Dec 19, 2016

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් විකිණීමේදී බරපතල වංචාවක් !

ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවති සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 ක් විකුණා දැමීමට අදාළ ගනුදෙනුවේදී බරපතල වංචාවක් සිදුව ඇති හෙයින් වහාම එය අවලංගු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

ලංකා බැංකුවේ අංක 1 ගිණුම යටතේ පැවති සෙලාන් බැංකු කොටස් හිමිකාරීත්වය පසුගිය 16දා විකුණා දමා ඇත්තේ  රජයේ කිසිදු අනුමැතියකින් තොරව බවට වාර්තා වේ.

විෂය භාර අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව අදාළ ගනුදෙනුව සිදු වී තිබේ.

මෙම ගනුදෙනුව වහාම අවලංගු කරන ලෙස නියෝග කර ඇති අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ද නියෝග කර තිබේ.


විදෙස් ආයෝජකයෙක් ?


සෙලාන් බැංකු, ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 13,198,305 ක් ලංකා බැංකුව සතුව පැවති අතර මෙය සෙලාන් බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 7.5% ක් විය.

මෙහිදී එක් කොටසක් රු. 100 බැගින් අලෙවි වූ අතර රුපියල් බිලියන 1.32 (1,319,830,500) ක පිරිවැටුමක් මෙම ගනුදෙනුවෙන් වාර්තා විය.

එදින (16) සෙලාන් බැංකු කොටසක අවසන් ගනුදෙනු මිල රු. 85.00 ක් වූ අතර වෙළෙඳපොළ ගනුදෙනු මිලට වඩා රු. 15.00 ක අධි මිලකට, එනම් රු. 100.00 බැගින් මෙම කොටස් ගනුදෙනුව සිදුව තිබේ.

කොටස් වෙළෙඳපොළ සංඛ්‍යා වාර්වතාවලට අනුව මෙම ගනුදෙනුවේ ගැනුම්කාර පාර්ශවය වී ඇත්තේ විදෙස් ආයෝජකයෙකි.

ලංකා බැංකුව, සෙලාන් බැංකුවේ 6 වැනියට විශාලතම කොටස්කරුවා විය.


විදෙස් අයෝජකයා හිස් අතින් යයි ?


අගමැතිවරයාගේ නියෝගයක් මත මෙම ගනුදෙනුව අත්හිටුවීමෙන් පසු විදේශීය ආයෝජකයාට හිස් අතින් තම රට බලායාමට සිදුව ඇති බවත්, රජයේ මෙවෙනි තීරණ හේතුවෙන් එන්න එන්නම විදේශීය ආයෝජනවල අඩුවීමක් මෙන්ම රජය කෙරෙහි ආයෝජකයන් විශ්වාසය නොකරන තත්ත්වයකට රජය පත්වෙමින් සිටින බවත් හිටපු ඉහල පෙලේ ආර්ථික විශේෂඥයෙක් කීය.

(මුලාශ්‍රය - adaderana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top