nsb

Dec 10, 2016

සමකය: පොත් පත් දවා හළු කළ තැන.....

දෙසැම්බර් 07 වැනිදා 'ලක්බිම' පත්‍රයේ පළ වූ වාර්තාවකට අනුව ඊට කලින් දා පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ ඝෝෂාකාරී බාධාවන්ට පිළිතුරු වශයෙන් අගමැතිවරයා විසින් මෙසේ කියා තිබේ: ".......අපේ කාලයේ යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බ එක ගැන මම සමාව ඉල්ලනවා. ඔබතුමාලාත් කරපු වැරදිවලට සමාව ඉල්ලනවාද.....? ඇයි සමාව ඉල්ලන්නේ නැද්ද?"

යාපනයේ පුස්තකාලය ගිනි තබා විනාශ කිරීම ගැන 'අගමැතිවරයා සමාව ඉල්ලා සිටි බව'ට පළ වූ මාධ්‍ය වාර්තාවන්ගේ පසුබිම් කතාව වනාහී අහම්බෙන් මෙන් කියැවුණ මේ වාක්‍යයයි.

වියළි තල් පත්හි ලියැවුණු විරළ අත් පිටපත් ඇතුළු දුර්ලභ කෘති 97,000ක් සහිත ආසියාවේ විශාලතම පුස්තකාල අතරේ ලා ගැණුනු ඥාණ කෝෂ්ඨාගාරයක් එක් රැයකින් ගිනි තබා අළු ධූලි කර දැමීමට හිලව් වශයෙන් රාජ්‍යයේ ඉහළින්ම දැන් 'නිල කණගාටුව'ක් පළ වී තිබේ. ඒ වනාහී එම ඥාණ සංහාරය සිදුවන සමයේ දී ඇමති ධූරයක් දැරුවා වූද, එතැන් සිට ගත වූ තිස් පස් වසර තුළ අඩුම වශයෙන් තුන් වරක් අග්‍රාමාත්‍ය ධූරය ඉසිළුවා වූද දේශපාලකයෙකුගෙනි. මේ ගැඹුරු ශෝක ප්‍රකාශයෙනුත් සෑහීමකට පත් නොවන දෙමළෙකු වේ නම් ඉන් ඔප්පු වන්නේ 'ජාතික සංහිඳියාවට ඇති දෙමළ ජනයාගේ සහජ නොකැමැත්ත' බැව් සැළකුව මනා ය.

අගමැතිවරයාගේ ප්‍රකාශය ගැන දෙසැම්බර් 08 වැනිදා 'දිවයින' පත්‍රයේ කතුවරයා මෙසේ ලීවේය: "යාපනය පුස්‌තකාලය ගිනි තැබීම බලවත් අපරාධයක්‌ බව රහසක්‌ නොවේ. කිහිප දෙනකුගේ අමන ක්‍රියාවෙන් ජාතියටම නින්දාවක්‌ අත්විය......යාපනය පුස්‌තකාලය ගිනි තැබීම දෙමළ ජනතාවගේ හදවතට දරුණු පහරක්‌ එල්ල කළ සිද්ධියකි. නමුත් වර්තමානය වනවිට එම තුවාල සුව වී හමාර ය. මේ සිද්ධියෙන් පසුව ඇවිලුණු යුද ගිනි නිසා සිංහල ජනතාව කෙතරම් පීඩා වින්දේද? සිය දහස්‌ ගණනක්‌ ඝාතනය වූහ......මෙලෙස ඝාතනය වූ පිරිසගෙන් සමාව ඉල්ලන්නේ කවුරුන්ද?.........මෙම ගින්නෙන් පසු එවකට සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වූ එඩ්වඩ් ගුණවර්ධන සකස්‌ කරන ලද රහස්‍ය වාර්තාවකට අනුව මෙම ගිනි තැබීම සංවිධානය කරන ලද්දේ කොටි සංවිධානය විසිනි. එය ප්‍රභාකරන්ගේ අණකි. යාපනයේ දෙමළ ජනයා වෙනුවෙන් ජාත්‍යන්තර අනුකම්පාව ලබා ගැනීම සඳහා මෙය කරවූ බව එම වාර්තාවේ සඳහන් විය."

ඒ ඇසුරින් හදාගන්නට ඇති සමීකරණය මෙසේ ය: "යාපනයේ පුස්තකාලය ගිනි තැබීම වැරදි ය. 'බලවත් අපරාධයක්' වූ එම 'අමන ක්‍රියාව ජාතියටම නින්දාවකි.' ඒ වේදනාව දැන් සමනය වී හමාර ය. එවකට සිටි පොලිස් නිලධාරියෙකු ලියා ඇත්තේ එය කළේ කොටි විසින් බව ය. ඊට අණ දී ඇත්තේ ප්‍රභාකරන් ය."

'දිවයින' කතුවැකියට පසුබිම් කතාවක් ද තිබේ. ජනාධිපති ජයවර්ධන විසින් 1981දී යාපනයේ මැතිවරණ රාජකාරී සඳහා යවන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩ්වඩ් ගුණවර්ධන 2013දී පොතක් ලීවේය. පොත එළි දැක් වූ ජනවාරි 19 වැනිදා මහවැලි කේන්ද්‍රයේදී මුඛ්‍ය දේශනය කරන ලද්දේ රාජපක්ෂවාදය වෙනුවෙන් දිවිදුන් මහැදුරු කාලෝ ෆොන්සේකා විසිනි. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සරණින් සත්‍යාවබෝධය ලද කාලෝ ෆොන්සේකා, යාපනය පුස්තකාලය විනාශ කිරීම සම්බන්ධයෙන් ගාමිණී දිසානායක සැක කිරීම ගැන දිසානායක පවුලේ සමාජිකයන්ගෙන් සමාව ඉල්ලා සිටියේ ඒ රැස්වීමේදී ය. 'නේෂන්' පත්‍රය කතුවැකියක් ලියා 'හෘදය සාක්‍ෂියක් ඇති දුර්ලභ මිනිසෙකු සේ' කාලෝ අභිනනන්දනය කරන ලද්දේ ඒ කතාවෙන් හටගත් ප්‍රමෝදයෙනි. නමුත් යාපනයේ පුස්තකාලය ගිනි තිබීමට හවුල් වී යැයි තමන්ට චෝදනා එල්ල වුණු බව කියන පොලිස් නිලධාරියෙකු විසින්ම අදාළ සිදුවීම ගැන වාර්තාවක් ලිවීම 'ලැදියාවන් පිළිබඳ ගැටුමක්' ඇති කරන්නේ නැතිදැයි 'සන්ඩේ ටෛයිම්ස්' පත්‍රයට ලිපියක් ලියා විමසා සිටියේ ඊළම්වාදියෙකු නොව, විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකු වූ ටාසි සෙනෙවිරත්න විසිනි.

එයින් තුන් අවුරුද්දකින් පසු අගමැති වික්‍රමසිංහ දැන් ආයෙමත් යාපනය පුස්තකාලය ගිනි තැබීම ගැන 'තනි වාක්‍යයකින්' සමාව ඉල්ලා තිබේ. ඒ ජයවර්ධන ආණ්ඩුවේ වගකිව යුතු ධූරයක් දැරුවෙක් වශයෙනි. සමාව ඉල්ලන්නේ කාගෙන්දැයි නිශ්චිතව නම් කර කියන්නට ඔහුට අමතක වූවාට ඒ ගාමිණී දිසානායකගේ පවුලේ සාමාජිකයන්ගෙන් නොවන බව ඒකාන්ත ය. අවශ්‍ය නම් දැන් නැවතත් නැඟී සිට සමාව ඉල්ලා සිටීමට මහාචාර්ය කාලෝ ෆොන්සේකාට අවස්ථාවක් උදා වී ඇත්තේ ඒ නිසා ය.

නමුත් ජාතික සංහිඳියාව ගැන දැන් නිල වශයෙන් රැව්දෙන ව්‍යාජ අඬහැරයේ ශුන්‍යත්වය හෙළිදරව් කරනවාට වැඩිමනත් දෙයක් අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් සිදු කෙරී තිබේ. ඒ වනාහී ව්‍යුහාත්මක අයුක්තීන් අහම්බ හුදකලා සිද්ධීන් බවට පෙරළා ඉතිහාසය ලිවීමේ දේශපාලනයයි. දෙමළ ජනයා විඳින ලද සහ දැන් මුහුණ දෙන සැහැසි අයුක්තීන් උපදින්නේ රාජ්‍යයේ ව්‍යුහාත්මක පිළිවෙත්වලිනි. ජාතික පීඩනය සහ වාර්ගික අධිපතිවාදය රාජ්‍යයේ ව්‍යුහාත්මක ගැටළුවක් සේ සැළකෙන්නේ ඒ නිසා ය. යාපනය පුස්තකාලය ගිනි තැබීම, ඊට පෙර හා ඊට පසු සිදු වූ දෙමළ සංහාරක රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසයෙන් වෙන් කොට සැළකිය නොහැකි ය. 1958දී හිඟුරක්ගොඩ උක් වගාබිම්වල කැති ගා ස්මිත් ඇළේ පා කළ බැව් කියන දෙමළ ජනයාගේ ඉරණම, ඉන් අඩ සිය වසකට පසු පුදුමාත්තලන් වැල්ලේ ලෙයින් ලියන ලද සංහාරක පරිච්ඡේදවලින් වෙන් කළ නොහැක්කේ එබැවිනි.

'ඔවුහු පුස්තක දවාලන ලද්දේ යම් තැනකද, අවසානයේ ඔවුහු එහි මිනිසුන් ද දවා හළු කරනු ඇතැයි' ජර්මානු යුදෙව් කවියෙකු වන හයින්රික් හයින සිය ප්‍රකට ඛේදාන්ත නාටකයක ලීවේ 19 වැනි සියවසේදී ය. ඒ දිවැසි වදන අදාළ වන්නේ යුදෙව් ජන සංහාරය පිළිබඳ ජර්මානු ඉතිහාසයට පමණක් නොවේ. යාපනයේ පුස්තකාලය භෂ්ම බවට පෙරළීමත්, හාමත් ළමා ලපටින් ඇතුළු සිය දහස් සංඛ්‍යාත ජනයා මුල්ලිවයික්කාල් මිනිස් දඩබිම්වල දවා හළු කිරීමත්, දෙමළ ජනයාගේ සුසාන භූමි සමතලා කොට හමුදා කඳවුරු ඉදිකිරීමත් එකිනෙකට සම්බන්ධ කරන්නේ ඒ අතර ගලා ගිය කාලය විසින් පමණකැයි ඇතැම්හු සිතති. නමුත් සාමූහික ගරුත්වය හා නිදහස පිළිබඳ දෙමළ ජන අභිලාෂය ලේ සාගරයක හෝ ගිල්වා නසාලීමේ නොවෙනස් ප්‍රචණ්ඩ රාජ්‍ය පිළිවෙත ද ඒ දශකයන් යා කරන ලේ වැකි හුයක් සේ නිරුපද්‍රිතව පවතී.

දෙසැම්බර් හය වැනිදා අගමැති වික්‍රමසිංහ විසින් කඩිමුඩියේ සිදුකළ පාර්ලිමේන්තු ප්‍රකාශයේ ශුන්‍යත්වය සළකුණු කරන්නේ අඩ සියවසකටත් ඉපැරණි, අදටත් නොවෙනස් ඒ යථාර්ථය විසිනි.

(මෙම ලිපිය 2016 දෙසැම්බර් 11 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

bashana abeywardane profile 1රෝහිත භාෂණ අබේවර්ධන

© JDS

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top