට සම්බන්ධ නොවූයේ නම් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ නමක්‌ දිනාගත් අයෙකු වීමට ඉඩ තිබූ බවයි. එවකට ඉන්දියාවේ සිටි ජනප්‍රිය ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වූ විඡේ මචන්ට්‌ගේ නායකත්වය යටතේද මෝතිලාල් ක්‍රීඩා කර තිබේ. තමා ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වූයේ නම් ඉන්දීය කණ්‌ඩායමේ නායකයා වීමටද ඉඩ තිබූ බව ඔහු පවසා ඇත.

දක්‌ෂ ගුවන් නියමුවකුද වන මෝතිලාල් හට පුද්ගලික ගුවන් යානයක්‌ද විය. තම සිනමා දිවිය තුළ චිත්‍රපට 50 ක පමණ රඟපෑ මෝතිලාල් 1965 වසරේ දී “චෝටි චෝටි බාටේන්” චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේය. “දේව්දාස්‌” (1955) හා “පරාක්‌” (1961) චිත්‍රපටවල කළ රංගනයන් වෙනුවෙන් ඔහුට හොඳම සහාය නළුවාට හිමි µsල්ම් ෙµයාර් සම්මානයත් හිමිවිය.

කෙතරම් සැහැල්ලු දිවියක්‌ ගතකළද මහත්මයකු ලෙස ප්‍රකටව සිටියද මෝතිලාල් පසුකාලීනව සූදු හා ඔට්‌ටු ඇල්ලීමට ඇබ්බැහි විය. තදබල සේ රෝගාතුර වූ මෙම අසහාය සිනමා ශිල්පියා 1965 වසරේදී අවසන් හුස්‌ම හෙළුවේ අතේ සතයක්‌ නොමැති දිළින්දෙකු ලෙසිනි.

ඒමන්ති මාරඹේ
emanthim@gmail.com

Comments are closed.