Sep 11, 2017

Huawei, Apple අභිබවා යයි

ජාත්‍යන්තර ජංගම දුරකථන අලෙවියේ ජුනි හා ජුලි මාස වලදී ඉහළ අලෙවියක් පෙන්නුම් කරමින්  Huawei  සන්නාමය  Apple සන්නාමය අභිබවා ගොස් ඇතැයි Counterpoint’s Market Pulse විසින් 2017  ජුලි මාසයේ නිකුත් කළ වාර්තාවල දැක්වෙයි.

Huawei අගෝස්තු මාසයේ අලෙවිය ද මේ වනවිට කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බැවින් එම මාසයේ අලෙවිය ද පෙර මාසවලදී  මෙන් ඉහළ අගයක් ගන්නේ නම් අඛණ්ඩව මාස 3ක් අලෙවි වර්ධනයක් පෙන්නුම් කරමින් ජාත්‍යන්තර වෙළඳ පළ තුළ hat-trick අවස්ථාවක් Huawei විසින් නිර්මාණය කරනු ඇත.

මෙම තරඟකාරී වර්ධනය පිළිබඳව සාකච්ඡාවකට එක්වූ Counterpoint හි සමීක්ෂණ අධ්‍යක්ෂ පීටර් රිචඩ්සන් සදහන් කර ඇත්තේ මෙම තත්වය ජාත්‍යන්තරය තුළ අඛණ්ඩව වර්ධනය වෙමින් ඇති  විශාලතම චීන ජංගම දුරකථන සන්නාමය වන Huawei හි  සුවිශේෂි අවස්ථාවක් බවයි. ජංගම දුරකථන පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින්  කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයේ දිගු දුරක් ගමන් කිරීමට Huawei සමත් වී ඇති බව ද හෙතෙම සඳහන් කර තිබේ. සමීක්ෂණ හා සංවර්ධන සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීම, අනගි අලෙවි සැලසුම්, අලෙවි නාලිකා වර්ධනය ආදී ක්‍රමෝපාය ඔස්සේ Huawei විසින් ජාත්‍යන්තර ඉලක්ක සපුරා ගෙන ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

තවදුරටත් අදහස් දක්වා ඇති පීටර් රිචඩ්සන්  මහතා සඳහන් කර ඇත්තේ, මෙම  තත්වය තාවකාලික එකක් විය හැකි වුව ද, ජාත්‍යන්තර වෙළඳ පළ තුළ ස්ථාවරව සිටි iPhone අභිබවා යාම මෙහිදී විශේෂ තත්වයක් බවයි. මෙතක් පැවැති තත්වයට අනුව Huawei කොතරම් වර්ධනය වුව ද iPhone සිය ස්ථාවරය රැකගැනීමට සමත්ව සිටි බවද හෙතෙම පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් දකුණු ආසියානු, ඉන්දියානු, උතුරු ඇමෙරිකානු, වෙළද පළ තුළ මද පසුබෑමක් පෙන්නුම් කළ ද ජාත්‍යන්තර වශයෙන් ගත් කළ ලොව ප්‍රථම තැන හිමිකරගෙන සිටින SAMSUNG සන්නාමයට පසුව දෙවන ස්ථානයට Huawei සන්නාමය පත්ව ඇති බවද ඒ මහතා සඳහන් කළේය. සිය මව් බිම වන චීනය මත පමණක් පදනම් වී නැති Huawei යුරෝපය, ලතින් ඇමරිකාව,සහ මැදපෙරදිග  ආදී වෙළඳ පළ තුළ ද ප්‍රමුඛයා ලෙස කටයුතු කරයි.

Counterpoint Technology Market Research යනු ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් වන අතර TMT කර්මාන්තය තුළ තාක්ෂණික නිෂ්පාදන සම්බන්ධයෙන් සමීක්ෂණ පවත්වන ප්‍රමුඛතම ආයතනයකි. ප්‍රමුඛතම තාක්ෂණික සමාගම්, මූල්‍ය ආයතන, සහ අනිකුත් වශයෙන් සමාගම් රැසකට Counterpoint Technology Market Research සිය සේවා සපයනු ලබයි. ජංගම දුරකථන සහ තාක්ෂණික වෙළද පළ තුල මාසික වාර්තා, සුවිශේෂි ව්‍යාපෘති,  සවිස්තරාත්මක අධීක්ෂණ කටයුතු මෙහෙයවන මෙම සමාගම  වසර 13 ක් තිස්සේ ක්‍රියාත්මක වන ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සැදුම් ලත් අධික්ෂණ ආයතනයකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top