Dec 13, 2016

‘බැට්‍රි ඩාන්ස්’ ශ්‍රී ලංකා සංචාරය නිමවේ (ඡායා)

ලොව ප්‍රකට ‘බැට්‍රි ඩාන්ස්’ කණ්ඩායමේ ‘ඩ්‍රම්ස් ඇන්ඩ් ඩාන්ස්’ මහජන ප්‍රසංගය ඊයේ (12) දින බිෂොප් විද්‍යාලයේ දී අතිඋත්කර්ෂවත් ලෙස පැවත්වුණි.

මෙම ප්‍රසංගය පවත්වණු ලැබුවේ චන්දන වික්‍රමසිංහ නර්තන සංසදය හා අසෝක වික්‍රමරත්න ගේ නාඩ්රෝ කණ්ඩායම සමගයි.

මේ සමග ‘බැට්‍රි ඩාන්ස්’ කණ්ඩායම විසින් දෙසතියක් පුරාවට මෙරට සිදුකළ හුවමාරු වැඩසටහන්, ගෞරව සංදර්ශන හා දේශීය සිසුන් හා සිදුකළ පුහුණු වැඩසටහන් පෙළ ඇතුළත් වූ මෙරට සංචාරය අවසන් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩබලන ඇමෙරිකානු තානාපති රොබර්ට් හිල්ටන් පවසා සිටියේ දෙරට අතර පවතින ශක්තිමත් සංස්කෘතින් හා දෙරට ජනතාව අතර පවතින සබඳතාවල අභිවෘද්ධිය සඳහා මෙලෙස ‘බැට්‍රි ඩාන්ස්’ කණ්ඩායම ශ්‍රී ලංකාවට යළිත් ගෙන ඒම පිළිබඳව ඇමෙරිකානු තානාපති කාර්යාලය ආඩම්බර වන බවයි.

නිව් යෝක් නුවර සිට පැවැතෙන ‘බැට්‍රි ඩාන්ස්’ කණ්ඩායම පසුගිය 40 වසර තුළ රටවල් 62ක, විවිධ ගැටුම් පවතින ස්ථානයන් හි සමාජයෙන් කොන් කර ඇති කණ්ඩායම් අතර සබඳතා වර්ධනය කිරීමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා ඔවුන් ‘Dancing To Connect’ (සබඳතා ඇති කරගැනීමට නර්තනයේ යෙදීම) යන දර්ශනය යොදාගනියි. ඔවුන් පළමු වරට මෙරට සංචාරයක නිරත වූයේ 2006දී ය.

‘බැට්‍රි ඩාන්ස්’ කණ්ඩායමේ මෙවර සංචාරය අතරතුරේදී ඔවුන්ගේ සංකේතාත්මක ‘රාග් දුර්ගා’ නර්තනය නැට්ෆෙස්ට් (NatFest) නර්තන උත්සවයේදී ඉදිරිපත් කළ අතර, චිත්‍රසේන නර්තන කණ්ඩායමේ ප්‍රධාන නර්තනකරුවන් කිහිපයකටද වැඩමුළු පවත්වන ලදී. තවද, ඔවුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් හට වැඩමුළුවක් සහ ගේට්වේ පාසැල් ශ්‍රවණාගාරයේදී නොමිලයේ ප්‍රසංගයක්ද පවත්වන ලදී. එමෙන්ම බැට්‍රි ඩාන්ස් කණ්ඩායමේ නිර්මාතෘ හා කලාත්මක අධ්‍යක්ෂක ජොනතන් හොලැන්ඩර් හා නිෂ්පාදන කළමනාකරු බැරී ස්ටීල් කලාවන් හි ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව මහජන දේශනයක් ද පවත්වන ලදී.

danceus

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top