Nov 14, 2017

විද්‍යුත් වාහන වලට චාර්ජින් පොයින්ට් 63ක්!

පෞද්ගලික අංශයේ සහය ඇතිව විද්‍යුත් වාහන ආරෝපණය කිරීමට අවශ්‍ය මධ්‍යස්ථාන (charging points) 63ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට රජය සූදානම් වේ.
 
ඒ වසර 2018 සඳහා පසුගිය සතියේදී ඉදිරිපත් කෙරුණු නීල හරිත අයවැයේ යෝජනාවක් අනුවය.
 
මෙරට තුළ ඉන්ධන දහනය කරන වාහන වෙනුවට විද්‍යුත් මෝටර් රථ හා ත්‍රීරෝද රථ ප්‍රවර්ධනය කිරීමේ අදහසින් මෙම පියවර ක්‍රියාත්මක කෙරේ.
 
වසර 2014 සිට මේ දක්වා මෙරට ධාවනය වන විද්‍යුත් වාහන ප්‍රමාණය 90 සිට 4000 දක්වා වර්ධනය වී තිබේ.
 
මේ වන විට ප්‍රධාන නගර තුළ හෝ ආසන්නව ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන 50ක් පමණ පිහිටුවා ඇත.
 
මෙම පියවර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ සංගම් විසින් කනස්සල්ල පළ කර තිබුණද, මුදල් අමාත්‍යංශයේ ජේ‍යෂ්ට නිලධාරියෙකු පවසන්නේ මේ වන විට ඉන්ධන දහනය කිරීමෙන් ධාවනය වන ත්‍රීරෝද රථ සියල්ලම එකවර ඉවත් කර ත්‍රීරෝද රථ හිමියන් මිලියන 1.5ක් අපහසුතාවයට පත්කිරීම රජයේ අදහස් නොවන බවයි.
 
වඩාත් වාසිදායක ලීසිං පහසුකම් ලබාදෙමින් විද්‍යුත් ත්‍රීරෝද රථ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට ක්‍රමානුකූලව හඳුන්වාදීම රජයේ අරමුණ බව හෙතෙම පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top