nsb

Dec 13, 2016

එච්අයිවී ආසාදිතයන්ට ලිංගික පහස අකැපද?

සෙසු මානව වර්ගයාට මෙන්ම එච්අයිවී ආසාදිත කාන්තාවන්ටත් ලිංගික අවශ්‍යතා තිබෙන බව ක්‍රියාධාරිනියක් පවසයි.

ලිංගාශ්‍රිත රෝගයක් වැළඳුණු පමණින් කිසිවෙකුගේ ලිංගික අවශ්‍යතා පහව නොයන නමුත් එවැනි රෝග වැළදීමත් සමග සමාජයෙන් එල්ල වන නින්දා අපහාස හමුවේ පෞද්ගලික අවශ්‍යතා සඟවා ගෙන සිටීමට බල කෙරෙන බව වසර ගණනාවක් මුළුල්ලේ එච්අයිවී ආසාදිතයන්ට ඇප උපස්ථාන කිරීම පිණිස කැප වී සිටින ප්‍රින්සි මංගලිකා වේදනාබරව සඳහන් කළාය.

එච්අයිවී ආසාදිත ප්‍රින්සි මංගලිකා එච්අයිවී ආසාදිත සෙසු පුද්ගලයන් වෙනුවෙන් කරන ලද මෙහෙය අගය කොට මෑතකදී ඇය 'අනභිනන්දිත වීරවරියක' ලෙසින් ද පිදුම් ලැබුවාය.

"ගෑනු අයට HIV කියල කියපු ගමන්ම හැම දෙයක්ම එපාවෙනවා. එයා ජීවත්වෙන්න ඕන නිසා ජීවත්වෙනවා. ළමයි නිසා ජීවත්වෙනවා," ඇය බීබීසී සංදේශයට කියා සිටියාය.

"මම කියන්නේ නෑ HIV හැදුන කියල කාන්තාවට ලිංගික ජීවිතයක් අවශ්‍ය නෑ කියල. කාන්තාවටත් අවශ්‍යයි. ඒත් ඒ පිළිබඳ ලොකු උනන්දුවකින් ඉන්නව කියල මම හිතන්නේ නෑ."

hivstory

එච්අයිවී ආසාදනය වීමත් සමඟ කාන්තාවන් දැඩි පීඩාවකට ලක්වන නමුත් බොහෝ විට පුරුෂයන් එයට වඩා පහසුවෙන් සිය ලිංගික අවශ්‍යතා සපුරා ගන්නා බව දශකයකට අධික කාලයක් රෝගීන්ට උවටැන් කළ ක්‍රියාධාරිනිය පවසන්නේ සිය අත්දැකීමෙනි.

"සමාජයේ කිසිම අයිතිවාසිකමක් නෑ. ආදරයක් නෑ. ආරක්ෂාවක් නෑ. කාන්තාව ගොඩක් සෝ සුසුම් හෙලනවා. මට වුනත් එහෙමයි."

විදේශගතව සිටි සැමියා එච්අයිවී ආසාදිතයකු ලෙසින් යළි සියරට පැමිණීමෙන් පසු එච්අයිවී ආසාදනය වූ ඇය පවසන පරිදි, දිවි තොර කරගත් සැමියා පිළිබඳ කෝපයක් නැතත් එතරම් දයාබරිතව රැක බලාගත් සැමියා තමන්ද අනතුරේ හෙළීම පිළිබඳ ඇය සිත තුල පවතින්නේ දැඩි වේදනාවක්.

 සැමියාත්, තමාත් දෙදෙනාම ආසාදිතයන් බවට පත්වීමෙන් පසුවත් ඒ බව සමාජයට රහසක්ව තිබුණේ නම් තමන් මෙතරම් පීඩාවකට ලක් නොවන බව පවසන ප්‍රින්සි මංගලිකා තමන්ට ප්‍රතිකාර කළ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය ඒ පිළිබඳ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ වගකීම උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය ජීවිතය 'කබලෙන් ලිපට වැටුන' බව සඳහන් කළාය.

hivstory1

එච්අයිවී ආසාදනය පිළිබඳ රට පුරා පවත්වන වැඩමුළුවලදී ලිංගික පහස ලැබීමේදී උපත් පාලන කොපු යොදාගැනීමේ වැදගත්කම අවධාරණය කරන බව පවසන ඇය, තමන් එච්අයිවී ආසාදිතයන්ටත් ඒ ආකාරයෙන්ම උපදෙස් දෙන බවත් කියා සිටියාය.

එච්අයිවී/ ඒඩ්ස් සෞඛ්‍ය තත්වයන් පිළිබඳ පෙරට වඩා අද වන විට ශ්‍රී ලංකාව පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන නමුත්, එය කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

(බීබීසී)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top