Feb 18, 2017

මහාධිකරණ විනිසුරු පත්වීම හරහා පැතිරෙන දුර්ඝන්ධය

රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම පිළිබද පුවත සමාජ කථිකාවක් බවට පත් වන්නේ අධිකරණ සේවා සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමගය.

එම ලිපියේ අන්තර්ගතය පැහැදිලි ලෙසම විකෘති කරන ලද සහ සගවන ලද කරුණු බහුලව සකස් වී ඇත.

එම ලිපිය කියවූ අයෙකුට එක් වරම අධිකරණ කේෂ්ත්‍රයේ දැවැත්ත අකටයුත්තක් සිදුව ඇතැයි යන හැගීමක් මතුවේ.

මා විසින් මේ පිළිබදව දෛනික පදනමින් ලැබෙන තොරතුරු සමාජ ගත කරනු ලැබූවේ, හෙළි කරනු ලැබූවේ, බෙදා දෙනු ලැබූවේ අදාළ සංවාදය ජාතික තලයේ දී මතු කිරීම සදහා ය.

එහි ප්‍රතිඑලය, ලංකා ඉතිහාසයේ මහාධිකරණ විනිසුරුවරයෙකුගේ පත්වීම සහ එහි පසුබිම, කාර්ය පටිපාටිය පමණක් නොව දේශපාලන කුහකත්වය, ජාතිවාදී මඩගොහොරුව සහ කුල සාධකය ද එළියට පැමිණ තිබේ.

ජාතිවාදී, විකෘති කරන කරුණු රාශියක් :

කණ්ඩායම් වශයෙන් ක්‍රියාකරණ සමාජ ජාලා කීබෝඩ්කරුවන් විසින් ජාතිවාදී, විකෘති කරන කරුණු රාශියක් ද මේ සම්බන්ධයෙන් පතුරමින් සිටී.

එවැනි කරුණු කිහිපයක් මෙසේය.

1. මහාධිකරණ විනිසුරු කන්නන් මහෙස්ත්‍රාත් විභාගයට පෙනී සිට අසමත් වූ අයෙකු බව - සත්‍ය කරුණ ඔහු අධිකරණ සේවා විභාගයකට පෙනී සිට අසමත්වී නැත.

2. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 10 ක් සේවය කළ බව සැගවීම

3. මහාධිකරණ විනිසුරුවයෙකු පත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ අනුමැතිය අවශ්‍ය බවත්, නීතිඥ සංගමයේ සභාපතිවරයා හැර වෙනත් කිසිවෙකුත් මෙම පත්වීම නිර්දේශ කර නොමැති බැවින් එය නීති විරෝධී බව

කන්නන් විනිසුරුවයෙකු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය කේන්ද්‍රගතව ඇත්තේ උක්ත නොමගයවන සුළු තර්ක මතය. මනෝ විකාරයන් මතය.

අධිකරණ සේවා සංගමය මගින් පැවැත්වූ බදවා ගැනීමේ විභාගයක් සදහා කන්නන් පෙනී සිට නැත. එමෙන්ම, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ අනුමැතිය මහාධිකරණ විනිසුරුවෙකු පත් කිරීම සම්බන්ධයෙන් කිසි ලෙසකින් හෝ අදාල නොවේ.

වසර 14 ක් නීතිඥ වෘත්තියේ යෙදුණු අයෙකු අදාළ පත්වීම සදහා සුදුසුකම් ලබයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව අගවිනිසුරු, නීතිපති මගින් අධිකරණ සේවා කොමිසම අදාල නිර්දේශ ලබාදීමෙන් පසුව ජනාධිපතිවරයා එම පත්වීම සිදු කරනු ලබයි.

වතු සමිති නායකයෙකුගේ පුතෙක් :

ද්‍රවිඩ භාෂාව කථා කරන ප්‍රදේශයන් හි මහාධිකරණ විනිසුරුවන් පිළිබද පුරප්පාඩු වසර දෙකකට වැඩි කලක් සාකච්ඡාවට බදුන් වී ඇති ගැටළුවකි.

හිටපු අධිකරණ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් කිසිදා නීතිඥ සංගමයේ සාමාජිකයෙකු වී නැත.

ඔහු කියන්නේ මෙම පත්වීම ද්‍රවිඩ ජාතික සන්ධානයේ අවශ්‍යතාව මත සිදු වූ බවයි.

සත්‍ය නම් ව්‍යවහාර භාෂාවෙන් ‘වතු දෙමළ’ කන්නන්ට ද්‍රවිඩ සන්ධානයේ බහුතරය අකමැති බවයි.

ඒ ඔහු ‘ඔවුන්ගේ කුල පරම්පරාවේ’ නොවන නිසාය.

අධිකරණ සේවාව සදහා ජාතික, කුලය සාධකයක් කොට දේශපාලන කිරීමේ නිහීන මෘග මාවත සමාජ ජාලා ඔස්සේ දැකිය හැකිය. වතු සමිති නායකයෙකුගේ පුතෙකුට මහාධිකරණයට යන්නට නිදහසින් වසර 69 කට පසුත් අවස්ථාව අහිමි විය යුතුද?

රටේ භාෂා ප්‍රතිපත්තිය අධිකරණයේ ක්‍රියාත්මක කිරීම උදෙසාම අගවිනිසුරු සරත් එන්. සිල්වා සමයේ කේ. පරමරාජා මහතා මහාධිකරණය පත් වූවේ ද අධිකරණ සේවයට පිටතිනි. ඔහු මඩකලපුවේ දිගු කලක් සේවය කොට උතුර පළාතට මාරුවීම් ලබා පසුව විශ්‍රාම ගියේය.

අධිකරණ කොමිෂන් සභාවේ එකගත්වය:

අධිකරණ සේවා කොමිෂන් සභාව මෙම පත්වීම සදහා එකගත්වය ලබා දී නොමැති බව මේ සම්බන්ධයෙන් ප්‍රචාරය වන අනෙක් මිත්‍යාවයි.

2017 ජනවාරි 5 දින මේ සදහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී නොමැති නම් ඒ බව හෙළි කිරීමේ වගකීමක් කොමිසම සතුව ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව මෙම පත්වීම සිදුව ඇති බව මේ දක්වා අනාවරණය වී ඇති කරුණු අනුව නම් පැහැදිලි ය. නමුත්, එය එසේ නොවේ නම් ඒ සදහා වන සාක්ෂි හෙළි කිරීම අතිශයින් වැදගත් වේ.

රාමනාදන් කන්නන් ගේ පත්වීම යෝජනා කරන්නට එම එක් වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජික ලැයිස්තුව හෙළි කිරීම සභාපතිවරයාගේ හා ලේකම්වරයාගේ වගකීමකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, වත්මන් අගවිනිසුරුවරයාත් පත්වීමෙන් පසුව මේ දක්වා කාලසීමාව තුල මහාධිකරණ විනිසුරුවන් 23 ක් පත් කොට ඇත.

එයින් 21 දෙනෙකු දිස්ත්‍රික් විනිසුරුවන් ලෙස කටයුතු කළ අයයි.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් එක් අයෙකු පත්වූ අතර අධිකරණ සේවයට පිටතින් පත් කරනු ලැබූවේ කන්නන් මහතා පමනී.

උතුරු නැගෙනහිර මහාධිකරණයන්නි පුරප්පාඩු 6 න් 5ක් ද මේ අතරට ඇතුලත්ය.

විනිසුරුවන් නොමැති නම් උතුරේ ජනතාවගේ නඩු විභාග වන්නේ කෙසේද?

ගෙවී ගිය දශක දෙක තුල මහාධිකරණයට පත් කොට ඇති පිරිසෙන් අවම වශයෙන් සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකුම නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත් වූ අයයි.

එම තත්වය, ගෙවී ගිය වසර 2 තුල 23 ට 1 අනුපාතයට අඩු වී ඇත.

අලගරත්නම් කටයුතු කර ඇති ආකාරය?

මේ ප්‍රශ්නයේ දී ජෙෆ්රි අලගරත්නම් මහතා කටයුතු කර ඇති ආකාරය ප්‍රශ්න සහගතය. ඒ බව, සෘජුව මුලින්ම ප්‍රශ්න කරනු ලැබූවේ ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙනුවෙන් මා විසිනි.

අදත්, නීතිඥ සංගමයේ සභාපති හෝ ලේකම් මෙම ප්‍රශ්න කිරීමට පිළිතුර ලබා නොදෙයි.

නීතිඥ සංගමය දිනපතා එකිනෙකට වෙනස් අර්ථ ගන්වන ලිපි නිකුත් කරන විට එය සමාජ සංවාදයක් කරා ගෙනයාම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. නමුත්, නීතිඥ සංගමයේ ගැටුම් අධිකරණයේ ගැටුමක් ලෙස කරළියට පැමිණිය යුතු නැත.

අධිකරණ සේවා සංගමය විසින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේත්, එහි සභාපතිවරයාගේ සදාචාරයත් ප්‍රශ්න කරයි.

නමුත්, තමන් විසින් 2017 පෙබරවාරි 6 දින ජනාධිපතිවරයාට යොමු කරනු ලැබූ ලිපියට අධිකරණ සේවා සංගමයේ විධායක සභාවේ අනුමැතිය ලැබී ඇතිදැයි පමණක් විමසන්නට අවසර ද? නඩුකාර හාමුදුරුවනේ!!! ‘යුක්තිය පැතිය යුත්තේ පිරිසිදු දෑතින් යැයි’ කවුදෝ කවදා හෝ කියා තිබූ බව අමතක නොවිය යුතුය.

(සටහන - රජිත් කීර්ති තෙන්නකෝන්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top