Dec 24, 2016

ප්‍රවෘත්ති ජෙනරාල්ගේ මාධ්‍ය පාඩම නොහොත් ගුරුන්ටත් 'එතික්ස්' වැරදීම

හම්බන්තොට පහරදීම මුල්කොටගෙන ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය සමාජයේ ඇතිව තිබෙන්නේ ගැඹුරු විභේදනයකි. එම විභේදනය ඇදී යමින් ඇත්තේ බරපතල උපාය මාර්ගික වරදක් දෙසට ය. ‘දැනුම‘ නම් ඇස් නිලංකාර කරවන බලය විසින්, එම ‘බලය‘ දැන හෝ නොදැන අවභාවිතයේ යෙදවූ න්‍යායාචාර්යවරුන් අතින් විභේදිත ජනමාධ්‍ය සමාජය මේ ව්‍යාකූල, සාවද්‍ය, හානිකර මාර්ගය ඔස්සේ මේ ලියන මොහොතේ ද මෙහෙයැවෙමින් තිබේ.

ranga kalansooriya cropped2මෙම ව්‍යාකූලත්වයේ කේන්ද්‍රයේ ඉන්නේ අනෙකකු නොව, රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය ය. ව්‍යාකූලත්වය වගාදිගා කිරීමේ කාර්යයට යහමින් උර දී සිටින එක් පිරිසක් වන්නේ තමන්‘යහපාලනය‘ උදාකිරීමේ විශාල බරක් අදින ලදැයි විශ්වාස කරන හා එ බැවින්ම පාලක තන්ත්‍ර‍යට තමන්ට අයිතිවාසිකමක් ඇතැයි සිතන පිරිසකි. එසේ ම කල්ලිවාදීන්, කට්ටිවාදීන්, නිකමුන් සහ සයිබර් චණ්ඩින් පිරිසක් ද ඊට එක්වී සිටිති. එහෙත් ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂවරයා එකලාව එහි මතුපිට කේන්ද්‍රය (ඊට සැඟවුණු කේන්ද්‍රයක් ද තිබෙන බව පෙනේ.) නියෝජනය කරන්නේය යි අප කියන්නේ, ඉහතින් කී ඉතිරි පාර්ශවයන්ට ද බියසැක නැතිව එළියට බැස සිය සගයාට‍, ගුටි කෑ මාධ්‍යවේදියාට පහර ගසා, සිද්ධියේ අවධානය ‍විතැන් කිරීමෙහි ලා උරදෙන්නට ඇවැසි අවි සැපයූවේ ඔහු ම වන බැවිනි.

එහෙයින් ඔහු විසින් සපයා ඇති අවි තොගය සහ ඒවා ඔහු ම භාවිත කර ඇති ආකාරය මොන තරම් ගැටලු සහගත හා ස්වයං විනාශකාරීද යන්න පිළිබද කතිකාවක් අත්‍යවශ්‍ය ය.

රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂවරයා මෙම පහරදීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයෙන් කියා සිටියේ, පහර කෑ ජනමාධ්‍යවේදියා විසින් ‘ගැටුම් වාර්තාකරණයේ දී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර පැහැරහැර ඇති‘ බව ය. එතැනින් නො නවතින ආචාර්ය කලංසූරිය, නාවුක හමුදාපතිවරයා පෞද්ගලිකව ම හම්බන්තොට මෙහෙයුමට සහභාගී වීමේ අවශ්‍යතාව නාවික හමුදාව උපුටා දක්වමින් පෙන්වයි.

ව්‍යාකූලත්වයේ ප්‍ර‍භවය

මාධ්‍යවේදියාටම වගකීම පටවන කලංසූරිය ගේ මෙම නිවේදනයත් සමගින් ඇතිවූයේ, මෑත ඉතිහාසයේ මාධ්‍යවේදියකුට පහරදීමේ සිද්ධියක දී කිසි දා ඇති වී නැති ව්‍යාකූලත්වයකි. රාජපක්ෂ රෙජීමය සමයේ පටන් ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂකයකු, ගුරුවරයකු හා ජනමාධ්‍යකරණය පිළිබද න්‍යායාචාර්යවරයකුගේ භූමිකාවක් රඟදක්වමින්, ජනමාධ්‍යවේදීන් අතර ශක්තිමත් පදනමක් ගොඩනගාගෙන සිටි රංගගේ මේ ප්‍ර‍කාශය, ජනමාධ්‍ය සමාජය තුළ බරපතල බෙදීමකට හේතු වී තිබේ. සිද්ධිය හෙලාදකින ජනමාධ්‍යවේදීන් පිරිසකගේ විරෝධයට මෙම නිවේදනය හේතු වූ අතරම, කලංසූරිය නම් පුද්ගලයාගේ අතීත ක්‍රියාපිළිවෙතට, ඔහු ගේ න්‍යායාචාර්ය භුමිකාවට, ගුරු භුමිකාවට ආසක්තව සිටියවුන් පිරිසක්, එම ප්‍ර‍කාශයේ තමන් නො දන්නා, තමන්ට ආගන්තුක, බුද්ධි ප්‍ර‍භාවෙන් ඔපවැටුණු, පෙර නෑසූ විරූ සත්‍යයක් ඇතැයි ඊට වශී වූ බව පෙනෙන්නට තිබිණි. මේ දෙවර්ගයටම අයත් නො වූ, යහපාලනයට අයිතිවාසිකම් කියන, එයින් සිදුවන අකටයුතුකම් දෙස රාජපක්ෂ රෙජීමයෙන් සිදුවූ ඊට ම සමාන අකටයුතුකම් දෙස බැලූ කෝණයට වඩා වෙනස් කෝණයකින් බලන්නට පුරුදුව සිටින, තමන්ට වෙනස් ආකාරයකින් ඒවා දකින පිරිස් ගැන නුරුස්නාවෙන්ි සිටින පිරිසකට ද රංග අතින් අපූරු න්‍යායක් සැපයිනි. ඊට අමතර ව රංගගේ තියරිය සයිබර් අවකාශයේ සමාජ ජාල අරක්ගෙන සිටින, ජනමාධ්‍යවේදීන්ට පුරුද්දක් ලෙස ගැරහීම විනෝදාංශයක් කරගත් පිරිසකට අපූරු කටගැස්මක් විණි.

kenji ogawa myanmar
වෘත්තීය කැපවීමද? ආචාර ධර්ම නැතිකමද: ජපන් ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පී කෙන්ජි නගායි - 2007 සැප්තැම්බර්, මියන්මාරය

උක්ත නිවේදනයෙන් අනතුරුව නැවතත් ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂවරයා මේ පිළිබද අදහස් දක්වමින් ප්‍ර‍සිද්ධ සභාවක් ඇමතුවේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පසුගිය 15 වැනිදා පැවැත්වූ සංවාදයකදී ය. එහි දී රංග ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ ආචාරධර්ම, මාධ්‍යවේදියා ගේ ආරක්ෂාවට අදාළ කාරණා හා තමන් සතු ජාත්‍යන්තර අත්දැකීම් ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සිය දැනුම ‘ඇසුවන් කන් කීංගාවන‘ අයුරින් ප්‍ර‍කාශ කර සිටියේ ය. ඒ අනුව ඔහු ගේ ඒ කතාවට දැපනය වැටී, එය දේව භාෂිතයක් සේ ඇදහීම හැරුණු කොට බොහෝ දෙනෙකුට එ් සම්බන්ධයෙන් ප්‍ර‍ශ්න කිරීමට දෙයක් තිබුණු බවක් නො පෙනිණි. ඒ අනුව තමන්ගේ ම රැහේ එකා මත වරද පටවා සිද්ධියේ උණුසුම රජය අපහසුතාවට පත් නොවන දිශාවකට හරවා තැබීමට සැළකිය යුතු පිරිසක් දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්මාදම් වන අයුරු පෙනේ.

එහෙත් රංගගේ නිල නිවේදනය සේම මේ ප්‍ර‍සිද්ධ අදහස් දැක්වීම ද ගැටලුකාරී ය. ඒ ගැටලුකාරීත්වයේ ප්‍ර‍ධාන කාරණාවක් දෙකක් හෝ ලිහා බැලීම වැදගත් ය.

පැහැර හැරි සදාචාරය

සිය නිවේදනයෙන් මාධ්‍යවේදියා “ගැටුම් වාර්තාකරණයේ දී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර පැහැර හැර තිබිණැ“යි සොයාගෙන සිටි රංග, එයින් දින හතරක් ඇවෑමෙන් සිය ස්ථාවරය වැඩිමනත් නො පෙනෙන ලෙස ස්වල්පයක් වෙනස් කරයි. දැන් ඔහු කියන්නේ තමන් පාවිච්චි කළ වචනය ගැටුම් වාර්තාකරණය වුවත් “මේක ඊට එහා ගිය හොස්ටයිල් එන්වයරන්මන්ට් එකක්. (Hostile environment)“ කියා ය. ඊට ගැලපෙන සිංහල වචනය නො දන්නා බව ද ඔහු කියයි. ඇතැම් විට නිවේදනය සකසන වෙලාවේත් ඔහු වඩාම ගැලපෙන තත්ත්ව විග්‍ර‍හය දැන සිටින්නට ඇති මුත් ඊට කියන සිංහල වචනය නො දන්නා කමට ‘ගැටුම් වාර්තාකරණය‘ යන්න යෙදුවා වෙන්නට බැරි නැත. නැතිනම් එතරම් සාරගර්භ ලෙස සිය දැනුම හා ජාත්‍යන්තර අත්දැකීම් එළිදක්වන ඔහුට, මේ දෙක සිය නිල නිවේදනයේ දී පැටලෙන්නට හේතුවක් නැත. ඉතින් ඔහුට අවශ්‍ය නාමකරණයට ගැළැපෙන සිංහල පාරිභාෂික පදය ලෙස අපට යෝජනා කළ හැක්කේ 'එදිරිවාදී වාතාවරණයන් වාර්තා කිරීම' ය.


yotam ronen october 2012

වෘත්තීය කැපවීමද? ආචාර ධර්ම නැතිකමද?: ඊශ්‍රායෙල් ඡායාරූප ශිල්පී යොටාම් රොනැන් - 2012 ඔක්තෝබර්, බටහිර ඉවුර

උක්ත නිවේදනය නිසා තමන්ට විවේචන හා මඩ ප්‍ර‍හාර පවා එල්ල වූ බවත්, තමන් මාධ්‍යවේදියා මත වරද පටවා ආණ්ඩුව වෙනුවෙන් නාවික හමුදාපතිවරයා සුද්ද කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ බවත්, තමන් ‘කී දේ නිවැරැදි මුත් එය කී වෙලාව නිවැරැදි නැත‘ හෙවත් ‘ටයිමිං ප්‍ර‍ශ්නයක්‘ තිබිණැයි ද, එය ‘පසුව කිවයුතුව තිබූ දෙයකැයි‘ද ඇතැමුන් තමන්ට කී බවත්, රංග එහිදී කීවේ ය. මේ ප්‍ර‍සිද්ධ සභාවේ දී ඔහු මහත්මයකු ලෙස, සිය ප්‍ර‍කාශයෙන් කිසිවකුට සිත්රිදීමක් ඇතිවිණි නම් තමන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලන බව ද කියයි. ඒ මහත්මාකමට ගරුකරන නමුත් එය අප ඒ කතාව සම්බන්ධයෙන් ඇති විවේචනය සඟවා තබාගැනීමට හේතුවක් කරගන්නේ නැත.

රංගගේ 15 වැනි දා කතාව ප්‍ර‍මුඛව ඉලක්ක වන්නේ, ජනමාධ්‍ය ආචාරධර්ම වෙතට හා ඒවා කඩකිරීමම ජනමාධ්‍යවේදියාගේ ආරක්ෂාවට තර්ජනයක් වීම නම් කාරණය දෙසට ය.

මෙය ඉතා කාලෝචිත මාතෘකාවකි. මෙ වැනි කාරණා සම්බන්ධයෙන් යමකුට ඉතා හොඏ දැනුමක් තිබෙන්නට පුළුවන. දේශීය සේ ම ජාත්‍යන්තර අත්දැකීම් ද තිබෙන්නට ඉඩ තිබේ. එහෙත් ඉහළම අත්දැකීම් සහිත දැනුමැත්තෙක් පවා අමාරුවේ වැටෙන්නේ ඒ දැනුම, ඒ අත්දැකීම සිය භාවිතයට යොදන්නට යාමේදී ය. ඒ සම්බන්ධයෙන් ගත්කල රංග සිය නිවේදනයේ දී මෙන් ම විනාඩි විසි දෙකක් දිග ප්‍ර‍සිද්ධ අදහස් දැක්වීමේදී ද පැහැදිළි ව පෙන්වන්නේ, කෙනකු තමන් සතු දැනුම හා අත්දැකීම් සංකීර්ණ විෂයයක් අරබයා භාවිතාවට යොදාගන්නට යනවිට වැටෙන්නට හැකි අමාරුවේ දිග පළලයි.

මින්දනාඕ සංහාරය

රංග කියන ආකාරයටම මාධ්‍ය ආචාරධර්ම යනු කළු හෝ සුදු ලෙස වර්ග කළ හැකි කලාපයකට වඩා නොපැහැදිලි කලාපයකි (Grey Area). ආචාරධර්ම රැකීම, ඒ ගැන උපදෙස් දීමට හා ඉගැන්වීමට වඩා කොතරම් අභියෝගාත්මක දෙයක්දැයි යන්නට කදිම උදාහරණ තොගයක් රංග ගේ කතාව පුරාම එයි. එයින් අතිශය තීරණාත්මක හා බැරෑරුම් උදාහරණය වන්නේ මින්දනාඕ සංහාරය නමින් ප්‍ර‍කට මින්දනාඕ දූපතේ ජනමාධ්‍යවේදීන් 32 දෙනකු ඇතුළු 58 දෙනෙක් ඝාතනය වීම ගැන ඔහුම මේ ප්‍ර‍සිද්ධ සභාවේ දී කියන කතාව යි.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) නායකත්වයෙන් යුතුව මෙම සංහාරය ගැන සොයාබැලීමට ගිය නියෝජිත කණ්ඩායමට අයත් වූ විශේෂඥයන් සිව් දෙනාගෙන් තමන් ද කෙනෙක් බව ප්‍ර‍කාශ කරමින් රංග කියන්නේ, මෙම මාධ්‍යවේදීන් ‘මුදල් බලාගෙන‘ එම රාජකාරියට ගිය බව ය. ඒ අනුව එම සිද්ධියේ දී ජනමාධ්‍යවේදීන් සිය ස්වාධීනත්වය නම් මූලික ආචාර ධර්මය කඩකළ බවත්, එහි ප්‍ර‍තිඵලයක් ලෙස ඔවුන් ඝාතනය වූ බවත් ය. “හැබැයි අපි මේක වාර්තාවට ඇතුළත් කළේ නෑ“යි රංග තවදුරටත් කියන්නේ “මේ තියෙන්නේ වාර්තාව“ යයි වාර්තාව රැස්ව සිටින්නන්ට පෙන්වමින් බව හඬපටය අසන විට පැහැදිළි වෙයි. මින්දනාඕ සිද්ධියට සම්බන්ධ මාධ්‍යවේදීන්ගෙන් එක් අයෙක් දිවි ගලවාගත් බවත්, තමන් එම පුද්ගලයා ‘ඉන්ටර්වීව්‘ කළ බවත් රංග කියයි. එහි දී එම මාධ්‍යවේදියා හෙලිකළ පරිදි ඔහු (හෝ රංග කියන පරිදි ඔවුන්) එහි ගොස් ඇත්තේ මුදල් බලාගෙන ය. මහලොකු මුදලකටත් නොවේ, පෙසෝ පන්දහසකට ය. “මරන බව දැන දැනත් ඇයි ගියේ“ය යි රංග අසන ප්‍ර‍ශ්නයට දිවි ගලවාගත් බව කියන මාධ්‍යවේදියා පිළිතුරු දී ඇත්තේ “සර්, ඊළග මාසේ නත්තල්. අපි ළමයින්ට කන්න දෙන්නේ කොහොමද?“ කියා ය.

gleb garanich kiev ukraineවෘත්තීය කැපවීමද? ආචාර ධර්ම නැතිකමද? : රොයිටර් ඡායාරූප ශිල්පී ග්ලෙබ් ගාරානිෂ් - 2013 නොැවම්බර්, කීයෙෆ්, යුක්රේන

දැන් පැන නැගිය යුතු ප්‍ර‍ශ්නය නම්, මේ එකම මාධ්‍යවේදියා කියන විදියට අර ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් තිස් දෙදෙනාම ගියේ නත්තලට ළමයින්ට කන්න දෙන්නට මුදල් හොයන්නටද යන්නයි? සරලවම ගන්නේ නම් හුදෙක් මුදල් අපේක්ෂාව නිසා පමණක්ද? ඊට වෙනස් ජනමාධ්‍යමය අභිලාෂයන් ඒ තිස් දෙන්නාගෙන් කිසිවකුටවත් තිබුණේ ම නැතිද? එසේ නො තිබූ බවට තහවුරු කරන, අර කියන දිවිගලවාගත් මාධ්‍යවේදියාගේ සාක්කියට අමතර සාක්කි මොනවාද? ප්‍ර‍සිද්ධ සභාවක “ඒ මාධ්‍යවේදීන් මුදලට තමන්ගේ ආචාරධර්ම පාවාදී ඒ ගමන ගිය නිසා මැරුම් කෑවා“ යි දරුණු තීන්දුවක් දෙන්නට තරම් රංග අත ඇති ඒ සාක්කි බලවත්ද? එ් සාක්කි ද එළිදරව් නො කරමින් එවැනි බරපතල චෝදනාවක් ඝාතනය වූ පුද්ගලයන් සමූහයකට එරෙහිව නැගීමෙහි ඇත්තේ කෙබඳු ආචාරධාර්මිකත්වයක් හෝ සදාචාරයක්ද?

ඊ ළගට පැනනගින ප්‍ර‍ශ්නය වන්නේ මේ කාරණය ඔවුන් සිය වාර්තාවේ ඇතුළත් නො කළේ මන්ද යන්න යි. රංග ඒ ගැන කිසිත් නො කියන බැවින්, ඊට මූලිකම කරුණු දෙකක් බලපෑ හැකි බව අපට උපකල්පනය කළ හැකි ය. පළමුවැන්න නම්, ඝාතනයට ලක් වූ තිස් දෙදෙනකු ගැනම එබදු බරපතල නිගමනයක් දීමට තරම් ප්‍ර‍මාණවත් සාක්කි පරීක්ෂණ කණ්ඩායම අත නො තිබීම ය. දෙවැන්න, ඒ සදහා ප්‍ර‍මාණවත් සාක්කි තමන් අත තිබියදීත්, පරීක්ෂණ කණ්ඩායම එය වාර්තාවට ඇතුළත් නො කරන ලද්දේ, ආචාරධාර්මික හෝ වඩාත් පුළුල් පදනමකින් ගත්කල සදාචාරාත්මක ගැටලුවක් එහි ඇති බව සිතූ නිසා වන්නට පිළිවන. එවැන්නක් එළිපිට වාර්තා කිරීම සංවේදී වාර්තාකරණයේ මූලධර්ම ඉක්මවා යාම, වින්දිතයන්ට ඉන් තවදුරටත් අගතියක් වීමට ඇති ඉඩකඩ වැනි අනුශාංගික කාරණා ද මේ සදහා බලපවත්වන්නට ඇත.

ගඟේ ගිය සදාචාරය

ඊ ළගට අපට රංගගේ ප්‍ර‍කාශයේ බරපතලම ගැටලුව සම්මුඛ වේ. මෙබඳු කාරණා (හෝ රංග නො කියන වෙනත් කාරණා) නිසා නිල වාර්තාවකට ඇතුළත් නොකරන නිගමනයක්, රටක ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම රාජ්‍ය නිලධාරියා ලෙස ප්‍ර‍සිද්ධියේ ප්‍ර‍කාශ කර සිටීම කොතරම් නම් ආචාරධාර්මිකද? ඔහු මෙය කියන්නේ පැදුරු පාටියක දී, මිතුරන් පිරිසක් පිරිවරාගෙන කරන පෞද්ගලික කතාවක් ලෙස නොවේ. ශ්‍රී ලංකා රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ප්‍ර‍සිද්ධ සංවාද සභාවකදී ය. ජනමාධ්‍යවේදීන් පිරිවරාගෙන ය.

ඔහු ගේ ඊළඟ ප්‍ර‍කාශය, තත්ත්වය තවත් බරපතල කරවයි. “(එම සංහාරය සිදු වූ දිනය වන) නොවැම්බර් 23 වැනිදා මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට එරෙහිව අපි පිලිප‍ීනයේ පෙලපාලි යනවා. ඒත් මගේ හිත දන්නවා මේ මාධ්‍යවේදීන් මියගියේ ආචාරධර්ම කඩකළ නිසා කියලා.“ ඝාතනයට ලක් වූ සමූහයක් වෙනුවෙන්, එම ඝාතනය පිළිබ‍ඳ අපක්ෂපාතී පරීක්ෂණයකට ජනමාධ්‍ය විද්වතෙක් ලෙස සහභාගී වී නිල වාර්තාවක් ඉදිරිපත් කරන්නට හවුල් වූ පුද්ගලයෙක්, එයින් වසර කිහිපයකට පසු සිය රටේ ජනමාධ්‍ය සම්බන්ධ රජයේ ඉහළ ම නිලධාරියා බවට පත් වී, තමන්ගේ ම වාර්තාවට පවා ඇතුළත් නො කළ මෙබඳු ප්‍ර‍කාශයක් ‍ප්‍රසිද්ධ සභාවක පැවසීම කොතරම් ආචාරධාර්මිකද?

රංග කියන පරිදි ම ආචාරධර්ම අපැහැදිළි කලාපයකි. එ වැනි ගැටලුවක දී සිය සගයන්ගේ (කර්තෘ මණ්ඩලයක නම් එහි සංස්කාරක/වාර්තාකාර සමූහයේ) අදහස් විමසීම හෝ “ඡන්දයක් ගැනීම“ පවා වැදගත් ය. “අප විසින් කරන ලද විමර්ශනයට අදාළව මා මෙවැනි ප්‍රකාශයක් ශ්‍ර‍ී ලංකා රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ප්‍ර‍සිද්ධ සභාවක කීම ආචාරධාර්මිකදැ“යි ඔහු අදාළ නියෝජිත කණ්ඩායමෙන්/ඔවුන්ට ඒ වගකීම පැවරූ ආයතනවල වගකිවයුත්තන්ගෙන් කී දෙනකුගෙන් කලින් විමසා සිටියේද? ඔවුන්ගෙන් ඡන්දයක් විමසුවේද? එසේ නො කළේ නම් “ආචාර ධාර්මික කාරණා තහවුරු කරගැනීම ජනමාධ්‍යවේදීන් වැනි අවශේෂ අයට මිස රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වැන්නකුට අවශ්‍ය නොවන/ගැලපෙන්නේ නැති දේවල්යැයි ඔහු කල්පනා කළේද?


mohammad yassin bilin ramallah

වෘත්තීය කැපවීමද? ආචාර ධර්ම නැතිකමද?: ඊශ්‍රායෙල් සෙබළෙකුට මුහුණ දෙන පලස්තීන මාධ්‍යවේදී මොහොමඩ් යාසීන් - 2013 දෙසැම්බර්, බිලින්, රාමල්ලා

එහෙත් මෙතැන දී රංග විසින් ජනමාධ්‍යවේදියකු ලෙස නොව, සමූහ ජනමාධ්‍යවේදී ඝාතන සිද්ධියක් පරීක්ෂා කිරීමට ගිය ජාත්‍යන්තර ජනමාධ්‍ය විද්වත් කණ්ඩායමක වගකිවයුතු සාමාජිකයකු ලෙස දරුණු ආචාරධර්ම කඩකිරීමක් කරනු ලැබ ඇතැයි අපි විශ්වාස කරමු. එය හම්බන්තොට මාධ්‍යවේදියා කඩකර ඇතැ‘යි රංගම කියන මොනයම් ම හෝ ආචාරධර්මයකට වඩා අතිශය බරතල ය. ඊට වඩා අතිශය සංවේදී ය. අතිශය බලපෑම් සහගත ය.

රංග අද හොබවන තනතුරේ හිඳිමින් ප්‍ර‍සිද්ධ සභාවක කරන මේ ප්‍රකාශය, එම සිදුවීමේ වින්දිතයන්ට, ඝාතනය වූවන් ගේ ඥාතීන්ට අසන්නට ලැබුණාය යි සිතමු. සිදුවිය හැක්කේ කුමක්ද? රංගම බරසාර ලෙස තහවුරු කරන සංවේදීත්වයට, වගකීමට, ආචාරධාර්මිකත්වයට සිදුවන්නේ කුමක්ද?

ගුරුන්ටත් අකුරු වරදින තැන්

මේ කාරණය අප අවධාරණය කරන්නේ රංග දඩුකඳේ ගැසීමට නොව, ආචාරධර්ම නම් විෂයය කොතෙක් දුරට සංකීර්ණ, බහු අරුත් නගන, ප්‍රමාණික විෂයය දැනුමැත්තකු වුව අපහසුතාවේ හෙළන‍, කොටින්ම ගුරුන්ටත් අකුරු වරද්දන විෂයයක්ද යන්න අවධාරණය කිරීමට ය. රංගට ජනමාධ්‍ය ආචාරධර්ම ගැන වුවමනා තරම් දැනුම තිබේ. ජාත්‍යන්තර අත්දැකීම් ද ඇති තරම් තිබේ. ඊට අමතරව ඔහු ඒ ගැන ගුරුවරයෙකි. ගුරුවරුන්ගේත් ගුරුවරයෙකි. මොඩියුල් සම්පාදකයෙකි. ජාත්‍යන්තර මට්ටමේ සම්පත් දායකයෙකි. ඒ සියල්ල තිබියදීත් ප්‍රායෝගිකත්වයේ දී, භාවිතාවේ දී ආචාරධර්ම නම් නොපැහැදිළි කලාපයට තමන්ටම අඩිය තියන්නට සිදුවන විට දී, ඔහු අතින් ද ගැටලු සහගත ප්‍ර‍තික්‍රියා දැක්වේ. ආචාර ධාර්මික නො වන දෑ කියැවේ. සදාචාරය පළුදු වේ. ගැටුමක්, එදිරිවාදී වාතාවරණයක් වාර්තා කිරීම වැනි උද්වේගකර අවස්ථාවක දී නොව, ඉතා හොඳින් සූදානම් වීමට ඇති තරම් කල්වේලා හා නිදහස තිබූ, සුවපහසු දේශන ශාලාවකදී ය. දින හතරකට පෙරත් කට වැරැද්දක් කරගෙන සිටි හා ඒ නිසා වඩාත් පරෙස්සම් විය යුතුයැ‘යි තමන්ටම අවධාරණය කරගත හැකි ආරක්ෂිත වාතාවරණයක හිඳිමින් ය.

එහෙම ආරක්ෂාකාරී, සුවපහසු වාතාවරණයක සිටි රංගටත් ‘එතික්ස්‘ වරදිනවා නම්, හම්බන්තොට ප්‍රාදේශීය වාර්තාකාරයකු අතින් කම්කරුවන් හා නාවික හමුදාව අතර ‘ගැටුමක්‘ හෝ ‘එදිරිවාදී වාතාවරණයක්‘ වාර්තා කරන්නට ගිය විට ආචාරධර්ම කඩවීම කෙබදු නම් අරුමයක්ද?

රංග වැටී සිටින අබග්ගයේ දිග පළල මෙසේ යම් පමණකට මැනගත් පසු, ඒ අනුසාරයෙන් අපට මෙලෙසින් ද තර්ක කළ හැකි ය. ආචාරධර්ම රැකීම, එදිරිවාදී වාතාවරණ වාර්තා කිරීම, මාධ්‍යවේදියා ගේ ආරක්ෂාව වැනි කාරණා ගැන කොතරම් දැනුම එකතු කරගත්තත්, ඉතා ක්ෂණිකව ප්‍ර‍තිචාර දැක්විය යුතු අවස්ථාවල දී ජනමාධ්‍යවේදියකුට ද ඒ දැනුම භාවිතාවට නැගීම අතිශය අභියෝගකාරී වීමට ඉඩ ඇතිබව පෙනේ. මන්ද, රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම හම්බන්තොට ජනමාධ්‍යවේදියා ද මනුෂ්‍යයකු බැවිනි. මාධ්‍ය ආචාරධර්ම සේම ගැටුම් වාර්තාකරණයේ දී පිළිපැදිය යුතු අති බහුතරයක් සම්මුතීන් නීති බවට පත් නොවී, සම්මුතීන් හා රීතීන් පමණක් ලෙසින් මෙතෙක් පවතින්නේ ද මනුෂ්‍යයාගේ මේ පොදු දුර්වලතාව නිසා විය හැකිය යි ඒ අනුසාරයෙන් අපට උපකල්පනය කරන්නට පිළිවන.

‘කොමන් සෙන්ස්‘ පාවිච්චි කිරීම ගැන රංග සිය කතාවේ කිහිප තැනක ම අවධාරණය කරයි. එහෙත් ඒ උපදේශය තමන්ගේම ක්‍රියාව ඇතුළේ පිළිපදින්නට ඔහුට අමතක වෙයි. ඉතාම සාමාන්‍ය ‘සිහි බුද්ධිය‘ පාවිච්චි කළේ නම්, තමන්ගේ නිදහසට කරුණු ඉදිරිප් කරන්නට අවස්ථාවක් නොලද මළවුන් අරබයා ඔහු මෙවැනි සදාචාරාත්මක නොවන කතාවක් කියන්නේ නැත.

‘කොමන් සෙන්ස්‘

දැන් අපට යළි රංග ගේ නිවේදනය වෙතට හැරනේනට පිළිවන. ජනමාධ්‍යවේදියකුට එරෙහිව වන පහරදීමක් සම්බන්ධයෙන් අප රටේ ජනමාධ්‍ය ප්‍ර‍ජාව කොතරම් සංවේදීද යන්න, ජනමාධ්‍යවේදීන් බලවත් තර්ජනයන්ට හිරිහැරයන්ට මුහුණ පා සිටි රාජපක්ෂ රෙජීමය සමයේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙස ද කටයුතු කළ රංග හොඳින් ම දන්නේ ය. එ වැනි අවස්ථාවක දී පහර කෑ ජනමාධ්‍යවේදියාට ආචාරධාර්මික චෝදනා එල්ල කරමින් ද, පහරදුන් පුද්ගලයාගේ ස්ථානීය පෙනීසිටීම ඔහු අයත් බලව්‍යූහයම උපුටා දක්වමින් විශේෂයෙන් සාධාරණීකරණය කරමින් ද නිවේදනයක් නිකුත් කිරීම මගින්, තමන්ට ද ‘එදිරිවාදී වාතාවරණයකට‘ ඇතුළත් වන්නට සිදුවන බව රංග ගේ ‘කොමන් සෙන්ස් එකට‘ හෙවත් සාමාන්‍ය සිහි බුද්ධියට හසු නොවුණේ ඇයි? ‘තමන් වාර්තා කරන කතාවේ විෂයයක් බවට පත්වෙන්න එපායැ‘යි සිය කතාවේ දී මාධ්‍යවේදීන්ට ඉතාම වැදගත් න්‍යායික උපදෙසක් දෙන රංග, සිය නිවේදනයෙන් එහි වාද විෂයය බවට පත්ව සිටී. සිය නිවේදනයෙන් ආචාරධර්ම කැඩීමක් ගැන ඒ මොහොතේ කීම අවස්ථාවෝචිතදැ‘යි ඔහු සිය සගයන්ගෙන්/කාර්ය මණ්ඩලයෙන් විමසීමක් කළේද? ඡන්දයක් විමසුවේද? එසේ නොකළේ නම් ඒවා ජනමාධ්‍යවේදීන් වැනි අවශේෂ අයට මිස තමන් වැනි ඉහළ නිලධාරීන්ට ගැලපෙන දේවල් නොවේය යි ඔහු කල්පනා කළේද?

ඔහුගේ නිවේදනයේ ආචාර ධර්ම ප්‍ර‍ශ්න කිරීමෙහි ‘ටයිමිං ප්‍ර‍ශ්නයක් තිබෙන බව‘ හා ඒ කතාව ‘පසුව කියන්න තිබුණු බව‘ ඇතැමුන් තමන්ට කියන්නේ යැයි ඔහු කියයි. ඒ ඔවුන් සතුව ‘කොමන් සෙන්ස්‘ තිබෙන බැවින් විය හැකි ය. හම්බන්තොට ආවරණයට ගිය මාධ්‍යවේදියා ‘කොමන් සෙන්ස්‘ පාවිච්චි නො කළ බව කියන රංගගේ ‘කොමන් සෙන්ස්‘ භාවිතය එබඳු ය. එහි අවසානය ඔහුට තමන්ගේ ප්‍ර‍කාශය ගැන ප්‍ර‍සිද්ධියේ සමාව ගන්නට සිදුවන තැනකට ගොස් තිබේ. එය මහත්මා ගතියකි. එහෙත් ඒ වන විට ජනමාධ්‍ය සමාජයට සිදුවිය යුතු හානිය බොහෝ දුරට සිදු වී අවසන් බව අප ගේ හැඟීම යි.

එහෙත් එය ජනමාධ්‍ය සමාජයට සිදු වූ හානියක් ලෙස පෙනෙන්නේ ඇතැම් විට අපට පමණක් විය හැකි ය. රංගට (හෝ ඔහු ගේ දේශපාලන නායකත්වයට) අනුව එය උපක්‍ර‍මික ජයග්‍ර‍හණයක්දැ‘යි අපි නො දනිමු. තමන් “යමක් කියන්නේ හොඳට හිතලා බලලා“යැයි රංග තම කතාවේ දී කියයි. එසේනම් ඔහු ඉහත නිවේදනය නිකුත් කරන්නේ මෙවැනි මත ගැටුමක්, පිල්බෙදීමක් ජනමාධ්‍ය සමාජය තුළ ඇති වී සැබෑ ප්‍ර‍ශ්නය හෙවත් නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියකුට පහරදීම අමතක කරවා දැමීමටද? තමන්ගේ නිල කාලයේ දී ඉදිරියටත් සිදුවිය හැකි මෙවැනි පහරදීම්, අඩන්තේට්ටම්වලදී ද මේ ආචාරධර්ම නම් උත්තර සංවාදය පාවිච්චි කරමින්, සැබෑ ප්‍ර‍ශ්නය යටගැසීමේ හෝ තනුක කිරීමේ හෝ අවධානය වෙනතකට හැරවීමේ මූලික උපාය මාර්ගික සැලසුමක් විදියටද? එසේ නම් එය කිරීමට ඉතා ම සුදුසු පුද්ගලයකු හෙවත් ජනමාධ්‍යවේදීන් ගේ ‘රැහේ එකෙක්‘ම ‘යහපාලනය‘ විසින් තෝරාගෙන සිටින්නේද?

ගුටි ඇන සොයන ආචාරධර්ම

රෝහණ කුමාරගේ මාධ්‍ය භාවිතාව පුළුල් ප්‍ර‍ජාවක් ලෙස ලාංකීය ජනමාධ්‍ය සමාජය අනුමත නොකළත් ඔහු ඝාතනය කැරුණු විට ඔහුගේ ආචාරධර්ම සොයමින් ඝාතනය සාධාරණීකරණය කරන්නට මෙතරම් පුළුල් ලෙස ඉදිරිපත් වූවෝ විරල වූහ. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූ විට ඔහු ජනමාධ්‍යවේදියෙක්ද නැතිදැයි යන ගැටලුව ඇතැම් මාධ්‍ය චරිතයක් දෙකක් විසින් ඉස්මත්තට ගන්නට උත්සාහ කළත්, බහුතර ජනමාධ්‍ය ප්‍ර‍ජාව අතුරුදහන් වූ මිනිසකු ගේ පැටිකිරිය මත ඔහු ගේ ජීවත් වීමේ අයිතිය තීරණය නො විය යුතුය යි කියන ආස්ථානයට පැමිණියහ. මතක හැටියට මේ ව්‍යාකූල විසංවාදය මධ්‍යයේ රාවයේ කේ ඩබ්ලිව් ජනරංජන එදා නිවැරැදි ස්ථාවරයක් ගනිමින් ලීවේ “ජනමාධ්‍යවේදියෙක් නොව, මිනිසෙක් අතුරුදහන්ව සිටී. ඔහු සොයාදෙන්න“ කියා ය. ආචාරධර්ම භාවිතයට නැගීමට ජනමාධ්‍යයක් පැවතිය යුතු ය.

‘පහර දී ආචාරධර්ම සෙවීම මාධ්‍ය නිදහසදැ‘ යි තරුණ ජනමාධ්‍යවේදීන් ගේ සංගමය මේ ගැටලුවට අදාළව නිවැරැදි ප්‍ර‍වේශයක් ගනිද්දී, ඒ උත්සාහයට පවා මඩගැසීම්, කෙනෙහිලිකම් පෑම්, සරදම් කිරීම් සිදුවෙමින් පවතී. මේ සියල්ලට හයිය එන්නේ පළමුව රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයෙනි. ඊළගට ඔහු කරන උක්ත කතාවෙනි. ඔහු එහි ඉදිරිපත් කරන සිය ජාත්‍යන්තර අත්දැකීම් ගොන්නට හා දැනුම් සම්භාරයට ගිනිකන වැටෙන අපේ ජනමාධ්‍ය ප්‍ර‍ජාවේ ඇතැමුන්ට ඔහු අවධාරණය කරන කාරණා හා ඔහුගේ ම නිවේදනයත් කතාවත් අතර පවත්නා පරස්පරතා නො පෙනේ. ඒවායේ ඇති ආචාරධාර්මික ගැටලු, සදාචාර ගැටලු නො පෙනේ.

රංගගේ නිවේදනයෙන් ශක්තිය ලැබූ බව පෙනෙන මාධ්‍ය භාවිතාවන් එකක් දෙකක් ගැන ඉතා ලුහුඩින් කරුණු විමසීම ද වැදගත් ය.

‘උන්ගේ එතික්ස්‘ සහ ‘අපේ එතික්ස්‘

'සිටිසන් පෝස්ට්' වෙබ් අඩවිය නිර්නාමික මූලාශ්‍ර‍යක් උපුටා දක්වමින් කියන්නේ, හම්බන්තොට දී පහර කෑ මාධ්‍යවේදියා “කිසියම් දේශපාලන කණ්ඩායමක් වෙනුවෙන් අසීමාන්තික ව වැඩකොට ඇති අයෙක් බවත් මෙතැන දී ඉල්ලන් කන විදියට හැසිරී ඇති බවත්“ය. සිදුවීමට මුහුණ දුන් හම්බන්තොට ප්‍රාදේශීය මාධ්‍යවේදියා කවර දේශපාලන පක්ෂයකට ආධාර කරන්නේ දැයි අපි නොදනිමු. නමුත් නමින් සඳහන් කළ නොහැකි මූලාශ්‍ර‍යක් ඕපාදූපයක් ලෙස උපුටා දක්වමින් අගතියට පත් පුද්ගලයෙක් ගැන මෙවැනි විනිශ්චයක් දීම කෙතරම් ආචාරධාර්මිකද? අනෙකා ගේ ආචාරධර්ම සොයන්නට දුවමින් සිටින විට තමන්ගේම ආචාරධාර්මික මාධ්‍ය භාවිතාවට අත්වී ඇත්තේ මෙ වන් සන්තෑසියකි. තමන් ඝාතනය වුවහොත් සිය මිනිය විකුණා හෝ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට ගෙන එන ලෙස, ඝාතනය වීමට ආසන්න කාලයේ ලසන්ත වික්‍ර‍මතුංග කීවේ ය. දැන් සිටිසන් පෝස්ට් වෙබ් අඩවියේ ස්ථාවරයට අනුව ලසන්ත ඝාතනය සම්බන්ධයෙනුත් අපි එම ස්ථාවරයම ගනිමුද? ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගනනා ලද මොහොත වන විට ජෙනරාල් සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයට ක්‍රියාකාරීව දායක වී සිටි නිසා 'ඔහු රාජපක්ෂලාගෙන් ඉල්ලන් කෑවේ' යැයි අපි කියමු ද? මාධ්‍යවේදියෙක් හෝ අනෙකුත් මොනයම්ම හෝ පුද්ගලයෙක් හෝ දේශපාලන මතයක් දැරීම, දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධව සිටීම, ඝාතනය වීමට හෝ ගුටිකෑමට සාධාරණ හේතුවක් විය යුතුද?

අප මේ කියන්නේ කිසි ම හේතුවක් නිසා ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ආචාරධාර්මික මාධ්‍ය භාවිතාවක් ගැන සාකච්ඡාවක් නො පැවැත්විය යුතු බව නොවේ. එය අත්‍යවශ්‍ය සංවාදයකි. අප මෙහි දී උත්සාහ කරන්නේ ආචාරධර්ම යනු කොතරම් නම් සංකීර්ණ, වැරදි සිදුවීමට කොතරම් නම් ඉඩ තිබෙන, ගුරුන්ටත් කොතරම් නම් අකුරු වරද්දන අඩවියක් ද යන්න අවධාරණය කිරීමට ය. ඒ නිසාම එය අපෙන් කොතරම් වගකීම් සහගත බැඳීමක් ඉල්ලා සිටිනවාද යන්න අවධාරණය කිරීමට ය. එය හුදෙක් අනෙකාට ඇඟිල්ල දිගුකිරීමක් වීම වෙනුවට තමන්ගේම භාවිතාව යළි යළිත් ප්‍ර‍ශ්න කරන ව්‍යායාමයක් විය යුතු ය. එය පොතක පතක ලියා ඇති දේව භාෂිතයක් වනු වෙනුවට සිය ජීවන භාවිතාවක් කරගත යුතු ය. ඒ අතරම මෙවැනි සංකීර්ණ කලාපයක දී ඕනෑ ම මනුෂ්‍යයකුට වැරදි සිදුවිය හැකි බවත්, ඒ වැරදි නැවත නැවත කතිකාවට භාජනය කර පුනරීක්ෂණය කිරීමට සිදුවන බවත් අප තේරුම්ගත යුතු ය.


hambantota cropped 2හම්බන්තොට මාගම්පුර වරායේ කම්කරු විරෝධතා වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් - 2016 දෙසැම්බර්

ගිරාපෝතක ආචාරධර්ම

ඒ අනුව මෙවැනි අවස්ථාවක දී අප විසින් ගතයුතු ස්ථාවරය කුමක්ද? ජනමාධ්‍යවේදියකුට එරෙහි අනීතික ප්‍ර‍හාරයක දී අප පළමුව ගතයුතු ස්ථාවරය වන්නේ ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් පවත්වා, වරදකරුවන් නීතිය හමුවේ දඬුවමට යටත් කිරීමට කොන්දේසි විරහිත ව බලපෑම් කිරීම නොවේද? අදාළ සිද්ධියේ දී ආචාරධර්ම හෝ වෘත්තියට අදාළ කිසියම් ම සම්මුතික කඩවීමක් සිදු වී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් සලකා බැලීම ඉහත ක්‍රියාවලියෙන් ස්වායත්තව, නිදහස්ව වෙනම ම සිදුවිය යුත්තකි. එය කාගේවත් සදාචාර පොලීසිවලින් නොව ජනමාධ්‍ය ප්‍ර‍ජාව අතරෙහි ම, එහි මූලිකත්වයෙන්ම විසඳාගත යුතු ගැටලුවකි. ඊට අවශ්‍ය ආධාර උපකාර, සම්පත් දායකත්වයන් බැහැරින්, විෂයය පිළිබද ප්‍රාමාණිකයන්ගෙන් ලබාගත හැකි ය. එහෙත් එය ප්‍ර‍ජාවක් ලෙස අප අතර සිදුවන කතිකාමය අභ්‍යාසයකි. ආචාර ධර්ම කියන දේවල් ගිරාපෝතක නන්දෙඩවිලි නොවී අපේ ආත්ම ඇතුළට පත්තියම් කරගෙන නිරන්තර භාවිතාවක් බවට පත්කරගත හැක්කේ එමගින් පමණි.

එසේ නැතිව මාධ්‍යවේදියකු පහර කෑමට ලක්වූ විට ඔහු ගේ ආචාරධර්ම සොයා ඇවිදීම සේවය කරනු ඇත්තේ මාධ්‍යයට හෝ තොරතුරු දැනගැනීමේ අයිතියේ සැබෑ හිමිකරුවන් වන ජනතාවට නොව, පාලක මර්දන යන්ත්‍ර‍යන්ටම ය. අද ‘යහපාලනය‘ යටතේ ආචාර ධර්ම නාමයෙන් අප පාවාදෙන, ගුටිකෑ එකා වෙනුවෙන් කොන්දේසි විරහිත ව පෙනීසිටීමේ අයිතිය, හෙට එන තවත් වඩා මර්දනකාරී පාලකයෙක් ‘මේන් තියාගනින්‘ කියා අපට බන්දේසියක තබා ආපසු දෙන්නේ නැත.

රාජපක්ෂ රෙජීමය, ලංකාවට සිටි ප්‍ර‍තිභා පූර්ණ ගායකයන් හා ගායිකාවන් ද, විශිෂ්ට නළුවන් හා නිලියන් ද, අග්‍ර‍ගන්‍ය බුද්ධිජීවීන් හා දොස්තරවරුන් ද, සටන්කාමී 'වාමාංශිකයන්' ද ඇතුළු මෙකී නොකී හැත්ත බුරුත්තක් පාරාජිකාකර, පචකර, කිචකර, කම්බස්කර දැම්මේ ය. තතු එසේ වුව, එ තරම් දරුණු භීෂණයක් මුදාහැරලාත් ජනමාධ්‍ය සමාජයේ සමස්තය තමන් රිසි සේ බෙදා වෙන්කොට දැමීමට රාජපක්ෂලා අසමත් වූහ. එහෙත් පත්තරකාර රැහේ එකෙක් ලෙස ඊයේ පෙරේදා තමන් හඳුන්වාගත් ජනාධිපති සිරිසේනත්, රැහේ උන් පාලනය කළ පරම්පරාවකින් එන අගමැති වික්‍ර‍මසිංහත් යහපාලනය නමින් කරලියට ගෙනා පාලනය, කලක් රැහේ උන් වී සිටි නියෝජ්‍ය ඇමැති කෙනෙක් හා ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂවරයෙකුත් දමාගෙන රාජපක්ෂලාට කරන්නට බැරි වූ හරිය පහසුවෙන් කරමින් සිටින අයුරු දකින්නට සිදුවීම අවාසනාවකි.☐

sanath balasooriya 1සනත් බාලසූරිය

© JDS

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top