nsb

Feb 04, 2017

සංක්‍රමණික ජාතියක අඳුරු ඉතිහාසය: ට්‍රම්ප් යනු විකෘතියක්ද?

ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් ඉතිහාසය ලියමින් සිටියි.

trump supporter croppedඔහුගේ මැතිවරණ ජය විසින් මුදාහළ දක්‍ෂිණාංශික බහිෂ්කාරක බහුජනවාදයේ (exclusivist populism) කම්පන බලපෑම  එක්සත් ජනපද දේශසීමා ඉක්මවා යුරෝපය හා ලෝක පරිවාරයේ රටවල් කරා ද ළඟා වී තිබේ. ඔහු විසින් අනුයන පිළිවෙත් දේශපාලන තලයේදී අධිකාරවාදී සුදු වර්ගෝත්තමවාදයත්, ආර්ථික තලයේදී 'ජාතික නව ලිබරල්වාදයත්' විවෘතව ප්‍රවර්ධනය කරන බැව් සිතන්නෝ බහුල වෙති. මේ සියල්ලටත් වඩා, එක්සත් ජනපදය විසින් මේ තාක් පිළිපදින ලද ආගමන - විගමන ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද, සංක්‍රමණිකයන් පිළිබඳ පිළිවෙත් කෙරෙහි ද කිසි කලෙක අත් නොදුටු මාරාන්තික ප්‍රහාරයක් ඔහුගේ ක්‍රියාමාර්ග විසින් එල්ල කර ඇතැයි බොහෝ දෙනා කියති. ඒ අර්ථයෙන් බැලූ කල, ට්‍රම්ප් විසින් නියෝජනය කරන්නේ එක්සත් ජනපද 'ලිබරල් දේශපාලන සම්ප්‍රදායයන්ගේ තීරණාත්මක ඛණ්ඩනයක්' බව බොහෝ දෙනා කල්පනා කරති.  නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තෙන්ම විකෘතියක්දැයි අවිවා චොම්ස්කි අපෙන් විමසා සිටින්නීය. ඇතැම් විට මතභේදාත්මක සේ පෙනිය හැකි ඇගේ තියුණු ආලෝචනාවන් විසින් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය එහි අත්‍යවශ්‍ය ඉතිහාස - දේශපාලන පසුබිමෙහි තබා විමර්ශනය කරයි.  Le Monde diplomatique ඉංග්‍රීසි සංස්කරණයෙන් උපුටා සිංහලට නඟන ලද මෙම ලිපිය මුලින් පළවූයේ ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණයට දෙමසකට පෙර ය.

මැසචුසෙට්ස්හි සලෙම් රාජ්‍ය සරසවියේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරිය මෙන්ම ලතින් ඇමරිකානු හා කැරීබියානු අධ්‍යයනයන් පිළිබඳ සම්බන්ධීකාරකවරිය වශයෙන්ද ක්‍රියා කරන අවිවා චොම්ස්කි, කීර්තිමත් බුද්ධිමතකු හා දේශපාලන ක්‍රියාකාරිකයකු වන නෝම් චොම්ස්කිගේ දියණිය යි.

පරිවර්තනය: චන්දන කීර්ති බණ්ඩාර


ඩොනල්ඩ් ට්‍රම්ප් යනු විකෘතියකැ’යි සිතන්නට කැමති ඇමරිකානු ලිබරල්ලු සංක්‍රමණිකයන් රටට ඇතුළු වීම වලකාලන්නට එක්සත් ජනපද - මෙක්සිකෝ දේශසීමාව දිගේ මහා ප්‍රාකාරයක් බැඳීමේ අදහස ඇමරිකානු සාරධර්ම වලට පටහැණි වෙතැයි විශ්වාස කරති. හිලරි ක්ලින්ටන්ම කියන්නේ “අපි සංක්‍රමණිකයන්ගේ ජාතියක්” කියා ය. සත්තකින්ම කියතොත්, මේ රටේ අඳුරු ඉතිහාසය දෙස බැලූ කල ඔවුන් මුළුමනින්ම වැරදි ය.

එක වර්ගයක සංක්‍රමණිකයන්ට එරෙහිව තම වෛරය එළිපිටම ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගත් කල ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනත් සමකාලීන දේශපාලකයන්ට bill clionton croppedවඩා වෙනස් වන්නට පුළුවන. (ඇත්ත වශයෙන්ම ඔහු යුරෝපීය සංක්‍රමණිකයන් වැඩි පිරිසක් සඳහා රට විවෘත කිරීමට ඉල්ලා සිටී.) ඩිමොක්‍රටික් පාක්ෂික බරක් ඔබාමාත්, බිල් සහ හිලරි ක්ලින්ටනුත්, කතා බහේදී ඊට අඩු වෛරක්කාරී බවක් සහ වැඩි ඉවසන සුළු බවක් පල කරන උදවියයි. එහෙත්, ට්‍රම්ප් යෝජනා කරන චිර ප්‍රසිද්ධ තාප්පයත්, තොග ගණනේ පිටුවහල් කිරීමත් අලුත් ප්‍රතිපත්ති නොවේ. දේශසීමා හමුදාකරණයේ පටන් දැවැන්ත පිටුවහල් කිරීම් දක්වා බිල් ක්ලින්ටන් විසින් 1990 ගණන් වලදී ආරම්භ කරනු ලැබ බරාක් ඔබාමා විසින් මහත් උද්යෝගයෙන් යුතුව වැඩි දියුණු කරන ලද ප්‍රතිපත්ති ය. ඇමරිකානු ඉතිහාසයේ පෙර නොවූ විරූ මට්ටමකට පිටුවහල් කිරීම් ඉහළ දමන්නට සැබවින්ම වගකිව යුත්තේ ජනපති ඔබාමායි.

ඉතින්, එම ඉතිහාසයේ ඉතා ඈත දිසාවට දිගු බැල්මක් හෙලුවොත් දැක ගන්නට ලැබෙන්නේ අනාගත සුදු නොවන බහුතරයකින් යුත් රටක් පිළිබඳව එළිපිටම බිය ගැන්වීමත්, වාර්ගික ශ්වේතකරණය අරමුණු කරගත් සංක්‍රමණික ප්‍රතිපත්ති වෙනුවෙන් ට්‍රම්ප් දක්වන ඈලියාවත් අලුත් දෙයක් නොවන බව ය. ඔහු විසින් අනුදක්නා පිළිවෙතින් ප්‍රකාශිත වන්නේ සුදු ජනතාවගෙන් පිරීගත් රටක් ගොඩනැගීම වෙනුවෙන් ශතවර්ෂ ගණනක් තිස්සේ පවත්වාගෙන යනු ලැබූ ඝෝර ප්‍රතිපත්ති සම්පාදනයේ තාර්කික අවිච්ඡින්නතාවයි.

ඒ ක්‍රියාදාමයේ පළමු පියවර වූයේ 1600 ගණන් වලින් ආරම්භ කරන ලද ස්වදේශික ජනගහනය පිටුවහල් කිරීමයි. ඉන් පසුව පිටුවහල් කිරීමේ ප්‍රතිපත්තියේ ඉලක්කය වුනේ බොහෝ සුදු අය විසින් ඉන්දියානුවන්ගෙන් වෙන් කොට නොදක්නා ලද මෙක්සිකානුවන්ය. වෙනසකට තිබුනේ වැටුප් ශ්‍රමිකයන් ලෙස වැඩ කිරීමට මෙක්සිකානුවන් වැඩි මනාපයක් දක්වන බව සුදු පදිංචි කරුවන් විසින් සොයාගැනීමයි. දහනම වැනි ශතවර්ෂයේ මැදභාගයේ පටන් මෙක්සිකන් වරුන්ට සලකන ලද්දේ ඉවත ලෑ හැකි කම්කරුවන් ලෙසය. යුරෝපීයයන්ට මෙහි පැමිණ සදහට පදිංචි වී පුරවැසියන් වන්නට ආරාධනා කරද්දී, මෙක්සිකන් කම්කරුවන් කැඳවන ලද්දේ වැඩට ය - එහෙත් පුරවැසියන් වන්නට නොවේ.

මේ නිශ්චිත නෛතික තර්ක පද්ධතිය කාලයාගේ ඇවෑමෙන් වෙනස්කම් වලට භාජන වී තිබුනත්, ක්‍රමය නම් විශ්මිත ලෙසින් චිරස්ථායි වී පවතී. 1960 ගණන් වලට පෙර පිටුවහල් කෙරුනේ මෙක්සිකන් වරුන්ගේ වර්ගය හෝ ජාතිය සේ ගැනෙන පදනම සලකා එළිපිටම වෙනස්කම් කිරීමෙනි. එයාකාර වෙනස්කමක් තවදුරටත් යුක්ති සහගත කළ නොහැකි වූයේ 1960 ගණන් වල පුරවැසි අයිතිවාසිකම් ව්‍යාපාරයේ නැගීම නිසාය. ඒ සමගම මෙක්සිකානු කම්කරුවන් පිටුවහල් කිරීම සඳහා අලුතින් ගෙන එනු ලැබූ සංක්‍රමණික තහංචි මගින් නව නෛතික තර්ක පද්ධතියක් නිර්මාණය කර ගන්නා ලදී.  “නීති විරෝධී” හෝ “කොළ රහිත” ලෙස ප්‍රතිනිර්වචනය මගින් ඔවුන් පිටුවහල් කිරීම සඳහා කෑමොර දීම එළිපිට ජාතිවාදී විලාසයක් නොදක්වා කරන්නට දේශජයන්ට මග පෑදුනි.

සුදෝසුදු දේශයක්

ඇමරිකා ඉතිහාසය දෙස වඩා සමීප බැල්මක් හෙලුවොත්, "අපි සංක්‍රමණික ජාතියක් වෙමු" යන සංකල්පය එය ප්‍රචාරය කරන්නන් හිතනවාට වඩා අඳුරු එකකි. පළමු කොටම, යුරෝපා සංක්‍රමණිකයන් රට විජිතකරණය ආරම්භ කිරීමට පෙර සුවිශාල ස්වදේශීය ජනගහනයකට නිවහනව පැවති භූමියක "සංක්‍රමණික ජාතියක්" යන්නෙහි අරුත කුමක් විය හැකිද?  ආරම්භයේ පටන්ම ඇමරිකා ඉතිහාසය යනු සත්තකින්ම පිටුවහල් කිරීමේ ඉතිහාසයකි. බ්‍රිතාන්‍ය යටත් විජිත වලින් සහ ඇමරිකා ජාතියෙන් මුලින්ම පලවා හරින ලද්දේ සුදු සංක්‍රමණිකයන්ට පදිංචි වන්නට උවමනා සතර දිග් භාගයේ පිහිටි ගම්වලින්, ගොවිබිමෙන් සහ දඩ බිම් වලින් නීතියෙන්ද, අවනීතියෙන්ද බලය යොදා ඉවත් කරන ලද ස්වදේශීය ඇමරිකානුවන් ය.

1600 ගණන් වල ආරම්භ කරන ලද පිටුවහල් කිරීම් යටත් පිරිසෙයින් දහනම වැනි ශතවර්ෂයේ අග භාගය දක්වා දිගටම කරගෙන යන ලදී. වෙනත් වචන වලින් කියතොත්, දේශයේ "සංක්‍රමණික" මූලයන් උත්කර්ෂයට නැංවීම යනු එක්සත් ජනපදය සංක්‍රමණිකයන්ගේ ජාතියක් බවට පත් කළ ජනපදිකයන්ගේ විජිතකරණය සහ ස්වදේශිකයන් විතැන් කිරීම උත්කර්ෂයට නැංවීමක්ද වන්නේමය. මෙම කාරණය මෙක්සිකෝ හා මධ්‍යම ඇමරිකා ස්වදේශිකයන් බොහොමයකගෙන් සැදුම්ලත් වර්තමාන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඉතා වැදගත් කමක් උසුලයි. සංක්‍රමණිකයන් සහ ස්වදේශිකයන් අතර ගැටුම් උතුරු හා දකුණු ඇමරිකාවේ මෙන්ම ඇමරිකා විප්ලවයේත් යටත් විජිතක්කාර ඉතිහාසයට කේන්ද්‍රීය වූවකි. 1763 රාජකීය ප්‍රකාශනය මගින් බ්‍රිතාන්‍ය පාලකයන් එවැනි ගැටුම් සමහන් කරන්නට වීරිය දැරුවේ ඇපලේචියානු බෙදුමෙන් බටහිරට වන්නට පිහිටි ස්වදේශික ඉඩම් විජිතවාදීන් (ඒ කියන්නේ සංක්‍රමණිකයන්) විසින් අල්ලා ගැනීම තහනම් කරමිනි. ස්වදේශිකයන්ගේ සහ ජනපදිකයන්ගේ අවශ්‍යතා සමතුලනය කිරීමේ නිරර්ථක වෑයමක් දරමින් බ්‍රිතාන්‍ය කිරීටය සංක්‍රමණය පවා සීමා කරන්නට පියවර ගත්තේය. එම තහංචි ඇමරිකා විප්ලවයට මගපෑදු ප්‍රධාන දුක්ගැනවිලි අතර විය.

barak oabama cropped"මෙම ප්‍රාන්ත ජනාකීර්ණ කිරීම වැලැක්වීමට උත්සාහ දරමින් ද; ඒ සඳහා විදේශිකයන්ට ස්වදේශීයකරණය වීමට ඉඩ සලසන  නීති සම්පාදනයට අවහිර කරමින් ද; වෙනත් අයට මෙහි පැමිණීමට ඉඩ සැලසීම අනුමත නොකොට, අභිනවයෙන් ඉඩම් අත්පත් කරගැනීම සඳහා වන කොන්දේසි දැඩි කිරීම," රජු විසින් කරන ලද "පීඩා සහ පැහැර හැරීම්" ලෙස නිදහසේ ප්‍රකාශනය මගින් හෙළා දැක තිබුනි. ඊට අමතරව "අප අතර අභ්‍යන්තර කැරළි අවුළුවා, සෑම වයසකටම, ලිංගිකත්වයටම සහ තරාතිරමකටම අයත් පුද්ගලයන් විනාශ කර දැමීම එකම යුද නීතිය කරගත්, අපේ දේශ සීමාවේ පදිංචිකාර අනුකම්පා විරහිත ඉන්දියානු ම්ලේච්ඡයන් ගෙන ඒමට උත්සාහ ගැනීමත්," රජු විසින් සිදු කරන ලද බව එහි සඳහන් වෙයි.

"ජීවිතය, නිදහස් සහ සන්තුෂ්ටිය සොයා යාම," වෙනුවෙන් වන කැපවීම හා එක්ව ගත් කල සුදු සංක්‍රමණිකයන්ගෙන් භුමිය පුරවා දේශීයයන් පලවා හැරීමේ නව දේශයේ ජානපදික විජිතවාදී ව්‍යාපෘතිය (settler colonial project) ඉතා නිරවුල්ව එම ලියවිල්ලේ දක්වා තිබුනේ එලෙසිනි. ඇමරිකානු ඩීඑන්ඒ සංයුතිය නමෝ විත්තියෙන්මත්, 2016 මැතිවරණ සම්බන්ධයෙන් ගත් කලත්, නිර්මිතව පැවතියේ දේශය සුදු ජනයාගෙන් පුරවා ලීම විශද කරන වර්ගවාදී ව්‍යාපෘතියක් ලෙසිනි. "ඇමරිකාව යළිත් ශ්‍රේෂ්ඨ කරමු!" යන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැපී පෙනෙන සටන් පාඨයේ අරුත සමහරවිට මෙය විය හැක.

පුරවැසිබව නීතිගත කිරීම

සංක්‍රමණය මගින් සුදු වර්ගෝත්තමවාදය නගා සිටුවීම වෙනුවෙන් වූ මේ කැපවීම එක්සත් ජනපද ඉතිහාසයේ ආරම්භක ශතවර්ෂයේදී පවා වෙනස් වුනේ නැත. 1790 පළමු ස්වදේශීකරණ පනත මගින් කරන ලද්දේ වර්ගය මත පදනම් කරගන්නා ලද පුරවැසි කම සුදු යුරෝපීයයන් ලෙස නිර්වචනය කෙරුනු සංක්‍රමණිකයන්ට නොමසුරුව ප්‍රදානය කිරීමයි. එමගින් ඔවුන් වහල් ක්‍රමය ආත්ම කොටගත් නව ජාතියක වරප්‍රසාදිත ඡන්දදායකයන් බවට පත් කරනු ලැබිනි. (දකුණුදිග සහ නැගෙනහිර යුරෝපීයයන් එක්සත් ජනපදයේ සමාජ අගතීන්ට ගොදුරු වුවත්, සංක්‍රමණ හා පුරවැසි නීති මගින් ඔවුන් ලා තිබුනේ "සුදු" ප්‍රවර්ගයේය.)

සිවිල් යුද්ධය හමාර වී තුන් වසරක් ඇවෑමෙන්, 1868 දී 14 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන තුරු උත්පත්තියෙන් පුරවැසි බව ලබා ගැනීමේ අයිතිය තහවුරු කෙරුනේ නැත. එමගින් පළමු වතාවට සුදු නොවන්නන්ට පුරවැසි බව ලබා ගැනීමේ හැකියාව ලැබුනි. එහෙත් කොන්ග්‍රසය එම සංශෝධනය සම්මත කරගත්තේ සුදු නොවන එක වර්ගයක් සිත්හි දරාගෙන ය. ඒ අතීතයේ වහල් කමට ගන්නා ලද අප්‍රිකානුවන් සහ ඔවුන්ගෙන් පැවත එන්නන් ය. ඒ බව සහතික කළ තීරණාත්මක වගන්තිය මෙයයි; "එක්සත් ජනපදයේ උපත ලද්දාවූ  හෝ දේශීයකරණය කරන ලද්දාවු ද, ඒ අනුසාරයෙන් නීතියට අඩංගුව සිටින්නාවූ ද, සියල්ලෝම එක්සත් ජනපදයේත් ඔවුන් පදිංචි ප්‍රාන්තවලත් පුරවැසියෝ වන්නාහුය". දේශීය ඇමරිකන් වරු එක්සත් ජනපදයේ "නීතියට අඩංගු" නැති හෙයින් උත්පත්තියෙන් පුරවැසි බව ලැබීමෙන් බැහැර කරන ලද්දෝය.

පුරවැසි භාවයේ නව වර්ගවාදී සීමා මායිම් තවදුරටත් පැහැදිලි කරන ලද්දේ කොන්ග්‍රස් මණ්ඩලය විසින් දේශීයකරණ පනත සංශෝධනය කරමින් වර්ණිත ඇතැම් නිර්-පුරවැසියන්ට පුරවැසි බව ලබා ගැනීමේ අවසරය මුල්ම වතාවට සලසා දීම මගිනි. එමගින් දේශීයකරණයේ අයිතිය "අප්‍රිකානු උත්පත්තියක් ඇති විදේශිකයන් සහ අප්‍රිකානු සම්භවයක් ඇති පුද්ගලයන්"  දක්වා පුළුල් කරන ලදී. කරදාසිය මත්තේ එය දිස්වූයේ සුදු වර්ගෝත්තමවාදයෙන් පියවරක් ඉවතට තැබීමක් ලෙස ය. එහෙත් එක්සත් ජනපදය ඒ අවස්ථාවේ පැවති සන්දර්භය තුළ එමගින් කියවුනේ වෙනත් කතාවකි. උත්පත්තියෙන් පුරවැසි බව ලැබීම ඒ වනවිටත් අහිමි කොට තිබූ දේශීය ඇමරිකන්වරුන්ට දේශීයකරණය හරහා පුරවැසි භාවය ලබා ගැනීමේ අයිතියත් අවුරා දැමීම එමගින් තහවුරු කෙරිනි. රටට ඇතුල්වී දේශීයකරණය හරහා පුරවැසි බව ඉල්ලා සිටින "අප්‍රිකානු උත්පත්තියක් ඇති පිටස්තරයන්" යනුවෙන් න්‍යායිකව හැඳින්වෙන්නේ සැබෑවට සිටියවුන් නොවේ. අවුරුදු සිය ගණනාවක වහල්භාවයෙන් සහ බලහත්කාරයෙන් ප්‍රවාහනය කිරීමෙන් පසුව එක්සත් ජනපදය සෞභාග්‍යයේ දේශයක් ලෙසත් වඩා හොඳ දිවි පෙවෙතක් ගත කළ හැකි තැනක් ලෙසත් කිසියම්ම හෝ අප්‍රිකානුවකුට සිතා ගන්නට වත් හැකියාව ලැබුනේ එයින් දශක ගණනාවක් ඉක්ම ගිය පසුව ය. anti columbus day

එමෙන්ම 1870 ගණන් වලදී එක්සත් ජනපදයට විශාල ලෙසින් සංක්‍රමණය වෙමින් සිටි බොහෝ දෙනා නව දේශීයකරණ පනත විසින් නිශ්චිත වශයෙන් බැහැර කරන ලදී. පුරවැසියකු වීම සඳහා  පැමිණෙන යුරෝපීයයකුට නම් ලැබුනේ සාදර පිළිගැනීමකි. කෙසේ වෙතත්, උදාහරණ වශයෙන්, මෙක්සිකානු හෝ චීන අයකුට පැමිණ රැකියාවක් කිරීමට අවසර ලැබුනත්, ඒ තැනැත්තාට පුරවැසියකු විය නොහැකි නිසා  හේ "සංක්‍රමණිකයකු" නොවීය. එම නිසාම එක්සත් ජනපදය දිගටම පැවතියේ "සංක්‍රමණිකයන්ගේ ජාතියක්" ලෙසින්ම පැවතුණි - ඒත් ඒ සුවිශේෂ වර්ගයක එකක් ලෙසිනි.

සංක්‍රමණය නීතිගත කිරීම

කෙසේවෙතත්, උපතින් පුරවැසි බව ප්‍රදානය කිරීම තවත් සංකීර්ණ ප්‍රශ්න මාලාවක් ජනිත කළේය. දේශීය ඇමරිකානුවන් හැරුනුකොට රට තුළ භෞතිකව ඉන්නා වෙනත් ඕනෑම අයකුට තම දරුවන්ට ඔවුන්ගේ උත්පත්තිය නිසාම පුරවැසි භාවය ලබා ගැනීමේ අවසරය තිබිනි. චීන වැඩිහිටියන් දේශීයකරණය වීම  වලක්වා තිබේ. එනමුත්, ඔවුන්ගේ දරුවන් "පුරවැසි බව ලැබීමට වාර්ගික වශයෙන් නුසුදුසු" වන්නාක් මෙන්ම  උත්පත්තියෙන් පුරවැසියන් වීමට සුදුස්සෝ ද වෙති. මෙය තාර්කික වශයෙන් අශක්‍ය දෙයකි.

උත්පත්තියෙන් පුරවැසි බව දීම ස්ථාපිත කිරීමෙන් අනතුරුව රටේ සුදු වාර්ගික ගති ලක්ෂණය රක්ෂා කරන්නට කොන්ග්‍රසය පියවර ගත්තේ සුදු නොවන පුද්ගලයන් රටට ඇතුල් වීමට සීමා පනවමිනි. එය කරන ලද්දේ මුලින්ම, චීන කාන්තාවන් රටට ඇතුල්වීම වලක්වන 1875 පේජ් පනත මගිනි. ඊළඟට 1882 චීනුන් බැහැර කිරීමේ පනත මගිනි. 1917 දී "ආසියාතිකයන්ට තහනම් කලාපය" පිහිටුවන විට එම තහංචිය ක්‍රම ක්‍රමයෙන් පුළුල් කරනු ලැබ තිබිනි.

ඇෆ්ගනිස්තානයේ සිට ශාන්තිකර දූපත් දක්වා ලෝකයේ සැලකිය යුතු වපසරියක් ඒ මගින් ආවරණය වූ අතර ජගත් ජනගහනයෙන් අඩක් පමණ ඊට ඇතුළත් විය. එහි අරමුණ වූයේ සකල ආසියාතිකයන්ම "පුරවැසිකමට නුසුදුසු විදේශිකයන්" වන හෙයින් ඒ කිසිවකුත් එක්සත් ජනපදයට ඇතුල් වීමත්, ඔවුන්ගේ වාර්ගික වශයෙන් නොගැලපෙන දරුවන් යම් කලෙක මෙහි ඉපිද උත්පත්තිය හේතුකොටගෙන පුරවැසි බව ලබා ගැනීමත් වැලැක්වීම ය.

මුල්ම වතාවට යුරෝපා සංක්‍රමණිකයන්ට සීමා පැනවූ 1921 සහ 1924 කෝටා ක්‍රමය ගැන සංක්‍රමණ ඉතිහාසය උගන්නා ශිෂ්‍යයෝ පොදුවේ උගනිති. ඇත්ත වශයෙන්ම, විසිවැනි සියවසේ මැද භාගයේ දශක හතරක් පමණ කාලයක් තිස්සේ එක්සත් ජනපදය කළේ රටට ඇතුල් වන යුරෝපීයයන් කෙරේ ඇති "වාර්ගික" අභිරුචිය ශ්‍රේණිගත කර අඩුවෙන් මනාප අයගේ (විශේෂයෙන්ම දකුණු දිග හා නැගෙනහිර යුරෝපීය) සංඛ්‍යාව පහත හෙලීම සඳහා ඒකමිතියකින් තොර කෝටා ක්‍රමයක් පවත්වාගෙන යාමයි.

මේ සියලු සීමා ක්‍රියාවේ යොදවද්දී මෙක්සිකානු සංක්‍රමණිකයන් වලක්වාලීමට කොන්ග්‍රසය කිසිවක්ම කළේ නැත. සුදු ජානපදික විජිතකරණය සහ බටහිර දෙස දේශීය ඇමරිකන්වරුන් විතැන් වීම සමග දුම්රිය මාර්ග, ආකර, ඉදිකිරීම් සහ ගොවිපල සඳහා මෙක්සිකන් ශ්‍රමය තදින්ම ඕනෑ කර තිබුනි. චීන ජනතාවට වඩා මෙක්සිකානුන් සම්බන්ධයෙන් වාසිදායක තත්වයක් තිබුනි. දීර්ඝ දකුණුදිග දේශසීමාව හරහා ඔවුන් පිටුවහල් කිරීම වඩාත් පහසුවෙන් කළ හැක්කකි. බොහෝ දෙනා ඇත්තෙන්ම කැමති වුනේ මෙක්සිකෝවේ තම ගේ දොර නඩත්තු කරමින් කෙටි කලකට සංක්‍රමණය වී වාරික, තාවකාලික රැකියාවල නිරත වීමට ය.

මේ ආකාරයෙන් ගත් කල මෙක්සිකන් සංක්‍රමණය වෙනුවෙන් එක්සත් ජනපදයේ පැවතියේ බඳවා ගනිමින් පිටුවහල් කරන කැරකෙන ගේට්ටුවකි. ඇතැම් අවස්ථාවල මෙම ක්‍රමය ආකාරගත කරන ලද්දේ බ්‍රසේරෝ යනුවෙන් හඳුන්වන ලද "ආගන්තුක-කම්කරු" වැඩසටහන් මගිනි. 1917 සහ 1922 දීද , නැවත 1942 සිට 1964 දක්වා ද එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරිනි. ඒ අනුව, 1930 දීත් 1954 දීත් එසේ සිදුවූ පරිද්දෙන් තොග ගණනේ පිටුවහල් කිරීම් යුක්ති සහගත කිරීම සඳහා ට්‍රම්ප් පන්නයේ මෙක්සිකන් විරෝධයක් දියත් කිරීමට ඇතැම්විට ජාතිකවාදීන්ට හැකියාවක් ලැබේ.  එමගින් තවදුරටත් සවිමත් කෙරෙනු ඇත්තේ එක්සත් ජනපදය තුළ මෙක්සිකානුන්ගේ පැවැත්ම තුනීවී යාම පමණි.

"සංක්‍රමණිකයන්ගේ ජාතිය" අද

නිල බ්‍රසේරෝ  වැඩසටහන 1964න් පසු ක්‍රමයෙන් අකුලා දමන ලද නමුත්, මෙක්සිකන් කම්කරුවන් බඳවා ගැනීමේත්, එලවා දැමීමේත් රටාව එලෙසින්ම පවතී. ලිබරල් හා සංක්‍රමණ හිතවාදී ලෙස සැලකෙන ජනාධිපති ඔබාමා විසින් සැබවින්ම ක්‍රියාවේ යෙදවූ කෝටා මගින් සිදු කරන ලද්දේ අවුරුදු පතා සිය දහස් සංඛ්‍යාත පිරිසක් ජාතික ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ පිටුවහල් කර යැවීමයි. පිටුවහල් කරන ලද බහුතරයක් මෙක්සිකානුවන් ය. එහි පුදුම වීමට දෙයක් නැත්තේ නීතිමය මෙවලම් සකස් කොට ඇත්තේම ඒ සඳහා වන නිසා ය. එකම අලුත් කාරණය වන්නේ හේතුව ලෙස දක්වා ඇති තර්කයයි. "කරදාසි නැති" යනුවෙන් ඔවුන්ට දැන් අලුත් නාමකරණයක් දී තිබේ - එයම ඔවුන් පිටුවහල් කිරීමේ යුක්තිය සම්පාදනය කරයි.

anti deportation campaign obama era

බ්‍රසේරෝ වැඩසටහන නිම කිරීම සහ 1965 හාර්ට්-සෙලර් සංක්‍රමණ පනත ඇතුළු හැටේ දශකයේ සිදුවීම් විසින් මෙක්සිකෝව ඇතුළු සියලුම රටවලට එක හා සමානව සලකන වෙනස්කම් සිදු කරන ලදී. ආගන්තුක-කම්කරු වීසා විශාල සංඛ්‍යාවක් වෙනුවට මෙක්සිකෝවට සංක්‍රමණික වීසා සුළු ප්‍රමාණයක් දෙනු ලැබේ. එහෙත්, මෙක්සිකෝවේ සංක්‍රමණික ඉතිහාසය සහ එරට යථාර්ථය වෙනත් රටවලට වඩා සපුරාම වෙනස් ය. වැඩ සඳහා මෙක්සිකානුවන් උතුරට සංක්‍රමණය වීම මත දෙරටම කොයි තරම් දුරට යැපී සිටින්නේද කියතොත්, නීතියේ වෙනස් වීම් නොතකා උතුරට ඇදී යන කම්කරු ප්‍රවාහය නතර වූයේ නැත. එකම වෙනස නම් එය "නීති විරෝධී" වීමයි.

නීතිමය පදනමකින් තොරව රට තුළ රැඳී ඉන්නා මෙක්සිකානුවන් 1986 සංක්‍රමණ ප්‍රතිසංස්කරණ සහ පාලන පනත විසින් නීතිගත කරන ලද අතරම දේශ සීමාව මිලිටරීකරණය සහ පාලනය කිරීමේ දිසාවට ගමන ආරම්භ කරන ලදී. මෙහි විරුද්ධාභාසය වූයේ 'කඩදාසි රහිත' ජන සංඛ්‍යාව වැඩි වීම පමණකි. මන්ද, ඊ ළඟ අවුරුද්දේ පැමිණීමට ඇති හැකියාව පිළිබඳ අවිශ්වාසය නිසා දේශ සීමාව පැන ආ පිරිස් ආපසු යාමට බිය වීමයි.

us border guard croppedමේ අතර, 1980 හා 90 ගණන්වලදී මධ්‍යම ඇමරිකාවේ සිවිල් යුද්ධ හා ඉන් අනතුරුව ආ නව ලිබරල් වාදී ප්‍රතිසංස්කරණ සහ ප්‍රචණ්ඩතා මෙන්ම,  නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ සහ නැෆ්ටා (NAFTA) දකුණු ඇමරිකා නිදහස් වෙළෙඳ ගිවිසුම ද ඒ දශකවලදීම මෙක්සිකෝ ආර්ථිකයට ඇතිකළ ඒ සමාන වූ බලපෑම, අවසර ලත් සහ අනවසර සංක්‍රමණ සඳහා මග පෑදීය. එහි ප්‍රතිඵලය වූයේ පුරවැසියන්, නීත්‍යානුකුල ස්ථිර වාසිකයන්, නීත්‍යානුකුල තාවකාලික වාසිකයන් සහ අවසර නොලද වාසිකයන් ලෙසින් එක්සත් ජනපද ලැටිනෝ ජනගහනය විශාල වශයෙන් ඉහල යාම ය. එසේ වෙතත්, මෙක්සිකානුවන් කිසියම් අයුරකින් එක්සත් ජනපද ගති ස්වභාවයට ආගන්තුක යැයි ට්‍රම්ප් විසින් දැන් මෙහෙයවනු ලබන දිගුකාලීන ජාතික මතවාදය, වඩාත් 'සුදු එක්සත් ජනපදයක්' සඳහා පවතින රහසිගත ආශාව සමගින්  දිගටම පවතී.

මෙක්සිකන් සහ මධ්‍යම ඇමරිකා සංක්‍රමණය සම්බන්ධ තවත් වැදගත් කරුණක් මේ කාල වකවානුවේ දී  සිදුවිය. එක්සත් ජනපදයේ සේම, මේ රටවල ද ස්වදේශිකයෝ දුගීතම, වඩාත් ආන්තික සහ වැඩියෙන්ම සුරාකෑමට ලක්වන ජන කොට්ඨාසය වෙති. එහි විපාක වශයෙන් 1980 හා 90 ගණන්වල ප්‍රචණ්ඩත්වය සහ සමාජ  ආර්ථික වෙනස්කම් විෂමානුපාතික ලෙසින් ඔවුන් පීඩාවට පත් කළ හෙයින්, මේ රටවලින් සංක්‍රමණික ප්‍රවාහයට ඇතුල්වන ස්වදේශිකයන්ගේ සංඛ්‍යාව තවත් ඉහල ගියේය.

2010 වනවිට 174, 494 දෙනකු එක්සත් ජනපද සංගණනයේදී තම ගෝත්‍රික අනන්‍යතාව ලෙස සඳහන් කළේ "මෙක්සිකන් ඇමරිකන් ඉන්දියන්" යන්නයි. ඒ අනුව ඔවුහු නවාජෝ, චෙරෝකී සහ චොක්ටෝ ස්වදේශීය ඇමරිකන්වරුන් ළඟට විශාලත්වයෙන්  හතර වැනි කණ්ඩායම වෙති. මේ අතරින් කී දෙනකු දිගු කලක් පදිංචිව නොසිටි මෑත සංක්‍රමණිකයන් ද, කී දෙනකු ලියකියවිලි නැති අය දැයි සංගණන දත්තවලින් පැහැදිලි නොවේ. කෙසේ වෙතත්, Think Mexican (මෙක්සිකන් විදියට සිතන්න) වෙබ් අඩවිය මෙසේ කියා තිබේ; " බටහිර ව්‍යාප්ත වාදය සහ ස්වදේශික ජනතාවගේ වර්ග සංහාරය යුක්ති යුක්ත කිරීමට යොදාගන්නා 'ප්‍රත්‍යක්ෂ ඉරණම' (Manifest destiny*) පිළිබඳ ආඛ්‍යානය එමගින් සෘජු ලෙසම අභියෝගයට ලක් කෙරේ. පණිවිඩය නිරවුල් ය: මේ භූමිය තවමත් ස්වදේශිකයන්ගේය."

තවත් පණිවිඩයක් ද ඉතා පැහැදිලිය: එනම්, එක්සත් ජනපදය තවමත් ස්වදේශිකයන් පිටුවහල් කරමින් සිටී.

* ඇමරිකානු මහාද්වීප හරහා එක්සත් ජනපදයේ ව්‍යාප්ත වීම යුක්ති යුක්ත හා නොවැළැක්විය හැකි එකක් සේ සැළකුණු 19 වැනි සියවසට අයත්  මතය මෙනමින් හැඳින් වේ.

aviva chomsky croppedඅවිවා චොම්ස්කි


© JDS

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top