Mar 06, 2017

හොලිවුඩයේ අළුත්ම හුරතලා වූ සනී (වීඩියෝ)

වසර 2017 ඔස්කා සම්මාන උළෙල සඳහන් කළ සැනින් බොහෝ අයට මතකට නැගෙනු ඇත්තේ  හොඳුම චිත්‍රපටය සඳහා වූ සම්මානය ලබාදීමේදී ඇති වූ බලවත් වරදයි.

කෙසේවෙතත්, එම වරදට අමතරව මෙවර ඔස්කා සම්මාන උළෙල ද වෙනිදා මෙන් ඉතා උත්සවශ්‍රීයෙන් පැවැත්වුණි.

හොලිවුඩ් පුරයේ ප්‍රධාන පෙළේ තරු රැසක් ඔස්කා රතු පලසේ දී දක්නට ලැබුණු අතර, බෙහෝ දෙනාගේ නෙත්සිත් බැඳගත් කුඩා තරුවක් ද ඒ අතර විය.

ඒ, සනී පවර් ය.

සනී ඉන්දීය ජාතික අට හැවිරිදි දරුවෙක් වුවත්, ලයන් චිත්‍රපටයේදී දේව් පටෙල් ගේ චරිතයේ ළමා කාලයට පණපෙවීමත් සමග ඔහු ලොව පුරා තරුවක් බවට පත්විය.

ඔහුව මෙම චරිතය සඳහා තෝරාගනු ලැබුවේ තවත් ළමුන් 2,000ක් පමණ සහභාගී වූ     කුසලතා පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුවයි.

තමාව තෝරාගත් හේතුව පිළිබඳව කුඩා සනී පවසන්නේ මෙසේය. “මගේත් දේව් පටෙල් ගෙත් මුහුණු එකවගේ නිසා මාව තෝරගත්තා. මට සහජ හැකියාවක් තියෙනවා කියලාත් ඔවුන් සිතුවා.”

මේ අයුරින් ඔහු ට හොලිවුඩ් පුරයේ දොරටු විවෘත වුනද, කුඩා සනී ට තරමක් බරපතල ගැටළුවක් පැනනැගී ඇත.

“මාව හම්බ වෙන්න ගොඩක් කට්ටිය ආවා. ඒත් එයාලා ගේ නම් මං හරියටම දන්නෑ,” යැයි ඔහු පවසයි.

මේ වන විට සනී යළිත් සිය මව්රටට ගොස් සිටියි.

ඔහු ගේ පවුලේ පස්දෙනෙකු සිටින අතර, ඔවුන් මුම්බායි නුවර කුඩා මහල්නිවාසයක ජීවත්වෙයි. සිය පුතණුවන්ගේ සිහිනය සැබෑ කිරීමට ඔවුන්ගේ පියාට සිය රැකියාවෙන් ද ඉවත් වීමට සිදුවිය.

“මගේ පුතා ගැන ගොඩක් ආඩම්බරයි. ඔහු හොඳට එම චරිතය කළා. අපි කවදාක්වත් හිතුවෙ නෑ ඔච්චර දිග ගමනක් යන්න පුළුවන් වෙයි කියලා… රතු පලසටත් ගියා… අපිට ගොඩක් ප්‍රසිද්ධියක් ගෙනාවා,” යැයි සනී ගේ පියා වන දිලිප් පවර් කියා සිටියි.

සනී ගේ කතාව මෙසේය.

(වීඩියෝව : බීබීසී ලෝක සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top