Mar 01, 2017

ඩෙංගු මඩින්න යූනියන් ඇෂුවරන්ස්‌ මුල්තැන ගනියි

මේ වන විට ශ්‍රී ලංකාවට මහත් හිසරදයක්‌ වී ඇති ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා වඩාත් කාර්යක්‌ෂම ක්‍රමවේද සොයාගැනීමේ අරමුණ ඇතිව දියත් කරනු ලබන නියමු ව්‍යාපෘතියක්‌ සඳහා සිය දායකත්වය ලබාදීමට යූනියන් ඇෂුවරන්ස්‌ සමාගම කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව තුළ මෙබඳු ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරන ප්‍රථම අවස්‌ථාව මෙයයි.

මේ යටතේ සංවිධානය කරන ලද ප්‍රථම ඩෙංගු පාලන ප්‍රජා පාදක නියමු ව්‍යාපෘතිය කිරුළපන සිද්ධාර්ථපුර ප්‍රජා ජනාවාසය කේන්ද්‍ර කරගෙන ආරම්හ කිරීමට 2017 පෙබරවාරි 05 වැනි දා නිල වශයෙන් කටයුතු යොදන ලදී. මෙම ව්‍යාපෘතිය කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ දිසා නගර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අධීක්‌ෂණය යටතේ කෙටිකාලීන හා දිගුකාලීන විධිමත් ව්‍යාපෘතියක්‌ ලෙස ක්‍රියාවට නැංවේ. ප්‍රජාවේ දරුදැරියන් සහ වැඩිහිටියන් සියලු දෙනා තුළ ඩෙංගු මර්දනයට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන ආකල්ප වර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික ඉලක්‌කය වී ඇත.

වැඩසටහන යටතේ සිදුකරනු ලබන තවත් විශේෂ කටයුත්තක්‌ වන්නේ සිද්ධාර්ථපුර ප්‍රදේශය කලාප 05 කට භූගෝලිය වශයෙන් බෙදා එම කලාප තුළ ළමා සමිති පිහිටුවීමයි. මෙම සමිතිවලට අයත් දරුදැරියන් මෙම ආකල්පමය වෙනස ස`දහා මූලිකත්වය ගනු ඇත. මෙහිදී අත්පත් කරගන්නා ප්‍රගතිය මත එම සමිති ඇගයීමට ලක්‌කර ත්‍යාග ප්‍රදානය කිරීමට නියමිත අතර අවුරුදු 5 ත් 18 ත් අතර දක්‌වා පාසල් දරුදැරියන් අතර චිත්‍ර තරග, කථික තරග, දැනුම - මිනුම තරග හා නාට්‍ය තරග පවත්වා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

මූලික වශයෙන් මෙම ව්‍යාපෘතිය වසරක කාලයක්‌ දක්‌වා පැවැත්වීම යූනියන් ඇෂුවරන්ස්‌ සමාගම ඇතුළුව මීට දායක වන සියලු පාර්ශ්වයන්ගේ ඉලක්‌කය වේ. මෙම ව්‍යාපෘතියට සමගාමීව, මීට කිලෝමීටර 2 ක්‌ පමණ දුරින් පිහිටි තවත් ප්‍රදේශයක්‌ තෝරාගෙන එම ප්‍රදේශයේ සාමාන්‍ය ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් ක්‍රියාවට නංවනු ඇත. නියමු ව්‍යාපෘතිය අවසානයේ කලාප දෙකේ ප්‍රගතිය සංසන්දනය කර එම ව්‍යාපෘතිවල සාර්ථකත්වය ඇගයීමට ලක්‌කිරීම සංවිධායකවරුන්ගේ අදහස වේ. මෙම වැඩසටහනේ මෙහෙයුම් කමිටුව ලෙස දිසා අංක 04 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමන් හා එම කාර්ය මණ්‌ඩලය, ප්‍රජා සංවර්ධන සමිති නායකයන්, ළමා සමිති නායකයන්, කාන්තා සමුපකාර ප්‍රාදේශිකයේ නායිකාවන්, දිසා ප්‍රජා නායක, කිරුළපන පරිසර පොලිස්‌ නිලධාරීන්, ප්‍රධාන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්, යූනියන් ඇෂුවරන්ස්‌ සමාගමේ නියෝජිතයන් සහ මහජන සෞඛ්‍ය ප්‍රවර්ධන සංවිධානයේ නියෝජිතයන් කටයුතු කරනු ඇත.

මෙම නියමු ව්‍යාපෘතිය පිළිබඳව අදහස්‌ දක්‌වමින් යූනියන් ඇෂුවරන්ස්‌ සමාගමේ සාමාන්‍යධිකාරී (අලෙවි හා බෙදාහැරීම්) දර්ශන අමරසිංහ මහතා පැවසුවේ මෙවැනි පුරෝගාමී වැඩසටහනකට දායක වීමට ලැබීම ගැන තමන් බෙහෙවින් සතුටට පත්වන බවයි. ''යූqනියන් ඇෂුවරන්ස්‌ සමාගම දිගු කාලයක පටන් ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා රජය ඇතුළු විවිධ පාර්ශ්වවලට විශාල සහයෝගයක්‌ ලබාදී තිබෙනවා. මෙය අප දකින්නේ වගකීම්සහගත සමාගමක්‌ ලෙස රටේ ජනතාව වෙනුවෙන් අප ඉටුකරන යුතුකමක්‌ ලෙසයි. යූනියන් ඇෂුවරන්ස්‌ යනු කවදත් නිරෝගී ප්‍රජාවක්‌ බිහිකිරීම් සඳහා කැපවීමෙන් කටයුතු කරන සමාගමක්‌. ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් සඳහා දායක වෙමින් රටට වඩාත් යහපත් හෙට දවසක්‌ උදාකර දීම අපගේ බලාපොරොත්තුවයි. ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

(දිවයින)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top