Dec 24, 2016

සංහිඳියාවක් වගවීමක් නොදන්නා ආණ්ඩුවක ඇමතිවරු ගැන

 
රටක සමස්ථ අධිකරණ ක්‍රියාවලිය මුල සිට අගට ස්වාධීන, අපක්ෂපාත ක්‍රියාවලියක් වන්නට එය දූෂණයෙන් තොර වූ කාර්යක්ෂම අපක්ෂපාත ආයතන පැවැත්මක් සමගින් ක්‍රියාත්මක විය යුතුය. එවැන්නක් සඳහා අධිකරණ පද්ධතිය මෙන්ම අපරාධ, දූෂණ, මහජන පැමිණිලි ආදී සියල්ල ස්වාධීනව, අපක්ෂපාතීව හා කාර්යක්ෂමව පරීක්ෂා කිරීමේ පොලීසියක්ද නඩු පැවරීමේ හා මෙහෙයවීමේ කාර්ය හා වගකීම භාරවන ස්වාධීන, කාර්යක්ෂම නීතිපති දෙපාර්තමේන්තුවක්ද තිබිය යුතුය.
මේ ආයතන අද ඇත්තේ දෙපලකය. නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණ පද්ධතිය ඇත්තේ බුද්ධ ශාසන හා අධිකරණ ඇමති ළඟය. ඒවා මේ රටේ නොවිසඳුණු ආරවුල් හමුවේ එකට නොතැබිය යුතු අමාත්‍යාංශ දෙකකි. පොලීසිය ඇත්තේ අගමැතිගේ මාණ්ඩලික ප්‍රධානී, නීතිය ක්‍රියාත්මක කිරීමේ හා දක්ෂිණ සංවර්ධන ඇමති ළඟය. මේ දෙදෙනම අද බරපතල දෝස දර්ශනයට ලක් කළ යුතු ඇමතිවරුන් දෙපළකි. 
 
එවැනි ඇමතිවරුන්ගේ දේශපාලන හැසිරීම වැරදි යැයි කිව හැකි ජන සමාජයක් මේ රටේ නැත. එවැනි සිවිල් සමාජයක් තමන් නියෝජනය කරනවා යැයි කියා ගන්නේ රාජ්‍ය නොවන සංවිධාන ලෙස පෙනී සිටින අර්ධ රාජ්‍ය කණ්ඩායම් සහ කිසිදු ජන නියෝජනයක් නොමැතිව පුරවැසියන් ලෙස පෙනී සිටින කිහිප දෙනෙකි. ඔවුන් බොහෝ දෙන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකව සිටියදී ඔහු සමග ‘‘නිදහසේ වේදිකාව’’ යැයි රාජපක්ෂ විරෝධී දේශපාලනයක නිරත වූවන්ය. 2015 ජනවාරියෙන් පසු ඔවුහු ආණ්ඩුවේ ව්‍යාපෘති සමග හවුල්වන ඒ වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් වන්නාහ. ඔවුන් දැන් මේ ආණ්ඩුවේ ප්‍රසිද්ධ ක්‍රියාකාරී ඉත්තන් බැවින් තව දුරටත් ‘‘රාජ්‍ය නොවන’’ හා ‘‘සිවිල් සමාජ’’ ලේබල භාවිත කිරීමට සාදාචාරාත්මක අයිතියක් නැති වුන්ය.  
 
ඔවුන්ගේ ඇති ඒ ආණ්ඩු ගැතිකම නිසාම ඔවුන් තවමත් කතා කරන්නේ රාජපක්ෂ පාලනයේ පළමු වාරයට අදාල සුදු වෑන් හා දෙවන වාරයට අදාල යෝධ දූෂණ ගැන පමණය. මාස 18 ක ඉතාම කෙටි කාලයක මේ ආණ්ඩුවේ බරපතල දූෂණ, මේ ආණ්ඩුව ඉදිරිපත් කරන අතිශය මර්දනකාරී අණ පනත් හා කිසිදු සංහිඳියාවකට ඉඩක් නොතබන සිංහලවාදී දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින නායකයින් ගැන විවෘතව කතා කරන්නට ඔවුන්ට නොහැකිය. එනිසාම ඔවුන් අතහැර දැමූ බරපතල අනාගත ඇඟවුම් සහිත බුද්ධ ශාසන හා අධිකරණ ඇමතිගේ හා නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේ ඇමතිගේ අතිශය අන්තරායකර දේශපාලන භූමිකා ගැන කතාව සංවාදයට තැබීම මේ මොහොතේ කාලෝචිත හා ඉතා වැදගත් වන්නකි.
 
බුද්ධ ශාසන හා අධිකරණ ඇමති පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී වාර්ගික හා ආගමික සාමයට අතිශය හානිකර පමණක් නොව සිංහල සමාජයේ නැවත මෝදු වන්නට අර අඳින අන්තවාදීන්ට උඩ ගෙඩි දෙන කතා, දෙවරක්ම කළේය. පළමු වර ඔහු ඉස්ලාම් අන්තවාදයටද එහා යන අයි.එස්.අයි.එස් නමින් ප්‍රසිද්ධ ‘‘ඉරාක හා අල් ශාම් ඉස්ලාමීය රාජ්‍ය’’ ත්‍රස්තවාදය මෙරටටද ඇතුලූව ඇතැයි මෙරට මුස්ලිම් ආගමික කණ්ඩායම් කිහිපයක් මත වරද පැටවූයේ ය. 
 
ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරු මීට අවුරුද්දකටත් වැඩි කාලයක් පරණ වූ තොරතුරු වූවා පමණක් නොව, ඔහු එම තොරතුරු වැරදි එකතු කිරීම් සමගින් විකෘතී කරද තිබිණ. ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණන් 32 කු මෑතකදී සිරියාවේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදයට එකතු වී ඇතැයි ඇමතිවරයා නොවැම්බර 18 වන දින පාර්ලිමේන්තුවට කීවේය. එළෙසින් ගණන් තැබිය හැක්කේ අදාල පුද්ගලයන් 32 අනුමාන වශයෙන් හෝ කවුරුන්දැයි හඳුනා ගෙන ඇත්තේ නම් පමණි. එබැවින් ගණන් කියන විට එම විස්තරද ඔහු ඉදිරිපත් කළ යුතුව තිබිණ. එවැන්නක් ඔහු නොකළේය. 
 
මුස්ලිම් අන්තවාදය ගැන තමන් සතුව තොරතුරු බොහෝමයක් ඇතැයි පෙන්වීමට ඇමතිවරයා කියූ කරුණු කෙතරම් සාවද්‍යදැයි තේරුම් ගැනීමට එතරම් අපහසු නැත. ඇමතිවරයා නම් කළ ඇතැම් මුස්ලිම් සංවිධාන විසින් ඉස්ලාම් ආගම ඉගැන්වීමට යැයි විදේශ අන්තවාදීන් සංචාරක වීසා මත මෙරටට ගෙන්වා ගන්නා බැව් ආණ්ඩුව දන්නේ යැයි ඔහු කීවේය. ඔහු කියූ තොරතුරු ආණ්ඩුව දන්නේ යැයි කියන්නේ පොලීසියේ හෝ හමුදා බුද්ධි අංශ සතුව එවැනි තොරතුරු ඇතැයි කීමය. එහෙත් එවැනි කිසිවකු මෙතෙක් අත් අඩංගුවට ගත් බවක් අසන්නට නැත. සියලූ තොරතුරු දන්නා අයුරු කතා කළ ඇමතිවරයාද එවැනි අත් අඩංගුවට ගැනීම් පිළිබඳව කිසිවක් කීවේ නැත. 
 
ආණ්ඩුව එවැනි තොරතුරු දන්නේ නම්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවූයේ මන්ද යන්න බරපතල ප්‍රශ්නයකි. ඒ අනුව කාරණා දෙකක් මතු වන්නේය. එකක් නම්, ආණ්ඩුව දන්නේ යැයි ඇමතිවරයා කීවත් ඔහු කියන ආකාරයේ විදේශීය ඉස්ලාමීය අන්තවාදීන් මෙතෙක් අත් අඩංගුවට ගැනීමක් සිදුව නැත්තේ ඊට අදාල තොරතුරු බුද්ධි අංශ සතුව තවමත් නැති හෙයින්ය. එබැවින් ඇමතිවරයා සතුව ඇති තොරතුරු ඔහු ලබා ගත්තේ කෙසේද යන්නත් සමග ඔහු ඒ තොරතුරු අදාල අංශ වෙත ලබාදිය යුතුය. තමා එම වගකීම ඉටු කළ බවද ඔහු නොකියයි. දෙවැන්න විය හැක්කේ විදේශ අන්තවාදීන් මෙහි පැමිණ ඉස්ලාම් අන්තවාදය පතුරන්නේ යැයි ඇමතිවරයා කීවාට මෙහි එන ඉස්ලාමීය අන්තවාදියෙකු නැත. එබැවින් පැහැදිලි නිගමනය වන්නේ ඇමතිවරයා කර ඇත්තේ ඔහුගේ ජාතිවාදය ප්‍රදර්ශනය කිරීමක් පමණි.
 
එවැනි හේතු නිසාවෙන් ඔහු සතු එම තොරතුරු වැඩි දුර පරීක්ෂණ සඳහා වහා ඉදිරිපත් කරන්නට යැයි මුස්ලිම් සංවිධාන අතර ඉතා ප්‍රමුඛතම සංවිධානය වන ශ්‍රී ලංකා මුස්ලිම් මණ්ඩලය ඔහුට ලිඛිත අභියෝගයක් කළේය. එහෙත් ඒ අභියෝගයට ඇමතිවරයා මෙතෙක් උත්තර දී ඇත්තේ ඔහු කියූ කරුණු වෙනුවෙන් ඔහු පෙනී සිටින බව කීම පමණි.
 
මේ ඇමතිවරයා ඊළඟට ආණ්ඩුව කතා කරන සංහිඳියාවට හරස් කෙරෙන ඔහුගේ අතිශය සිංහලවාදී දේශපාලනය නැවත වරක් පසුගිය දෙසැම්බර 08 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රදර්ශනය කෙරුවේ උතුරු පළාත් සභාව විසින් බුද්ධ ප්‍රතිමා තැන තැන ඉදි කිරීම සම්බන්ධව සම්මත කළ යෝජනාව විකෘති කර ඉදිරිපත් කිරීමෙනි. පාර්ලිමේන්තු අයවැය කමිටු මට්ටමේ සාකච්ඡාවට සහභාගි වෙමින් බුද්ධ ශාසන හා අධිකරණ ඇමති ලෙස ඔහු කීවේ බෞද්ධ පන්සල් හා බුදු පිළිම උතුරේ හැදීම තහනම් කරමින් උතුරු පළාත් සභාව සම්මත කළ යෝජනාවෙහි කිසිදු නීතිමය පදනමක් නැත කියා ය. පළාත් සභා වලට එවැනි යෝජනා සම්මත කිරීමට අයිතියක් නැතැයිද එය ආණ්ඩුව පිළිගන්නේ නැතැයිද ඔහු එහිදී පැවසීය. 
 
මෙය උතුරු පළාත් සභාව සම්මත කළ යෝජනාව ඇමතිවරයා හිතා මතා ජාතිවාදී වුමනාවන් වෙනුවෙන් විකෘත කෙරුවකි. බෞද්ධ පන්සල් හා බුදු පිළිම උතුරේ හැදීම තහනම් කරමින් උතුරු පළාත් සභාව යෝජනා සම්මත කර නැත. ඔවුන් සම්මත කළ යෝජනාවෙන් කියා සිටින්නේ කිසිදු බෞද්ධ ප්‍රජාවක් නොමැති ප්‍රදේශවල එවැනි අනවසර ඉදිකිරීම් සඳහා ඉඩ නොදෙන බවය. අනවසර ඉදිකිරීම් සඳහා උතුරේ පමණක් නොව, දකුණේවත් ඉඩ නොදිය යුතුය. එහෙත් මේ ආණ්ඩුවේ සංහිඳියාව හිස් කතා වලට සීමා කරමින් උතුරේ කිසිදු බෞද්ධයෙකු නොමැති ප්‍රදේශවල වෙනත් බලපෑම් මත බුදු පිළිම වැනි දේ ඉදි වන්නේය. ඒ සඳහා කිසිදු නිල අවසරයක් ලබා ගැනීමක්ද සිදු නොවේ. උතුරේ ජනතාවට එය ඇත්ත ප්‍රශ්නයක් වන්නේ එවැනි අනවසර ඉදිකිරීම් අනතුරුව වෙනත් ප්‍රදේශවල සිංහල බෞද්ධ ජනතාව පදිංචි කිරීම වෙනුවෙන් ඒවා යොදා ගන්නා හෙයිනි.
 
එය උතුරේ බෞද්ධ පන්සල් බුදු පිළිම තහනම් කිරීමේ යෝජනාවක් ලෙස මේ ඇමතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස සැඟවෙමින් ඉදිරිපත් කිරීම දකුණේ සිංහල බෞද්ධ ජනතාව කුපිත කරවීමේ ද්වේශ සහගත ප්‍රකාශයකට වඩා අඩුවක් නැත්තකි. ඔහු එය නොදැනුවත්ව කෙරුවක් යැයි මම නොපිළිගනිමි. මීට පෙර මෙලෙසින්ම මේ ඇමතිවරයා ඉස්ලාමීය ප්‍රජාවට අගතියක් වන අයුරු කරුනු විකෘත කර ප්‍රකාශ කළ අයෙකු වන හෙයිනි.
 
එනිසාම ප්‍රශ්නය මතු වන්නේ මෙවැනි ඇමතිවරයෙකු ස්වාධීන අපක්ෂපාත අධිකරණයක් සහතික කිරීම වෙනුවෙන් කටයුතු කරනු ඇතිද යන්නෙහි ය. මෙවැනි ඇමතිවරයෙකු කිසිවිටක මේ රටේ සියලූ වාර්ගික, ආගමික ප්‍රජාවගේ විශ්වාසය දිනා ගත හැකි ඇමතිවරයෙකු නොවේ. ස්වාධීනව කටයුතු කරනු ඇතැයි ජනතාවට විශ්වාසයක් නොමැති පුද්ගලයෙකු අධිකරණ ඇමති ලෙස තබා ගන්නා ආණ්ඩුවක සංහිඳියා කතා ද කතාවටම සීමා කෙරෙන්නකි.
 
නීතිය හා සාමය වෙනුවෙන් වගකිව යුතු ඇමතිවරයාගේ දුර කතන ඇමතුම සම්බන්ධ කාරණාවද එවැනිමය. දූෂණයක් සම්බන්ධව ප්‍රශ්න කිරීමට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුවෙකු කැඳවීම සම්බන්ධයෙන් පොලිස්පතිට දුර කතන ඇමතුම ලබා දුන්නේ නීතිය හා සාමය සම්බන්ධ ඇමතිවරයා යැයි පාර්ලිමේන්තුවේ ඔහුව නම් කෙරුණේ චෝදනාවක් ලෙසින්ය. එසේ නොවන්නේ නම් ඒ සම්බන්ධ ප්‍රකාශයක් කිරීම විෂය බාර ඇමති ලෙස ඔහුගේ වගකීම විය. ඔහු මෙතෙක් ඒ වගකීම බාර ගෙන නැත. එනිසා පොලීසියේ රාජකාරි වලට බලපෑම් කරමින් පොලිස්පතිට දුර කතන ඇමතුම ලබා දුන්නේ අදාල ඇමතිවරයා යැයි සනාථ වන්නකි. එහෙත් ඊට වරදකරු ලෙස නම් කර ඇත්තේ දුර කතන ඇමතුම ලබා දුන් ඇමතිවරයා නොව, තමන්ට ලැබුණු දුර කතනයට උත්තර දුන් පොලිස්පති ය. පොලිසීයේ රාජකාරියට බලපෑම් කළ ඇමති නිදොස් කරමින් සැවොම ඉල්ලන්නේ බලපෑමට යටත් කෙරුනු නිලධාරියා ඉවත් කළ යුතුයැයි කියා ය. මෙය ඉතා පැහැදිලිවම මේ ආණ්ඩුව දූෂණ හා වංචා සම්බන්ධයෙන් තම හිතවතුන් ආරක්ෂා කිරීමේදී වැරදුනු විට නිලධාරීන් මතින් පව් සෝදා හැරීමේ නරුම පිළිවෙතකි. 
 
තමන්ට ලැබුණු දුර කතන ඇමතුමට පොලිස්පතිවරයා ප්‍රතිචාර දැක්වීම මාධ්‍යවේදියකු විසින් පටිගත කර විකාශනය කිරීමෙන් මේ ඇමතිවරයා පොලීසියේ ස්වාධීන ක්‍රියාකාරිත්වයට බලපෑම් කිරීම අප පළමු වරට සාක්ෂි ලෙස දුටුවකි. එය පළමු අවස්ථාව හෝ අවසන් අවස්ථාව නොවිය හැකිය. එවැනි බලපෑම් කිරීම් මීට පෙර කෙතරම් සිදුවිනි දැයි අපි නොදනිමු. මෙවැනි ඇමතිවරයෙකු යටතේ පොලීසියේ ස්වාධීනත්වය කිසි දිනෙක සහතික නොවනු ඇත. එනිසා විත්ති කූඩුවට නැංවිය යුත්තේ පොලිස්පති නොව ඇමතිවරයා ය. 
 
අගමැතිවරයාද පාර්ලිමේන්තුවේදී මේ ප්‍රශ්නය මතු කෙරුනු විට එය දෙවුන්දර ප්‍රශ්නයක් යැයි අතහැර දැමීමට උත්සාහ ගත්තේය. ඒ ඇමතිවරයා ඔහුගේ මාණ්ඩලික ප්‍රධානියාද වන සමීපතමයෙකු වන නිසා විය යුතුය. දූෂණ සම්බන්ධ විමර්ශන එළෙසින් සරළ පෞද්ගලික කාරණා ලෙස හෑල්ලූ නොකරන මෙන් ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක එදින පාර්ලිමේන්තුවේදී අගමැතිගෙන් ඉල්ලීමක්ද කළේය. නීතිය ක්‍රියාත්මක කිරීම තමන්ට අවශ්‍යවන විට එළෙසින් හෑල්ලූ කරන අගමැතිවරයෙකු සහ ඔහුගේ ආණ්ඩුව කෙතරම් අවංකව නීතිය හා සාමය පවත්වා ගැනීම වෙනුවෙන් ස්වාධීන පොලීසියක් මේ රටේ තහවුරු කරනු ඇතිද යන්න අද ඇසිය යුත්තකි.
 
රටක සියලූ ජනතාවට තමන්ගේ වාර්ගික හා ආගමික අනන්‍යතා සමගින් සාමුහික පැවැත්මකට තිබිය යුතු මූලික ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය හා සමාජ නිදහස නැවත තර්ජනයට ලක් කෙරෙන දකුණේ අන්තවාදීන්ට ඉඩ හැදී ඇත්තේ බුද්ධ ශාසන හා අධිකරණ ඇමතිගේ ජාතිවාදි කතා සහ නීතිය හා සාමය සඳහා වගකිව යුතු ඇමතිවරයා යටතේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවන හෙයින්ය. වෛරි ප්‍රකෝපකාරී කතා වලට එරෙහිව මාළිගාවත්තේ මුස්ලිම් නායකයෙකු අත් අඩංගුවට ගැනීමට අදාලවූ නීතිය බොදු බල හා රාවනා බල කණ්ඩායම් නායකයින්ට අදාල නොවන හෙයින්ය. ඒ වෙනුවට බුද්ධ ශාසන හා අධිකරණ ඇමති ඔවුන් සමග මාධ්‍ය ඉදිරියේ සාකච්ඡුාද පවත්වන හෙයින්ය. මේ ඇමතිවරුන්ගේ එවැනි දේශපාලන හැසිරීම් දකුණේ අන්තවාදීන්ට දිරි ගැන්වීම්ය. ඒ හේතුවෙන් අන්තර් ජාලයේ සමාජ මාධ්‍ය ජාල හරහා දෙමළ හා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ඉතා ප්‍රකෝපකාරී පදනම් විරහිත ප්‍රකාශ කිරීම් දැන් වර්ධනය වන්නේය. මේ රටේ සිටිය යුත්තේ බෞද්ධයින් පමණකැයිද එනිසා අන් සියල්ලන් බෞද්ධාගමට හැරවිය යුතුයැයිද අන්වර්ථ නාමයන්ගෙන් පෙනී සිටිනවුන් දැන් බිහිව ඇත.
 
ආණ්ඩුව කතා කරන සංහිඳියාව වෙනුවෙන් ඒවා මැඩ පැවැත්වීමට හැකි වන්නේ මෙවැනි අධිකරණ හා නීතිය හා සාමය සඳහාවන ඇමතිවරුන් සමගින් නොවේ. සංහිඳියාව ගැන ජනාධිපති කතා කළ පමණින් ඒවා මැඩ පැවැත්විය හැක්කේද නොවේ. ඒවා මැඩ පැවැත්විය හැක්කේ වර්ගවාදීන් ජාතිවාදීන් ආණ්ඩුවේ වගකිව යුතු නිල තල වලින් ඉවත් කිරීමෙන් ය. නීතිය යට ගසන්නට බලපැම් කරන ඇමතිවරුන් ඉවත් කිරීමෙන්ය. එවැනි අධිශ්ඨානයක් එඩිතර කමක් දේශපාලන තීන්දු ගැනීමේදී රටේ නායකයින් ලෙස ජනාධිපති සහ අගමැති රටට ප්‍රදර්ශනය කළ යුතුව ඇත. එසේ නොවන විට, ශීලාචාර ශිෂ්ට ලංකාවක් සඳහා ඒ දේශපාලන එඩිතරකම සමාජය පෙන්විය යුතු වන්නේය.
 
කුසල් පෙරේරා
 
 
 
   

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top