nsb

Jan 21, 2017

සමලිංගිකත්වයෙන් බේරාගන්න හදන මේ අහිංසක ගැමියා කවුද?

ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ විචාරක අවධානයට දැඩි ලෙස යොමු වූ චිත්‍රපටයක් වූ Vertigo (හිසේ කරකැවිල්ල - 1958) සම්බන්ධයෙන් අමෙරිකානු වාරණ මණ්ඩලයට ප්‍රශ්නයක් ඇති විය. කතාබහට තුඩු දුන් මෙම දර්ශනයේ අන්තර්ගතය මෙසේය.

චිත්‍රපටයේ කතා නායකයා වූ ස්කොටි මුහුදට පැන්න ජූඩිත්ව බේරාගෙන නිවසට රැගෙන එයි. ඉන්පසු අපට පෙන්වන දර්ශනය ආරම්භ වන්නේ වියළීම සඳහා වැලක එල්ලා ඇති ජූඩිත්ගේ ඇඳුම්වලින්ය. ඉන්පසු දර්ශනය මාරු වන්නේ නිදන කාමරයේ නිදි ඇඳ මත හාන්සි වී සිටින ජූඩිත්ගේ දර්ශනයකටය. වාරකයන් විසින් හිච්කොක්ට යෝජනා කරනු ලබන්නේ අර ඇඳුම් එල්ලා ඇති දර්ශනය කපා හරින ලෙසය. එවිට හිච්කොක් විසින් එයට හේතුව විමසන අතර වාරකයන් අමුතුම ආකාරයේ අදහසක් යෝජනා කරයි. ඔවුන්ට අනුව වේළා දැමීමට දමා ඇති මේ ඇඳුම් වනාහි ජූඩිත්ගේ යට ඇඳුම්ය. ඒ අනුව ප්‍රේක්ෂකයන් මෙම දර්ශනය අර්ථකථනය කරන්නේ මෙසේය. හදිසි අනතුරෙන් ජූඩිත්ව ගලවා ගන්නා ස්කොටී ඉන්පසු ඇඳුම් ගලවා රමණය කර ඇති බවයි. එවිට හිච්කොක් විසින් එම ඇඳුම් අතර කිසිදු යට ඇඳුමක් නැති බව පෙන්වයි. නමුත් වාරකයන් එය ගණන් ගන්නේ නැත. Slow Motion කළ හැකි අද වැනි යුගයක මෙම දර්ශනය හිමිහිට චලනය වන්නට ඉඩ දී බලන විට ද එහි යට ඇඳුම් නැත.

එසේ නම් වාරකයන් විසින් මේ ආරක්ෂා කිරීමට යන අහිංසක නිරීක්ෂකයා කවුද? ඔවුන්ට අනුව මෙම දර්ශනය නරඹා අගතියට පත් වන දුර්වල නිරීක්ෂකයකු සිටියි. ඔහුව මෙම දූෂ්‍ය දර්ශනයෙන් ගලවාගත යුතුය. අනෙකාගේ විනෝද වීම අනෙකා විනෝද වීමටත් ප්‍රථමයෙන් වාරකයන් සූත්‍රගත කර ඇත.

මීට ඉතාම සමාන්තර සිදුවීමක් ලාංකේය සමාජයේ ද දැන් සිදු වී ඇත. යුරෝපය විසින් ලංකාවේ මානව හිමිකම් සංවර්ධනය කිරීම අරබයා යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. ඒ අතර එකක් වන්නේ පැරණි දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් සමලිංගික සබඳතා තහනම් යන්නය. මෙවැනි නීතියක් සිංහල සංස්කෘතිය දන්නේ නැත. ඊට හේතුව වන්නේ යුරෝපීයයන් ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ මිනිසුන්ට ලිංගිකත්වය ගැන කතිකාවක් සහ න්‍යායක් නොමැතිව තිබූ නිසාය. ඉතා පටු අර්ථයෙන් ප්‍රකාශ කළහොත් ලාංකිකයන්ට ‘ලිංගික සබඳතා’ සංකේතකරණය (අවබෝධ කරගන්නට) කරගන්නට දැනුමක් නැත. එවැන්නක් හදා ගන්නට අවශ්‍ය පසුබිම අපට නැත. මේ හිස්තැන ලංකාවේ දී පුරවනු ලබන්නේ සදාචාරය, ආගම සහ කටකතා විසින්ය. ස්ත්‍රිය සතුටු කිරීම පිළිබඳව ලාංකික පිරිමින්ට තවම ඇත්තේ මෑ මල මිරිකීම, ඨ ස්පොට් අතගෑම වැනි මිථ්‍යා විශ්වාසය. ලිංගිකත්වය යනු භාෂාවේ වෙනස්කම් මත පදනම් වන විඥාන බල රටාවක්ය. මෙම අර්ථයෙන් ගත්විට
ලිංගික සතුටු වීම යනු එක ශරීරයක් මාස්ටර් වී අනෙකා සේවකයා වී කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හදා ගන්නා සමාජ ගිවිසුමකි. එයට ශරීරය (සොබාවිකත්වය - සොබාව පවා නිර්වචනය වන්නේ සංස්කෘතිය මඟින්ය) සම්බන්ධ නැත.
ලංකාවේ බලධාරීන් පවසන්නේ මෙම සමලිංගිකත්වය ලංකාවේ සංස්කෘතියට සහ සභ්‍යත්වයට අනුකූල නොවන බවය. අවාසනාවකට මෙන් ඔවුන් නොදන්නේ මෙම අදහස අපගේ එකක් නොව අපගේ යටත්විජිත ස්වාමියාගේ එකක් බවය.
සමලිංගිකත්වය තහනම් කරන්නේ ලංකාවේ රජවරු හෝ ලංකාවේ භික්ෂූන් නොවේ. එය කරන්නේ අපගේ ඉංග්‍රීසි යටත්විජිත ස්වාමියාය. අපගේ යැයි මේ නම් කරන ‘සිංහල සංස්කෘතියේ සාරය’ යනු අපගේ එකක් නොව සුද්දාගේ එකක්ය. එනිසා සුද්දාගේ සාරයෙන් මිදී අප මේ සොයා යන ‘අපේකම’ යනු සුද්දාගේ ආශාව පසුපසම දිවීමයි. අපම පිළිකුල් කරන සුද්දාගේ ෆැන්ටසියට වශී වීමකි.

අපට මේ සමලිංගිකත්වයට එරෙහිව දණ්ඩ නීති පැනවූ යුරෝපීය ජාතිකයන් 68 ශිෂ්‍ය අරගලයට පසු සමලිංගිකත්වයට එරෙහි නීති ඉවතට විසි කරන ලදී. ‘නිදහස’ යනු බාහිර බලපෑම්වලින් නිදහස් වීම නොවේ. අප තුළම ඇති අභ්‍යන්තර අවිඥානික විශ්වාස, අගති, හුරුපුරුදු යනු ද අප තුළම නිදහසට ඇති නොකැමැත්තයි. ගැඹුරෙන් කිවහොත් ‘හරවත් නිදහස’ යනු බාහිර බාධාවලින් නිදහස් වීම පමණක් නොවේ. අපගේ චිත්ත අභ්‍යන්තරයේ ඇති අභ්‍යන්තර බාධාවලින් (මේවා ද සමාජ නිර්මිතයන්ය) නිදහස් වීම සැබෑ නිදහසයි. මිනිසාගේ සැබෑ නිදහස යනු අභ්‍යන්තරයෙන් සිදු වන මෙම නිදහස් වීමයි. හේගල්ගේ දර්ශනය තුළ කතා කරන්නේම මෙම අභ්‍යන්තර නිදහස (Inner Freedom) ගැනය.

ලංකාවේ සමලිංගිකත්වය ගැන ඇති අගතිගාමී අදහස යට ඉන්නේ අධිපති පක්ෂවල සිටින ආකල්පමය වෙනසක් ඇති නොකර ගත්තා වූ මිනිසුන් පමණක් නොවේ. ලංකාවේ වමේ පක්ෂවලට ද සමලිංගිකත්වයට එරෙහි වූ ඔවුන්ටම ආවේණික විෂමලිංගිකඅදහසක් ඇත. ඔවුන්ට අනුවසමලිංගිකත්වය යනු ලිංගික අපගමනයකි. දරුවන් ලැබෙන්නේ නැති, පවුලක් සාදන්නේ නැති සමලිංගික සබඳතා යනු විපරිත ආකල්පයකි. එනිසාම සමලිංගිකත්වය යනු පන්ති අදහසකි. ඔවුන්ට අනුව පාලක පන්තිය පීඩිත පන්තියේ සැබෑ සමාජ ප්‍රශ්න යට ගැසීමට ගොඩනගන දෘෂ්ටිවාද අතරින් ප්‍රධාන එකක් වන්නේ මේ සමලිංගිකත්වයයි. සමලිංගිකත්වය පිළිබඳ මෙම විපරිත ආකල්පය විෂමලිංගිකත්වයට අදාළ නැතැයි ඔවුන් සිතයි. මනෝ විශ්ලේෂණය නම් මිනිස් සබඳතා පිළිබඳ ක්‍රමවත් විද්‍යාව අපට උගන්වන්නේ විෂම ලිංගිකත්වය හරයෙන්ම සමලිංගික බවයි. එහි දී සිදු වන්නේ මිනිසෙක් තම ෆැන්ටසි වස්තුව සමඟ සහසම්බන්ධ වනවා මිස පිටත කෙනෙකු සමඟ සම්බන්ධ නොවන බවය. ඒ අනුව විෂම ලිංගිකත්වය යනු ස්වයං මෛථුනයකි. එය ‘තමන්’ තමන් සමඟම හස්ත මෛථුනයේ යෙදීමකි. ඒ මනෝවිශ්ලේෂණ න්‍යායට අනුව විෂම ලිංගික සබඳතා සූත්‍රගත කරන ආකාරයයි. ඊළඟට පිරිමි සමලිංගිකත්වය යනු ස්ත්‍රියකට (මවට ඇති බැඳීම) ආලය කිරීමයි. ශරීර පිරිමි වුවත් පිරිමි සමලිංගිකතාවතුළ එක ශරීරයක් ෆැන්ටාස්මැතිකව පිරිමි වන අතර අනෙක ස්ත්‍රී වේ. එක් අයකු ක්‍රියාකාරී වන අතර අනෙකා අකර්මණ්‍යය. පිරිමි සමලිංගිකත්වය තුළ යෝනිය වෙනුවට ගුදය අධිනිශ්චය වෙයි. එවැනි රසායන විද්‍යාවක් රසවත් කිරීමට අවශ්‍ය කොන්ඩොම් සහ ලිහිසි ද්‍රාවණ මේ වන විට විද්‍යාව සොයාගෙන ඇත. එනිසා තත්ත්වය දැන් සෞඛ්‍ය සම්පන්නය. මනෝ විශ්ලේෂණයට අනුව නියම විෂම ලිංගිකත්වය වන්නේ ස්ත්‍රී සමලිංගිකත්වයයි. ලෙස්බියන් සබඳතා ෆැන්ටසි අර්ථයෙන් ගත් විට සැබෑ විෂම ලිංගිකත්වයකි.පුරුෂයකු රැඩිකල් ලෙස ස්ත්‍රියකට ආලය කරන්නේ ලෙස්බියන් සබඳතාවලදීය.

ලංකාවේ ඡන්ද දායකයන් අතරින් 90% ක්දන්නා පරිදි රාජ්‍ය පාලනයේ ප්‍රධාන නිල භූමිකාවක් සංකේතීයව අද නිරූපණය කරන්නේ සමකාමියෙකි. නමුත් ‘නරුමවාදීව’ අප මේ සියලු දෙනාම දන්නා සත්‍යය නොදන්නවා මෙන් සිටිති. යටත්විජිත ස්වාමියාගේ නීතියක් අපේ රටේ ‘සංස්කෘතිය’ ලෙස බදා ගැනීම ද අඥානකමකි. මාක්ස් කී පරිදි “ඔවුන් නොදන්නේ ඔවුන් කුමක් කරනවාද” යන්නය. රටේ තිබෙන සැබෑ ප්‍රශ්නවලට සාපේක්ෂව මෙය චූල ගැටලුවක් බව සැබෑය. නමුත් යම් දිනෙක ‘සමලිංගික නිදහසට’ අප ඉඩ දෙනවා යනු මිනිසා තමන්ගේ අභ්‍යන්තර නිදහස අවබෝධ කර ගැනීමකි. ‘නිදහස’ පිළිබඳ ඉතිරි සාර්වත්‍රික කරා (සමානාත්මතාවය, සහෝදරත්වය, අභ්‍යන්තර නිදහස) එවිට අපට වේගවත් විය හැකිය. ලංකාවේ වාමාංශිකයන් දන්නේ බාහිර බාධා ගැනය. ඔවුන්ට චින්තනය තුළ ඇති අභ්‍යන්තර බාධා ගැන වැටහීමක් නැත. ජාතිකවාදීන් සහ ඔවුන් අතර සමලිංගිකත්වය පිළිබඳ සමාජමය ආකල්ප සම්බන්ධයෙන් වෙනසක් නැත. ඔවුන්ට ද විෂම ලිංගිකත්වය සොබාවිකය. වාමාංශික පක්ෂ තුළ ස්ත්‍රිය දෘෂ්ටිවාදයේ උත්කර්ෂවත් වස්තුවක් වන්නේ මේ නිසාය.

- දීප්ති කුමාර ගුණරත්න

Homosex

මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත්ව තිබූ සමලිංගිකත්වය වරදක් නොවන බවට වන යෝජනාවක් සම්බන්ධයෙන් පසුගිය දා පැවති කැබිනට් රැස්වීමේ දී විරෝධයක් එල්ල වූ බව මාධ්‍ය වාර්තාවල පළව තිබුණා.
ඒ සමඟම සමාජ මාධ්‍ය පුරා සමලිංගිකත්වයට පක්ෂව මෙන්ම විපක්ෂව සංවාදයක් මතුව තිබේ. එම කතිකාවත සම්බන්ධව විවිධ පුද්ගලයන්ගේ අදහස් විමසීමක් කළෙමු.

රටේ කැබිනට් එකට ප්‍රශ්නයක්ලු - අශෝක හඳගමAshoka

මානව  හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මේ  සඳහන්  සමලිංගික සේවනය වරදක් නොවන බවට වන වගන්තිය ඇතුළු හානිකර වගන්ති සියල්ල ඉවත්කර අදාළ සැලැස්ම යළි ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා විදේශ අමාත්‍යාංශයට දැනුම් දුන්නා කියලා අද ලංකාදීප ප්‍රධාන ප්‍රවෘත්තියේ තියෙනවා. මම මේ නොදන්නා නිසා අහන්නේ, සමලිංගිකසේවනය හානිකර වෙන්නේ අසම ලිංගිකසේවනයේ යෙදෙන්නන්ට ද සමලිංගික සේවනයේ යෙදෙන්නන්ට ද කියලා පැහැදිලි කරලා දෙන්නකෝ කවුරු හරි. අනේ මට වත් අපේ ගෙදර කැබිනට් එකටවත් නම් හානියක් නැහැ. ඒ වුණාට රටේ කැබිනට් එකට ප්‍රශ්නයක්ලූ නේ.

Bandula Gමේ යෝජනාව පිළිකුළෙන් හෙළා දකිනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලාංකීය සංස්කෘතික හර පද්ධති සහිත ජාතියක්. බෞද්ධ ශිෂ්ඨාචාරයකින් පුහුණුව ලබපු අවුරුදු 2500ටත් අධික ලිඛිත ඉතිහාසයකට අනුව අපේ රටේ පුද්ගලයාගේ සිතුම් පැතුම් ආකල්ප සදාචාර ධර්ම යනාදිය හැඩ ගැසුණු ක්‍රමයක් තියෙනවා. ඒ හැඩ ගැහුණු විදිය අනුව අපේ සංස්කෘතියේ ස්වභාව ධර්මයට අනුකූල සත්වයන්ගේ සිදුවන ලිංගික චර්යාවලට පරිබාහිර විකෘති ලිංගික චර්යා අනුමත කරන්නෙ නැහැ. සත්ව වර්ගයාගේ පැවැත්මට අදාළවන ස්වභාවික ලිංගික චර්යා නිත්‍යානුකූල විවාහයන් තුළින් සිද්ධ වීම තමයි නීතිය විසින් අනුමත කරන්නෙ. ඒ අනුව කසාද නීතියත් දික්කසාද නීතියත් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඊට පරිභාහිර සමලිංගිකක්‍රියා පිළිකුලෙන් හෙලා දකින්නයි ලාංකික සමාජය පුරුදු වෙලා ඉන්නෙ. අපි ඒකාබද්ධ විපක්ෂය වශයෙනුත් පෞද්ගලිකව මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වශයෙනුත් පිළිකුලෙන් යුතුව මේ යෝජනාව හෙළා දකිනවා. පොදු රාජ්‍ය මණ්ඩලයෙන් GSP+ සහනය ලබා ගැනීම සඳහා සමලිංගික චර්යාවන් වැරැදි ලෙස නොසලකන බවට නීති ඇතුළත් කරන්න කියල නිර්දේශ තියෙනවා. ඒ සඳහා රුචිකත්වයක් දක්වන පාලකයන් පිරිසකුත් ඉන්නවා කියල දන්නවා. බටහිර රටවල්වල තියෙන දේ ඒ ආකාරයෙන්ම අනුමත කළොත් අපි මුල් සිඳගත් ජාතියක් බවට පත් වෙනවා.

පෞද්ගලිකව මම විරුද්ධ නැහැ - මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරාDilan

මේ අපේ රටේ සංස්කෘතියත් එක්ක ගළපලා බලනකොට නොගැළපෙන දෙයක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේකත් එක්ක එකඟ වෙන්නෙ නැහැ. මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හැටියට කියන්න තියෙන්නේ සමලිංගිකත්වය සම්බන්ධ නීති අණපනත් ගෙනාවට සම්පුර්ණයෙන් විරුද්ධයි. ඒත් ඒ පක්ෂයේ මතය. ඊට අමතරව පෞද්ගලිකව මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මට නම් සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ හින්දු ජනතාව අතර තියෙන වෙනස වගේම තමයි මම ඔය වෙනසත් දකින්නේ. ඒ කියන්නේ මහා ලොකු අපරාධකයකට වග කියන කුලකයක් කියල මට පෙන්නේ නැහැ. ඒ අයත් විවිධ ජාතීන් විවිධ ආගමවලට අයිතියි වගේම එක්කෝ ඒගොල්ලන්ගේ හෝමෝනවල තියෙන යම්කිසි විශේෂත්වයක් එහෙම නැත්නම් වෙන මානුෂික ප්‍රශ්නයක් එක්ක ඒගොල්ලෝ ඒ කුලකයට අයිති වෙලා තියෙනවා. ඒ නිසා විරුද්ධ ලිංගිකයන්ට වඩා සමාන  ලිංගිකයන්ට වඩා වැඩි ආදරයක් දක්වනවා. ඒක මට මහා වරදක් හැටියට පේන්නේ නැහැ. ඒ අයව සමාජයේ පහත්කොට සලකන්න ඕන කියල මම විශ්වාස කරන්නෙත් නැහැ. හැබැයි ඒක මගේ පෞද්ගලික මතය. පක්ෂයේ මතය මුලින් සඳහන් කරපු එක.

pubudu Jමිනිසකුගේ සමාජ තත්ත්වයලිංගිකත්වයෙන් මනින්න බෑ
පුබුදු ජයගොඩ - ප්‍රචාරක ලේකම්, පෙ.ස.ප.

තමන්ගෙ ලිංගික රුචිකත්ව වෙනස් වුණ පලියට මිනිස්සුන්ව මර්දනය කරන්න, අවමන් කරන්න කාටවත් අයිතියක් නැහැ කියන එක මනුෂ්‍ය ශිෂ්ඨත්වයේ කොටසක්. වමේ කතාවක් විතරක් නොවෙයි. සාධාරණව හිතන ඕනෑම කෙනෙකුට ඒක තේරෙනවා. මිනිස්සු අතර රුචිකත්වයන්ගේ වෙනස්කම් තියෙනවා. ලිංගික රුචිකත්වයේත් වෙනස්කම් තියෙනවා. ලිංගික රුචිකත්වය වෙනස් කියල බහුතරය නොවන වෙනස් රුචිකත්වයක් තියෙන කොටසක් පාගන එකට අපි කවුරුවත් එකඟ වෙන්නෙ නැහැ. සමාජයේ තියෙන විශාල ප්‍රමාණයක් ප්‍රශ්න අතර මේකත් එකක්. සමලිංගිකයන් සම්බන්ධ ප්‍රශ්නය ප්‍රධානම සටන් පාඨයක් විය යුතුයි කියලා අපි හිතන්නෙ නැහැ. මේ සම්බන්ධව ගන්න ඕන ස්ථාවරය සක්සුදක් සේ පැහැදිලියි. ඒ අයට අයිතීන් සහ ගෞරවය ලබාදිය යුතුයි.
සමලිංගික ජනතාව සමාජ විරෝධියි කියන එකත් කිසි තේරුමක් නැති කතා. ඕනෑ තරම් සමලිංගිකයෝ ඉන්නව සමාජය, පරිසරය ගැන වගකීම් සහගතව වැඩ කරන. ඕනෑතරම් විෂම ලිංගිකයෝ ඉන්නවා සමාජ විරෝධී ලෙස හැසිරෙන. මිනිහෙක් සමාජයත් එක්ක ගනුදෙනු කරන විදිහ තීරණය කරන්නෙ ලිංගික රුචිකත්වය අනුව නෙමෙයි. ඒක නිසා මේකට විරුද්ධව නිර්මාණය වෙලා තියෙන්නෙ හුඹස් බියක්.

සමලිංගිකත්වය රෝගයක් නෙමෙයිBimal
බිමල් රත්නායක - පාර්ලිමේන්තු මන්ත්‍රී

සම්බන්ධතා පැවැත්වීම ප්‍රධාන වශයෙන් තියෙන්නෙ විරුද්ධ ලිංගිකයන් අතර. ඒ වගේම ලෝකයේ සමාන ලිංගිකයන් අතරත් සමාන ලිංගික සම්බන්ධතා පවත්වන පිරිස් ඉන්නවා. බහුතරයක් මිනිසුන් විරුද්ධ ලිංගිකයන් සමඟ සම්බන්ධතා පවත්වන්නේ විරුද්ධ ලිංගිකයන් සමඟ නිසා ලෝකයේ නීති රීති ආගමික සම්ප්‍රදා ඇති වෙලා තියෙන්නෙ විරුද්ධ ලිංගිකයන් සම්බන්ධයෙන් විතරයි. නමුත් මිනිස්සු විරුද්ධ ලිංගික ආකර්ෂණය වෙනුවට සමලිංගික ආකර්ෂණය සහිතව බිහි වෙනවා. ශරීරය හැදෙන්නෙත් ඒ විදිහට. ඉපදිලා ජිවත්වෙද්දී හදාගන්නා මානසිකත්වයක් නෙමෙයි ඒක. ගණිකාවක් සම්බන්ධයෙන් ගත්තොත් කෙනෙකුට කියන්න පුළුවන් එය වැරැදි චර්යාවක් වැරැදි දෙයක් කියලා. නමුත් මනුෂ්‍යයෙක් ජීව විද්‍යාත්මකවම හැදිලා තියෙන්නෙ තමා වගේම සමාන ලිංගිකයෙක්ට ආකර්ෂණය වෙන්න නම් ඒක ඒ මනුෂ්‍යාගේ වැරද්දක් නෙමෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මීට අවුරුදු විසි ගණනකට පෙර දශක ගණනාවක් පරීක්ෂණ කරලා සමලිංගිකතාව රෝගයක් හෝ වැරැදි මානසික තත්ත්වයක ප්‍රතිපලයක් හෝ නොවන බව ඔප්පු කර තිබෙනවා. ඒ නිසා එහෙම බිහි වෙන මිනිස්සුන්ට තියෙන අයිතියක්. එතැන දී ලිංගික සම්බන්ධයක් අත්‍යවශ්‍ය නැහැ. සහකරුවෙක් තෝරා ගැනීමේ දී සමාන ලිංගික ද අසමාන ලිංගික ද විරුද්ධ ලිංගික ද කියන කාරණයට විරුද්ධ වෙන්න කාටවත් අයිතියක් තියෙනවා කියලා මම හිතන්නෙ නැහැ. මෙතැන දී අපි දකින දේ තමයි අපේ රටේ ගත්තොත් එවැනි සම්බන්ධතාවක් පැවැත්වීම රටේ නීතියට විරුද්ධයි. ඒක එහෙම ජීව විද්‍යාත්මකව ලක්ෂණ තියෙන කෙනෙකුට කරන අසාධාරණයක්. නමුත් එය විවාදාත්මකයි. සමලිංගික විවාහ නීති තදකළ යුතුයි කියන එක වෙනම සාකච්ඡාවක්. සමාන ලිංගිකයන්ට ආශ්‍රය කරන්න, සහකරුවෙක් හොයා ගන්නවා කියන එක නීතියෙන් තහනම් කරලා දඩුවම් පැමිණවීම කියන එක වෙනස් වෙන්න ඕනා. නමුත් ඒ අයගේ විවාහය නීතිගත කරනවා කියන එක අපේ රටේ අපේ සමාජයේ සැලකිය යුතු සාකච්ඡාවක්, සංවාදයක් කරා යා යුතුයි.

පහත දැක්වෙන්නේ සමලිංගිකත්වය සම්බන්ධ සංවාදය සම්බන්ධයෙන් කලාකරුවන් සමාජ ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙක් තම Facebook පිටුවල තබා තිබූ සටහන් කිහිපයකි.

Visakesaමේක සුද්දා දීල ගිය පුස්කාපු නීතියක් - චිත්‍රපට අධ්‍යක්ෂක වීසාකේස චන්ද්‍රසේකරම්

ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලයට බැරිලු සමකාමී විවාහ නීතිගත කරන්න. ලංකාවේ සමකාමී ප්‍රජාවේ බහුතරය ඉල්ලා සිටින්නෙ විවාහ අයිතිය නෙවෙයි සමකාමීත්වය අපරාධයක් යයි සැලකිය හැකි නීතිය ඉවත් කරන්න කියලයි.

ඉතින් තමුන්නැහැල යටත් විජිතවාදී ඉංග්‍රීසි පාලකයන් දීල ගිය ඔය පුස්කාපු නීතිය ට ඔය තරම්ම ඇලිල ඉන්නව නම් ඒ නීතිය දුං අල්ල අල්ල තියා ගන්න. හැබැයි නිකමටවත් කියවල බලන්න මොකද්ද මේ නීතියෙන් කියන්නෙ කියල. මොකද සමකාමීන් නෙවෙයි වෙන වෙන කිංකි වැඩවලට කැමති උදවියත් (මැති ඇමති ගොල්ලත් ඇතුළුව) මේ නීතිය යට‌තේම හිරගත කරන්න පුළුවන් නිසා.

දණ්ඩ නීති සංග්‍රහයේ සිංහල කොපියක් නෙට් එකේ හොයා ගන්න බැරි නිසා ඔන්න මං ඉංගිරිසි පිටපතේ සරල පරිවර්තනයක් දානව.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යම් පුද්ගලයෙක් ස්වභාව ධර්මයට එරෙහිව සංසර්ගයේ යෙදීම සිර දඩුවම් ලැබිය හැකි වරදකි (මුලින්ම හොයා ගන්න ස්වභාව ධර්මයට අනුව සංසර්ගයේ යෙදෙන්නෙ කොහොමද කියල. නැත්තම් පොලීසියට පුළුවන්ලු ගෙනිහිල්ල නඩු දාන්න).

දණ්ඩ නීති සංග්‍රහයේ 365 ඒ වගන්තිය යම් පුද්ගලයෙක් පෞද්ගලික හෝ පොදු ස්ථානයක දී බරපතළ අශෝභන ක්‍රියාවක නිරත වීම. එවැන්නකට උත්සාහ කිරීම හෝ එවැනි ක්‍රියාවක නිරත වීමට ගෙවීමක් කිරීම හෝ ලැබීම සිර දඩුවම් ලැබිය හැකි වරදකි. (සමහරුන්ටනම් ඉතින් තරුණ ජෝඩුවක් කිස් කරන එකත් අශෝභනයිනෙ. ඉතින් ඒවා බරපතළ වෙන්නෙ කොයි ආකාරයට ද කියල හොයල දැන ගන්න. මොකද පුද්ගලික ස්ථානයක දී ඒ කියන්නෙ තමන්ගෙ නිදන කමරේදිවත් ඒ වගේ දේවල් කරන්න බැරිලු).

ඔය යල් පැන ගිය නීතිවල තියෙන ස්වභාව ධර්මය යි අශෝභන ක්‍රියාවයි අර්ථ නිරූපණය කරන්න නඩුකාර ඇත්තන්ටත් අමාරු වෙයි. කෝ මෑත කාලීන තීන්දු? ඔස්කා වයිල්ඩ්ගෙ කාලෙ තීන්දු ආදේශ කරන්නද?

සත්වයන්ට කරන අපරාධ සත්ත්ව හිංසා නීතියට ඇතුල් කරල වැඩිහිටියන්ට ස්වේච්ඡාවෙන් කරන කෙහෙල් මලක් තමන්ගෙ නිදන කාමරයක හෝ හෝටල් කාමරයක කර ගන්න ඉඩ දුන්නනම් සමකාමීන් විතරක් නොවෙයි අනෙක් උදවියත් නිවි හැනහිල්ලේ අහවල් දේ කර ගෙන අනුන්ට ඊර්ෂියා නොකර ඉන්නවනෙ.

විරුද්ධ වෙන අය පළමුවෙන් තමන්ගෙ ප්‍රශ්නය විසඳගන්න - කල්පනා ඇම්බ්‍රෝස්Kalpana

තම තමන්ගේ ඇත්ත ලිංගික ප්‍රශ්න විසඳා ගත්තා නම් ලංකාදීපයටවත් අර කියන කැබිනට් එකටවත් උදේ හවා පන්සිල් සහ දස පණත රකින නෝනා මහත්තුරුන්ටත් තමන්ට අදාළ නැති සමලිංගික අයිතිය දැවෙන ප්‍රශ්නයක් නො වෙනු ඇත.

තමන්ගෙන් වෙනස් වෙන මොන එකාවවත් ඉවසන්න බැරි උන්ගේ බෙල්ල කන්නට පනින මේ ලේ පිපාසය වහගන්න වචනය සදාචාරය ය. Ethics යන්නෙහි මූලික අර්ථයවත් දන්නා ජනතාවක් බිහි වූ දවසට මේ රට ජීවත් වීමට සුදුසු එකක් වනු ඇත.

මත විමසුම
සිතාරා කුලරත්න/ ප්‍රදීපා වීරසේකර

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top