Apr 10, 2017

නිමල් මැද ඉතිරිකර දෙපැත්ත පලල් කරලා Featured

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් පථයේ සිදුකළ අලුත්වැඩියාව ජාත්‍යන්තර ප්‍රමිතියට නැතැයි වාර්තා වේ.

අපේක්ෂිත එෆ් ශ්‍රේණිය දක්වා ගුවන් පථය සකස් නොකිරීම හේතුවෙන් ඉහත ශ්‍රේණිගත කිරීමේ සහතිකය කටුනායක ගුවන්තොටට නොලැබීයාමේ අවදානමක් මතුව ඇතැයි පැවසේ.

අලුත් වැඩියාව මගින් සිදුකර ඇත්තේ ගුවන් පථයේ දෙපස පළල් කිරීම පමණක් බව වාර්තා වේ.

මේ අලුත් වැඩියාව මගින් ඒ380 ගුවන් යානයක් ගොඩ බැස්සවීමට හැකි අයුරින් ගුවන් පථය සකස්ව නැතැයි වාර්තා වේ.

එෆ් ශ්‍රේණිය ලබා ගැනීමට ගුවන් පථයේ දෙපස ආලෝක සංඥාපද්ධති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස්විය යුතු වුවත්, එවැන්නක් නව අලුත්වැඩියාවෙන් සිදුවී නැතැයි පැවසේ.

වසර 1986න් වසර 30කට පසුව කටුනායක ගුවන් පථය අලුත්වැඩියා කිරීමට ජනවාරි 06 වැනිදා සිට අප්‍රේල් 07 වැනිදා දක්වා කාලය තුළ කටුනායක ගුවන්තොට තාවකාලිකව වසාදමා තිබිණි.

මෙතෙක් කටුනායක ගුවන් පථය පැවැතියේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සංවිධානයේ ප්‍රමිතිගත ඊ ශ්‍රේණියේ (Code 4-E). ඊ ශ්‍රේණියේ ගුවන් පථයක් මීටර් 52ට නොඅඩු මෙන්ම මීටර් 65ට නොවැඩි දිගු පියාපත් සහිත ගුවන් යානයකට ගොඩබැස්වීම සඳහා පහසුකම් සැලසිය හැකිවේ.

ඒ අනුව කටුනායක ගුවන් පථය පහසුකම් සලසනුයේ බෝයිං 777, බෝයිං 787 හා එම ශ්‍රේණියේ යානා, එ්330 වැනි ගුවන් යානාවලට ය.

එෆ් ශ්‍රේණිය දක්වා ගුවන් පථය සැකසීමට නම් ගුවන් යානා පියාපත්වල දිග මීටර් 65ට නොඅඩු මීටර් 80ට නොවැඩි ගුවන් යානයකට පහසුකම් සැලැස්විය යුතු ආකාරයට ගුවන් පථය පුළුල් කළ යුතුය. එලෙස වැඩිදියුණු කළවිට බෝයිං 747-8, එයාර්බස් ඒ380 සිට 800 දක්වා වන විශාල ගුවන් යානා ද ගොඩබැස්සවිය හැකිය.

පසුගිය දිනවල සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණේ කටුනායක ගුවන් පථය එයාර්බස් ඒ 380 ගොඩබැස්විය හැකි ආකාරයට පුළුල් කරන බවයි. මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළේ ගුවන් පථය ඉදිකර ඇත්තේ ඒ380 එයාර්බස් සහ එෆ් ශ්‍රේණියේ ගුවන් පථයක හැසිරවිය හැකි විශාල ගුවන් යානා ගොඩබැස්විය හැකි ගුවන් පථයක් ලෙස ය.

ගුවන් පථයක් සකස් කිරීමේදී දිග, පළල, ආයත බෑවුම්, පැතිකඩ, තිරස් බෑවුම්, ගුවන් පථයේ අන්තර්ජේදන ආදී කරුණු මූලික කරගනිමින් තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් වැඩිදියුණු කළයුතුවේ. විශේෂයෙන්ම ගුවන් පථයක සීමා ලකුණු කිරීම්, විදුලි සංඥ, විදුලි ආලෝකය අතිශය වැදගත් කරුණකි. කටුනායක ගුවන් තොටුපළට දැන් ඇත්තේ එෆ් ශ්‍රේණියේ ගුවන් පථයක් බව ඔවුහු පවසති. නමුත් ඊ ශ්‍රේණියේ ගුවන් පථයක විදුලි සංඥ මත එෆ් ශ්‍රේණියේ ගුවන් යානා කිසිසේත් ගොඩබැස්වීම අවදානම් බව විශේෂඥ මතයයි.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සංවිධානයේ ශ්‍රේණිගත කිරීම්වල ඇත්තේ ඒ, බී, සී, ඞී, ඊ, එෆ් යන අකුරුවලින් කරන ලද වර්ගීකරණ පමණකි. ඒවායෙහි අනු වර්ගීකරණ නොමැති බවට ගුවන් පථ හා එම සංවිධානයේ ප්‍රමිතීන් පිළිබඳ සොයාබලන ඕනෑම අයකුට දැනගත හැකි වනු ඇත. එෆ් ශ්‍රේණියට වඩා ඉහළ ශ්‍රේණිගත කිරීමක් එම සංවිධානය විසින් මෙතෙක් සොයාගෙන ද නොමැත.

එසේ තිබියදී කටුනායක ගුවන් පථය පිළිබඳ පසුගිය කාලයේ පළකරන ලද ප්‍රවර්ධන කටයුතුවලදී භාවිත වූ ‘නව්‍යකරණය කරන ලද එෆ් ශ්‍රේණිගත’ යනුවෙන් වන වර්ගීකරණයක් ජාත්‍යන්තර සිවිල් ගුවන් සංවිධානය හෝ එවැනි වෙනත් කිසිදු ගුවන් සංවිධානයක් මෙතෙක් හඳුනාගෙන නොමැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top