Aug 15, 2017

උමාරා, සංගීත පාසැලක් අරඹයි (ඡායා)

ජාත්‍යන්තර සම්මාන දිනූ ගායිකාවක්, පද රචිකාවක් සහ නිෂ්පාදකවරියක් වන උමාරා සිංහවංශ ගේ Umara Music Studio (UMS) නම් නව සංගීත පාසැල ඊයේ (14) දින එළිදැක්වුණි.

ගායක ගායිකාවන් වීමට සිහින දකින දක්ෂතා පිරිපුන් ඕනෑම වයස් කාණ්ඩයක අය සඳහා කටහඩ පුහුණුව සහ සංගීතමය දැනුම ලබාදීම මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සංගීතමය ප්‍රතිකාර ලබාදීම ද මෙහිදී සිදුකෙරේ.

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති Umara Music Studio (UMS) හිදී නවක ගායක ගායිකාවන්ගේ කටහඩෙහි නම්‍යශිලිත්වය, කටහඩ ප්‍රක්ෂේපනය, කටහඩෙහි පරාසය හ තීව්‍රතාවය මෙන්ම හුස්ම ඉහල පහළ ගැනීමේ තාක්ෂණික ක්‍රමවේද හා හැකියාවන් දියුණු කරලීම ඉලක්ක කරගනිමින් පුහුණු කටයුතු සිදුකෙරෙයි.

විවිධ පාඨමාලා කිහිපයක් Umara Music Studio (UMS) විසින් ක්‍රියාත්මක කරන අතර සිසුන්ගේ අවශ්‍යතාව පිරිදි එම පාඨමාලා තෝරාගැනීමට හැකි ය. මාස 6 - මාස 12 වැනි දිගුකාලීන පුහුණු පාඨමාලා සහ මාස 01 - මාස 3 ආදී වශයෙන් වන කෙටි කාලීන පුහුණු පාඨමාලාද මෙහි පැවැත්වෙයි. ඉතා සීමිත සිසුන් පිරිසක් ඇතුළත් කණ්ඩායම් වශයෙන් මෙහි පාඨමාලා පැවැත්වෙන අතර සියලුම පාඨමාලා උමාරා සිංහවංශ විසින් මෙහෙයවනු ලබයි.

මෙහිදී සෑම සිසුවෙක් වෙත ම පෞද්ගලික අවධානය යොමු වන අතර එය ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට මහත් රැකුලක් වනු ඇත. මීට අමතරව පුහුණු පාඨමාලා සඳහා සහභාගි වීමට නොහැකි වන අය සඳහා පුහුණු වැඩමුළු ගණනාවක්ද ඉදිරියේදී සංවිධානය කිරීමට Umara Music Studio (UMS) කටයුතු සැලසුම් කර තිබේ.

මෙරට ප්‍රමුඛ ගායක ගායිකාවන් වන උමාරියා සිංහවංශ, භාතිය සහ සන්තුෂ් වැනි ප්‍රවීන ගායක ගායිකාවන් ද මෙහි ඇතැම් පුහුණු පංති මෙහෙයවීම සඳහා  සහභාගි කරගැනෙන අතර එමඟින්ද විවිධ සංගීතමය හැකියාවන් වර්ධනය කර ගැනීමට සිසුන්ට අවස්ථාව හිමිවෙයි. මීට අමතරව සිසුන් වෙත ජාත්‍යන්තර අත්දැකීම් තිළින කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ගායක ගායිකාවන් ද ඉදිරි පුහුණු වැඩමුළු සඳහා සහභාගි කරවා ගැනීමට Umara Music Studio (UMS) සැලසුම් කර තිබේ.

තවද, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සංගීතමය ප්‍රතිකාර (music therapy )ද මෙහිදී සිදුකෙරෙන අතර  එමඟින් එම දරුවන්ගේ මානසික ශක්තිය තීව්‍ර කිරීම සඳහා සංගීතය යොදාගැනීම සිදුකෙරෙයි.එහිදී එම දරුවන්ගේ දෙමව්පියන්ට තම දරුවා සමඟ සංගීතය පාදක කරගත්  විවිධ තාක්ෂණික ක්‍රම ඔස්සේ සබඳතා ගොඩනඟා ගැනීමට අවස්ථාවා සැලසෙයි.

උසස්තම තාක්ෂණය සහ මනා පහසුකම් රැසකින් සමන්විත Umara Music Studio (UMS)පරිශ්‍රය ඉගෙනුම ලබන සිසුන්ට පමණක් නොව  දෙමව්පියන්ටද  සිසුන් සමඟ පැමිණ තම කාලය ගත කිරීම සඳහා අවශ්‍ය වන පහසුකම් රැසකින් සමන්විත වෙයි. සම්පූර්ණයෙන් වායු සමනය  කරන ලද මෙම පරිශ්‍රය තුළ  පුහුණු කාමර,නාන කාමර පහසුකම්, රැදී සිටීමේ පරිශ්‍ර සහ දරුවන් සඳහා ක්‍රීඩා කිරීමේ  ස්ථානයක් ආදී වශයෙන් විශේෂාංග රැසකින් සමන්විත වෙයි. මීට අමතරව නොමිලේ Wi-Fiපහසුකම් සහ සංග්‍රහ කටයුතු ද සිදුකෙරේ.

වෘත්තීය සංගීතවේදීන් දෙපළක් වන ටෝනි සහ අයේෂා සිංහවංශ යුවළට දාව උපත ලැබූ උමාරා සිංහවංශ jazz,hip hop,classic,RnB යන ඕනෑම ශෛලියකින් ගීත ගායනා කිරීමේ කුසලතාවයෙන් යුත් අති දක්ෂ ජාත්‍යන්තර කීර්තියට පත් ගායිකාවකි. පාසැල් සමයේ සිටම සිය ගායන කුසලතා එලිදැක්වූ උමාරා සමස්ථ ලංතා පාසැල් ගායන තරඟ රැසකදී ප්‍රථම ස්ථානය දිනා තිබේ. එමෙන්ම වයස අවුරුදු 10 දී සිය සොහොයුරිය උමාරියා සමඟ මුල්වරට ගීතයක් පටිගත කළ උමාරා වයස අවුරුදු 13 දී සිය ප්‍රථම ප්‍රසංග වේදීකා අත්දැකීම ලබාගත්තා ය. කසක්ස්ථානයේ සහ චීනයේ පැවති ජාත්‍යන්තර සංගීත උළෙල දෙකකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ උමාරා ඉන් සම්මාන 3ක් දිනාගත්තා ය. වසර 2011 දී සිය සහෝදරිය වන උමාරියා සමඟ යුක්‍රේනයේ පැවතිCrimea Music Festival හිදී ලොව පුරා රටවල් 25ක් පරදවමින් ලෝකඩ පදක්කම දිනාගැනීම උමාරාගේ සංගීත දිවිය තුළ ලත් විශිෂටතම ජයග්‍රහණයකි. ජාත්‍යන්තර කීර්තියට පත් ශංකර් මහාදේවන් හා ශංකර් ඒෂාන් ලොයි  වැනි  ලොව ප්‍රමුඛ ගායන ශිල්පීන් සමඟ ගී ගැයූ ශ්‍රී ලංකාවේ ලාබාලතම ගායිකාව වන උමාරා  ශ්‍රී ලංකාවේ එකම ශබ්ද පරිපාලකවරිය හා ලාබාලතම ශබ්ද පරිපාලකවරිය ද වෙයි.  ජාත්‍යන්තර සංගීතය පිළිබඳව හොකොංහි වසර 6ක පාඨමාලවකින් වැඩිදුර අධ්‍යාපනය හැදෑරූ උමාරා Proteus නම් ඇයගේ ගායක කණ්ඩායමත් සමඟ එරට jazz සංගීත කරළියේ ජනප්‍රිය තරුවක් බවට පත්විය.

Umara Music Studio (UMS)ආරම්භක අවස්තාවට එක්වෙමින් අහස් දැක්වූ උමාරා සිංහවංශ සඳහන් කළේ දස දහස් සංඛ්‍යාත ජනතාවක් වෙත සමීප වීම සඳහා දෙවියන් විසින් තමන්ට දුන් දායාදයක් ලෙස සංගීතය සලකන බවයි.මේ නිසා තමන් නිරතුරුවම තමන් ලද දායාදය තුළින් මෙරට සංගීත ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමින් ඔසවා තැබීමට  යම් මෙහෙවරක් කිරීම පිළිබඳව කල්පනා කළ බවද ඇය සඳහන් කළාය. Umara Music Studio (UMS) ඇරඹිම තුළින් එම සිහිනය සැබෑවන බව පෙන්වා දුන් උමාරා නවකයින්ට අතදීම තුළින් තමන් ඉමහත් ආත්ම තෘප්තියක් අත්විඳින බවද පෙන්වා දුන්නාය. අඛණ්ඩ කැපවීම තුලින් අනාගත්යේදී ජාත්‍යන්තරය ජයගන්නා  අතිදක්ෂ,ප්‍රතිභාපූර්ණ ශිල්පීන් රැසක් අනාගතයේදී  බිහිකිරීමට හැකිවනු ඇතැයි ඇය විශ්වාසය පළ කළාය.

වැඩි විස්තර සඳහා  www.umaramusic.com  හෝ ෆේස්බුක් ඔස්සේ www.facebook.com/umaramusicstudio/  හෝ ඊ මේල් මඟින් This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top