Jul 03, 2017

සිනමා පතීට ඉන්දියාවේදී ප්‍රතිකාර !

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා මේවන විට ඉන්දියාවේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

“පතිට පනහයි”  ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය යන මැයෙන් පසුගිය 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැති උපහාර උළෙලෙන් පසුව රාත්‍රී භෝජන සංග්‍රහයේදී පතීගේ සෞඛ්‍ය තත්වය ගැන තොරතුරු විමසා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මැදිහත්ව ඔහුට විදෙස් ප්‍රතිකාර ලබාදීමට කටයුතු සිදුකර ඇතැයි පැවසේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා පැය 48ක් වැනි කෙටි කාලයකදී පතීගේ රෝගය සම්බන්ධයෙන් ලොව දක්ෂම ඉන්දීය විශේෂඥයකුගෙන් ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇති බවද පැවසේ. අදාළ වෛද්‍යවරයාගෙන් අවස්ථාවක් ලබා ගැනීමටද රෝගීන්ට මාස හය හතක් බලා සිටීමට සිදුවන බවද රාජිතගේ මැදිහත්වීම නිසා එය ඉක්මනින්ම කරගතහැකිව ඇති බවද වාර්තා වේ.

පතීගේ ගුවන් ටිකට්පතේ සිට සියලුම සෞඛ ප්‍රතිකාර වෙනුවෙන් බර පැන දරණු ලබන්නේ සෞඛ්‍ය අමාතයංශය විසින් බවද පැවසේ.

පසුගිය බ්‍රහස්පතින්දා ධර්මසේන පතිරාජ මහතා ඉන්දියාවට ගොස් ඇති අතර මේවන විට ඒ මහතාගේ ප්‍රතිකාර ක්‍රියාත්මක බවද වාර්තා වේ.

පතී යනු !

ලාංකීය සිනමාවේ උත්කර්ෂවත් යුගයක් වූ 70 දශකයේ කැපී පෙනන නිර්මාණ දායකත්වයක් ලබාදුන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයෙක් වූ ධර්මසේන පතිරාජ මහතා ලංකා විශ්වවිද්‍යාලයේ ගෞරව සම්මාන උපධිධාරියෙකි.

එසේම ඔහු පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය පිළිබඳ පශ්චාද් උපාධිධාරියෙකි.

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක් වන ඔහු 1968 සිට 1978 දක්වා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සහ යාපනය විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාර්යවරයෙක් ලෙස සේවය කර ඇත.

ඉන් අනතුරුව රුහුණු විශ්ව විද්‍යාලය, ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්ව විද්‍යාලය යනාදියෙහි ජ්‍යෙෂ්ඨ කථිකාර්යවරයෙක් ලෙස ද සේවය කරන ලදී.

වසර 1974 අහස්ගව්ව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් වෘත්තාන්ත චිත්‍රපටකරණයට අවතීර්ණ වූ ධර්මසේන පතිරාජ මහතා එයා දැන් ලොකු ළමයෙක්, පොන්මනී, බඹරු ඇවිත්, පාරදිගේ, සොල්දාදු උන්නැහෙ, වාසුලී, මතුයම් දවස, ස්වරූප සහ සක්කාරං යන වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලදී.

අදුරෙන් එළියට, වෙරළ, Putting the last first, Shelter for million families, දළ රළ පෙළ, පුනරාවර්තන, මාවතක් සොයනු පිණිස සහ A Road to sampur යන වාර්තා චිත්‍රපට ද කොරා සහ අන්ධයා, පුටු සහ කුරුල්ලෝ යන නාට්‍ය ද නිර්මාණය කරන ලද්දේ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා විසිනි.

පුංචි තිරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ටෙලි නාට්‍ය රැසක් ද ධර්මසේන පතිරාජ මහතා අතින් නිර්මාණය විය. ඒ අතර ගඟුලෙන් එගොඩට, මායා මන්දිර, ඇල්ල ළඟ වලව්ව, වන්නිහාමිලාගේ කතාව, සුදුබණ්ඩලාගේ කතාව, පුර සක්මන, කඩුල්ල, සුබ අනාගතයක්, නන්නාදුනන පුත්තු, දුර්ගාන්තය සහ කම්පිත විල් යන නාට්‍ය ප්‍රමුඛ තැනක් ගනී.

වසර 1988 පැවති උන්ඩා අභිනන්දන සම්මාන උළෙලේ දී  ඇල්ල ළඟ වලව්වට හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමි වූ අතර 1991 දී පැවති එම සම්මාන උළෙලේදී කඩුල්ල ටෙලි නාට්‍යයට ප්‍රතිභාත්මක ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමි විය.

දේශීය වශයෙන් පමණක් නොව විදේශීව වශයෙන් ද කීර්තියක් අත් කරගත් ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා ජාතික සහ අන්තර්තර්ජාතික මට්ටමේ චිත්‍රපට උළෙලවල් කිහිපයකම ජූරි සබිකයෙක් ලෙස ද කටයුතු කර තිබේ. ඒ අතර 1998 මෙල්බර්න් හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, 2003 පැවති 16 වන සිංගප්පූරු අන්තර්ජාතික චිත්‍රපට උළෙල, 15 වන කයිරෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙල (සභාපති) මෙන්ම 1998 පැවැති චිත්‍රපට විචාරක සම්මාන උළෙල සහ 2001 පැවැති රාජ්‍ය නාට්‍ය උළෙල ද  (සහාපති ) දැක්විය හැකිය.

ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද සතුරෝ කෙටි චිත්‍රපටය බිල්බාවෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපට 10 අතරට තේරුණු අතර 1972 දී චිත්‍රපට විචාරක සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. 1978 තිරගතවූ බඹරු ඇවිත් චිත්‍රපටය සඳහා හොඳම අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානයත් 1981 තිරගත වූ සොල්දාදු උන්නැහෙ චිත්‍රපටයට හොඳම අධ්‍යක්ෂණයට සහ තිර රචනයට හිමි ජනාධිපති සම්මානයත් හිමිකරගත් ගත්තේය.

ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන “ස්වර්ණ සිංහ” සම්මානයෙන් (Golden Lion) 2000 වසරේදී පිදුම් ලැබූ ඒ මහතා 16 වන සිංගප්පූරු අන්තර්ජාතික උළෙලේදී ද ඇගයීමට ලක්විය.

සැලසිනේ රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස 2003 වර්ෂයේ කටයුතු කළ ධර්මසේන පතිරාජ මහතා රජයේ චිත්‍රපට අංශයේ උපදේශක අධ්‍යක්ෂ ලෙස ද ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් තමා උගත් දැණුම නව පරපුරට දායාද කිරීමේ උදාරතර හැගීමෙන් ප්‍රසස්ත නව සිනමාකරුවන්  බිහිකරලීමෙහිලා පුරෝගාමී සේවයක යෙදි සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top