Feb 27, 2017

Nokia 3310 අළුත් වුනේ මෙහෙමයි!

ස්මාර්ට්ෆෝන් යුගයට පෙර ලොවපුරා ජනප්‍රිය වූ Nokia 3310 ජංගම දුරකතනය යළි එළිදැක්වීමට ඇති සූදානමක් පිළිබඳව පුවතක් අපි මීට පෙර වාර්තා කළෙමු.

නවීකරණයට බඳුන් වූ මෙම ජංගම දුරකතනය ඊයේ (26) බාසිලෝනා නගරයේදී පැවැත්වුනු මොබයිල් ලෝක සමුළුවේදී එළිදක්වා තිබේ.

ෆින්ලන්තයේ HMD Global සමාගමේ ලියාපදිංචිය යටතේ අලෙවි කිරීමට නියමිත මෙම ජංගම දුරකතනයේ බර ග්‍රෑම් 79.6ක් වන අතර එහි ඇත්තේ අඟල් 2.4ක තිරයකි.

2.5G අන්තර්ජාලය සේවා හා සම්බන්ධ වන මෙම දුරකතනය ක්‍රියාකරන්නේ S30+ මෙහෙයුම් පද්ධතියෙනි. එබැවින් මෙම අන්තර්ජාල කටයුතු සඳහා ලබාදෙන පහසුකම් සීමාසහිත වේ. මෙහි කැමරාවද මෙගාපික්සල් දෙකකට සීමා වේ.

කෙසේවෙතත්, පැරණි Nokia 3310 ට සුවිශේෂී වූ බැටරි කාලය මෙම දුරකතනයේ ද දක්නට ලැබේ. මෙහි මසක standby කාලයක් ද පැය 22ක talk කාලයක් ද ඇති බව එහි නිෂ්පාදකයන් පවසයි.

ඊට අමතරව, ‍පැරණි Nokia 3310 උපාංගයේ තවත් ජනප්‍රිය අංගයක් වූ ස්නේක් ක්‍රීඩාවේ නවතම අනුවාදයද මෙයට ඇතුළත් වේ.

මෙම ජංගම උපකරණයේ ආරම්භ මිල යුරෝ 49ක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Nokia 3310 ජංගම දුරකතනයට අමතරව තවත් Nokia ස්මාර්ට්ෆෝන් කිහිපයක් ම මොබයිල් ලෝක සමුළුවේදී එළිදැක්වුණි.

සබැඳි පුවත්
Nokia 3310 යළිත් එයි!

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top