nsb

Jan 28, 2017

සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්: දස වසක් මඟහළ යුක්තිය

දෙදහස් හයේ අවුරුද්දේ දෙසැම්බර් මස 15 වැනි දින දහවල් දෙක වන්නට ඉතිරිව තිබුණේ විනාඩි කිහිපයකි.

කොළඹ නගරයේ අධි ආරක්ෂිත ප්‍රදේශයක් සේ සැළකෙන අතිශය කාර්ය බහුල සුපිරි මාවතකට මුහුණ ලා පිහිටි ශ්‍රි ලංකා විද්‍යභිවර්ධන සංගම් ශාලාවේ පැවති විද්වත් කතිකාවකට සහභාගී වූ මඩකළපු වන්තාරමූලෛ නැගෙනහිර සරසවියේ උපකුලපතිවරයා ඉන් පිටතට පැමිණෙන්නේ දිවා ආහාරය සඳහා දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි සිය දියණියගේ නිවසට යෑමේ අටියෙනි. තමන්ගේ නිල රථය රැගෙන රියදුරු පැමිණෙන තෙක් ශාලාවේ ඉදිරිපස රැඳි සිටි ඔහු දකින්නට ලැබෙන අවසන් වතාව එය විය හැකි යැයි ඔහුගේ වෘත්තීය සගයන් මෙන්ම එකී පරිශ්‍රයේ සිටි ඔහු දන්නා හඳුනන සෙස්සෝ කිසිසේත් නොසිතූහ. එයින් පැය කිහිපයක් ගෙවී ගිය තැන දෙහිවල පොලිසිය වෙත පැමිණෙන ආර්.ජෙගදේශ්වරි නැමති අය පැමිණිල්ලක් සටහන් කරමින් තම සැමියා එදින දහවල් සිට අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලීවා ය.

ඒ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත්ගේ අතුරුදහන්වීම පිළිබඳව ය.

මඩකලපුව, කරදියනාරු කෘෂි විද්‍යා පිඨයෙන් 1978 වර්ෂයේදි සිය වෘත්තීය ජීවිතය අරඹන මහාචාර්ය රවින්ද්‍රනාත් විශිෂ්ඨ කෘෂි විද්‍යාඥයෙකු මෙන්ම දෙස් විදෙස් හි ප්‍රචලිත විද්‍යාර්ථියෙකු සේ සැළකිණ. අතුරුදහන් කරනු ලබන මොහොත වන විට හෙතම නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයේ කටයුතු කරමින් සිටි අතර,එම විශ්ව විද්‍යාලය ආරම්භ කිරිමේහි ලා පුරෝගාමි වු අතලොස්සක් වු අය අතරින් ද කෙනෙක් විය. ජාත්‍යන්තර තලයේ බොහෝ විශ්ව විද්‍යාලයන් මෙන්ම එම විශ්ව විද්‍යාලවල සේවය නියුතු ලොව පිළිගත් විද්‍යාර්ථීන් සමඟ ද සමීප සබඳතා පවත්වමින් එම දැන හැඳුනුම්කම් උපයෝගි කොට ගෙන නැගෙනහිර විශ්ව විද්‍යාලයේ පාඨමාලාවන් සහ අධ්‍යයන කටයුතු උසස් තත්ත්වයට ගෙන ඒමට හෙතෙම දැඩි පරිශ්‍රමයක් දැරු බව ඔහුගේ සමකාලීනයෝ පවසති. එනිසාම මහාචාර්ය රවින්ද්‍රනාත් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරය දරණ සමයෙහි එම පළාතේ ක්‍රියාත්මක කෙරුණු විවිධ නිල සහ නොනිල සන්නද්ධ කණ්ඩායම්වල ඉලක්කයක් බවට ඔහු පත් වී තිබුණු බවත් ඒ බොහෝදෙනා කියති. විශ්ව විද්‍යාලයට පරිබාහිර කණ්ඩායම් පමණක් නොව, ඔහු හා එකම විශ්ව විද්‍යාලයේ සේවයෙ හි නියුතුව සිටි ඇතැම් වෘත්තිය සගයන් ද මහාචාර්ය රවින්ද්‍රනාත්ගේ ක්‍රියාකලාපයන් නොරුස්සමින් යම්, යම් එදිරිවාදිකම්වල යෙදුනු බවද ඒ තරමටම ප්‍රචලිත කරුණකි.

මහාචාර්ය රවින්ද්‍රනාත්ගේ ඇතැම් වෘත්තීය සගයන් ඔහු සම්බන්ධව එවැනි යම් පසමිතුරු ආකල්පයක් දැරු බව පැවසුනද මහාචාර්යවරගේ අතුරුදහන්වීමට එය සෘජු ලෙසම බලපාන්නට ඇතැයි කියන්නට තරම් වැදගත් හෝඩුවාවක් හමු නොවේ. එහෙත් පෙර දක්වන ලද අයුරින්ම එදවස නැගෙනහිර කලාපය වසා පැතිරෙමින් පැවති රාජ්‍ය ප්‍රචණ්ඩත්වයත්, රාජ්‍ය හමුදා විසින් මෙහෙයවනු ලැබූ ඇතැම් අතුරු සන්නද්ධ කණ්ඩායම් සහ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වයත් මහාචාර්ය රවිනද්‍රනාත්ගේ අතුරුදහන්වීමට හේතු වන්නට ඇතැයි කියන්නට තරම් ඇවැසි සාධකයන් බොහෝ ය.

මේල් බොක්ස් කොමිසම

මේ කතාව ආරම්භ කළ යුතු තැනක් තිබේ. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ එවක කලා පිඨාධිපතිව සිටි ආචාර්ය බාලසුගුමාර් සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන යනු ලබන්නේ 2006 සැප්තැම්බර් මස 30 වැනි දින ය. ඒ මඩකලපුවේ ඔහුගේ නිවසේ සිටියදිය. පසුව හෙළිදරව් වූ කරුණක් වූයේ උපකුලපති සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බලකරනු වස් ප්‍රාණ ඇපකරුවෙක් වශයෙන් ආචාර්ය බාලසුගුමාර්ව පැහැර ගෙන ගිය බව ය. ආචාර්ය බාලසුගුමාර්ව පැහැරගෙන ගොස් දින කිහිපයක් රඳවා තබාගෙන සිට පසුව නිදහස් කරනුයේ මහාචාර්ය රවීන්ද්‍රනාත් සිය ඉල්ලා අස්වීම පිළිබඳ මහාචාර්ය ගාමිණී සමරනායක

professor gamini samaranayake croppedනිල වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත දැනුම් දීමෙන් අනතුරුව ය. නිදහස් කිරිමෙන් පසුව ආචාර්ය බාලසුගුමාර් ද සිය ධුරයන්ගෙන් සහ විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතුවලින් ඉල්ලා අස්වීම සඳහා ලිපියක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යොමු කරන්නට ක්‍රියා කළේය. ඒ 2006 ඔක්තෝබර් මාසයේ ය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම එම ඉල්ලා අස්වීම 2007 ජනවාරි 19 වැනි දින පිළිගෙන ඇති අතර එයින් පසුව ආචාර්ය බාලසුගුමාර් ජීවිතාරක්ෂාව පතා විදේශගත විය. එහෙත් මහාචාර්ය රවින්ද්‍රනාත්ගේ ඉල්ලා අස්වීම පිළිනොගන්නා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඔහුට දැනුම් දී ඇත්තේ කොළඹ සිට උපකුලපති ධුරයේ කටයුතු ආවරණය කරන ලෙස ය‍.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ එවක සභාපති ධුරය දැරු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය ගාමිණි සමරනායකට අනුව එම ඉල්ලා අස්වීම පිළිනොගැනීමට හේතුව ඒ සඳහා බලයක් එම කොමිසම සතුනොවීම ය. විශ්ව විද්‍යාලවලට උපකුලපතිවරුන් පත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයා සතුව බැවින් ඔවුන්ව ඉවත් කිරීම හෝ ඉල්ලා අස්වීමක් අනුමත කිරීම හෝ කළ යුතු වන්නේ ද ජනාධිපතිවරයා විසින්ම බව මහාචාර්ය සමරනායක ප්‍රකාශ කරන ලද්දේ මහාචාර්ය රවින්ද්‍රනාත් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඉදිරිපත් කරන ලද ලිපිය පිළි නොගැනීමට බලපෑ හේතු කවරේදැයි ජේඩීඑස් විසින් විමසීමේදී ය.

‘‘හැම උපකුලපතිවරයෙක්ම දන්නවා ඔවුන්ව පත් කරන්නේ ජනාධිපතිවරයා විසින් බව. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කරන්නේ මේල් බොක්ස් එකේ රාජකාරිය. අපිට බලයක් නෑ උපකුලපතිවරයෙක්ගේ ඉල්ලා අස්වීමක් පිළිගන්න හෝ ප්‍රතික්‍ෂේප කරන්න. අපි කරන්නේ එවැනි ලිපියක් ලැබුණාම එය උසස් අධ්‍යාපන ඇමතිවරයාට යොමු කොට ඔහුගේ අත්සන සහිතව ජනාධිපතිවරයාට යොමු කිරීම පමණයි", ඔහු කීය.

මහාචාර්ය රවින්ද්‍රනාත්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ද එවැනි පිළිවෙතක් අනුගමනය කරනු ලැබුවේ දැයි විමසීමේදි මහාචාර්ය සමරනායක කියා සිටියේ එය වසර දහයකට පමණ පෙර සිදුවුවක් බැවින් තමන්ට ඒ සම්බන්ධව නිශ්චිතව යමක් පැවසිය නොහැකි බව ය. නමුත් මහාචාර්ය මහාචාර්ය රවින්ද්‍රනාත්ට උපකුලපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තිබු උවමනාව වෙනස් කර කොළඹ සිට එම ධුරයේ කටයුතු කිරීමට ඔහුව කැමති කරවා ගත් බව මහාචාර්ය සමරනායක අනාවරණය කර සිටියේය.

''එතුමා සමඟ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ පාලක සභාවටත් යම්, යම් ගැටලු පැන නැඟී තිබුණා. ඒ නිසාම මම සෙනෙට් සභාවේ සමාජිකයන් කොළඹට කැඳවලා ඔවුන්ගෙන් ඉල්ලා සිටියා මහාචාර්ය රවින්ද්‍රනාත්ට කොළඹ සිට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයේ කටයුතු කරන්න ඉඩ දෙන්න කියලා. හැමෝම ඒකට කැමති වුණා. මහාචාර්ය රවින්ද්‍රනාත්ගේත් ඒකට අකමැත්තක් තිබුණේ නෑ'' .

අධි ආරක්‍ෂක ප්‍රදේශයක්

තමන්ට ජීවිත තර්ජන ඇතැයි පවසමින් උපකුලපති ධුරයෙන් සහ විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතුවලින් ඉවත් වීමට අවසර ඉල්ලා මහාචාර්ය රවින්ද්‍රනාත් විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ලිපියක් යොමු කොට මසක් ගෙවීමටත් මත්තේන් ඔහුව අතුරුදහන් කරනු ලැබිණ. සිය නිල රථය රැගෙන රියදුරු පැමිණෙන තෙක් විද්‍යාභිවර්ධන සංගම් ශාලාවේ ඉදිරිපස රැදී සිට ඇති ඔහුව යම් සන්නද්ධ පිරිසක් පැමිණ තර්ජනය කොට බිය ගන්වා බලහත්කාරයෙන් රැගෙන යන්නට ඇතැයි පැවසේ. එය පහසුවෙන් බැහැර කරලිය නොහැකි වන්නේ විද්‍යාභිවර්ධන සංගම් ශාලාව පිහිටි භූමි ප්‍රදේශයේ ආරක්ෂිත තත්ත්වය සහ ජනාකීර්ණත්වය විමසා බැලීමේදී ය. සැබවින්ම එය හමුදා සහ පොලිස් මාර්ග බාධක වළල්ලකින් වට කෙරු ප්‍රදේශයකි. මහාචාර්ය රවිනද්‍රනාත්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පළ කරන යාපනයේ මානව හිමිකම් සඳහා වන විශ්ව විද්‍යාල අචාර්යවරු කණ්ඩායම පවසනුයේ මෙම පැහැර ගැනීම් පිටුපස කරුණා සහ පිල්ලයාන් කණ්ඩායම සිටිතැයි තමන්ට විශ්වාසනීය තොරතුරු ලැබි තිබෙන බව ය. 2007 අගෝස්තු 3 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද අංක 26 දරණ එකී වාර්තාවේ වැඩිදුර‍ටත් සඳහන් වන්නේ අධි ආරක්ෂිත කලාපයකින් වට කෙරුණු ප්‍රදේශයකදී මෙවැනි පැහැර ගැනීමක් හෝ අතුරුදහන්වීමක් ආරක්ෂක අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව කෙසේවත් සිදුවිය නොහැකි වන බව ය.

මහාචාර්ය රවින්ද්‍රනාත් අතුරුදහන් වුයේ එවක පැවති රජයේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසා යැයි චෝදනා කරන වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය භාෂා සහ සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන්, එසේ නොවන්නේ නම් පූර්ණ වශයෙන් රජයේ අණසක යටතේ පාලනය කෙරුණු රටේ අග නගරයේදි මිනිසුන් අතුරුදහන් වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරයි.

''මහාචාර්ය රවින්ද්‍රනාත් අතුරුදහන් වුණේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසයි. එතුමා විතරක් නෙමෙයි, ඒ දවස්වල කොළඹ නගරයේ මිනිස්සු පන්සියකට වැඩියෙන් අතුරුදහන් වුණා. ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සන්නද්ධ මුර කපොලුවලින් වට කරපු, හැම වෙලේම මිනිසුන්ව පරීක්‍ෂාවට ලක් කරපු කොළඹ නගරයේදි ආණ්ඩුව හරි, ආරක්ෂක අංශ හරි නොදැනුවත්ව මේ වගේ විශේෂ පුද්ගලයෙක්ව පැහැර ගෙන යන්න බැහැනේ. චෙක් පොයින්ට් පහුකරගෙන කාවවත් පැහැරගෙන යන්න කාටවත් බෑ. ඒහෙම කරන්න පුලුවන් වෙන්නේ චෙක් පොයින්ට්වල පරික්ෂා කරන්නේ නැති, පරීක්‍ෂාවකින් තොරව ඒවා පහුකරගෙන යන්න බලයක් තියෙන අය විතරයි''.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදි කොළඹ නගරය ආශ්‍රිතව සිදුකෙරුණු ද්‍රවිඩ ජාතිකයන් පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම් සහ ඝාතනය කිරීම් පිළිබඳව කරුණු සොයා බැලු සිවිල් අධික්ෂණ කමිටුවේ සම කැඳවුම්කරුවකු වු මනෝ ගනේෂන්, මහාචාර්ය රවින්ද්‍රනාත් අතුරුදහන් කිරිම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමතමින් එකළ කියා සිටියේද මෙම අතුරුදහන්වීම සැළසුම් සහගත එකක් මෙන්ම ඉතා කඩිනමින් පොලිස් පරීක්ෂණ දියත් කෙරුණේ නම් ඔහුව නිරුපද්‍රිතව මුදා ගැනීමට අවස්ථාව තිබු බව ය. එයින් දස වසරකට පසුව, එනම් පසුගිය දෙසැම්බර් මාසයේ දිනෙක ජේඩිඑස් ඒ පිළිබඳව නැවත විමසීමේදි ඔහු කියා සිටියේ දස වසරකට පෙර සිදුවුවක් බැවින් තමන්ට ඒ සම්බන්ධව නිසි මතකයක් නොමැති බව ය. නමුත් මහාචාර්ය රවින්ද්‍රනාත් අතුරුදහන් කරනු ලැබුවේ එවක පැවති රාජ්‍ය ත්‍රස්තවාදය හේතු කොටගෙන බව තමන්ට සහතික යැයි යළිත් අවධාරණය කරන ඔහු ආරක්ෂක අංශ සමාජිකයන්ගෙන් සැදුම්ලත් අතුරු හමුදා කණ්ඩායම් විසින් මෙවැනි පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරිම් සිදු කළ බවට පෙර කළ චෝදනා තව දුරටත් තහවුරු කර සිටියේය.

''මහාචාර්ය රවින්ද්‍රනාත්ගේ අතුරුදහන්වීමට විතරක් නෙමෙයි, ඒ වගේ තවත් විශාල සංඛ්‍යාවකට පැවති රජය - විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය - සම්බන්ධයි කියලා දැන් ඔප්පු වෙලා තියෙනවනේ. යුද්ධය පැවති කාලයේ යුධ කලාපයේ සිදුවුණු අතුරුදහන් කිරිම්, ඝාතන සහ පැහැර ගැනීම්වලට අමතරවයි කොළඹ නගරයේ මෙවැනි පැහැර ගැනීම්, අතුරුදහන් කිරිම් සිදුවුණේ. මේ සිදුවීම් ගොඩාක් ඒවා හරියට වාර්තා වෙලාවත් නෑ. ආරක්ෂක අංශවල හිටපු විවිධ කල්ලි, කණ්ඩායම් තමයි මේවා සිදු කෙරුවේ. හමුදාවේ හරි පොලිසියේ හරි නායකත්වයට පිටින් හිටපු පුද්ගලයෝ තමයි මේවැනි අපරාධ මෙහෙයවුවේ'', මනෝ ගනේෂන් කියයි.

මනෝ ගනේෂන්

mano ganesan croppedමහාචාර්ය රවින්ද්‍රනාත් අතුරුදහන් කිරීම පිළිබඳව පැවති රජය යටතේ මෙන්ම තමන් අමාත්‍යධූරයක් දරණ රජයෙන්ද කිසිදු පරික්ෂණයක් සිදු නොවීම සම්බන්ධයෙන් තමන් කම්පාවට පත්වන බවද ඔහු කියා සිටියේ ඒ කතබහ අතරවාරයේ ය.

දුෂ්කර කාලයක්

ඇතැම් මාධ්‍ය වාර්තාවන්ට අනුව මහාචාර්ය රවින්ද්‍රනාත් අතුරුදහන් බවට මුලින්ම දැනගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ වාසය කළ ඔහුගේ වැඩිමහල් දියණිය විසිනි. ඒ, මහාචාර්යවරයා ඇගේ නිවසට රැගෙන යාමට විද්‍යාභිවර්ධන සංගම් ශාලාවට පැමිණි රියදුරු විසින් කරන ලද දැනුම් දීමකට අනුව ය. තමන්ව රැගෙන යාමට පැමිණිය යුතු වේලාව මහාචාර්ය රවින්ද්‍රනාත් විසින් රියදුරුට එයට පෙර දැනුම් දී තිබුණද යම් හේතුවක් මත ඔහු අදාළ ස්ථානයට පැමිණිම පැය කිහිපයක් ප්‍රමාද වී තිබේ. එසේ ප්‍රමාද වී පැමිණෙන රියදුරු,විසින් මහාචාර්යවරයාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන ඇත්තේ ශ්‍රි ලංකා විද්‍යාභිවර්ධන සංගම් ශාලාවේ මහාචාර්ය රවින්ද්‍රනාත් නොමැති බව දැකීමෙන් පසු ය. දුරකතනයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති තැන ඔහු විසින් ඒ බව මහාචාර්යවරයාගේ දියණියට දැනුම් දී තිබේ. පසුව ඇය විසින් ද කිහිප වතාවක් මහාචාර්යවයාගේ ජංගම දුරකතනයට ඇමතුම් ගෙන ඇතත් එයින් කිසිදු ප්‍රතිචාරයක් නොවූ තැන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ එවක සභාපති මහාචාර්ය ගාමිණි සමරනායකට දැනුම් දීමට පියවර ගෙන ඇත. එයට පෙර සිටම මහාචාර්යවරයාට විවිධ පාර්ශවයන් වෙතින් එල්ල වුණු තර්ජනයන් හේතුවෙන් ඔහුට යම් අනතුරක් සිදුවන්නට ඇතැයි සැකකරන පවුලේ සමාජිකයන් කඩිනමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ අනෙකුත් බලධාරින්ගෙන් ඉල්ලා ඇත්තේ මහාචාර්යවරයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගත හැකි පියවර කඩිනමින් ගන්නා ලෙස ය.

මහාචාර්ය රවින්ද්‍රනාත්ගේ අතුරුදහන්වීමෙන් පසුව ඒ සම්බන්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කවර නම් ක්‍රියාමාර්ගයන් ගනු ලැබුවේ දැයි ජේඩිඑස් විසින් විමසීමේදි මහාචාර්ය ගාමිණි සමරනායක කියා සිටියේ එකළ පැවති මර්දනකාරී තත්ත්වය හේතු කොටගෙන විශේෂ මැදිහත්වීමක් කිරිමට ප්‍රතිපාදන කොමිසමට නොහැකි වු බව ය.

''ඒ කාලේ තිබුණේ දුෂ්කර කාලයක්නේ, නේද? ප්‍රතිපාදන කොමිසමට එතුමාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් විශේෂ යමක් කරන්න බැරිවුණා. නමුත් මම දන්න විදිහට එතුමාට මරණ තර්ජන තිබුණා. ඒ දවස්වල නැගෙනහිර පළාතේ තිබුණු තත්ත්වය හරිම භයානක එකක්නේ. අඩුම තරමින් මහාචාර්ය රවින්ද්‍රනාත් එක්ක එකට වැඩ කෙරුව කවුරුවත් මේ අතුරුදහන්වීම ගැන වචනයක්වක් කතා කෙරුවේ නෑ. කිසිම තොරතුරක් අපිට දුන්නේත් නෑ. සමහරවිට ඔවුන්ට බය හිතෙන්න ඇති. මහාචාර්ය රවින්ද්‍රනාත්ගෙන් පස්සේ උපකුලපතිධුරය භාර ගත්ත ඩොක්ටර් පත්මනාදන්වත්, ඩොක්ටර් ප්‍රේමකුමාර්වත් කිසිම ඉඟියක්වත් අපට දුන්නේ නෑ මේ අතුරුදහන්වීම ගැන. සමහර විට ඔවුන්ට හිතෙන්න ඇති අපිත් එක්ක ඒක කතා කරන එකෙන් ඔවුන්ට ප්‍රශ්නයක් ඇති වේවිය කියලා.'' මහාචාර්ය සමරනායක ප්‍රකාශ කළේය.

මහාචාර්ය රවින්ද්‍රනාත්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සෙසු අධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකයන් වෙතින් හෝ මහාචාර්යවරයාගේ වෘත්තිය සගයන් වෙතින් හෝ කිසිදු සහයක් නොලැබුණු බවට චෝදනාත්මකව කතා කරන මහාචාර්ය ගාමිණි සමරනායක, නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා මරා දැමු යැයි පැවසෙන එම විශ්ව විද්‍යාලයේම උගත් සිංහල සිසුවකුගේ මරණයෙන් කම්පාවට පත්ව එහි සිටි ඉතිරි සිංහල සිසුන් 17 දෙනෙක් වහාම වෙනත් විශ්ව විද්‍යාලයක් වෙත මාරු කර හැරීමටත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සෘජුවම කතා කොට විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ස්ථිර පොලිස් මුරපොලක් විවෘත කිරිමටත් කටයුතු කළ බව පවසන්නේ අභිමානයෙනි.

සනාතන සභාව ද,ගෝඨාභය රාජපක්ෂ ද?

''2007 දී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිංහල ළමයෙක්ව මැරුවා. මම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට කතා කරලා වහාම පොලිස් මුර පොලක් දාන්න කටයුතු යෙදුවා. මුර පොල දාන්න පහසුකම් සපයන්න කියලා ඒ දවස්වල හිටපු උපකුලපති ඩොක්ටර් පත්මනාදන්ට මම කතා කරලා කිවුවා. නමුත් එයා ඒකට කැමති වුණේ නැහැ. එයා මට කිවුවේ සනාතන සභාවෙන් අවසර ගන්න ඔනේ කියලයි. පස්සේ මම එයාගෙන් ඇහුවා අපේ ළමයට වෙඩි තිබ්බේ ඔයාගේ සනාතන සභාවෙන් අවසර අරන්ද කියලා. පස්සේ ආරක්ෂක ලේකම්තුමාගේ නියෝගය මත අපි ස්ථිර පොලිස් මුරපොලක් ඇරියා.''

ආචාර්ය පත්මනාදන්ද දිගු කාලයක් උපකුලපති ධුරයේ කටයුතු නොකර ඉන් ඉවත්ව යන්නේ මර්දනයේ සෙවනැළි ඔහු පසු පසද හඹා ආ නිසාම විය හැකි ය. ඇතැම් විට ඒ තීරණයට පිටුබල දුන්නේ ආරක්ෂක ලේකම්ගේ නියෝගය නොතකා හරිමින් විශ්ව විද්‍යාලයේ සනාතන සභාවේ සම්ප්‍රදායන්ට සහ නියමයන්ට අනුව කටයුතු කරන්නට දැරූ උත්සාහය ද විය හැකි ය.

කෙසේ නමුත් මහාචාර්ය රවින්ද්‍රනාත්ගේ බිරිඳ විසින් සිය සැමියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වෙත කරන ලද 225/260/CIB II අංකය දරණ පැමිණිල්ලට අනුව එයින් දින කිහිපයකට පසුව රියදුරුව සැකපිට අත්අඩංගුවට ගනු ලබන අතර සති දෙකකට පමණ පසු ඔහුව නිදහස් කරනු ලබන්නේ කිසිදු චෝදනාවකින් තොරව ය. නියමිත වෙලාවට මහාචාර්ය රවින්ද්‍රනාත්ව රැගෙන යාම සඳහා විද්‍යාභිවර්ධන සංගම් ශාලාව වෙත පැමිණීමට නොහැකි විම පිළිබඳව රියදුරු විසින් පොලිසියට පවසා ඇත්තේ රථයේ කාර්මික දෝෂයක් හටගත් බැවින් ඒමට පමා වු බවයි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයක් මත එවක පොලිස්පති වික්ටර් පෙරේරා විසින් පරික්ෂණ කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරනු ලැබු බවට වාර්තා පළ වුණද මහාචාර්යවරයාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් රියදුරු හැරෙන්නට වෙනත් කිසිවෙක් අත්අඩංගුවට ගන්නට හෝ කිසිදු වැදගත් තොරතුරක් හෙළිදරව් කර ගැනීමට හෝ ඔවුහු අසමත් වූහ. සැබවින්ම ඒ අසමත්වීම වනාහී අන් කිසිවක් නිසා නොව, මෙම අතුරුදහන්වීම පිටුපස සිටි දේශපාලන සහ ආරක්ෂක අංශයන්ගේ රැකවරණය ලද සන්නද්ධ කල්ලිවලට එරෙහිව පොලිසියට කිසිවක් කළ නොහැකි නිසා බැව් පැහැදිලි ය.

රොහාන් අබේවර්ධන සහ ගජනායක

රොහාන් අබේවර්ධන යනු ත්‍රිකුණාමලය පංච පුද්ගල සිසු ඝාතනය සිදුවන අවස්ථාවේ ත්‍රිකුණාමලය භාරව සිටි නියෝජ්‍ය පොලිසිපතිවරයා වන අතර එම ප්‍රදේශයේ සිදුවුණු පුද්ගල පැහැර ගැනීම්,අතුරුදහන් කිරිම් මෙන්ම විවිධ අපරාධයන් සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි. විශේෂයෙන්ම කප්පන් ගැනීම් සඳහා දෙමළ ජාතික ව්‍යාපාරිකයන් බලහත්කාරයෙන් පැහැරගෙන යාම් පිළිබඳව ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණද හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂට පැවති පක්ෂපාතීත්වය සහ සමීපතාවය හේතු කොටගෙන ඒ කිසිදු චෝදනාවක් පිළිබඳව කිසිදු පරික්ෂණයක් හෝ සොයා බැලිමක් සිදු නොවුණි. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තත්ත්වය පාලනය කිරිම සඳහා කරන ලද සුවිශේෂී කාර්යභාරය අගයමින් ගෝඨාභය රාජපක්ෂගේ සෘජු මැදිහත් වීම මත නියෝජ්‍ය පොලිස්පති රොහාන් අබේවර්ධන 2006 වර්ෂයේ අග භාගයේදි කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කැඳවන ලද අතර, කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාපය තුළ හඳුනාගත් විශේෂ ප්‍රදේශ පාලනය මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම මත සිදුකෙරුණු මෙහෙයුම් ක්‍රියාත්මක කිරිමද ඔහුට භාර විය.

සරස්වතී සිවසුබ්‍රමනියම් (මව)

mrs saraswathy sivasubramaniamමෙකී කාල සිමාවෙන් පසු කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්වල සිදුකෙරුණු පුද්ගල පැහැර ගැනීම්, අතුරුදහන් කිරිම් මෙන්ම කප්පම් ලබා ගැනීම සඳහා දෙමළ ජාතික ව්‍යාපාරිකයන්ව සන්නද්ධ කණ්ඩායම් විසින් බලහත්කාරයෙන් පැහැර ගෙන යාම්ද ඉතා සීග්‍ර ලෙස ඉහළ යන්නට පටන්ගත් අතර මාර්ග බාධකවලදි සිදු කෙරෙන අත් අඩංගුවට ගැනීම්ද වර්ධනය විය. 2006 වර්ෂයේදි කොළඹ නගරයේ ලැඟුම්හල්වල සිටි දෙමළ ජාතිකයන් 500 අධික ප්‍රමාණයක් එක් රැයක් තුළ බලහත්කාරයෙන් බස්රථවලට දමා කොළඹ නගරයෙන් එලවා දැමීමේ මෙහෙයුමකට නායකත්වය සැපයුයේ ද නියෝජ්‍ය පොලිස්පති රොහාන් අබේවර්ධන වූ අතර එම මෙහෙයුම සඳහා නියෝග නිකුත් කරන ලද්දේ එවක සිටි ආරක්ෂක ලෙකම් ගෝඨාභය රාජපක්ෂ සහ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා යන දෙපළ ප්‍රමුඛ ජාතික ආරක්ෂක මණ්ඩලය විසිනි.

මඩකලපුව බලා යාම සඳහා දුම්රියක් පැමිණෙන තෙක් 2007 ජූනි 1 වැනිදා සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ රැඳී සිටි ශ්‍රි ලංකා රතු කුරුස සංවිධනයේ ද්‍රවිඩ ජාතික ස්වේච්ඡා සේවකයන් දෙදෙනෙකුව රහස් පොලිසියෙන් බව පවසා රැගෙන යන ලද අතර පසුව වෙඩි තබා මරා දමා තිබුණු ඔවුන්ගේ මළ සිරුරු කොළඹ නගරයට කිලෝ මීටර් 100 ට පමණ දුරින් පිහිටි අවිස්සාවේල්ල - රත්නපුර මාර්ගයේ වතුයායක තිබි සොයා ගන්නා ලදි. ඔවුන් දෙදෙනා සමඟ දුම්රිය ස්ථානයේ රැඳි සිටි එම සංවිධානයේම තවත් ස්වේච්ඡා සේවකයන් කිහිප දෙනෙකු පසුව පොලිසියට පවසා තිබුණේ දුම්රිය ස්ථානයේ තමන් රැඳී සිටි ස්ථානයට ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් තමන් රහස් පොලිසියෙන් බව පවසමින් හැඳුනුම්පත් පරික්ෂා කොට බලා සින්නරාජා ශන්මුගනාදන් සහ කාර්තීගේසු චන්ද්‍රමෝහන් යන දෙදෙනා, අංක 251-6437 දරණ සුදු පැහැති වෑන් රථයට නන්වා රැගෙන ගිය බව ය. මෙම ඝාතන දෙක සම්බන්ධයෙන්ද චෝදනා එල්ල කෙරුණේ කරුණා පාර්ශවයට වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් අය අතර ගුවන් හමුදාවේ හිටපු බලඝණ නායකයෙකු වූ නිශාන්ත ගජනායක නැමැත්තාද විය. ඒ වන විටත් මහාචාර්ය රවින්ද්‍රනාත්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ගජනායකට චෝදනා එල්ල වී තිබුණු නමුත් ඒ සම්බන්ධයෙන්ද කිසිදු විධිමත් පරික්ෂණයක් සිදු නොවුණි.

කරුණාගේ කරුණාව

2006 දෙසැම්බර් 24 වැනි දිනැති සන්ඩේ ටයිම්ස් පුවත්පත ද මහාචාර්ය රවින්ද්‍රනාත්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තාවක් පළ කරමින් අනාවරණය කර සිටියේ මහාර්යවරයාගේ රියැදුරු කරුණා පාර්ශවයේ ආධාරකරුවකු යැයි විමර්ශණවලින් හෙළිදරවු බවට නම සඳහන් කිරිමට අකමැති අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පුවත්පතට පැවසු බව ය. මහාචාර්යවරයාට ලැබුණු දුරකතන පණිවිඩ ඔස්සේ විවිධ පාර්ශවයන් වෙතින් ප්‍රකාශ සටහන් කොට ගෙන ඇතත් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එ්වා ප්‍රමාණවත් නොවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර මෙන්ඩිස් තමන්ට ප්‍රකාශ කලේ යැයි ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබුණි.

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වු රාජ්‍ය අනුග්‍රහ ලත් සන්නද්ධ කණ්ඩායම් වෙතින් එල්ල කෙරුණු ජීවිත තර්ජන හමුවේ කොළඹ සිට තම වෘත්තීය කටයුතු කරගෙන යාමට හැකියාවක් ලැබෙනු ඇතැයි ඇතැම් විට මහාචාර්ය රවින්ද්‍රනාත් සිතුවා විය හැකි ය. නමුත් එයම ඔහුගේ ජීවිතය අවසන් කරන්නට හේතු වන්නේ ඔහුව ඩැහැ ගන්නට බලා සිටි කවර හෝ පුද්ගල පාර්ශවයකට ඉතා පහසුවෙන් තම ගොදුර වෙත ලංවීමට එයින් ඉඩ සැළසුනු නිසා ය. එකළ කොළඹ නගරයේ ක්‍රියාත්මක වු ආරක්ෂක වළල්ල බිඳ අතිශය ජනාකීර්ණ ස්ථානයකින් ප්‍රකට නාමධාරි පුද්ගලයෙක් පැහැරගෙන යාමට තරම් බලයක් සහ හැකියාවක් සමාන්‍ය තත්ත්වයේ පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට නොතිබුණි. එසේ කිරිමට හැකිවන්නේ ඉතා බලවත් දේශපාලන පිටුබල සහිත, ඒ නිසාම ආරක්ෂක මුර කපොලු සහ පරීක්ෂා කිරිම්වලින් නිරුපද්‍රිතව යාමට හැකි පිරිසකට පමණි. මෙම පැහැර ගැනීම ඉතා සැළසම් සහගතව සිදුවු එකක් බව පෙනෙන්නේ ඉල්ලා අස්වීමේ ලිපිය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යොමු කොට මාසයක් වැනි කෙටි කාලයක් තුළදී හෙතෙම පැහැර ගැනිමට ලක්වන නිසා ය. කොළඹ සිට උපකුලපති ධුරයේ රාජකාරි කටයුතු ආවරණය කරන ලෙස වි.වි.ප්‍ර.කොමිසමේ සභාපති ගාමිණි සමරනායක විසින් මහාචාර්ය රවින්ද්‍රනාත්ට නොනිලව කරන දැනුම් දීමත්, කවර හෝ තත්ත්වයක් මත මහාචාර්ය රවින්ද්‍රනාත් එයට එකඟ වීමත් ඔහුව පැහැර ගෙන ගියවුන් දැන සිටි බව පැහැදිලිව පෙනේ. ඇතැම් විට මේ සියළු පාර්ශවයන් අතර යම් දැන හැඳුනුම් කමක් හෝ සම්බන්ධයක් තිබෙන්නට ඇතැයි යමෙකු පැවසුවහොත් එය පහසුවෙන් බැහැර කළ නොහැකි එකක් වන්නේද පසුව පරීක්ෂණ භාර වුවන්, ඒ සඳහා නියෝග නිකුත් කරන්නන් මෙන්ම මහාචාර්ය රවින්ද්‍රනාත්ව අතුරුදහන් කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබුවන් අතර ඇති දේශපාලනමය සහ මිලිටරිමය ගනුදෙනු දෙස විමසිලිවන්තව බැලිමේදි ය.

''මම මහාචාර්ය රවින්ද්‍රනාත්ගේ අතුරුදහන්වීම පිළිබඳව විමසා කරුණා අම්මාන්ට ලිපියක් යොමු කෙරුවා. ඔවුන් මම රතු කුරුසෙට යවපු ලිපියක පිටපතක් එක්කම පිළිතුරු ලිපියක් එවලා තිබුණා''යි වි.වි.ප්‍ර.කොමිසමේ එවකට සභාපති ගාමිණි සමරනායක ජේඩීඑස් හා පවසා සිටියේය. මහාචාර්ය රවින්ද්‍රනාත් පිළිබඳව විමසමින් තමන් කරුණා අම්මාන් වෙත ලිපියක් යොමු කළ බව පවසා සිටීම විසින් අනාවරණය කරන්නේ එවැනි ඉල්ලීමක් ආරක්‍ෂක අංශ බුද්ධි අංශ සමග ක්‍රියාකළ කරුණා අම්මාන්ගේ පාර්ශවය වෙතින් කළ යුතු යැයි මහාචාර්ය සමරනායකට කල්පනා වීම පිටුපස බැහැර කළ නොහැකි දේශපාලන යථාර්ථයක් සැඟව තිබූ බව නොවේද?

මහාචාර්ය රවින්ද්‍රනාත් අතුරුදහන් කිරීමෙන් පසුත් දේශපාලන අනුග්‍රහ ලත් සන්නද්ධ කණ්ඩායම් මෙන්ම රජයේ ආරක්ෂක අංශ වෙතින් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන්ට එරෙහිව එල්ල කෙරුණු නොයෙක් තර්ජන හා පීඩාකාරි බලපෑම් හේතු කොට ගෙන ඔවුන් බොහෝ දෙනෙක් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස් වී ජීවිතාරක්ෂාව පතා විදෙස් ගතවුණු බව සඳහන් ය. 2006 දෙසැම්බර් 24 දිනැති සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියේ ආසන්න සිවු මසක කාලයක් තුළ එම විශ්ව විද්‍යාලයේ විවිධ පීඨයන්වල ආචාර්යවරුන් 20 අධික ප්‍රමාණයක් නොයෙක් තර්ජන හේතුවෙන් ජීවිතාරක්ෂාව පවා විදෙස් ගතවී ඇති බව ය. එම වාර්තාවට අනුව ආචාර්ය කේ. තිරුචෙල්වම්, ආචාර්ය එස්.ගෝවින්දරාජ්, ආචාර්ය සී.වයි තංගරාජ් සහ ආචාර්ය එස්.සදානන්දන් යන අය එසේ සේවය අතහැර විදෙස් ගතවුණු ප්‍රමුඛ පෙලේ ආචාර්යවරුන් කිහිප දෙනෙක් අතරේ ලා ගැණේ.

විවෘත අායාචනාවන්

මහාචාර්ය රවින්ද්‍රනාත් අතුරුදහන්වීමෙන් පසුව ඔහු සොයා දෙන්නැයි ඉල්ලමින් ඔහුගේ බිරිඳ, මව, දියණියන් දෙදෙනා සහ බෑණා විසින් විවිධ පාර්ශවයන් වෙතින් කරන ලද ආයාචනයන්වලින් කිසිදු පලක් නොවිණ. අධි රුධිර පීඩනයෙන් සහ හෘදයාබාධයන්ගෙන් පීඩා විඳි සිය සැමියා - පියා සොයා දෙන්නැයි ද, ඔහු රඳවා ඇති තැනකින් නිදහස් කරන්නැයි ද ඉල්ලමින් මහාචාර්ය රවීන්ද්‍රනාත්ගේ බිරිඳ සහ දරුවන් එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් දක්වා ලිපි යොමු කළහ.

2007 පෙබරවාරි 15 වැනි දාතමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මුන් වෙත ලිපියක් යවමින් පවුලේ සමාජිකයන් කියා සිටියේ අවම වශයෙන් ඔහු නිරුපද්‍රිතව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීද යන වග හෝ ඔහුව පැහැර ගත්තවුන් තමන්ට දැනුම් දී නොමැති බව ය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට යවන එම ලිපියේ පිටපත් ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති රත්නසිරි වික්‍රමනායක, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මානව හිමිකම් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද සමරසිංහ ඇතුළු දෙස් විදෙස් සංවිධාන ගණනාවක් හා තානාපති කාර්යාල වෙත යොමු කොට ඇතත් ඒ කිසිදු පාර්ශවයක් කවර හෝ මැදිහත්වීමක් ඒ සම්බන්ධව කරනු ලැබුවේ දැයි දැනගන්නට නොමැත. මහාචාර්ය රවීන්ද්‍රනාත්ගේ අතුරුදහන්විම සම්බන්ධයෙන් පසුව හෝ කවර නම් වු ක්‍රියා මාර්ගයක් ගනු ලැබුවේ දැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකුගෙන් මෙයට පෙර අවස්ථාවක ජේඩීඑස් විසින් විමසා සිටි විටක ඔහු පෙරළා පවසා සිටියේ තමන් එම අතුරුදහන්වීම සම්බන්ධයෙන් එතරම් දෙයක් නොදන්නා බව ය.

මහාචාර්ය රවීන්ද්‍රනාත් අතුරුදහන්වීමෙන් පසු ඔහු සොයා ගැනීමට මැදිහත් වන්නැයි ඉල්ලමින් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය 2006 දෙසැම්බර් 20 වැනි දින අංක UA 336/06 යටතේ විශේෂ ආයාචනයක් නිකුත් කරන ලද අතර, එම සංවිධනය එහි පිටපත් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එවක හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා ඇතුලු ආණ්ඩුවේ වගකිව යුතු පාර්ශ්වයන් ගණනාවක් වෙත ද යොමු කර තිබිණ.

මේ අතරින් වඩාත් විශේෂිත ලියැවිල්ල ලෙස සැළකිය හැකි වන්නේ ලෝක ප්‍රකට විශ්ව විද්‍යාල ගණනාවක සුප්‍රසිද්ධ ආචාර්ය, මහාචාර්යවරුන් 67 දෙනෙකුගේ අත්සනින් නිකුත් කරන ලද විවෘත ආයාචනයයි. එම සාමූහික ආයාචනය සඳහා විදේශගත ශ්‍රී ලාංකීය මහාචාර්යවරුන් තිදෙනෙක් පමණක් අත්සන් තබා තිබූ අතර, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල සේවයේ නියතු කිසිදු ආචාර්යවරයෙක් ඊට අත්සන් කර නොතිබීම කැපී පෙණුන කරුණක් විය.

ජාත්‍යන්තර විද්‍යාර්ථීන් සමග මහාචාර්ය රවීන්ද්‍රනාත් පවත්වාගෙන යනු ලැබූ ශාස්ත්‍රාලයීය සබඳතා මෙකී ජාත්‍යන්තර ආයාචනාවන් විසින් පිළිබිඹු කරන ලද අතර, එම සම්බන්ධතා උපයෝගි කොට ගෙන නැගෙනහිර පළාතට අංග සම්පූර්ණ වෛද්‍ය විද්‍යාලයක් සිය සේවා කාලය තුළදි ලබා දෙන්නටත්, නැගෙනහිර විශ්ව විද්‍යාලය සහ නෝර්වේ විශ්ව විද්‍යාලය හා ඒකාබද්ධව වැඩසටහනක් යටතේ ගැටුම් නිරාකරණ සහ සාම අධ්‍යානය පිළිබඳ උපාධි පාඨමාලා හඳුන්වා දෙන්නටත් අතුරුදහන් වන මොහොත වන විට ඔහු සැළසුම් සකස් කරමින් සිටි බවද වාර්තා වේ.

දස වසරකට පසු

මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් නැමති විශිෂ්ඨ කෘෂි විද්‍යාඥයා පැහැර ගෙන ගොස් අතුරුදහන් කොට දස වසරක් පිරුණේ ගෙවීගිය දෙසැම්බරයේදී ය. ඔහුට සිදුවුයේ කුමක්ද, ඔහුව පැහැර ගෙන ගොස් අතුරුදහන් කරනු ලැබුවේ කවරෙක්ද යන වග පිළිබඳව සෑහීමකට පත්විය හැකි ආකාරයේ කිසිදු සොයා බැලිමක් හෝ විධිමත් පරීක්ෂණයක් එ් ගෙවුණු දස වසර තුළ සිදු වී නොමැත. මහාචාර්ය රවීන්ද්‍රනාත් යනු ගෙවුනු දශකයක දෙකක කාලය තුළ අතුරුදහන් කෙරුනු සිය දහස් ගණනක් වු මිනිසුන් අතරින් තවත් එකෙකු ලෙස සිතා සෑහීමකට පත්වන්ට ද දැන් බොහෝ දෙනා උත්සහ ගනිති. නැගෙනහිර පළාතේ ඔහුගේ සමකාලීන වෘත්තීය සගයන්ට හා ඔහුගෙන් දැන උගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔහු පිළිබඳව ඇති මතකයත්, කොළඹ කේන්ද්‍රීය විශ්ව විද්‍යාල ප්‍රජාවට ඔහු සම්බන්ධව කියන්නට කිසිත් නැතිවීමත් විසින් පෙන්නුම් කරන්නේ ගැඹුරු වන වාර්ගික ධ්‍රැවීකරණයේ යථාවයි. අනෙක් අතින්, මහාචාර්ය රවින්ද්‍රනාත් අතුරුදහන්වීමෙන් පසුත්, එයට පෙරත් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ආචාර්ය මඩුලු සමාජිකයන් බියෙන් තැතිගන්වමින් මුදාහල මර්දනය සුලුපටු එකක් නොවුණ ද, දකුණේ විශ්ව විද්‍යාල ප්‍රජාවගේ නිහැඬියාව තීරණය කරන ලද්දේ එවැනි මර්දනයක් විසින් නොවේ. අතළොස්සක් දෙනා හැරෙන්නට, සමස්තයක් ලෙස ගත් කළ දකුණේ සරසවි ආචාර්ය මණ්ඩලවල බහුතරයක් දෙනා බලයේ සිටින ආණ්ඩුව සමග ගැටුමකට නොගොස් එහි දේශපාලන බලාධිකාරිත්වයේ අනුශාසකයන් වෙමින් කටයුතු කිරීම ඒ නින්දා සහගත නිහැඬියාවට පාදක විය. මහාචාර්ය රවීන්ද්‍රනාත්ගේ අතුරුදහන් වීමෙන් දස වසක් ගෙවුණු තැන, 'අභිනව ආණ්ඩුවක්' බලයට පත්ව සිටිය ද, ඒ පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කරන්නැයි ඒ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නට දකුණේ ආචාර්ය මණ්ඩල සමිති සමාගම්වලට අමතකව යාම ඒ දැනුවත් නිහැඬියාවේම දිගුවකි.

සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ගේ අතුරුදහන්වීම, අමතක කර දමන ලද රාජ්‍ය අපරාධ කඳු යට තවත් දශක ගණනාවක් වැළලී තිබෙනු ඇත. ජාතික සංහිඳියාව ගැන දැන් පැතිර යන වංචනික උද්‍යෝගය එළඹෙන දශක ගණනාව පුරාම රැළි ගසනු ඇත්තේ ද එ් අපරාධ කඳු පා මුළ ය.☐

කිත්සිරි විජේසිංහ

kithsiri wijesinghe© JDS

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top