වැලලීයන අපේ සර්ප වෙදකම
Srilankamirror – එදා හැම ගම් පියසක ම සර්ප විෂට වෙදකම් කරන වෙදැදුරු කෙනෙක් විය. ඔහු සර්ප විෂට පමණක් නො ව සමහර විට සියලූ විෂ ශරීරගත වීම්වලට පවා වෙද හෙදකම් කෙළේ ය. කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු ශ‍්‍රී ලාංකිකයා අවට පරිසරයත් සමඟ ජීවත් වූ අයෙකි. මේ හේතුව නිසා ම හෙතෙම විවිධ සර්ප දෂ්ටනයන්ට මෙන් ම විෂ ශරීරගතවීම්වලට ද නිරන්තරයෙන් ගොදුරු විය. මේ සියලූ අවස්ථාවන්හි දී ඔවුන් ගේ පිහිටට සිටියේ මේ වෙදැදුරු ය. ඒ තරමට ම හේ ජනතාවට සමීප විය. ඔහු ප‍්‍රතිකාර කළේ කාසිපනම්වලට නො වේ. සේවාවක් ලෙස යි. එහෙත් වර්තමානය වන විට නූතන විදුහුරු දැනුම සමඟින් ආ ප‍්‍රතිකාර හේතුවෙන් මේ දැනුම් පද්ධතිය අභාවයට යෑමේ අවදානමක් ඇත. දේශීය වෛද්‍ය ක‍්‍රම අතරේ විශිෂ්ටතම දැනුම් සම්භාරයක් වූ දේශීය සර්ප විෂ වෙදකම එහි හරයාත්මක බොහෝ දෑ සමඟින් වැළැලී යෑමේ අභාග්‍ය සම්පන්න කාලයකට මුහුණ දී ඇත.
අද සර්ප දෂ්ටනයක් සිදු වුව හොත් රෝගියා රැුගෙන යන්නේ ළඟ ම පිහිටි රෝහල වෙත ය. එහෙත් මෙහි දී රෝගියා පමණක් නො ව දෂ්ට කරන ලද සර්පයා ද රැුගෙන යෑමට සිදු වේ. බොහෝ විට සිදුවනුයේ ඒ සර්පයා නොමැති ව ගිය විට රෝගියා ගේ ප‍්‍රතිකාරය පමා වීම ය. ඒ හේතුවෙන් රෝගියා මිය යෑමට වුව ද පුළුවන. මෙවැනි තත්ත්වයන් පසුගිය කාලය තුළ අසන්නට නැතුවා ද නො වේ. මේ හේතුවෙන් බොහෝ විට දෂ්ට කරන ලද සර්පයා ද රැගෙන යෑමට බොහෝ අය පෙලැඹෙති. එහි දී සිදුවනුයේ ඒ සතා ගේ ද ඉරණම විසඳී හමාර වීම ය. එහෙත් සිංහල වෛද්‍ය ක‍්‍රමයේ දී එසේ නො වී ය. මිනිසා මෙන් ම සතුන් ද සුවපත් කිරීමේ ක‍්‍රමයක් ඒ ඇසුරේ විය. සර්ප දෂ්ටනයක් වූ විට ඒ බව පැවැසීමට එන පුද්ගලයා දූතයකු ලෙස ගෙන ඒ දූත ලක්ෂණ මඟින් රෝගියා පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාගැනීමට අපේ දේශීය වෛද්‍යවරයාට හැකි විය.
මෙහි දී වෛද්‍යවරයාට වැදගත් වනුයේ රෝගය පිළිබඳ පැවැසීමට එන දූතයා යි. ඔහු අත ඇති දෑ ඔහු පවසන දෑ ඔහු සිටින දිශාව අනුව රෝගියා ගේ සාධ්‍ය අසාධ්‍ය බව මෙන් ම රෝගියාට දෂ්ට කර ඇති සර්පයා සහ විෂ දළ ප‍්‍රමාණය පිළිබඳ ව ද අවබෝධයක් රෝගියා නොමැති ව ම වෛද්‍යවරයා ලබා හමාර ය.
උදාහරණයක් ලෙස රෝගියා ගේ තොරතුරු පවසන දූතයා සිය අතින් සිදුරු සහිත ලීයක්, උලක්, අඩමුගුරක්, බහනක් (මළ පුඩුව සහිත කඹයක්) දුන්නක් දැරීම ද අත්දෙක පොරොවා ගෙන සිටීම ද අතින් පයින් මිදුලේ තණකොළ ගැලැවීම ද දුටු විට රෝගියා අසාධ්‍ය මෙන් ම මරණයෙන් ගලවා ගත නොහැකි කෙනකු බව වෙදැදුරු දැන ගනියි.
ඊට අමතර ව රාත‍්‍රී කාලයේ දී නම් දූතයා අතැති ගිනි හුල තබන ආකාරයෙන් ද රෝගියා ගේ සාධ්‍ය අසාධ්‍ය බව වටහා ගනී.
රෝගියා ගේ තොරතුරු පවසන දූතයා වෙදැදුරු වෙත පවසන වැකිය අනුව බොහෝ දෑ තේරුම් ගැනීමට වෙදැදුරුට හැකියාවක් තිබිණි. ඒ වැකියේ හල් අකුරු ඉවත් කිරීමෙන් අවසන් අකුර තෙක් ඇඟිලි ගැනීමෙන් අන්තිම අකුර හිමි ඇඟිල්ල අනුව දෂ්ට කරන ලද සර්පයා පිළිබඳ අවබෝධයක් වෛදච්‍යවරයා ලබාගනී. කනිටු හෙවත් සුළැඟිල්ල නම් නයකු ද, වෙදැගිල්ල නම් පොළඟකු ද, මැදැඟිල්ල නම් පොළොන් තෙලිස්සකු වැනි සතකු ද, දබර ඇඟිල්ල නම් කරවැල් වර්ගයට අයත් සතුන් ද මහපට ඇඟිල්ල නම් නිර්විෂ සතකු බව ද වෙදැදුරු තෙමේ දැන ගත්තේ ය.
එ සේ ම ඒ වැකියේ අකුරු මුල සිට අකුරු දෙක බැඟින් කපා දමන විට ඉතිරි වන්නේ එක් අකුරක් නම් ගැහැනියක බවත් දෙකක් නම් පිරිමියකු බවත් අවබෝධ කොට ගනී. එ සේ ම අකුරු හතර බැඟින් කපා හළ විට එක් අකුරක් ඉතිරිවීමෙන් එක් දළයක් ද, අකුරු දෙකක් ඉතිරි වීමෙන් දළ දෙකක් ද අකුරු තුනක් ඉතිරි වීමෙන් දළ තුනක් ද අකුරු හතරක් ඉතිරි වී නම් දළ හතරක ද තුවාළ ඇති බව දැන ගනියි. එ සේ ම ඒ විෂ පැතිරීම පිළිබඳ ව ද එසැණින් අවබෝධයක් වෙදැදුරු තෙමේ ලබා ගනියි. ඒ ඉතිරි අකුරු මැදැඟිල්ලේ පුරුක් තුනෙහි යෙදීමෙන් පළමු පුරුකෙහි නම් රස ධාතුවෙහි ද දෙවැනි පුරුකෙහි නම් මාංශ ධාතුවෙහි ද තුන් වැනි පුරුකෙහි නම් අස්ථි ධාතුව තෙක් ද විෂ පැතිරී ඇති බව අවබෝධ කොට ගනී.
තව ද රෝගියා ගේ තොරතුරු පවසන දූතයා සිටින දිශාව අනුව ද බොහෝ දෑ අනුමාන කරයි. ඒ දූතයා නැෙඟනහිරට පිටුපා තොරතුරු පවසන්නේ නම් නයකු බවත්, ගිනිකොන වයඹ දිශාවේ සිට පවසන්නේ නම් පොළඟකු බවත්, දකුණු දිශාවේ සිට පවසන්නේ නම් නිර්විෂ සර්පයකු බවත්, බටහිර සිට පවසන්නේ නම් කරවැලකු බවත්, ඊසාන දිග සිට පවසන්නේ නම් ගෝනුසු වැන්නකු බවත්, නිරිත දිශාවේ සිට පවසන්නේ නම් පොළොං තෙලිස්සකු බවත් දැන ගත්තේ ය.
දූතයා මුහුණ හෝ කකුල අතගාමින් තොරතුරු පවසන්නේ නම් පොළඟකු බවත්, තුනටිය අතගාමින් පවසන්නේ නම් කරවලකු බවත් හිස අතගාමින් පවසන්නේ නම් මාපිලකු බවත් වැළමිට අතගාමින් පවසන්නේ නම් පොළොං තෙලිස්සකු බවත් පපුව අතගාමින් පවසන්නේ නම් මීයකු බවත් සන්සුන් ව පවසන්නේ නම් නිර්විෂ සතකු බවත් ආදී වශයෙන් බොහෝ ලක්ෂණ අනුව රෝගියා පිළිබඳ තතු වෛද්‍යවරයා දැන ගනියි.
තව ද දෂ්ට කළ ස්ථානය ද වැදගත් වන්නේ රෝගියා ගේ සාධ්‍ය අසාධ්‍ය බව තේරුම් ගැනීමට ය. දේවාල, විශාල පූජා වෘක්ෂ මූලයන්, සොහොන් බිම්, රුක් සිදුරු (බෙන), පාළු ගෙවල්, ගන වනාන්තර, තුඹස, ගංඉවුරු, අවන්හල්, තෘණ භූමි, තුන්මංසල් යන ස්ථානයන්හි දී දෂ්ටනයක් වුව හොත් අසාධ්‍ය යැ යි වෛද්‍යවරයා දැනගත්තේ ය.
තව ද ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා යන දිනවල දී උදේ සහ හැන්දෑ යාම ද, මධ්‍යහ්නය මෙන් ම ? මැදියම ද එළිවෙන යාමයේ දී ද දෂ්ට කළ හොත් අසාධ්‍ය ලකුණු පෙන්වයි. තව ද විසේනිය අටවක, නවවක, තෙලෙස්වක, අමාවක, පසළොස්වක යන තිථින්හි දී දෂ්ටනයන් අසාධ්‍ය බව දැන ගත්තේ ය. අස්විද, බෙරන, කැති, රෙහෙන, මුවසිරස, අද, අස්ලිස, පුවසල, සා, විසා, දෙට, මුල, සුවණ, පුවපුටුප යන නැකත්වල දී ද අසාධ්‍ය වන්නේ යැ යි වෙදැදුරු අනුමාන කරන්නේ ය.
මේ සා තොරතුරු වෛද්‍යවරයාට අවශ්‍ය වන්නේ රෝගියාට නිසියාකාර ව ප‍්‍රතිකාර කිරීමට පූර්ව සූදානම සඳහා ය. මේ තොරතුරු දැන ගැනීමට දැනුම් සම්භාරයක් තිබිය යුතු වේ. විශේෂයෙන් ඔහු ගේ සන්සුන් බව වඩා වැදගත් වේ. දූත ලක්ෂණ මනාව අවබෝධ කර ගෙන රෝගියා ගේ තත්ත්වය අවබෝධ කර ගත හැකි වනුයේ ඒ සන්සුන් බව නිසා ම ය. භාෂාව, ජ්‍යොතිෂය, ඖෂධීය ශාක ආදී බොහෝ කාරණ පිළිබඳ ව යම් අවබෝධයක් ඔහු සතු ව තිබිය යුතු වේ.
අපේ වෙදැදුරු ගේ ප‍්‍රතිකාර ක‍්‍රමය ද වෙනස් වේ. ශ‍්‍රී ලංකාවේ ඒ ඒ පරපුරෙන් පරපුරට මෙන් ම ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට ප‍්‍රතිකාර ක‍්‍රමය වෙනස් බව දැක්ක හැකි ය. යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුප්ත විද්‍යාව හා ඖෂධ මුසු වුණු අපේ පාරම්පරික සර්ප විෂ වෙදකම ආතුරයාට ප‍්‍රතිකාර කිරීම පටන් ගන්නේ බොහෝ විට ආතුරයා නොදැක වීම විශේෂත්වයකි. බොහෝ විට පණිවිඩය රැුගෙන එන දූතයාට පහරක් ගැසීමෙන්, ටොකු ඇනීමෙන් හෝ වෙනත් ක‍්‍රියාවලියකින් නිවසේ සිටින රෝගියා ගේ අසාධ්‍ය බව දුරු කළ අවස්ථා ඇත. එහෙත් මෙහි සත්‍ය බව නූතන විදුහුරු දැනුමට ගෝචර කර ගත නොහැකි අවස්ථාවක් වේ.
රෝගියාට ප‍්‍රතිකාර සඳහා ඇවැසි ඖෂධ රැුගෙන යන්නේ රෝගියා නොදැක වීම විශේෂත්වයකි. නිෂ්පාදිත ඖෂධ මෙන් ම වෙනත් ඖෂධ පරිසරයෙන් සොයාගෙන ම රෝගියා සිටින ඉසව්වට යන්නේ දූත ලක්ෂණ මඟින් ලබාගන්නා දැනුම ඔස්සේ ය. ඒ මඟින් අවශ්‍ය ඖෂධ වර්ග මොනවා දැ යි සොයා ගැනීමට පහසු වේ.
අපේ සමහර වෙදැදුරන් දෂ්ට කළ සර්පයා ලවා ම රෝගියා ගේ විෂ ඉවත් කිරීම පිළිබඳ ව ද අප අසා ඇත. කෙසෙල් පතුරු භාවිතයෙන් දෂ්ට කළ සර්පයා ලවා විෂ ඇද්ද වීම ද ඒ සර්පයා නියමිත ස්ථානයට ගෙන්වා ගැනීමට මන්ත‍්‍ර ආදී ගුප්ත ක‍්‍රම භාවිත වූ බව ද පවසති. සර්ප විෂ වෙදකම් කිරීමේ දී මන්ත‍්‍ර ආදිය භාවිත කිරීම අනිවාර්ය දෙයක් වී තිබේ. බොහෝ විට රෝගියා ගේ ශරීරයේ ඇති විෂ එක් ස්ථානයකට ගැනීම හෝ බැස්ස වීම මන්ත‍්‍රයකින් කරන අවස්ථා ඇත. එයට අමතර ව වෛද්‍යවරයා විසින් රෝගියා ගේ විෂ ඉරීම ද සිදු කරනු ලබයි. තව ද ප‍්‍රතිකාර කිරීමේ දී බුදුගුණ භාවිතයට ද අප වෛද්‍යවරු පෙලැඹෙති.
සමහර සර්ප දෂ්ටන නිසා රෝගීන් සිහි මුර්ජා වූ අවස්ථා ද දක්නට ඇත. එහි දී ද කෙම් ක‍්‍රම මෙන් ම නස්න (නස්‍ය) කිරීම, ඉසකුඩිච්චි දැමීම ආදිය ද සිදු වේ. ඊට අමතර ව බෙහෙත් ඔරුවල දැමීම ද සිදු විය. මේ ප‍්‍රතිකාර සඳහා වෛද්‍යවරයා නිෂ්පාදිත ඖෂධ මෙන් ම අවට පරිසරයෙන් සොයා ගන්නා ලද ඖෂධ භාවිත කෙළේ ය. මේ ප‍්‍රතිකාර ක‍්‍රම ඉතාමත් සාහිත්‍ය රසයෙන් වූ කවි ආදියෙන් සංග‍්‍රහ කොට ඇත.
මගුලේ යන්නන් දැකලා
කුඹුරේ මඩ කලල් කළා
වැස්සට පැල යට ඉදලා
නාග විෂට නස්න කළා
මෙහි දී මේ කවියෙහි ඇති ඖෂධීය වර්ග විවිධ නාමයන් ගෙන් සඟවා ඇත. මෙහි මගුලේ යන්නන් ලෙස මගුල් කරඳ මුල් ද, කුඹුරේ මඩ ලෙස කුඹුරු ඇට ද, වැස්සට පැල යට ඉදලා ලෙස නරමූත‍්‍රයෙන් අඹරා නාග විෂ සඳහා නශ්‍ය කළ බව කියැවේ. මේ ආදී වශයෙන් සැඟවුණු කවි පන්තීන්හි ඉතා ම රසවත් බසින් යුක්ත ව මේ වෛද්‍යක‍්‍රම සංග‍්‍රහ කිරීමට අපේ වෙදැදුරන් සමත් ව ඇත.
පිරිමි පනා ගසයි දැනේ
ගිරෙන් ගිරේ මල් වඩතේ
ලියන් තනේ රස ලැබුණේ
විසේ ඇතත් නොයයි පනේ
මෙහි දී කියැවෙන්නේ වරකා ගසේ පනාමල් අරගෙන තන කිරෙන් අඹරා දීමෙන් සියලූ විෂ අඩු කර ගත හැකි බව යි.
විජයා නෝනට අඬගහපල්ලා
මැළි නො ව හස්තය අතට ම යල්ලා
දිලිහෙන කහ ලූණු එක්කර පල්ලා
විළි වැද නයි විෂ යයි නුඹ පල්ලා
මෙහි දී විජයා නෝනා යනු වැල් රුක්අත්තන වේ. වැල් රුක්අත්තන කොළ කහ, ලූණු දමා කොටා මලවා නයි විෂට බැඳීමෙන් ඒ විෂ බැස යන බව මෙයින් කියැ වේ. මේ ආකාරයෙන් විවිධ රසයන් එක්කර තැනූ කවි මඟින් ඒවායේ ගුණාත්මක බව වැඩිදියුණු වූවා මෙන් ම වර්තමානයේ සිදුවන බුද්ධි හා ජාන මංකොල්ලයට ද වැට බැඳීමක් සිදු ව ඇත.
මේ ආදී වශයෙන් අපේ සර්ප විෂ වෙදකම දැනුම් සාගරයකි. එය වැළැලී යෑමට ඉඩ දිය යුතු නැත. මෙය මතුවට ද රැුක ගත යුතු ය. නවීන විදුහුරු දැනුමට ද මෙය සංකලනය විය යුතු වේ. අවශ්‍ය වන්නේ රෝගීන් සුවපත් කිරීම ය. ඈත ගම්වල මිනිසුනට සර්ප දෂ්ටනයක දී රෝහලකට යෑමට පෙර ළඟ ම ඇති අපේ වෙදැදුරු පිහිට වෙයි. අපේ දේශීය වෙදැදුරු රෝගියා සුවපත් වනතෙක් වෙනතක නො යයි. එය ඔහු ගේ වගකීමක් ලෙස ඔහු සිතයි. එබැවින් ඔහු තුළ ගැබ් ව ඇති මිනිසත්කම ඉතා අගනේ ය. භාවිතය ඇසුරේ මේ දැනුම සංරක්ෂණය වන්නේ ය. මේ දැනුම වඩා එලදායී ලෙස ජනතාව ගේ සෞඛ්‍ය සංරක්ෂණය වෙනුවෙන් යොදා ගැනීමෙන් එකී දැනුමත් ඖෂධ පිණිස වියදම් වන විශාල මුදලත් රැක ගත හැකි නොවන්නේ ද?
වෛද්‍ය පාලිත ශ‍්‍රී ගීගන ආරච්චිගේ
(උපුටා ගැනීම සදාහරිත සගරාවෙනි)





Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed





