Dec 06, 2016

'උසාවිය නිහඬයි' ! වුණේ මොකක්ද?

මිනිස් ඉතිහාසය ලිවීමේදී තොරතුරු, විශ්වාසය හා බල ව්‍යාපෘති අතර ඇත්තේ ප්‍රතිවිරෝධාත්මක සම්බන්ධයකි. ඉතිහාසය නියත ලෙස පක්ෂපාතිය. තොරතුරුද පක්ෂපාතී ය. ලියන්නවුන්ද නිත්‍ය ලෙස පක්ෂපාතී ය. තොරතුරුද පක්ෂපාතී ය. සිදුවී හමාර වූ සිදුවීමක තොරතුරුවල පරමත්වයකට කිසිවකුට යළි ඇතුළු විය නොහැක. ඒ අරුතින් අපි ඒ මත ගොඩනගන ස්ථාවර වනාහී ම නෛසර්ගික පාරභෞතික මානයකි. ඊනියා පරම සත්‍ය යනු ශිෂ්ටාචාරයේ පරම මිත්‍යාවකි. අයෙක් සිදුවීමකට ඇතුළු වීමේදී වඩා තීරණාත්මක සාධකය වන්නේ ඇතුලුවන්නගේ සත්‍යවාදීත්වයේ ස්ථානගතවීමයි. මෙය දැන් අපබ්‍රන්සයකි. 'සත්‍යවාදීත්වය' කියන්නේම මොකක්ද' කියන හිස්ටරික ප්‍රශ්නය දැන් අයෙකුට අසන්න පුළුවන. සත්‍යවාදීත්වය විමසීමේ බහුවිධ මාන විමසීමට අපි ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'උසාවිය නිහඬයි' (Silence of the Courts - 2016) චිත්‍රපටියට යොමු වෙමු.

ප්‍රසන්නගේ මෙම චිත්‍රපටිය හුදු චිත්‍රපටියකින් ඔබ්බට ගිය සිදුවීමකි (Event). සිදුවීමේ මුල් කර්තෘත්වය රාවය හිටපු කතෘ වික්ටර් අයිවන්ගේ ය. බටහිර දර්ශනයට අනුව 'සිදුවීමක්' යනු යමක් සිදුවනවිට ඒ තුළ සිදුවන්නේ කුමක්දැයි සිතීමේ පද්ධතියයි. එය එම සිද්ධීන් පිළිබඳ අපගේ හුදු සිතිවිලි වැපිරීමක් නොව, සිදුවීමක් තුළින් පද්ධතියකට ඇතිකරවන ආචරණය, බලපෑම කෙවැනිදැයි විමසීමකි. එවැන්නකට අප ඇතුළු වූ වහාම දැනට අපි පහසුවෙන් අර්ථකථනය කරගෙන සිටිනා සදාචාරාත්මක හෝ ආචාර ධාර්මික ස්ථාවර අතහැර දාන්නට සිදු වේ. මෙතනදි නම් චිත්‍රපටියට අදාළව 'සිදුවීමක්' සංකල්පීය කරාය ලෙස මම අදහස් කරන්නේ 'උසාවිය නිහඬයි'  චිත්‍රපටිය හරහා අථිවූ සිද්ධි දාමය පමණක් නොවේ. එම සිධුවීම් හරහාම සිදුවීම් ස්ථානගත කරන්නට යනවිට අපිට සිදුවීම්ගන සිතන්නට වීමම සමාජය ප්‍රති අර්ථකථනය වීමකි. ලාංකික කලාත්මක ලෝකය සලකන විට ඉතා දුලභ සිදුවීමක් ලෙස හඳුනාගතහැකි මෙය, පීඩනයක් සහිත කලාපයකට ප්‍රසන්නගේ චිත්‍රපටිය හරහා අපව ඇදදමා ඇත.

prasanna vithanage croppedවාර්තාවක දේශපාලනය

වාර්තා චිත්‍රපටියක් හා වෘතාන්ත චිත්‍රපටියක් කියන ශානර දෙක අතර බෙදුම් රේඛාව දියවී ගොස් හමාර ය. වාර්තා චිත්‍රපටි කියන ප්‍රවර්ගය ගත්තත් ඒ තුළ කොතෙකුත් උප ප්‍රවර්ග හඳුනාගත හැක. උදාහරණයකට ඉරාන ජාතික අබ්බාස් කියරෝස්තාමිගේ 'Close Up' (1990) වැනි චිත්‍රපටියක් මේ බෙදීම පූර්ණ ලෙස උල්ලංඝනය කර ඇත. සරලව කිව්වොත් ඊනියා සැබෑ ජීවිතේදී අපි කොතෙකුත් රඟපෑම් කරමු. එවැනි රඟපෑමක් චිත්‍රපටියකදී රඟපෑවහොත් 'රඟපෑම' ද්වීගුණ වේ. යථාර්ථවත් හෝ වාස්තවික හා තත්‍යසම හෝ ප්‍රබන්ධ ලෝකය කියලා අපි හඳුනාගන්න ලෝක අතර සම්මිශ්‍රණය ප්‍රතිනිර්මාණය කරනා දියුණුතම මාධ්‍ය බවට සිනමාව පත්වී හමාර ය. එවැනි තත්ත්වයකදී වාර්තා සිනමාව තොරතුරු වාර්තාකරණයට සීමා නොවී බහුදිශානත සංජානන මාදිලි ඒ තුළට ගිල්වාගෙන ඇත.   

අවාසනාවකට වාර්තා සිනමාව යනු ලංකාව තුළ ඉතා නිෂ්ක්‍රීය පැවැත්මක් ඇති කලා අංගයකි. එක අතකින් පරම්පරා ගණනාවකට වාර්තා සිනමාව ලෙස පත්තියම් වී ඇත්තේ රජයේ චිත්‍රපටි අංශයෙන් (GFU) නිර්මාණිත උපදේශනාත්මක හා සංචාරක ප්‍රවර්ධන වාර්තා චිත්‍රපටි පමණි. අනෙක් පසින් ඇත්තේ බහුතර ලිබරල් දෘෂ්ටි කෝණයකින් සමාජ ගැටළු දෙස බලනා රාජ්‍ය නොවන සංවිධාන මගින් නිෂ්පාදිත චිත්‍රපටි ය. මෙම අන්ත දෙකටම අයත් නොවන ස්වාධීන හෝ දේශපාලන ප්‍රවාද රැගත් වාර්තා සිනමාවක් ලංකාවේ දක්නට නැත. ලංකාවේ වාර්තා සිනමාව යනු බැසිල් රයිට්ගේ (රාජපක්ෂ නොවේ !) Song of Ceylon (1934) වලින් ආරම්භවී එයින්ම පරමත්වයට පත්ව එයින්ම අවසාන වන්නකි. ලංකාව ඉතා නිර්මාණශීලිව ග්‍රහණය කළ වාර්තා චිත්‍රපටි තුනක් අධ්‍යක්ෂණය කළ ශරෝන් බාටන්ගේ කෘති හෝ අවම වශයෙන් ප්‍රමාණාත්මකව සාකච්ඡා වී නැත. මීට අමතරව විටින් විට නිර්මාණශීලී කෙටි චිත්‍රපටි පමණක් දැකගත හැකි අතර වරුණි අනුරුද්ධිකා මෑතකාලීනව අවධානය දිනා ගත් නිර්මාණකාරිනියකි. ලංකාවේ සමස්ත වාර්තා චිත්‍රපටි ඉතිහාසය ගත්ත ද ප්‍රසන්නගේ 'උසාවිය නිහඬයි' යනු ඛන්ඩනයකි. ප්‍රථම වරට ලංකාවේ සිනමා ශාලාවල ලංකාවේ වාර්තා චිත්‍රපටියක් වාණිජ වශයෙන් තිරගත වීමම එක කරුණකි. ඒ කර්මාන්තමය සාධකයක් ලෙසිනි.

කලාවේ ඥානවිභාගාත්මක හා සද්භාවාත්මක පැවැත්ම සලකන විටද 'උසාවිය නිහඬයි' චිත්‍රපටියේ සිදුවීම තීරණාත්මක ය. එය ආරම්භ වූයේ වික්ටර් අයිවන්ගේ 'නොනිමි අරගලයෙ' නි. දේශපාලන චින්තකයෙක් ලෙස ඉතා දිළිඳු, අස්ථාවර, සරලමතික ඉතිහාසයකට හිමිකම් කියන අයිවන් සිය ජීවිතයේ සිදුකළ තීරණාත්මකම ක්‍රියාව අධිකරණ පද්ධතිය හා කළ අරගලයයි. මෙහිදී ඔහු අතින් සිදු වූ තීරණාත්මකම සාධකය වන්නේ සමාජය හමුවේ රාජ්‍ය විසින් 'සත්‍ය' ආයතනගත කර ඇති ආකෘතියේ අධිපති දෘෂ්ටිවාදය පූර්ණ ලෙස අභියෝගයට ලක් කිරීම ය. කුමන දේශපාලන ප්‍රතිවිරෝධතා තිබුනද වික්ටර්ගේ අරගලයට මම ආචාර කරමි. එය සැබවින්ම අරගලයකි. ඔහුව අභිබවා ගිය දේශපාලන ව්‍යාපාරයක් නිමවන තුරු වික්ටර් වැන්නකුගේ අරගල විසින් සමාජයේ අවම අරගල අනු ශක්තිමත්ව පවත්වාගෙන ඇත.

ලංකාව වැනි දුර්වල සිවිල් සමාජයක් ඇති රටක වික්ටර් වැන්නන්ට සමාජ කාර්යභාරයක් ඉතිරිව තිබේ. මධ්‍යම පන්තිකයන් තුෙළ පවා රාජ්‍ය මතවාදී උපකරණ හා එහි ආයතනික පද්ධතිය ගැන ඇත්තේ සදාචාරාත්මක silence in the courts cropped 1අදහස් ය. ඔවුන්ගේ පරම විමර්ශකය ආයතනයයි. ඒ අයට කිසිසේත් එහි සාරාත්මක යටිබඩ හමු නොවේ. ඒ නිසාවෙන් ආරම්භයක් ලෙස මෙම පාරභෞතික බිඳ හෙලීමම තීරණාත්මක ය. නමුත් තොරතුරු හෙළිදරව් කිරීමම මිනිසුන්ව දේශපාලනීකරණය කරන්නේ නැත." මම දන්නවා රාජ්‍ය පිරිහිලා කියල. මොනවා කරන්නද ඉතින්? ඔක්කොම හොරු තමා! " මේ ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන චින්තනයේ දිග පළල සලකුණු වන පරම දැනුමේ සීමාව ය. නමුත් වික්ටර් හා ප්‍රසන්න දෙදෙනාම මින් අඩියක් ඉදිරියට තබා ඇත. ඔවුන් පද්ධතිය මැද්දට පන කරදර කරන්නට පටන්ගෙන තිබේ. ඇතැම් තොරතුරු හෙළිදරව් වී පද්ධතියේ බල ව්‍යුහ අභියෝගයට ලක් වීමම දිගුකාලීන අරගල භූමියකට වඩා ප්‍රයෝජනවත් ය. උදාහරණයකට  'උසාවිය නිහඬයි' හා 'නොනිමි අරගලය' කෘතියේ අන්තර්ගත සිදුවීම් මාලාවේ විස්තර වන අධිකරණ පද්ධතිය තුළ සිදුවන අශ්ලීල බල ව්‍යුහ ස්ථාවර වීමට එරෙහිව සමාජ බලවේගයක් ගොඩනැගීමට මොවුහු සමත් වූහ.

වැදගත්ම කරුණ නම් අධිකරණය යනු තවත් එක් සමාජ ඒකකයක් පමණක් බවත්, සිවිල් පුරවැසියන්ට එය දූෂිත තත්ත්වවලදී අභියෝගයට පැමිණවීමට හැකි බවත් අවම වශයෙන් මේ හරහා ඒත්තු ගැන්වීමයි. එනම් යුක්තිය ආයතන හමුවේ එහි සීමාවන්ට යටත් විය යුතුද යන්නෙහි සත්‍යවාදීත්වය විමසීමයි. එසේ නොවනා විට සත්‍යවාදී වීම යනු එම ආයතනවලට විකල්පව සත්‍යවාදීත්වය සංවිධානය කිරීම ය. ඒ අනුව  'උසාවිය නිහඬයි' චිත්‍රපටිය ප්‍රදර්ශනය වීමම යනු විකල්ප සත්‍යයේ ආරම්භක ජයග්‍රහණයකි. සිදුවීමක් ලෙස  'උසාවිය නිහඬයි' දක්වා වූ අයිවන්ගේ අරගලය 2016 වනවිට බල කේන්ද්‍ර ගණනක් මැද ස්ථානගත වූ අයුරු විශ්මයජනක ය. මේ සිදුවීම් මාලාවේ එක කෙළවරක් යහපාලන ආණ්ඩුව අස්සේ සිටිනා චන්ද්‍රික බණ්ඩාරනායකට සම්බන්ධ ය. එහි අනෙක් කෙලවර රාජපක්ෂවාදී ඒකාබද්ධ විපක්ෂ නඩයේ සරත්. එන්.සිල්වාට සම්බන්ධ ය. එමනිසාවෙන්ම මෙම චිත්‍රපටිය පවතින බලරටාවේ බල කේන්ද්‍ර දෙකකින්ම ගිලිහී යයි. කිසිවෙකුටත් මෙම සිදුවීම බාල අවියක් ලෙස භාවිත කළ නොහැකි විය. චිත්‍රපටිය ගැන අධික සීතල නිහැඬියාවද මේ ව්‍යුහයේම ප්‍රතිඵලයකි.

පැල තවාන් හා ප්‍රසන්න              

පොදු සමාජ අරගලවලට ලංකාවේදී ලැබෙන සහයෝගයේ දිග පළලද මේ සිදුවීමේදී එළිදරව් වූ තවත් වැදගත් මානයකි. මධ්‍යම පාන්තික සිවිල් බුද්ධිමත් මහත්ම මහත්මීන්ගේ අංග බේරාගෙන බුද්ධිමතුන් වීමේ තර්ක ගණනාවක් චිත්‍රපටියටත් අයිවන්ටත් එරෙහිව තටමමින්, තම තමන්ගේ ගැඹුරු දේශපාලන ස්ථාවර එළිදරව් කර ඇත. ඒවා කිහිපයක් අපි බලමු. ඉන් එක විවේචනයක් නම් වැරදිකරුවෙකු ලෙස ඔප්පු වී නැති ලෙනින් රත්නායක සම්බන්ධයෙන් මෙවැන්නක් නිර්මාණය කිරීම මොනතරම් සදාචාර සම්පන්නද යන්නයි. චිත්‍රපටියේ පැහැදිලිව සඳහන් වන්නේ එක පාර්ශවයක් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ වගයි. මොවුන්ට අනුව අයෙක් වාර්තා චිත්‍රපටියක් කළ හැක්කේ යමක් ඔප්පු වූ විට පමණි. එසේනම් ඒවා නඩු තීන්දු ගැන පමණක් විය යුතු ය. ලෝකයේම බොහොමයක් විශිෂ්ට වාර්තා චිත්‍රපටි යනු ඔප්පු වූ කාරණාදැයි අප ඒ මහත්ම මහත්මීන්ගෙන් විමසිය යුතු සරල කාරණයයි. පඩි ලබන ස්ත්‍රීවාදීනියන්ගේ සිට විප්ලවීය විකල්ප මහත්වරු දක්වා අය හිටිහැටියේ පුංචි පැල තවාන්  දාගෙන ඇත. ඒවායේ වල් පැලෑටි හා මල් පැල අතර වෙනස මේ අය දාර්ශනීකරණය කරමින් සිටිති. පොඩි ළමයින්ට පොඩි ළමයින්ගේ භාෂාවෙන් පිළිතුරු ලබාදිය යුතු ය.

තවත් ගැඹුරු අදහසක් වන්නේ මෙම ගැහැණිය අවිඥඥනිකව සිය කැමැත්තෙන් දූෂණය වූවා වෙන්න බැරිද යන මර්වින් සිල්වාකරණය වූ මනෝ විද්‍යාව ය. ඔවුන් අලුතෙන් සොයාගත්තා වූ මෙම ගැටලුව අවාසනාවකට අයිවන් චිත්‍රපටියේ ඔවුන්ට ප්‍රථම සැක පහළ කර ඇත. අයිවන් රාජ්‍යයට නාභිගතව පද්ධතියක ගැටලුව විමසන විට මහත්ම මහත්මීන් ගැහැනියගේ කුස තුළ සත්‍යයක් සෙවීමේ අවිඥානය අප වටහා ගන්නේ කෙසේද? සමාජ පද්ධතීන් කෙළවරකට පිරිහී විනාශ වී ගිය තත්ත්ව යටතේද අන් අයට වෙනස් අදහසක් කියන්නට දත කමින් අන් අයගේ මළමිනී මතින් හෝ තමන්ගේ නාසිස්මික අනන්‍යතාව සමග නිදිවදින ග්‍රාමීය නෝනා මහත්වරුන්ට වඩා අයිවන් ගව් ගණනක් ඉදිරියෙන් සිටිනා බව පමණක් අපි දැනට සටහන් කරමු. සෙසු යට මගේ යෝජනාව ඉන්දියානු ජාතික අනිරුද්ධ රෝයි අධ්‍යක්ෂණය කල Pink (2016) චිත්‍රපටියයි. ඉන්දියාවේ මෑතකාලීනව නැග ආ පහළ පන්තික ස්ත්‍රීන් හින්සනීය ලෙස දූෂණය කිරීමේ සමාජ අර්බුදය සිනමාකරුවා විසින් මධ්‍යම පන්තියට විතැන් කොට ඇත. චිත්‍රපටියේ කතා පුවත පදනම් වන්නේ තරුණියකට බලහත්කාරකමක් කළ තරුණයෙකුට ඇය එල්ල කරන ප්‍රහාරයෙන් පසු සිදුවීම් මාලවකිනි. චිත්‍රපටිය පදනම් වන්නේ ගැහැනියක් 'එපා' (No) යයි කී විට එය පිරිමින් ස්ත්‍රීන්ගේ වසඟයේ කොටසක් ලෙසින් කියවා ඇය වෙත කරනා බලපෑම් සහගත ලිංගික ආරාධනයයි.  Pink ශේෂ කරනා ගැටලුව සරල නැත. එක අතකින් ස්ත්‍රී/ පුරුෂ සම්බන්ධතාවල ආශාවේ දිශානතිය ගැබ්වී තිබෙන්නේම මෙවැනි ප්‍රමාද කිරීම්, විරුද්ධ වීම්, නොතකා හැරීම් සම්මිශ්‍රිතාව මතය. එවිට සැබෑ 'එපා' කීමක් හා වසඟකාරී 'එපා' කීමක් අතර වෙනස සලකුණු කළ හැක්කේ කෙසේද? ගැහැණිය ඕනෑම වෙලාවක කරනා එපා කීමක් යනු රහසිගත ආරාධනයක්ද?

silence in the courts cropped 2අපි මේ ලිවීමේ මුලට යමු. අපි තොරතුරු, විශ්වාසය හා බල පද්ධති අතර අරගලයකින් සත්‍යවාදීත්වය විමසීම පිළිබඳ උත්සාහයක නිරතව සිටිමු. Pink චිත්‍රපටියේ මධ්‍යම පන්තික තරුණියව ද වරෙක උසාවි කූඩුවේ නග්ගවා ඇගේ අත්‍යන්ත පෞද්ගලික ලිංගික අත්දැකීම් සවිස්තරාත්මක විස්තරයක් ඇයගෙම නීතිඥඥයා ඉල්ලා සිටියි. ඇය බරපතල අපහසුතාවයටත් ලජාවටත් පත් වේ. ඇය නඩුව ජයගත යුතුනම් සමාජයේ අධිපති සදාචාරාත්මක මත ගැන ඇය තුළම ඇති විශ්වාසයන් ජයගත යුතු මානයකට ඇද වැටේ. චිත්‍රපටිය සැරිසරන්නේ මෙවන් සිදුවීමකදී ගැහැණිය සම්බන්ධ විශේෂයෙන් ආසියාතික අධිපති මත සමගය. එනම් " එයා බිව්වා....දුහුල් ඇඳුම් ඇඳන් හිටියා...අස්දිහා බැලුවා.....එපා කිව්වා..." වැනි කොතෙකුත් ස්ත්‍රී වසඟයේ සාධකයි. Pink මෙවැනි පෞද්ගලික ගැටළුවක් සමාජ අවකාශයකට ඇද වැටුන විට ස්ථාවර ගැනීමට අදාළ මූලධර්ම, සිනමාත්මකව අභ්‍යාස කරයි. පෘතුගීසි වාමාංශික පක්ෂ නායකයා එරට ධනේශ්වර හමුදා නායකයාව රහසිගත හමුවක් හෙළි වූ විට ඔහු එම හමුව පිළිගනී. ජිජෙක් මෙම ස්ථාවරය මතු කරමින් ලෝක ආර්ථික අර්බුදය විමසන්නේ ආරම්භක මූලධර්මය සත්‍යවාදීත්වය බවයි. බාගෙට දොර අරින ලද නාන කාමරයකට යද්දී කාන්තාවක් නිරුවතින් ඉන්නවා යැයි සිතන්න. අපි පසුව ඇය හා නිදි වැදුනත්, පළමුව කළ යුත්තේ ඇයගෙන් සමාව ඉල්ලීම බව යැයි ජිජෙක් පවසයි. ආශාවේ තර්කනයද එයම ය!

'සිදුවීමක්' ලෙස වික්ටර් / ප්‍රසන්න හවුල තුළ පැහැදිලි දේශපාලන සීමාවක් ඇත. ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටිවාදය වන්නේ පවතින ධනේශ්වර රාජ්‍ය යම් සංශෝධනයන්ට ලක්කොට එය පිරිපහදු කිරීමයි. ධනේශ්වර රාජ්‍යයේ මූලධර්ම මුලිනුපුටා නොදමා එහි සංශෝධන ක්‍රියාත්මක නොවන බවක් අයිවන් විශ්වාස නොකරයි. බුර්ෂුවා රාජ්‍යයේම ගැටලුව විමසීම වෙනුවට ඔහු කොටස් අල්ලා ගනී. නමුත් චිත්‍රපටියේදී ප්‍රසන්න  තුළ සිය භාවිතයේ යම් වෙනසක් මම කියවමි. සෞන්දර්යාත්මකව තරමක් පැරණි ආකෘතියක දුර්වල වාර්තා චිත්‍රපටියක් වූවද කලාත්මක අභ්‍යාසයක් ලෙස ප්‍රසන්න තමාව ජයගෙන ඇති බව මගේ අදහසයි. ඒ කෙසේද? ඔහුගේ කෘති තුළ දේශපාලනය හැමදාමත් පැවතුනේ පසුබිමෙහි ය. ඔහු ආත්මයේ සාරය සොයන්නෙකි. ඒ වගේම සමාජ පැවැත්ම ගැනද ඔහුට බාග සිතක් තිබේ. ඔහුගේ සිනමාවේ මෙය හැමවිටම නිර්මාණය කළේ දේශපාලනික අපගමනයකි. නමුත්   'උසාවිය නිහඬයි' හිදී ඔහු සෘජුවම ගැටලුව තිරයට ගෙන එන්නේ නම් ගම් සහිතව ය. සරල ලෙස පෙනෙනා මෙම තීන්දුව වාර්තා සිනමාවේදී ඔහුව භෞතිකවාදියෙකු කරවා ඇත. ඔහුව රාජ්‍යයට සෘජුව අභිමුඛ වන්නේ මෙම තීන්දුව හරහා ය. දැන් ප්‍රසන්න වික්ටර් බවට රූපාන්තරණය වී තිබේ. ලබන ජනවාරි මාසයේ සිට චිත්‍රපටිය නැවතත් උසාවියේදී වාස්තවිකයක් වීමට ඉඩක් ඇත. චිත්‍රපටිය ශාලා වලින් අහවර වූවද අරගල නොනිමි වනු ඇත. ඒ ඉඩ ඔහු භාවිතා කළහොත් දින්නත් පැරදුනත් ඔහු ලංකාවේ ශ්‍රේෂ්ටතම කලාකරු වනු ඇත. ඒ ඇයි?

අපි හැම වෙලේම කලාවේ සමාජ වගකීම කතා කරමු. අමාරු වන්නේ එය කිරීම බවත් දනිමු. කුමන සෞන්දර්ය දුර්වලතා මධ්‍යයේ වූවද මෙම කෘතිය සමාජයේ යටගසා තිබූ අසාධාරණයක් නැවත ගොඩ ගත්තා පමණක් නොව, ඒ හරහා සමස්ත දේශපාලන පද්ධතියේම රෝග ලක්ෂණයක් භූ ගර්භයෙන් එලියට ඇද දමා ඇත. ලංකාවේ කලා කෘතියක් මෙතරම් දේශපාලනීකරණය වෙනු මා අසා දැක නැත.    

සමාජ නීති පද්ධති තුට්ටුවකට මායිම් නොකරන ආණ්ඩු පත්වන රටක නීතියේ සදාචාරය වෙනුවෙන් පෙනී සිටින්නවුන්ට අපි සුභ පැතිය යුතු ය. ලෙනින්ටත් අයිතියක් තියනවා යයි තැන තැන වල මුමුණන අයට කීමට ඇත්තේ ඒ අයිතිය ඔහුත් දන්නා අතර දැනටමත් ඒ නඩුව අසා නිම වූ බව පමණි. අධිකරණයේ ගෞරවය පිලිබඳ ගැටලුව මේ චිත්‍රපටියෙන් තීරණය වේ නම් චිත්‍රපටි කලාවට අපි වැඩ වඩා ලං විය යුතු වෙමු. Pink චිත්‍රපටියේ මධ්‍යම පාන්තික ස්ත්‍රීන් උසාවි ගියද ලංකාවේ හෝ ඉන්දියාවේ පහල පාන්තික ස්ත්‍රීන් කී දෙනෙකුට ඒ අවස්ථාව ඇතිදැයි මේ ප්‍රශ්න විමසන මහත්වරුන්ට අප මතක් කළ යුතුද? Pink චිත්‍රපටිය පවා සීමා වන්නේ අවදානම් සමාජය පිළිබඳ මධ්‍යම පන්තියට උපදෙස් දෙන දෘෂ්ටිවාදයක ය. පහළ පන්තියට ඇති අවදානම මධ්‍යම පන්තියට ද ඇති බවක් එය සිහි කැඳවයි. පහළ පන්තියේ දෝමනස්සයන්  'උසාවිය නිහඬයි' හිදී රාමුගත වන නිසාවෙන්ම එය විප්ලවවාදී වන්නේ නැත. පන්ති පක්ෂපාතීත්වය යනු දුකට පක්ෂ වීම නොවේ. පන්ති ඒ ඒ සතරවල ගල් ගස්සවීමේ පද්ධතියට අභියෝග වීම වුවද විප්ලවවාදී ය. උසාවි තුළම දූෂනයන්ගේ සිට සියලු මගඩි සිදු වේ නම් ඒ පද්ධති දේශපාලනීකරණය කල යුතු ය.  'උසාවිය නිහඬයි' දැනටමත් එය කර තිබේ.

ලැජ්ජාව දේශපාලන අවියක් ලෙස

චිත්‍රපටියක් ලෙස  'උසාවිය නිහඬයි'  දුර්වලම මානය වන්නේ එය අයිවන් මත යැපීම ය. එම කතා පුවත දිගහරිනවා හැරෙන්නට චිත්‍රපටිය විසින් බිහිකරනා කලාත්මක ඥානයක් නැත. සරලව කිව්වොත් විකටර්ගේ පොත victor ivon croppedකියවූවෙකුට චිත්‍රපටිය පෙනෙනුයේ වඩා කුඩාවට ය. ලෝක සිනමාවේ වාර්තා චිත්‍රපටියක අප දකින ආකාරයේ සිනමාත්මක පර්යේෂණයක් හෝ සිනමාත්මක ආචරණයක්  'උසාවිය නිහඬයි'  චිත්‍රපටිය ගොඩ නගා නැත.

නමුත් චිත්‍රපටියට පාදක වන වස්තු බීජය තුළින්ම තිරගත වීමේ ක්‍රියාවලියේදී පද්ධතිය අභියෝගයට ලක්වීම වැළකිය නොහැක. වික්ටර්ගේ කෘතියට වාරණ නියෝගයක් නොගත් ලෙනින්, චිත්‍රපටියට එරෙහිව එවැන්නක් ගැනීමට උත්සහ කළේ මේ නිසා විය හැක. තොරතුරු සැපයීමම සුවිශේෂී මොහොතක වඩා විප්ලවීය වනු මීට පෙර ද අප දැක ඇත. රාජ්‍ය තවදුරටත් අවම වශයෙන් හෝ ජනතාවක් වෙනුවෙන් නොපවතින බව මෙවන් සිදුවීම් හරහා අත්විඳිය හැක. මේ මොහොතේ ජවිපෙ යම් ජනප්‍රියත්වයක් අත්කරගන්නා හැඩයක් තිබෙන්නේ මෙහිම සරල අර්ථයකිනි. ඒ අරුතින් ජවිපෙ කරන්නේ ජනමාධ්‍යයේ හෝ කලාවේ කාර්යයක් මිස පක්ෂයක ක්‍රියාවක් නොවේ.

වික්ටර් යනු ගවේශනාත්මක පුවත්පත් කලාවේ වචනයේ පරිසමාප්ත අර්ථයයි. කුතුහලය දනවන මානය වන්නේ වික්ටර්ට මෙන්ම ප්‍රසන්නට ද සමාජයෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීම ය. කේවල පුද්ගලයන් ලෙස ඇතමුන්ද, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය හා ස්වාධීන සිනමා එකමුතුව ඇරෙන්නට ඊට සහාය යළි ලැබුනේ 'රාවයෙ'නි. අවම වශයෙන් ලංකාවේ අධ්‍යක්ෂවරුන්ගේ සංසදය කියාගන්නා පිරිසගෙන් මාධ්‍ය නිවේදනයක් හෝ නැත! මේ සියල්ල අපිට ඉඟි කරන්නේ සාමූහික අරගලවල අභියෝගයයි. එනම් මග හැරීමේ අදේශපාලනයයි. විරුද්ධාභාසය වන්නේ මෙවන් සිදුවීම් (ඉන්දියාවේ සමූහ ස්ත්‍රී දූෂණ වල සිට ලෝක ආර්ථික අර්බුදය දක්වා) හරහා සමාජයේ මගහැරීමේ අඩිතාලමේ සීමාවට පැමිණ තිබීමයි. එනම් තවදුරටත් මගහැර යා නොහැකි මට්ටමේ සිදුවීම් ආරම්භ වෙමින් තිබේ. වටේ ඉන්න හෙන්චයියන් මොකක් කීවද රාජ්‍ය පාලකයන් වරින් වර ලසන්ත, තාරකී, භාෂණ වැනි ක්‍රියාකාරිකයන් ඝාතනය හා මර්දනය පසුපස පවතින්නේ ඇතැම් තොරතුරු හෙළිවීමේ අභියෝගයේ බරපතල භාවයයි. මර්ධනය උපදින්නේ එතැනිනි. මයිකල් මුවර්ගේ සිනමාව නොගැඹුරු වුවද ඔහු ගොනුකරනා තොරතුරු සමුදායම පද්ධතියේ ඇතැම් ඉරි තැලීම් හා තාවකාලිකව හෝ ලාභ රේට්ටු අභියෝගයට ලක්වීම නොවැළැක්විය හැකි වී ඇත. චීනය සෘජුවත්, රුසියාව තරමක් වක්‍රවත්, ඇමෙරිකාව මෘදුවත් ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් කරනා මර්ධනයන් පසුපස තොරතුරුවල දේශපාලනය ගැන ගණනය කිරීම් පවතී. එහිදී රාජපක්ෂ යුගයේදී ලාංකිකයා මෙන් චීන ජාතිකයා ද අවම වශයෙන් තමා මර්ධනයකට මුහුණ දී ඇති බව හොඳින් දනියි. ඇමරිකාවේ මෙන් 'යහ'පාලනයේ' ගැටලුව වන්නේ මෘදු මර්ධනය නැවතත් දෘෂ්ටිවාද වසංගත බෝ කිරීමයි. අයිවන් වැන්නවුන්ගේ සීමාව හමුවන්නේ මෙවන් යුගවලදී ය. දෙකට දෙවාරමේ සිතුවිලිවලට හොඳ ඉඩක් වික්‍රමසිංහ මහතාගේ රෙජීමය සලසා දෙනු ඇත.

වමට විරුද්ධ මහත්වරු ඉදිරිපිට පවා ධනවාදය හොඳටම දුර්ර්වල වෙමින් බෙලහීන වී ඇත. කවුරු ආවද ලංකාවේ ණය ආර්ථිකයේ බදුබර හා පුද්ගලීකරණය නොවැළැක්විය හැකි වී තිබේ. ධනේශ්වර රාජ්‍යයට අවම සුභ සාධනය හෝ පවත්වාගත් නොහැකි අවධියකට එළඹ ඇත. නමුත් ඔවුහු හෙට ඉරක් පායන තුරු බලා සිටිති. කාටූන්වල සිටිනා පූසන්ට මෙන් ඔවුන්ගේ ඥානය පහළ වූ විට පමණක් අගාධය පෙනී ඇද වැටෙන්නන් වී තිබේ. ඒ දෘෂ්ටිවාදයේ ආකෘතියයි. එතෙක් මොවුන්ගේ යටිබඩේ අශ්ලීල පැවැත්මේ තොරතුරු දිගින් දිගටම වාර්තා කළ යුතු ය. ධනේශ්වරයේ යටිබඩ දිගින් දිගටම හෙළිදරව් කළ යුතු ය. ලිබරල් නීතිය ලජ්ජාවට පත්කළ යුතු ය. කලාකෘති මගින් පද්ධතිය හෙළිවිය යුතු ය.

'උසාවිය නිහඬයි' හරහා එම අරගලය සිදුවී ඇත.

බූපති නලින් වික්‍රමගේ  

© JDS

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top