15976 BM WEB BANNER 01
Dec 05, 2017

2015න් පසුව මෙරට ලොකුම කොටස් නිකුතුවට LEF සැරසෙයි

ප්‍රමුඛතම බලශක්ති සමාගමක් සහ Lanka Ventures හි අනුබද්ධිත සමාගමක් වන LVL Energy Fund Limited (LEF) විසින් රුපියල් බිලියන 1.2ක වටිනා මූලික කොටස් නිකුතුව (Initial Public Offering – IPO) ඊයේ (04) ප්‍රකාශයට පත්කරන ලදී.

මෙම මූලික කොටස් නිකුතුවේ ප්‍රධාන අරමුණ ලෙස සමාගම පෙන්වා දෙන්නේ, තිරසර බලශක්ති ක්ෂේත්‍රය තුළ ක්‍රමෝපායික වර්ධනයක් සහ ව්‍යාප්තියක් හිමිකර ගැනීම සඳහා ආයෝජනය කිරීමයි.

වසර 2015 පටන් සිදු කරන ලද කොටස් නිකුත් කිරීම් හා සසඳන කළ මෙතෙක් සිදු කරන ලද දැවැන්තම කොටස් නිකුතුව මෙයයි.

කොටසක මිල රු. 10ක වටිනාකමින් යුතු කොටස් මිලියන 120ක් නිකුත් කරන ලද අතර එමගින් මුළු වටිනාකම රුපියල් බිලියන 1.2ක අරමුදලක් හිමිකර ගැනීමට අපේක්‍ෂිතය. මෙම කොටස් නිකුතුවේ මිල විමර්ෂණය කරන ලද්දේ සහ තහවුරු කරන ලද්දේ ස්වාධීන තක්සේරුකරණ ආයතනයක් වන Capital Alliance Partners Limited විසිනි. ඒ සඳහා ඔවුන් SOTP (Some of the Parts) සහ PE (Price Earning) තක්සේරු කිරීම්හි එකතුවක් භාවිත කරන ලදී. SOPT තක්සේරුකරණ ක්‍රමවේදයට සහ PE පදනම් කරගත් කක්‍රමවේදයට අනුව ස්වාධීන තක්සේරුකරුවන් විසින් එක් කොටසක් සඳහා රුපියල් 13.18ක අගයක් නිර්ණය කරන ලද අතර ඊට අමතරව සිදු කල SOTP (Some of the Parts) විශ්ලේෂණයකට අනුව එක් කොටසක් සඳහා වන අවම අගය සහ උපරිම වටිනාකම රුපියල් 10.60 සිට 16.62 දක්වා විය යුතු බව නිර්දේශ කෙරුණි. රුපියල් 13.18ක වටිනාකම මත පදනම්ව කොටසක් පිරිනමනු ලබන අගය වන රුපියල් 10ක මුදල 24%ක වට්ටමක් සහිතව හිමිවන බැවින් ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු වඩාත් සක්‍රීය භාවයක් ගැනීමට එය ඉවහල් වනු ඇත.

සමාගමේ IPO නිකුතුව පිළිබඳව අදහස් දක්වමින් LVL Energy Fund Limited හි ප්‍රධාන විධායක නිලධාරී සුමිත් අරන්ගල මහතා පවසා සිටියේ, ”LVL Energy Fund හි කොටස් නිකුතුව පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට හැකිවීම පිළිබඳව අප ඉතාම සතුටට පත්වනවා. එමගින් රැස් කරගැනීමට අපේක්‍ෂිත රුපියල් බිලියන 1.2ක මුදල ඉදිරි වසරවලදී අපගේ ක්‍රමෝපායික වර්ධන සැලසුම්වල අවශ්‍යම කොටසක් වන සුවිශේෂී ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට අපට අවස්ථාව හිමිකර දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. 2015 වසරේ පෙබරවාරි පටන් මෙතෙක් ශ්‍රී ලංකාව තුළ නිකුත් කරන ලද දැවැන්තම කොටස් නිකුතුව මෙයයි. එසේම, ශ්‍රී ලංකාව තුළ උදාවෙමින් පවතින නවයුගයේ දී රටට අවශ්‍ය ජාතික ආර්ථිකයේ සහ සංවර්ධනයේ පාර්ශ්වකරුවකු වීම අපගේ බලාපොරොත්තුවයි. LVL Energy Fund විසින් සැමවිටම අපගේ වටිනා කොටස්කරුවන් වෙනුවෙන් ඉහළ ලාභාංශ අත්පත් කර දී තිබෙනවා. එමෙන්ම, සමස්ත ව්‍යාපාරික ප්‍රජාව විසින් අප කෙරෙහි තැබූ විශ්වාසය සහ පැහැදීම පිළිබඳව අපගේ අවංක ස්තුතිය පිරිනමනවා. ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛතම සහ වැඩිම විවිධත්වයකින් යුතු සමාගම ලෙස ශක්තිමත් වීම සඳහා මෙන්ම එම ක්ෂේත්‍රය හා අදාළව කලාපීය වශයෙන් අපගේ ඉදිරි පියවර සාර්ථකව තැබීමට අවශ්‍ය මාවත ගොඩනැංවීම සඳහා මෙම කොටස් නිකුතුව කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා.”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top