Oct 05, 2017

Big Bad Wolf පොත් අලෙවිය මෙරටට (ඡායා)

ලොව විශාලතම පොත් අලෙවිය වන Big Bad Wolf පොත් අලෙවිය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ඊයේ (04) ආරම්භ විය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්ව සිටි අතර, මෙම අවස්ථාව සඳහා  Big Bad Wolf Books  නිර්මාතෘ සහ කළමණාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ යැප් මහතා, සම නිර්මාතෘ ජැකලින්, ProRead Lanka (Pvt) Ltd හි අධ්‍යක්ෂ නිශාන් වාසලතන්ත්‍රී ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද එක්විය.

මෙම පොත් අලෙවියෙහි විශේෂත්වය වන්නේ එය පැය 24 පුරාම විවෘතව පැවතීමයි. පොත් පත් පරිශීලනය කරන්නන්ට නොනැවතී එක දිගට දින 11 ක් තිස්සේ පොත් පත් මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙයි. මෙම පොත් අලෙවිය පැය 255ක්  විවෘතව තැබීමට නියමිතය. මෙම නිසා ඕනෑම වයසක පසුවන්නකුට සිය කැමැත්ත පරිදි පොත් තෝරා ගැනීම සඳහා කාලය ගැටළුවක් නොවනු ඇත. නවතම ඉංග්‍රීසි පොතපත සඳහා 60% සිට 80% දක්වා විශේෂ වට්ටම් මෙහිදී ලබාගත හැකිය. උසස් තත්වයේ නවතම ඉංග්‍රිසි පොත් පත් රැසක් මෙහිදී අලෙවි කීරිමට අපේක්ෂිතය.  අඩු මිලකට හොඳ පොත් පත් මිලට ගැනීමට පාඨකයාට අවස්ථාව සැලසීමේ අරමුණ ඇතිව මෙම පොත් අලෙවිය  ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලාංකිකයන් තුළ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සහ පොත පත කියවීමේ වටිනාකම ප්‍රචලිත කිරීම ද මෙහි තවත් අපේක්ෂාවකි.

විවිධ පොත පත රැසක් එකම වහලක් යටදී අඩුම මිලකට මිලදී ගැනීමට ලැබෙන හොඳම අවස්ථාව ලෙස මෙම අවස්ථාව හැදින්විය හැකිය.  ලොව පුරා අතිශය ජනප්‍රිය ඉංග්‍රීසි පොත් 20000ක් ද ඇතුළුව  විවිධ ෂානරයන්ගෙන් යුත්  මිලියන 1.5 කට අධික පොත්පත් ප්‍රමාණයක් මෙහිදී අලෙවි කෙරේ.  චරිත කථා, ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන, සාහිත්‍ය, ඉවුම් පිහුම්, ළමා පොත් වැනි කුඩා පොත පත සහ දෙමව්පියන්ට, ගුරුවරුන්ට සහ ළමයින්ට වැදගත් වන අධ්‍යාපනික පොත පත ද ඒ අතර වෙයි.  ඉතා දුර්ලභ සීමිත පිටපත් සංඛ්‍යාවලින් යුතු පොතපත එකතු කරන්නන්ට ද මෙම අවස්ථාව කදිම අවස්ථාවකි. දේශීය පොතපත අලෙවි කරුවන්ටද මෙම අලෙවියෙහි අවකාශයක් වෙන් කර දී ඇති අතර DVD සහ  Blu-Ray චිත්‍රපට මිලදී ගැනීමටද මෙහිදී අවස්ථාව සැලසෙයි.

වසර 2009 දී  මැලේසියාවේ  සේලන්ගර් හි Dataran Hamodal  හි දී ඇරඹි මෙම Big Bad Wolf පොත් අලෙවිය ඉතා කෙටි කලක් තුළ අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ සංකල්පයකි.කෙටි කාලයක් තුළ අසල්වැසි රටවල් වන ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල් වෙත මෙම Big Bad Wolf පොත් අලෙවිය  ව්‍යාප්ත වූ අතර ශ්‍රී ලංකාව මෙම දැවැන්ත පොත් අලෙවිය පවත්වන  හතරවන රට ය.

https://www.bigbadwolfbooks.com/lk/register/english යොමුව ඔස්සේ Big Bad Wolf Book Sale හි නිල වෙබ් අඩවියට පිවිසීමෙන් Wolf Pack සමාජිකත්වය හා ලියාපදිංචි වී මෙම පොත් අලෙවියේ දී විශේෂ වරප්‍රසාද ලබාගත හැකිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top