Jan 03, 2017

ශ්‍රී ලන්කන් - PIA ගිවිසුමෙන් ඩොලර් මිලියන 15.9 ක පාඩුවක් ! Featured

ශ්‍රී ලන්කන් ගුවන් සේවය කල්බදු පදනමින් පකිස්ථාන ගුවන් සේවය (PIA) සමඟ ඇතිකරගත් ගිවිසුම හේතුවෙන් මේ වන විට ඩොලර් මිලියන 15.9 ක පාඩුවක් සිදුකරගෙන ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මෙසේ පාඩු විඳීමට සිදුව තිබෙන්නේ පකිස්ථාන ගුවන් සේවය සමඟ 2016 වසරේ ඇතිකරගත් ගිවිසුම අනුව පකිස්තානය මෙරටින් ලබාගත් ගුවන්යානා හරහා මෙහෙයුම් කටයුතු සිදුකර අදාළ මුදල් ගෙවීම සිදුකළ යුතුව තිබු නමුත් නියමිත පරිදි එම මුදල් ගෙවීමට පකිස්ථාන ගුවන් සේවය අසමත්ව ඇති නිසාය.

මතුව ඇති තත්ත්වය හමුවේ අදාළ ගිවිසුම නැවත සලකා බලා ස්ථීර විසඳුමක් යෝජනා කරන ලෙස මේ වන විටත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය එහි ප්‍රධාන විධායක සුරේන් රත්වත්තේ මහතා වෙත දැනුම්දී ඇති බව අප ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එසේම අදාළ ගිවිසුම හේතුවෙන් 2016 වසරේ ජනවාරි - මාර්තු කාර්තුව අවසන් වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබා ඇති පාඩුව 2.3% කින් ඉහළ ගොස් ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අක්‍රමිකතාවක් පිලිබඳ සැකයක් :

අදාළ ගිවිසුම කිසිඳු විනිවිදභාවයකින් තොරව හිතුමතේ සිදුකිරීම සහ නියමිත ටෙන්ඩර් ක්‍රමවේද අනුගමනය නොකර තිබීම හේතුවෙන් මේ අයුරින් පාඩු විඳීමට සිදුවීම සම්බන්ධව පකිස්තානය සමඟ අදාළ ගිවිසුම රහසින් අත්සන් කරන්නට මැදිහත්වූ පාර්ශව වගකිව යුතුව ඇත.

එසේම මෙම ගිවිසුම අත්සන් කිරීමේදී කල්බදු පහසුකමට අමතරව තවත් විශේෂ සහන වට්ටම්ද ලබාදී ඇති බවත් ඒ තුල කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇතිදැයි සැකයක් ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කෙසේ වුවත් මේ සම්බන්ධව සඳහන් කරමින් පකිස්ථාන ගුවන් සේවය පෙන්වාදී ඇත්තේ කල්බදු ගිවිසුමට අමතරව තමන් වෙත විශේෂ සහනයක් ලබාදීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු කල යුතුව ඇති බවයි.

(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top