Dec 09, 2016

ප්‍රේමරත්න අයියලාගේ වසවිස නැති ඔපරේෂන් එක

අව්වට පිච්චුනු ඔවුන්ගේ මුහුණු කළුවන් ය.දෑතේ කරගැට කියා පෑවේ ජිවිත කාලයක් රටට බත සරිකරන්නට ඔවුන් දැරූ වෑයමය.

"ඉස්සර නම් කිවේ මඩ හොදා ගත්තම රජකමටත් සුදුසුයි කියලා නේද?" දනක් මඩේ බැස ගෙන සිටින ප්‍රේමරත්න අය්යා විමසන්නේ ය.

ඔහු වස විස නැති රටක් ගොඩ නගන්නට දරන වෑයමේ ප්‍රධාන පුහුණු කරු ය.

"රජකම කොහොමවුනත් මහත්තයෝ අස්වැන්න නෙලා ගන්න කාලේ වෙනකොට බැංකු කාරයොයි,ගිනිපොලි කාරයොයි අපේ ගෙවල්වලට එනවා.මුදලාලිලා කුණු කොල්ලෙට අපේ වී ටික අරන් යනවා."වලව සමරකෝන් වැව ගොවි සංවිධානයේ ගොවි මහතෙකු ප්‍රේමරත්න අය්යාට පිළිතුරු දෙන්නේ ය.

"ඒ කියන්නේ ඔයාලා ගොවියෝ ,ගොවි රජවරු නෙවෙයි,කඹුරන්නෝ වෙලා "

මේ කතාවෙන් ගොවි මහත්වරුන්ගේ හිත රිදුනාදොයි මට සිතෙයි.

WasaW1 600px 16 12 09

"එහෙම වෙන්නේ කොහොමද ?" ගෙවිලියක විමසයි.

ඊට පිළිතුරු දෙන්නේ ප්‍රේමරත්න අයියා ය.

"අපේ ගොවි මහත්වරුන් හොයන්නේ ෂෝර්ට් කට්.ඒ ෂෝර්ට් කට එකට ඕනා උත්තර හන්දියේ වල්නාශක විකුණන කඩේ තියෙනවා.පෝර කඩේ තියෙනවා.හැබැයි කන්නෙන් කන්නේට ඔය ගොවි මහත්තුරුන්ට අස්වැන්නක් ලබා ගන්න කරන්න වෙන වියදම වැඩි වෙනවා.

කාලය එක්ක අපේ ගොවියා කෘමිනාශක, වල්නාශක ,රසායනික පොහොර හදන කොම්පැනි කාරයන්ගේ ණය කාරයෙක් වෙලා, ඒ ණය ගෙවන්න කඹුරන්නෙක් බවට පත්වෙලා."

"ඔය කතා කීවට වැඩක් තියෙනවද ?" ගොවි මහතෙකු අසන්නේ ය.

"ඔව් ,අපි වෙනස් දෙයක් කරමු" ප්‍රේමරත්න අය්යා ගොවින් තුල බලාපොරොත්තු දල් වන්නේ ය.

"ඉස්සර අපි මේදේවල් කළා.අපි පස්සේ කාලයක මේදේවල් අමතක කළා .එහෙමත් නැතිනම් අපට 'පටාස් ' ගාලා උත්තර හොයා දුන්නු කොම්පැනිකාරයෝ ඒවා අමාතක කෙරෙව්වා.අපි ඒකාලේ ගොවිතැන කලේ කොහොමද ?මුල් වැසි සමග කන්නයට ,කයිය්යට ,කලාවට කුඹුර පොහොර කරලා වැඩ පටන් ගත්තා.අපි මිත්යාවකට යනාවා නොවෙයි.

අපි අද මේ හදුන්වා දෙන්නේ ගොවිතැන් කල අපේ මුතුන් මිත්තන්ගේ අත්දැකීම් ,ඒ කාලේ වී ගොවිතැන ගැන පොතපතේ සටහන් වූ දේවල් ගුරුකරගෙන අද ලෝකයට ගැලපෙන පරිද්දෙන් වස විස නැති ගොවිතැනක් කරන විදිහයි."ප්‍රේමරත්න අය්යා පවසද්දී ගෙවිලියක වන නෙලියේ එදිරිසුරිය මහත්මිය ඇසුවේ " ඔය කියන දේවල් සාර්ථක වෙයි කියලා අපට තියෙන සහතිකය මොකක්ද ?" කියා ය.

"හරි ,මෙතන ඉන්න කීදෙනෙක් නියම වෙලාවට වක්කඩ වහලා ගිහින් තියෙනවද?නියරමුල්ල බැදලා තියෙනවද ?"ප්‍රේමරත්න අය්යා විමසද්දී මා එහි සිටි ගොවින් දෙස බැලීමි.

කිසිවෙකුටත් පිළිතුරු නැත.

"නියරමුල්ල හදන්නේ ලියද්දේ උසම ස්ථානයෙයි." ප්‍රේමරත්න අය්යා නියරමුල්ල හදන හැටි කරපෙන්වන්නට පටන් ගනී .

ඊට ඔහු යොදාගන්නේ කොම්පෝස්ට් පොහොර,ග්ලිරිසීඩියා (ඇල්බීසියා ) අතු .පිදුරු,මාළු ටොනික් (මෙය කෙලවල්ලා ,පරා වැනි මලුන් ගේ ඔලුව කුඩා වන්නට කපා හකුරු හා ජලය මිශ්‍ර කර සාදගන්නකි ) ආදියයි.

WasaW2 600px 16 12 09"නියරමුල්ල හදන්නේ අරමුණු කිහිපයක් ඇතිවයි.කුඹුරේ වල්පාලනය,සමතුලිත පොහොර පාලනය මෙයින් ප්‍රධානයි.මෙතන හැදෙන දියර (මෙහිදී යොදා ගත්තේ ඕජස යන වචනයයි ) කුඹුරට ඉස්සාම වල් මැරෙනවා.ගව මුත්‍රා හොඳ කෘමි නාශකයක් කියලා ඔයාලා දන්නවා ද ?සමහර වෙලාවට දන්නවා ඇති ,හැබැයි අපි නොදන්නවා වාගේ ඉඳගෙන ෂෝර්ට් කට හොයනවා.මහන්සි නොවී කුඹුරු කරන්න හදනවා .මතක තියා ගන්න වී කියන්නේ බුද්ධ භෝගයක් ."

"වෙනසක් ඇතිව ගොවිතැන් කරන්න ලැහැස්තියිද ? " මම එදිරිසුරිය ගෙවිලියගෙන් ඇසිමි.

"අපට රසායනික පොහොර,කෘමිනාශක,වල්නාශක නැතිව ගොවිතැන් කරන්න පුළුවන් කියන විශ්වාසය දැන් ඇතිවෙලා තිබෙනවා.හැමෝම ක්‍රමයෙන් වෙනස්වේවි .අපිට සුවදැල් වගේ සම්ප්‍රදායික වී වර්ග විතරක් මේ විදිහට වවන්න වේවිද කියන ගැටලුව තියෙනවා.අපේ අස්වැන්න විකුණා ගන්න පුළුවන් වේවිද කියන ප්‍රශ්නය තියෙනවා."
ඊට ප්‍රේමරත්න අය්යාගෙන් පිළිතුරු ලැබෙයි.

" වස විස නැති රටක් වැඩපිළිවෙල ගැන විශ්වාසය තියන්න .සුවදැල් වගේ වී වර්ග විතරක් නෙවෙයි ,ඔයාල වවන හයිබ්‍රිඩ් (දෙමුහුන් ) වී වර්ගත් වස විස නැතිව වවන්න පුළුවන් .අස්වැන්න විකුණගන්න එක ගැන කලබල වෙන්න එපා .මේ වැඩ පිළිවෙල යටතේ වස විස නැතිව වවලා ලබාගන්න සියලුම අස්වැන්න මිලදී ගන්නවා."

මේ ගැන තවත් පැහැදිලිකිරීමක් කලේ වලවේ කිරිඉබ්බන් ආර කෘෂි ශෂ්‍ය විද්‍යාඥ A.D.G උදේනි මහත්මියයි .

"වස විස නැති ගොවිතැන වැඩපිළිවෙළේදී දේශපාලනමය බලපෑමක් ගොවීන්ට කෙරෙනවද ?" මම ඇසීමි.'

"නැහැ,වකුගඩු රෝග තත්ත්ව අනුරාධපුරයේ තරම් මේ කලාපයේ නැතත් පිළිකා රෝගවලට ගොදුරුවුණු ගොවින් මෙහෙ ඉන්නවා.තමන්ට මේ තත්වය ඇතිවුනේ කෘෂි රසායන නිසා කියලා විශ්වාසයක් මේ අයගේ තියෙනවා.මේ විදිහේ වසවිස නැති ගොවිතැනක් ගැන ගොවින් බහුතරයකගේ පොසිටිව් (ධනාත්මක ) ආකල්පයක් තිබෙනවා.

විශේෂයෙන් තරුණ ගොවින් අතරේ එවැනි ආකල්පයක් තිබෙනවා.මේ කලාපයේ වැඩියෙන් ම වවන්නේ AT 362 කියන වි වර්ගයයි.එම වී වර්ගය වස විස නැතිව වවන්න ගොවින් අතරේ මේ වෙනකොට උනන්දුවක් තිබෙනවා."

උදේනි මහත්මිය මේ බව පවසන්නේ ක්ෂේත්‍රයේ ඇයගේ අත්දැකීම් අනුවය.

"මේ වැඩේ අයි ඔපනින්ග් එකක් (ඇස අරවන්නක්) " ඇය කියන්නීය.

සැබවින්ම බහුජාතික සමාගම් සමග ඔට්ටුවෙමින් කෙරෙන මේ ක්‍රියාදාමය තරමක් අසීරු එකක් වුවත් එය රටක ජාතියක ඇස අරවන්නක් වන්නේ ය.

(සටහන හා ඡායාරුප -ප්‍රභාත් වීරරත්න)

WasaW3 600px 16 12 09

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top