Mar 15, 2017

බ්ලොග්කරුවන් පුදන නෙළුම්යාය යළි පූදියි!

පසුගිය දෙවසර තුළ මෙරට බ්ලොග්කරුවන් ගේ දස්කම් ඇගයූ නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල යළිත් පැවැත්වේ.
 
මෙවර මෙම උළෙල 2017 මාර්තු 25 වැනිදා බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හි පස්වරු 3 සිට 7 දක්වා පැවැත්වෙන අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසූරිය, සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සහ ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සම්භාවනීයයන් පිරිසක් සහභාගී වීමට නියමිතය.
 
මෙම සම්මාන උළෙල පිළිබඳ මාධ්‍ය හමුවක් ඊයේ (14) කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්වුණු අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බ්ලොග්කරුවන්ගේ සම්මේලනයේ සුමිත් කළණසිරි, ස්වාධීන වෘත්තිමය බ්ලොග්කරුවෙකු වන අජිත් පැරකුම් ජයසිංහ, ලංකා නිවුස් වෙබ් අඩවියේ කර්තෘ - කුමුදුනී විජේවර්ධන හා නෙළුම් යාය පදනමේ අනුරාධා කෝදාගොඩ යන මහත්ම මහත්මීහු එක්වූහ.
 
සමාජ සත්කාරයක්
මෙහිදී අදහස් දැක්වූ ලංකා නිවුස් වෙබ් අඩවියේ කර්තෘ - කුමුදුනී විජේවර්ධන මහත්මිය පවසා සිටියේ නෙළුම් යාය ආරම්භ වූයේ සම්මාන උළෙලක් ලෙස නොව ලංකා නිවුස් වෙබ් ආයතනයේ සමාජ සත්කාර ඒකකයක් ලෙස බවයි. මෙමගින් අවස්ථා කිහිපයකදී පහසුකම් නොමැති පාසැල් ළමුන්ට සහය දැක්වූ බවත් ඇය සඳහන් කර සිටියාය.
 
බ්ලොග්කරණය ඉදිරියට ගෙන යමින් නෙළුම්යාය මෙවරත්

මෙහිදී අදහස් දක්වමන් නෙළුම් යාය පදනමේ අනුරාධා කෝදාගොඩ මහත්මිය පවසා සිටියේ මෙවර බ්ලොග් සම්මාන උළෙලේ මූලික තේරීම් ශ්‍රී ලංකා බ්ලොග් සංගමය විසින් සිදුකරන බවත්, අවසන් ජයග්‍රාහක / ජයග්‍රාහිකාවන් සිවු-පුද්ගල මඩුල්ලක් විසින් තෝරාගන්නා බවයි.

 
මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ලංකා බ්ලොග්කරුවන්ගේ සම්මේලනයේ සුමිත් කළණසිරි මහතා පවසා සිටියේ බ්ලොග්කරණය යන සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට මෙමගින් අපේක්ෂා කරන බවයි.
 
ස්වාධීන වෘත්තිමය බ්ලොග්කරුවෙකු ලෙස ජාත්‍යන්තර තලය දක්වා ගමන් කළ අජිත් පැරකුම් ජයසිංහ මහතා පවසා සිටියේ මේ වන විට බ්ලොග්කරණය විශාල පරිනාමයකට ලක්ව පුළුල් අවකාශයක් පුරා පැතිර ඇති බවත්, සමාජ ජාලා වෙබ්අඩවි ඔස්සේ පවා බොහෝ දෙනා බ්ලොග්කරණයට යොමුවී ඇති බවත් ය. 
 
බ්ලොග් අඩවි සඳහා පැවැත්වෙන මෙම සම්මාන උළෙලන්ද මගහැරෙන බ්ලොග්කරුවන් විශාල පිරිසක් මේ අනුව මෙරට සිටින බවත් ඉදිරියේදී ඔවුන් ද ඇතුළත් වන ලෙස වඩා පුළුල් අයුරින් ලබන වසරේ සිට මෙම උළෙල සැලසුම් කිරීමට බ්ලොග් සංගමයේ අවධානය යොමු කර සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
 
කාණ්ඩ 21ක්
නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී ප්‍රධාන කාණ්ඩ 21 ක් පිළිබඳ සලකා බලයි. මෙයට හොඳම බ්ලොග් අඩවිය (සිංහල/දමිල/ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන) මෙන්ම අධ්‍යාපනය, ඉතිහාසය, කාලීන සංවාද, කෙටිකතා, දේශපාලන, පරිවර්තන, ප්‍රහසන, ප්‍රබන්ධ, විද්‍යා ප්‍රබන්ධ සහ තාක්ෂණය, සංගීතය, සංචාරක සහ ඡායාරූපකරණය, කවි සහ සාහිත්‍ය විමර්ශන යන මාතෘකා යටතේ ලියැවෙන බ්ලොග් අඩවි සඳහා ද සම්මාන පිරිනමනු ලබයි.   
 
නෙළුම්යාය- 2016 බ්ලොග් සම්මාන උළෙල සඳහා අප සලකා බලනු ලබන්නේ 2016 ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලපරිච්ඡේදය තුළ පළ කරන ලද, ශ්‍රී ලංකා බ්ලොග්කරුවන්ගේ සම්මේලනය විසින් කෙටි ලැයිස්තුගත කරන ලද බ්ලොග් සහ බ්ලොග් පෝස්ටු ය. කෙටි ලැයිස්තුගත බ්ලොග් සහ බ්ලොග් පෝස්ටු ස්වාධීන විනිසුරු මණ්ඩලයක් විසින් විනිශ්චයට ලක් කර, ඉහත සඳහන් කළ කාණ්ඩ යටතේ ඒ අතරින් ජයග්‍රාහකයන් තෝරනු ලැබේ. මේ වසරේ විනිශ්චය මණ්ඩලයේ නම් සම්මාන උළෙලේදී හෙළිකෙරෙනු ඇත. 
 nelumyayablog 1
 
nelumyayablog 2
 
nelumyayablog 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top