nsb

Feb 16, 2017

සිහල, දෙමළ දෙකට බෙදේ සොබාදහම කැබලි කෙරේ

රට දැවැන්ත අනතුරක හෙළමින් උතුරු මැද වාරි ඇළ නොහොත් NCP cannel  ව්‍යාපෘතිය ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇත.

ලංකාව තුළ දැවැන්ත විනාශයක් සිදුකල මහවැලි සැළසුම සකස්කරන විට මීට වසර හතහලිහකට පමණ පෙර උතුරු මැද වාරි ඇල නොහොත් NCP cannel සැලසුම සකස් කරන ලදි.

යටගොස් තිබූ මෙම ලෝක බැංකු ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ නැවත සකස් කිරීමට අවශ්‍ය මැනුම් කටයුතු සහ සැලසුම සකස් කරන ලද අතර යහපාලන ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම මේ වන විට සිදුකරමින් ඇත.

රජය පවසන පරිදි උතුරු ,උතුරු මැද හා වයඔ යන පළාත්වල ජනතාව දූගී භාවයට පත්ව ඇත්තේ ජල හිඟය නිසාය. එමනිසා එම දූගී භාවය තුරන් කිරීමට මෙම වාරි ඇල සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.  රුපියල් බිලියන 120  ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත ඉදීවීම ආරම්භ කිරිීමට නියමිත මෙම ව්‍යාපෘතිය මෙරට නැවතත් පාරිසරික හා සමාජීය වශයෙන් දැවැන්ත අර්බුදයකට ගෙන යන අතර  සිංහල දමිළ ගැටුමක් මේ හරහා නිර්මාණය වීම  සදහා ඇති ප‍්‍රවනතාවයද ඉතාමත් වැඩිය.  එම අර්බුදය නිර්මාණය කිරීම මෙම ලෝක බැංකු ව්‍යාපෘතියේ එක් අරමුණක් විය හැකි නිසා මෙහි පාරිසරික හා දේශපාලන හායනය මෙහිදී පෙන්වාදීමට කැමැත්තෙමු.
 
NCP Cannel project (උතුරු මැද වාරි ඇළ)

NCPරජයේ සැලසුම අනුව  දැනටමත් දැවැන්ත පාරිසරික හායනයක් සිදුකරමින් ඉදිවෙන මොරගහ කන්ද හා කලු ගඟ ජලාශ නිම කිරීමෙන් අනතුරු එම ජලය  කිලෝමීටර් 66 දිග ඉහළ ඇලහැර ඇල ඔස්සේ මහකනදරාවට ගෙන යනු ලබයි. දෙවනුව මාන්නකටිටියේ සිට චෙන්මඩුකුලමි දක්වා කිලෝමිටර් 95 වාරි ඇලක් ඉදිකිරිමට නියමිත අතර එම වාරි ඇල ඉදිවන්නේ උතුරු මැද හා උතුරු පළාත් වල දැවැන්ත වන සංහාරයක් සිදු කරමිනිග එයින්ද නොනැවතී එම පාරිසරික සංහාරය වඩා තීව්ර කරමින් චෙන්මඩු කුලම් සිට ඉරණමඩු දක්වාත් ඉරණමඩු සිට යාපනයේ අර්ධද්ධිපය දක්වාත් මෙයින් ජලය ගෙන යාමට සැළසුම් කර ඇත.

උතුරු මැද වාරි ඇළට සමගාමීව රන්දෙණිගල ජලාශයේ සිට කිලෝමිටර් 52 දිවෙන වාරි ඇලක් ඔස්සේ එහි ජලය කලු ගඟ හා මෙරගහකන්ද ජලාශවලට හැරවීමටත් ,අංගමැඩිල්ල අසල වෙල්ලක් බැද එහි ජලය පොම්ප මගින් මින්නේරිය ජලාශයට ලබාදීමටත්, මහවැලි ගඟ කාලිංගණුවරින් හරස්කොට අංගමැඩිල්ලට ලබාදීමටත් කටයුතු සකස් කරමින් පවතින අතර මෙයින් පුරාණ වාරි පද්ධතිය අවුල් ජාලයක් බවට පත්වනවා පමණක් නොව විශාල පාරිසරික හානියක් මෙම ප‍්‍රදේශවල සිදුවනවා ඇත.

උතුරු මැද වාරි ඇල නිර්මාණය කිරීමේදී උතුර, උතුරු මැද  පළාත් තුළ ප‍්‍රදේශීය ලේඛම් කොට්ඨාශ දොළහකින් සහ  වයඔ පළාතේ ප‍්‍රදේශ කිහිපයකින් ඉඩම් රජයට පවරා ගැනීමට හා වනාන්තර ඉඩම් එලි කර මෙහි අවශ්‍යතා සදහා යොදාගැනීමට මෙම සැළසුම අනුව සැළසුම් කර ඇති අතර මේ වන විටත් ඉරණමඩු ආශ‍්‍රිතව මෙම විනාශය ආරම්භ කර ඇත.

 මොරගහ කන්ද ජලාශයෙන් ආරම්භ වන NCP ඇල යාපනය අර්ධවද්ධීපයට යන තෙක් කිලොමිටර් 200 දුර ප‍්‍රමාණයක් කෑලෑ ඉඩම් තුලින් හා ඇතම් ස්ථානවල මිනිසුන් ඉවත් කර ජනාවාස ඔස්සේත් ඉදිකිරිම් ආරම්භ වනවා ඇත. උතුරු මැද වාරි ඇල මාර්ගයේ පළල ඇල රක්ෂිතය සමග මීටර් 120 කි. එහි දිග කිලොමිටර් 200 කි. ඒ අනුව මිටර් 120 පළල කිලෝ මීටර් 200 දිග වනාන්තර තීරුවක් හා එහි සතා සිව්පාවගේ නිවහනත් මෙරටට අහිමිවන අතර මේ තුළින් වනාන්තර කණ්ඩනය වීමත් අලි ඇතුන් ගේ අලි මංකඩ විනාශ වීමත් වැළැක්විය නොහැකිවන අතර අතුරු ඇලමාර්ගය සදහාද දැවැන්ත පාරිසරික හානියක් සිදුකර වනන්තර විනාශ කරමින් ඇල වේලි ඉදිකිරීම මෙහිදි සිදුවේ.

විශේෂයෙන් වයඔ ,උතුර හා උතුරු මැද පළාත්වල වැව් රක්ෂිත ගණනාවක් හා වනාන්තර ප‍්‍රදේශ ගණනාවක් මෙම ව්‍යාපෘතිය නිසා විනාශ වන අතර පුරාණ වාරි කර්මාන්තයේ එල්ලංගා පද්ධති ගණනාවක් සහමුලින්ම විනාශවේ. පුරාණ වාරිමාර්ග ජාලය අවුල් ජාලාවක් බවට පත්කරන මෙම ව්‍යාපෘතිය නිසා කුඩා මස්වැල්ලාව,මහ මස්වැල්ලාව ,රන්පත් විල, සියඔලා වැව, තම්මැන්නා කුලමි, පලා තොට වැව, කුඩා පටිටිය දිවුල් වැව, කාපිරි ගම වැව , ඇහැටු වැව , කොන් වැවැ, පත්තක්කා වැව, දික්වැව ,ගුරළු පොත වැව, වයඔ පළාතේ මී ඔය අශ‍්‍රීතව   හා තවත් කුඩා වැව් 700 ක් පමණ එල්ලංගා පද්ධති හා ඒ අවට ප‍්‍රදේශ ගණනාවක වනන්තර මෙම ව්‍යාපෘතිය නිසා විනාශ වේ.

පුරාණ වාර් කර්මාන්තයේ ජල කළමනාකරණයේ සුවිශේෂි කාරයභාරයක් ඉටුකල මෙම වාරි පද්ධති තෙත් භූමි ලෙස සුවිශේෂි කාර්යයක් ඉටු කරනු ලබයි. එමෙන්ම වියලි කාලයේදී භූගත ජලය ගබඩාකර ගැනීම සදහාද පාරිසර්ක වශයෙන් එල්ලංගා පද්ධතිය සුවිශේෂි කාර්යක් ඉටුකරනු ලබයි. එලෙස සුවිශේෂි කාර්යක් ඉටුකරන එල්ලංගා පද්ධති නැවත පණගන්නවා වෙනුවට මෙම වාරි රාටාව වෙනස්කර කරන විනාශයේ ප‍්‍රතිපල මෙම ප‍්‍රදේශ වල ජනතාවට පමණක් නොව මුළු රටටම බලපානු ලබයි. මෙය ඉතිහාසයේ දැවැන්තම පාරිසරික විනාශය බවට පත්වන බවට කිසිදු සැකයක් නොමැත.
වර්තමානයේ මෙරට ඉදිකල මහා පරිමාණ ජලාශ ඇල වේළි කිසිවක් බලාපොරොත්තු වූ ප‍්‍රගතියෙන් අඩකටවත් ළගා වීමට බැරිවී තිබේ. එසේ තිබියදි නැවත නැවතත් මෙවන් විනාශයන් කිරිමෙන් මෙරට ජනතාවට හෝ  පරිසරයට සිදු වන සෙතක් නොමැත.

මොරගහ කන්ද කළු ගඟ ව්‍යාපෘති ඉදිවන්නේත් NCP ඇල උතුරට හැරෙන්නේත්  පොලොන්නරුවට ජලය ගෙනයන ප‍්‍රධාන වාරි පද්ධතිය වන ඇළ හැරට ඉහලින්ය. එමෙන්ම පොළොන්නරු ප‍්‍රදේශයේ පුරාණ වාරි පද්ධතිය වන ඇලහැරින් ජලය ගෙන යන සුදු කන්ද වැටියෙන් හා කොදුරුවාව කඳු වැටියෙන් දෙපස ආවරණය වු වාරි පද්ධතිය පරාක‍්‍රම සාගර ඇල මාර්ගය  ,අංගමැඩිල්ල, අහස් ගඟ, මින්නේරිය , පරාක‍්‍රම සමුද්‍රය, කවුඩුල්ල , කන්තලේ , වෙන්රාස කුලම් හා ත‍්‍රී කුණාමලයෙන් මුහුදට වැටෙන තෙක් වූ වාරි පද්ධතිය  දැඩි අර්බුදයකට ලක්වන අතර  මොරගහ කන්ද ,කළු ගග ව්‍යාපෘති හරහා උතුරු මැද වාරි ඇලට ජලය හැරවූ විට ඇල හැරින් ඉහත ජල මාර්ග වලට යන ජල ප‍්‍රමාණය අඩුවේ.

දැනටමත් පොළෙන්නරුව ඇතුළු ප‍්‍රදේශ වල ජනතාවගේ වගා බිමි වටට අවශ්‍යතරම් ජලය ලබා නොදෙන අතර මෙම ව්‍යාපෘතිය හේතුවෙන් උතුරට ජලය හැරවූ විට මෙම ප‍්‍රදේශවලට ලැබෙන ජලය තවත් අඩුව. මෙයින් මෙම ප‍්‍රදේශ වල පාරම්පරික ගොවීන් මෙන්ම 1960 පසුව බලහත් කාරයෙන් පදිංවි කල ගොවිජනතාවද අර්බුදයට පත්වේ.
පාරිසරික වශයෙන් පමණක් නොව උතුරු මැද වාරි ඇල සමාජීය වශයෙනුත් ප‍්‍රශ්න ගණනාවක තවත් ආරම්භයකි. උතුරු මැද වාරි ඇල ඔස්සේ අනුරාධ පුරයට හා පොලොන්නරුවට ලැබීමට තිබෙින ජලය යාපනයට හැරවූ විට ජලහිගයට මුහුණ දෙන අනුරාධපුර ,පොළොන්නරු ඇතුළු ප‍්‍රදේශවල ජනයා හා උතුරේ දමිළ ජනයා අතර  ජලය මුල්කරගන ගැටුම් ඇතිවීමෙි ඉඩකඩ මෙමගින් විවර කරදෙනු ලබයි. මෙම ලෝක බැංකු බෙදුම් ඇලෙහි පරමාතයත් එයයි. යුද්ධය නොමැතිනම්  හිලරි ක්ලින්ටන්ට හෝ ඇමරිකානු ආයුධ නිෂ්පාදන සමාගම් වලට ලාභ ලැබීමට බැරිය. සිරියාව දෙකඩ කිරීමට ඔහුන් 2013 සිට භාවිතා කරන උපක‍්‍රම අද දවසේ ලංකාව තුළද ක‍්‍රියාත්මක කරමින් සිටි.

ලොව පුරා මෙවන් සිදූවීමි වලට ඕනෑ තරම් උදාහරණ තිබේ. 1945 වසරේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය හා ඒ අවට ගම් බටහිර ආක‍්‍රමණිකයන් විසින්  කොටස් දෙකකට වෙන් කරන ලදි.  එ් එක් කොටසක් පකිස්ථානය  ලෙසත් අනික් කොටස ඉන්දියාවට අයිති වන ලෙසත්ය.
 
පන්ජාබ් යනු ගංගා පහේ භූමිය යන්නයි. පකිස්ථානයට ප‍්‍රධාන වශයෙන් ජලය ලැබෙන්නේ ඉංදු , චෙනාබ් හා ජෙලුම් යන ගංගා වලිනි. එයිනුත් වැඩි ප‍්‍රමාණයක් ජලය ලැබෙන්නේ ඉංදු ගංගාවෙනි. පසු කාලීනව ඉන්දියාව විසින් ඉන්දු, රව්, බේයාස්, සතුල්ජී යන ගංගා වලින් ඇලවේලි බැද හරස් කර ඉන්දියානුවන්ට අවශ්‍ය ජලය ලබාගන්නා ලද අතර  එමගින් පකිස්ථානයට යන ජල ප‍්‍රමාණය අඩු විය. ඉන්දියානු පාකිස්ථාන් යුද්ධය ආරම්භ වන්නේ මෙම ජල ගැටළුව මූලික කාරණයක් කරගනිමින්ය. අද දවස වන විටිත් ඇල වේලී වීශාල සංඛ්‍යාවක් බඳවා පාකිස්ථානයට ගලායන ජලය ඉන්දියානු රජය විසින් හරස් කොට ඇත. එය පාකිස්ථානය දේශපාලනිකව පරාජය කිරීමට භාවිතා කරන යුධ උපක‍්‍රමයක් ලෙස ඉන්දියාව විසින් භාවිතා කරයි.  අනෙක් අතින්  වේළි වල රදවා තබා ඇති ජලය වැසි කාලයේදි එක්වරම නිදහස් කිරීම මගින් පකිස්ථානයට කෘතිම ගංවතුර ඇති කිරිම වැනි අමානුෂික කී‍්‍රයා මෙහිදි සිදු කරනු ලබයි. ජලය මුල් කර ගනිමින් ඇති වූ පාකිස්ථානු ඉන්දියානු යුද්ධය අපට දෙන උදාහරණය නම් උතුරු මැද වාරි ඇල විසින් නිර්මාණය කරන්නේද මෙවන් තත්වයක් බවයි.
විශාල පාරිසරික හායනයක් හා දේශපාලනික අර්බුදයක් ඇති නොකොට උතුරේ ජනතාව වෙත ජලය ලබාදීම අත්‍යවශය කාරණයකි.  එ් සදහා කලයුතු හොදම ක‍්‍රියාමාර්ග වන්නේ මන්නාරමේ  යෝධ වැව, ඉරණමඩු වැනි මහ වැව් හා එ් ආශ‍්‍රීත ඇති  කුළු වැව්,  දන වැව් හා ගම් වැව් නැවත ප‍්‍රතිසංස්කරණය කිරීම හා ඇලවේලී ප‍්‍රතිසංස්කරණය කර එම ප‍්‍රදේශයේ ජල ගබඩාව සුරක්ෂිත කිරිමයි. උතුරේ ජනතාව කෙදිනක හෝ මහවැලි ජලයෙන් යැපුනේ නැත.  ඔහුන්ටම අවේණික වූ ජල සංරක්ෂණ ක‍්‍රියා මර්ග ඔහුන් භාවිතා කරන ලදි.  ඒ අනුව යාපනයේ ජනයා පෙරදී භාවිත කරන ලද  පොකුණු 1000 වැඩි ප‍්‍රමාණයක් යුද්ධය සමග විනාශ වී ගොස් ඇත. මෙම පොකුණු ප‍්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනීම වෙනුවෙන් සකස් කල හැකිය.  පෙරදී මෙන්ම වර්ථාමනයේදී ද  වර්ෂා කාලයේදී වැලි කොට්ට දමා කලපු හරස් කර ගත් ජනයා  ජලයෙහි ලවණතාවය වැඩි වන තෙක් එම ජලය භාවිතයට ගනී.

රජය කල යුත්තේ මෙම ජල සංරක්ෂණ ක‍්‍රියා මාර්ග ආරක්ෂා කරමින් සොබාදහම හා ජනයාත් එම වටිනාකමුත් ආරක්ෂා කිරීමයි.  අනෙක් අතින් පාරම්පරිකව ජලය ලබාගන්නා ක‍්‍රමවේද  තිබියදි ඒවා විනාශ කිරීම මගින් අද මහවැලි ගොවියා මුහුණ දෙන සමාජිය හා පාරිසරික අර්බුදයට උතුරේ ජනතාව මෙමගින් ඇද දමනු ලබයි.

ලෝක බැංකු ණය මත ඇළ වේලි නිර්මාණය කලත් රජයට වර්ෂාව හෝ ජලය නිර්මාණය කිරීමට බැරිය දහස් ගණන් වනාන්තර භූමි මධ්‍යම කදුකරයේ හා රටේ අනෙක් ප‍්‍රදේශ වල විනාශ වන විට වර්ෂාව ඇදගන්නා හා භූගත ජලය රකින වනාන්නතර විනාශවී යයි. එසේ වූ විට උතුරට ජලය දෙන්නේ කෙසේද?

අනෙක් අතින් උතුරු මැද වාරි ඇළ තනන්නේ උතුරේ ජනතාවට ඇති අප‍්‍රමාණ වූ දයාව නිසා නෙවේ. මෙම ඇළ ගෙනයන ප‍්‍රදේශ වල ඉඩම් සැළකිය යුතු ප‍්‍රමාණයක්  ආර්ථික බෝග වගාව වෙනුවෙන් ලබාගැනීමට රජය  මේ වන විට සැළසුම් කර ඇත.  එම නිසා කන්තලේ උක් වගාව තවත් ප‍්‍රමාණයකින් වගා බිම් වැඩි කරන අතර  උතුර හා උතුරු මැද ප‍්‍රදේශ ගණනාවක  උක්, රටකජු, කජු, ග‍්‍රීන් ග්‍රෑම් , ෆාම්, අපනයනය කල හැකි එළවළු හා පළතුරු උදාහරණයක් ලෙස කැවේන්ඩිස් කෙසෙල් වැනි බෝග වගාව සදහා අනුරාධපුරය , විව්නියාව , මන්නාරම ප‍්‍රදේශ වලින් කැලෑ ඉඩම් ලබා ගැනීමට හා ඒවා බහු ජාතික සමාම් ඇතුළු සමාගම් වලට ලබාදීමට ජාතික භෞතික සැලසුම අනුව සැලසුම් කර ඇත. එම වගාවලට අවශ්‍ය ජලය සැපයීම මෙම උතුරු මැද වාරි ඇලේ  (NCP) ප‍්‍රධන අරමුණයි.

 එයට අමතරව  උතුර මැද වාරි ඇළට සමගාමීව උතුරු මැද ,වයඔ හා උතුර ප‍්‍රදේශ වල  වැව් 1000 ආර්ථික ඒකක වශයෙන් හදුන්වා දීමට සිදුකරන අතර එම වැව් 1000 ජලය ආර්ථික බෝග වගාව සදහා යොදා ගනු ලබයි. කෙටියෙන්ම කිවහොත් වැව් හා ජලය පෞද්ගලීකරණයද මෙයට සමගාමීව සිදුවේ.

එවිට එම ප‍්‍රදේශ වල ජනතාවට සිය ගොවිතැන් බත් වලට අවශ්‍ය ජලය ලබා ගැනීම ගැටළුක් වනවා මෙන්ම ආර්ථික වශයෙන් හා සමාජිය වශයෙන් මෙම ප‍්‍රදේශ විනාශ වීමත් අලි මිනිස් ගැටුම ඇතුළු තවත් පාරිසරික ආර්බුද මෙම ප‍්‍රදේශ වල නිර්මාණය වීමත් නෙවැළක් විය හැකිය.

ලෝක බැංකුව හා බහු ජාතික සමාගම් සැනසීම වෙනුවෙන් ලංකාවේ ජනවාර්ගික ගැටුම් ඇති කිරිීම හා ස්භාවික සම්පත් සූරා කෑම පසුගිය රජය මෙන්ම වර්ථමාන රජයත් සිදුකරමින් ඇත.  උතුරු මැද වාරි ඇළ නිසා සිදුවන දැවැන්ත ඉඩම් මංකොල්ලය හා ජලය විකිණීමේ ක‍්‍රමාණුකූල සැලසුම සිංහල හා දමිළ ජනයා තවතවත් අනාතයින් බවට පත්කරනු ඇත.
රටකට ජනපති වරුන් හෝ අමාත්‍ය මණ්ඩලයක් තෝරාපත් කර ගන්නේ භූමිය ඇතුළු ස්භාවික සමිපත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හා සමාජය සුරක්ෂිත කිරීම වෙනුවෙනි.  නමුත් උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතිය නිසා වයඹ ,උතුර හා උතුරු මැද ජනයාට ජීවත් වීමට ඇති ඉඩම් හා වටිනා පරිසර පද්ධති වීදේශිය සමාගම් වලට බදු දෙනවා පමණක් නොව ඔහුන්ගේ විශාල ගොවි ව්‍යාපාර වෙනුවෙන් සමස්ත ජල ශිෂ්ඨාචාරයම වනසා එම ඉඩම් වලට අවශ්‍ය ජලය සැපයීම මෙමගින් සිදු‍වේ.

මෙරට ජනයාගේ හා පරිසරයේ අවශ්‍යතා තුට්ටුවකට මායිම් නොකර ඉබාගාතේ නටන ලෝක බැංකු රූකඩ වෙනුවෙන් සොබාදහම හා ජන සමාජය පාවා දීම වෙනුවට මෙම සිදුකරන විනාශය අප විසින්ම වළකාගත යුතුය.

රවීන්ද්‍ර කාරියවසම්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top