Jan 30, 2017

ලෝහ හයිඩ්‍රජන් සොයාගත් කණ්ඩායමේ ලාංකිකයෙකුත්!

ආවර්තිතා වගුවේ මුල්ම මූලද්‍රව්‍යය වන හයිඩ්‍රිජන්, බොහෝදෙනා විසින් හඳුනන්නේ වායුවක් ලෙසයි.

කෙසේ වුවත් මේ වන විට, මුළු මහත් විශ්වයේම පවතින සුලභම මූලද්‍රව්‍යය වන හයිඩ්‍රජන්, ඉතිහාසයේ ප්‍රථම වරට ලෝහයක් බවට පරිවර්තනය කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබේ.

මෙම නව සොයාගැනීම සිදුකළ ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමට ශ්‍රී ලාංකිකයෙකු ද අයත් වීම විශේෂත්වයකි.

ස්වභාවික විද්‍යා මහාචාර්ය - තෝමස් ඩී. කැබට්, මහාචාර්ය අයිසැක් සිල්වේරා හා ආචාර්ය රංග ඩයස් විසින් මෙම සොයාගැනීම සිදුකර තිබේ.

ඉහත සොයාගැනීම සම්බන්ධයෙන් මුලින්ම න්‍යායක් ඉතිරිපත්වී තිබුණේ මීට වසර 80කට ඉහතදී වන අතර, මේ සඳහා නොබෙල් සම්මානයක් ද හිමිවිය.

පර්යේෂණය

කිසියම් මූලද්‍රව්‍යයක පරමාණු, අණු වල චලන වේගය අඩුවැඩි කිරීම මගින් එහි පදාර්ථයේ ස්වභාවය (ඝන, ද්‍රව, වායු) වෙනස් කළ හැකිවේ. උෂ්ණත්වය අඩුවන තරමට එහි පරමාණු හා අණු වල චලන වේගය අඩු වේ.

මේ අනුව, හයිඩ්‍රිජන් වල පරමාණු චලනය අවම කිරීමට එහි උෂ්ණත්වය කෙල්වින් 5.5 (-267.65 °C) දක්වා අඩු කිරීමට මෙම විද්‍යාඥයන් කටයුතු කර තිබේ. මෙම උෂ්ණත්වයේදී එම පරමාණු ලැටිස් හැඩයක් ගෙන ඇති අතර, ඉන්පසුව ගිගා පැස්කල් 495ක (මුහුදු මට්ටමේ දී දැනෙන පීඩනය මෙන් පස් ගුණයක්) පීඩනයකට ලක් කර තිබේ. එම අවස්ථාවේදී එහි පරමාණු ලෝහ වල පරමාණු මෙන් එකිනෙකට සමීප වී ස්කන්ධයක් බවට පත්වේ.

‘Atomic Metallic Hydrogen’ ලෙස නම් කර ඇති මෙම ලෝහය සෑදීමට මෙම පර්යේෂකයන් ‘diamond anvil cell’ නම් උපකරණයක් භාවිතා කර තිබේ. සාම්පලය පීඩනයට ලක්කර ඇත්තේ මෙම උපකරණයේ තුළ තබා ය.

කෘතීම දියමන්ති වලින් සාදා ඇති මෙම උපකරණය මත ඇලුමිනියම් ඔක්සයිඩ් පටලයක් ගල්වා ඇත්තේ දියමන්ති තුළට හයිඩ්‍රජන් පරමාණු ඇතුල්වීම වැළැක්වීමටයි.

මෙහිදී දියමන්ති යොදාගැනීමට ප්‍රධාන හේතු දෙකක් තිබේ.ඒ, ලෝකයේ ශක්තිමත්ම ද්‍රව්‍යය වීමත්, දියමන්ති හරහා ආලෝකයට ගමන් කිරීමට හැකි වීමට හේතුවීමත් ය.

මොවුන්ගේ මෙම පර්යේෂණය පිළිබඳ විද්‍යාත්මක ලිපිය “Science” කියන විද්‍යාත්මක ජර්නලයේ පවා පළ කර තිබුණි.

සුපිරි සන්නායක

ඕනෑම ලෝහයකට පොදු විද්‍යුත් සන්නායකතාවය ඉහළ ලෝහ හඳුන්වන්නේ සුපිරි සන්නායක (super conductors) ලෙසයි.

කෙසේවෙතත්, මේ දක්වා නිර්මාණය කර ඇති සුපිරි සන්නායක සාදාගැනීමට ඉතාම අඩු උෂ්ණත්වයකට සිසිල් කිරීමට අවශ්‍ය වූ අතර, මේ සඳහා වැය වන ශක්තිය හේතුවෙන් එම නිර්මාණ ප්‍රයෝගික නොවීය.

කෙසේ වෙතත්, කාමර උෂ්ණත්වයේ පවතින සුපිරි සන්නායකයක් සොයාගතහොත් එමගින් ප්‍රවාහන සේවයේ, විද්‍යුත් කාර් නිෂ්පාදනයේ හා රොකට් නිෂ්පාදනයේ නවමු වෙනස්කම් අත්කරගත හැකි වන බව විද්‍යාඥයන් පවසයි.

ඉදිරියේදී මෙම ලෝහය කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායකයක් ලෙස භාවිතා කිරීමට හැකිදැයි පර්යේෂණ පැවැත්වීමට මහාචාර්ය අයිසැක් සිල්වේරා අදහස් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top