15976 BM WEB BANNER 01
Jan 06, 2017

වොක්ස්වැගන් ගැන ඇත්ත කියන්නෙ අගමැති ද සිරස ද? (වීඩියෝ) Featured

පසුගියදා කුලියාපිටියේ මුල්ගල් තැබුණු මෝටර් රථ කර්මාන්ත ශාලාවට ජර්මනියේ වොක්ස්වැගන් සමාගම ආයෝජනය කර නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිරස රූපවාහිනී නාලිකාව විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ වාර්තාවකට මෙලෙස ඔහු ප්‍රතිචාර දැක්වූයේ ඊයේ හොරණ දී පැවති කළු ගඟ ජල ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේදී ය.

මේ සම්බන්ධයෙන් එම රූපවාහිනි නාලිකාව තමන්ගෙන් විමසා සිටියේ නම් තමා ඒ බව පැහැදිලි කරන බවද ඔහු කියා සිටියේය.

වොක්ස්වැගන් සමාගමට ගැටළු ඇතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉඩ නොදීමට රජය  තීරණය කළ බවත්, කුලියාපිටිය කර්මාන්ත ශාලාවේ ඉදිවන වාහන නිෂ්පාදන අතරට වොක්ස්වැගන් සන්නාම නාමයට අයත් වාහනද අයත් වන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා අධ්‍යාපන ඇමති - අකිල විරාජ් කාරියවසම් කලම්බු ගැසට් වෙබ් අඩවියට පවසා තිබුනේ කුලියාපිටියේ මෝටර් රථ කර්මාන්ත ශාලාව වොක්ස්වැගන් සමාගමට අයත් එකක් බවට කිසිදිනක රජය නොපැවසූ බවයි.

සෙනොක්
අපනයනය සඳහා වාහන නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලාවක් ඇරඹීමට ඇති හැකියාව පිළිබඳව වොක්ස්වැගන් සමාගම සලකා බලමින් සිටින බවට 2015 දී වාර්තා විය. වොක්ස්වැගන් සමාගමේ මෙරට අලෙවි නියෝජිත සමාගම වන්නේ සෙනොක් සමාගමයි.

ආයෝජන මණ්ඩලයේ ගිවිසුම අනුව, වොක්ස්වැගන් හා සෙනොක් සමාගම් හවුල්කරුවන් ලෙස එක්වීමට නියමිතව තිබුණු අතර, අයෝජකයා හා තාක්ෂණික හවුල්කරුවා ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණේ වොක්ස්වැගන් සමාගමටයි.

කෙසේවෙතත්, දුම් පරීක්ෂාවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ලෙස ඇතිවූ ගැටළු හමුවේ වොක්ස්වැගන් සමාගම මෙම ගණුදෙනුවෙන් ඉවත් වී ඇති නමුත්, ඒ වන විට ගිවිසුමට අත්සන් තබා තිබුණු බැවින් එම ව්‍යාපෘතිය දිගටම සිදුකරගෙන යාමට සෙනොක් සමාගම කටයුතු කර තිබුණි.

 කුලියාපිටිය කර්මාන්ත ශාලාව දිගින් දිගටම හඳුන්වාදෙනු ලැබුවේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ලෙසයි.  

එසේ වුවද, මුල්ගල් තැබීමේ උත්සවයේදී දක්නට හැකිවූයේ වෙස්ටර්න් ඕටොමොබයිල් ඇසෙම්බ්ලි පෞද්ගලික සමාගමක ව්‍යාපෘතියකි.


voxwegan1

මේ වන විට මෙම කර්මාන්ත ශාලාවේ එක්රැස් කිරීමට නියමිත වාහන අයත් වන සන්නාම නාම හෝ නිෂ්චිත ආයෝජකයෙකු පිළිබඳව තොරතුරු හෙළි කර නොමැත.

තවද, මෙහි රැකියා අවස්ථා 2,500ක් ලබාදෙන බවට වෙස්ටර්න් ඕටොමොබයිල් සමාගම ගිවිසුම්ගත වී නැතැයි ද පැවසේ.

සෙනොක් හා නොයෙල්
සෙනෙක් ඔටෝ මොබයිල් සමාගමේ ප්‍රධාන හිමිකරුවන්නේ නොයෙල් සෙල්වනායගම් මහතාය. ඔහු රාජපක්ෂ රජය සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මහතාගේ ව්‍යාපාරික සගයෙක් ලෙස ප්‍රසිද්ධය.

වොක්ස්වැගන් ප්‍රකාශයක්
මේ අතර, සිරස රූපවාහිනි නාලිකාව විසින් මේ සම්බන්ධයෙන් වොක්ස්වැගන් සමාගමෙන් විමසීමක් සිදුකර තිබුණු අතර, එම සමාගමේ ආයතනික සන්නිවේදන අංශයේ කැතරින් හොෆ්මන් මහත්මිය තහවුර කර තිබුනේ ශ්‍රී ලංකාවේ වොක්ස්වැගන් සන්නාම නාමය ආයෝජනය සඳහා මේ අවස්ථාවේදී කිසිඳ සැලැස්මක් නොමැති බවයි.

ජර්මන් තාතාපති කාර්යාලයත් නෑ කියයි
මේ අතර, සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත්තේ කුලියාපිටිය කර්මාන්ත ශාලාවට වොක්ස්වැගන් සමාගමේ සම්බන්ධයක් නැති බව මෙරට ජර්මන් තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සනාථ කළ බවයි.

වසර 2015 අගෝස්තු 13 දින මේ සම්බන්ධ ගිවිසුමට අත්සන් තබා ඇත්තේ සෙනොක් ට්‍රේඩ් කොම්බයින් (පෞද්ගලික) සමගම හා ආයෝජන මණ්ඩලය බව තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා වන ආචාර්ය මයිකල් ඩොහ්මන් පැවසූ බව එහි වැඩිදුරටත් දැක්වේ.

වොක්ස්වැගන් ද නැද්ද?
කෙසේවෙතත්, පසුගිය 03දා මෙම කර්මාන්ත ශාලාවට මුල් ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, මෙම අවස්ථාව ජනාධිපති මාධ්‍ය ඒකකයේ වෙබ් අඩවිය විසින් පවා වාර්තා කර තිබුනේ ‘වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට ජනපති අතින් මුල්ගල් තැබේ’ ලෙසයි.


PMDJPG

තවද, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ මැතිඇමතිවරුන් විසින් ද දිගින් දිගටම මෙම කර්මාන්තශාලාව හඳුන්වනු ලැබුවේ ‘වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව’ ලෙසයි.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top