15976 BM WEB BANNER 01
Aug 07, 2017

ශ්‍රීලංකන් ගුවන් සමාගමට විශිෂ්ට ජයක්

ගෝලීය පියාසර දත්ත ලබාගන්නා Flightstats.com විසින් සිදු කළ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව , ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම වසරේ පළමු මාස හය තුළ අනිකුත් සමාගම් සමඟ සැසඳීමේ දී ස්ථාවර විශිෂ්ට තත්ත්වයේ කාර්ය සාධනයක් වාර්තා කර ඇත.

ඒ අනුව ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කරන ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සමාගම් 40 අතරින් 5 වන ස්ථානයට පත්වීමට ශ්‍රීලංකන් ගුවන් සමාගමට හැකියාව ලැබී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේ මෙම ජයග්‍රහණය නිසා පාරිභෝගිකයින්ට වාසි බොහෝමයක් අත්වන බවයි.

Flightstats නිරීක්ෂණ අනුව ශ්‍රීලංකන් ගුවන් යානා නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් සිදු කිරීමේ ප්‍රතිශතය 86.49% වන අතර අනෙකුත් ගුවන් සමාගම් 40 හි සාමාන්‍ය ප්‍රතිශතය වන 78.33% හා සැසඳීමේ දී එය ධනාත්මක වර්ධනයකි. මැද පෙරදිග, යුරෝපය, ඈත පෙරදිග, ඕස්ට්‍රේලියාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව සහ දකුණු ආසියාව වැනි ප්‍රධාන පෙලේ ගුවන් සේවා බොහොමයක් එයට ඇතුළත් වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෑතකදී ලෝක සංචාරක සම්මාන උළෙලේ දී "ඉන්දියන් සාගර කලාපයේ මෙහෙයුම් කටයුතු සඳහා ලොව ප්‍රමුඛතම ගුවන් සේවය" සඳහා සම්මාන රැසක් දිනා ගෙන ඇත.

එම සමාගම සිංගප්පූරුවේ දී පැවැත්වූ 2016 Future Travel Experience Asia සම්මාන උළෙලේ දී මධ්‍යම සහ දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම සමස්ත සේවා සපයන ගුවන් සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.
 
තවද ගුවන් සමාගම විසින් අතිනවීන එයාර්බස් ගුවන් යානා වන A320neo, A321neo සහ A330-300 මෙහෙයුම් සිදුකිරිම සඳහා යොඳවා ඇති අතර සංචාරකයින්ට නවමු ගුවන් ගමනක අත්දැකීම ලබාදීමට ද ගුවන් සමාගම කටයුතු කර ඇත.

ශ්‍රී ලංකන් ගෝලීය ගුවන් ගමන් ජාලය රටවල් 47 ගමනාන්ත 104 දක්වා ව්‍යාප්ත වී ඇති අතර  වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් ගමන් ජාලයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් ශ්‍රීලංකන් ගුවන් මගීන්ට වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හා එක්ව රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ගුවන් ගමන් සිදුකිරීමේ අවස්ථාව හිමිවී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top