Jan 21, 2017

සමකය: අපි නොදන්න අපරාධ

ජනවාරි අට වැනිදායින් ආරම්භ වූ ආණ්ඩුවේ සංහිඳියා සතිය 14 වැනිදායින් අවසාන වීමට නියමිත ය. සංහිඳියාව වෙනුවෙන් ආණ්ඩුව විසින් පත්කළ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසන් වාර්තාව දැමිය යුත්තේ කුණු කූඩයටැයි ඒ ආණ්ඩුවේම කැබිනට් මණ්ඩල සාමාජික චම්පික රණවක කියා ඇත්තේ ඒ නිමිත්තෙනි. ලියන්නට යන කතාව මේ සංහිඳියා සතියට කලින් සිද්ධ වූ සිද්ධියක් නිසා එයින් යෝජිත සංහිඳියාවට බාධා නොවන බැව් සැළකුව මනා ය.

යුද්ධය අවසානයේ රජයේ හමුදාවන්ට භාර වීමෙන් පසු අතුරුදහන් වූ දෙමළ සටන්කරුවන් වෙනුවෙන් හබයාස් කෝපුස් ආඥාවක් නිකුත් කරන මෙන් ඥාතීන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් මුලතිවු මහේස්ත්‍රාත් අධිකරණය යළිත් වතාවක් විභාගයට ගන්නා ලද්දේ ජනවාරි 03 වැනිදා ය. විජයබා පාබල රෙජිමේන්තු හිටපු සේනා විධායක හා 58 වැනි බල සේනාවේ හිටපු ආඥාපති මේජර් ජෙනරාල් කාවින්ද චානක්‍ය ගුණවර්ධන උසාවිය හමුවේ සාක්කි දෙමින් '1971 දී හෝ 1988-89 වකවානුවේ දකුණේ අතුරුදහන්වීම් සිදු වී යැයි තමන් නොදන්නා බව' කියා සිටියේ මේ නඩු වාරයේදී ය.

පළමුව, මේජර් ජෙනරාල් ගුණවර්ධනගේ ප්‍රකාශයට තුඩුදුන් නඩු නිමිත්ත විමසා බැලීම වටනේ ය. පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ හමුදාවට භාරවීමෙන් පසු අතුරුදහන් වූ සටන්කරුවන් පස් දෙනෙකුගේ පවුල් සාමාජිකයන් විසිනි. පෙත්සම්කරුවන් විසින් සඳහන් කර ඇති නම් සහිත පුද්ගලයන් හමුදාවට භාර වූ බව පිළිගත නොහැකි බව අධිකරණය හමුවේ පෙනී සිටි ගුණවර්ධන කියා සිටියේ ඉකුත් අවුරුද්දේ පෙබරවාරි 17 වැනිදා ය. භාරවූවන් ගැන හමුදාව සතුව ඇති ලිපි ලේඛනවල පෙත්සම්කරුවන් විසින් නම් කර ඇති පුද්ගලයන් ගැන සඳහනක් නැතැයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය. එවැනි ලිපි ලේඛන හමුදාව සතුව ඇත්නම් අප්‍රේල් 19 වැනිදාට පෙර අදාළ සියලු ලැයිස්තු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මුලතිවු මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ඒ අනුව ය. නඩු වාර දෙකක් මඟ හරිමින් ජූලි මාසය වනතුරු අදාළ ලැයිස්තු අධිකරණයට ලබාදීම මඟහැර සිටි මේජර් ජෙනරාල්වරයා ජූලි 14 වැනිදා ලැයිස්තු දෙකක් ඉදිරිපත් කර සිටියේය. ඉන් එකක් රජයේ 'පුනරුත්ථාපන වැඩසටහන' යටතේ මුදාහරින ලද අයගේ නාම ලේඛනයකි. දෙවැන්න, ජූලි මාසය වනවිටත් 'පුනරුත්ථාපනය ලබමින් සිටි' අයගේ නාම ලේඛනයකි. අධිකරණයට අවශ්‍ය හමුදාව සතුව ඇතැයි කී 'භාරවූවන්ගේ නාම ලේඛනයක්' බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, සැප්තැම්බර් 29 වැනිදා අදාළ ලේඛන උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග කර සිටියේය. සැප්තැම්බරයේ දී යළිත් හමුදාව සතුව ඇති බව කී නම් ලැයිස්තු අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ඒ අනුව ය.

ජනවාරි 03 වැනිදා දෙවන වරටත් අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කරන ලද්දේ ජූලි මාසයේ දී ඉදිරිපත් කිරීමෙන් පසු වරක් ප්‍රතික්‍ෂේප කළ සාවද්‍ය ලේඛනයන් ය. ඉක්බිති නිවැරදි ලේඛන ඉදිරිපත් කිරීමට ජනවාරි 30 වැනිදා දක්වා ගුණවර්ධනට කල් ලැබිණ. දකුණේ කිසිවෙක් අතුරුදහන් වූ බව තමන් නොදන්නේ යැයි මේජර් ජෙනරාල් ගුණවර්ධන කියා සිටියේ මේ නඩු වාරය අතරමැදදී ය.

උපායික විස්මෘතිය යනු උපායිකව ගණන් බලා අමතක වූ ලෙස ක්‍රියා කිරීමයි. එහිදී මතකයේ හතර මායිම තීරණය කරන්නේ අමතක කිරීමට අවශ්‍යව ඇති දෑ විසිනි. 88-89 දකුණේ දී අතුරුදහන්වූවන් ගැන මේජර් ජෙනරාල් ගුණවර්ධනගේ 'නොදන්නාකම' සැළකිය යුත්තේ මේ වර්ගයේ උපායික අමතක වීමක් ලෙස ය. නමුත් ගුණවර්ධනගේ 'නොදන්නාකමට' එහා ගිය ගැටළුවක් තිබේ. ගුණවර්ධනගේ ප්‍රකාශය වැදගත් වන්නේ ඊට ප්‍රවේශයක් වශයෙන් පමණි.

ස්පාඤ්ඤයේ ජෙනරාල් ෆ්‍රැන්කෝගේ 36 වසරක් දිගු ෆැසිස්ට් ඒකාධිපතිත්වය අවසන් කරමින් ඇඩොල්ෆෝ සුවාරෙස්ගේ 'සිවිල් පාලනය' පටන් ගත්තේ 1976දී ය. අලුත් ආණ්ඩුව විසින් සම්මත කොටගත් 'විස්මෘති ගිවිසුම හෙවත් අමතක කිරීමේ පනත' (Pacto del Olvido) අතීත අපරාධ පිළිබඳ සොයා නොබැලීමේ නිල පිළිවෙතක් නීතිගත කරනු ලැබිණ. රාජ්‍ය අපරාධ ගහණ අතීත වාර්තා, විමසා බැලිය නොහැකි තහනම් කලාපයක් බවට පෙරළන ලද්දේ මෙකී 'අමතක කිරීමේ' සම්මුතිය මගිනි. 'ඇම්නෙස්ටි' (ක්‍ෂමාව) සහ 'ඇම්නීසියාව' (අමතක කිරීම) එකක් සේ සළකා අතීත අපරාධ නිදොස් කරන ස්පාඤ්ඤ පූර්වාදර්ශය නින්දා සහගත පියවරක් සේ විවේචනයට පාත්‍ර වන්නේ ඒ නිසා ය.

නමුත් ලංකාවේදී ඒ සම්මුතිය නීතිගත යථාර්ථයක් බවට පෙරළීමේ අවශ්‍යතාව පවා පැන නොනගී. භීෂණකාරී රාජ්‍ය පිළිවෙත් විසින් ගිළගන්නා ලද උතුරේ මිනිසාගේ ඉරණම දකුණේ මිනිස් ඉරණමින් වෙන්කොට පසමිතුරු තැනක පිහිටුවූ විට ඒ මගින් උතුරේ පමණක් නොව, දකුණේ දී ද රාජ්‍ය හමුදා විසින් සිදුකළ අපරාධ පවා 'නොදන්නාකම්' ඇතුළේ ගිල්වා දැමිය හැකි ය.

අන්තර් ජාතික අපරාධ නීති නිර්ණායකයන්ට අනුව අතුරුදහන්වීම් වනාහී මානව වර්ගයාට එරෙහි අපරාධයකි. පොදු සමාවක් මගින් දණ්ඩ මුක්තිය ප්‍රදානය කළ නොහැකි අපරාධ ගණයට අතුරුදහන් වීම් අයත්වන්නේ ඒ නිසා ය. නමුත් ලේ පිළී ගඳ ගසන දකුණේ ඉතිහාස කුරුබිලිය ප්‍රියවාසය කොටගත්, කඩුගත් සාගිනි සිංහයන් තුටු පහටු කරනු පිණිස අතීත මළවුන් වේලෙන් වේලට සැපයීම ආරම්භ කරන ලද්දේ දෑ විසි වසරකට කලිනි. 1994 දෙසැම්බරයේදී චන්ද්‍රිකා කුමාරණතුංග විසින් දිවයිනේ පළාත් නවය ආවරණය වන පරිදි පත්කළ කලාප කොමිෂන් සභා ත්‍රිත්වය විසින් 1988 ජනවාරි මාසයේ සිට 1994 දෙසැම්බර් මාසය දක්වා සිදු වු පුද්ගල අතුරුදහන්වීම් ගැන විමර්ශනය කරන ලදී. ඒ කලාප කොමිෂන් සභා සඳහා ලැබුණු පැමිණිලි 27,000කින් අවම වශයෙන් 15000ක් අතුරුදහන් වීම් හා බැඳී තිබිණ. එයින 10,136ක් දිවයිනම ආවරණය වන පරිදි පත්කළ සිව්වැනි කොමිසමකට යොමු කරන ලද අතර, ඒ කොමිසම ලද පැමිණිලි අතරින් 16,305ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට යොමුකරන ලදී. යට කී කලාප කොමිෂන් සභා විසින් අඩුම වශයෙන් සිදුවීම් 1000කට ආසන්න අතුරුදහන්වීම් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි නම් කරන ලද රාජ්‍ය ආරක්‍ෂක අංශ සාමාජිකයන් පිළිබඳ සියළු විස්තර, රාජ්‍ය රහස් සේ සළකා පසුව වළලා දැමුණි. මිනිස් ලෙයෙහි ගිජු පෝරිසාද සෙනෙවියන් සඳහා 'උතුරේ රණමඟට' රජ මාවත කපන ලද්දේ දකුණේ මිනිස් දඩබිම්වල දයා විරහිත ලෙස අත්හැර දැමූ ඒ දහස් සංඛ්‍යාත මළවුන් පාවාඩ කොට පාගාලීමෙනි.

දශක දෙක - තුනකට කලින් දකුණේ අතුරුදහන් වීම් සිදු වී යැයි තමන් නොදන්නා බව කියන විට ඊට පටහැනි සාක්‍ෂි සපයන්නට දකුණේ ජනයා පෙළ නොගැසෙන බව මේජර් ජෙනරාල් ගුණවර්ධන හොඳින් දන්නේ මේ ඉතිහාස රටාව ඔහු දන්නා නිසා ය. අතුරුදහන් වී ඇති දෙමළ සටන්කරුවන්ට යුක්තිය ඉටු කිරීමේ ඉල්ලීමෙන් කපා වෙන්කොට ගුණවර්ධනගේ ප්‍රකාශයට අභියෝග කළ නොහැකි බව දන්නා දකුණේ දේශපාලන බලවේග දකුණේ මළවුන් ගැන ඕනෑ බොරුවක් උතුරේදී කියන්නට ගුණවර්ධනයට ඉඩ දී මුනිවත රකිති . ඒ, රාජ්‍ය හමුදා සහ සිංහල ජනයා අතර දෙමළ ජනයා මැඩලනු පිණිස ගොඩනංවා ඇති සම්මුතියට හානි නොවන ලෙස දකුණේ අතීත සංහාරයන් ගැන කතා කරන්නට නොහැකි බැව් දන්නා හෙයිනි. මේජර් ජෙනරාල් ජානක පෙරේරාට කුරුණෑගල වැහැර හමුදා කඳවුර සමග ඇති සම්බන්ධය ගැනත්, ගෝඨාභය රාජපක්ෂ, ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් හා සුමේද පෙරේරා ඇතුළු හමුදා නිලධාරීන්ට මාතලේ විජය විදුහලේ පවත්වාගෙන ගිය හමුදා කඳවුර සමග ඇති සම්බන්ධය පිළිබඳවත්, කර්නල් තුවාන් මුතාලිෆ්ට කොළඹ නීති පීඨ වධකාගාරය හා ඇති සම්බන්ධය ගැනත් ඇතුළු දකුණේ අතීත වධක බිම් ගැන රජයන නිහඬතාව මේ සම්මුතියේ අතුරු ඵලයකි.

කලක දී, දකුණේ දී අතුරුදහන් වූ වින්දිතයා 'අපෙන් එකෙක්' සේ සැළකූ ජනයා, උතුරේ අතුරුදහන්වීම්වලට වගකිව යුතු අපරාධකරුවා ද 'අපෙන් එකෙකු' සේ සළකති. වින්දිතයා සහ අපරාධකරුවා දෙබෑයන් බවට පෙරළා ජාත්‍යානුරාගයේ චාටුකාරී වරපටින් ගැටගැසූ විට ගුණවර්ධනගේ 'නොදන්නාකම' අභියෝගයකින් තොරව ජයගනියි. විස්මෘතිය මහාමාරියක් සේ පැතිර ගිය තැනෙක 'නිරෝගී මතකය' ව්‍යාධියක් සේ සැළකේ.

ජනවාරි 03 වැනිදා මුලතිවු මහේස්ත්‍රාත් අධිකරණයේදී රඟදැක්වුණු නාටකය, ජනවාරි තිස් වැනිදාත් නිරුපද්‍රිතව යළිත් දිග හැරෙනු ඇත. ඒ අතරවාරයේ දී අපගේ දෛනික ජීවිතයේ ප්‍රමුඛතාවන්ට මුලතිවු යථාර්ථය විසින් කවර හෝ බාධාවක් කෙරෙනු ඇතැයි සිතිය නොහැකි ය. අපගේ උද්‍යෝගීමත් දේශපාලන සංවාදයන්ගේ ද, සංස්කෘතික කථිකාවන්ගේ ද, විප්ලවකාරී උද්වේගයන්ගේ ද, දාර්ශනික සම්භාෂණයන්ගේ ද, ව්‍යාජ උත්සවකාරී දෛනික ජීවිතයේ ද හදවත සාපරාධී නිහඬතාවයේ කල්පාන්ත අඳුරින් වැසී ඇත්තේ ඒ නිසා ය.☐

(මෙම ලිපිය 2017 ජනවාරි 15 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

bashana abeywardane profileරෝහිත භාෂණ අබේවර්ධන

© JDS

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top