Feb 26, 2017

සමකය: 'විස්මිත' සරසවි ප්‍රචණ්ඩත්වය

නවක සිසුන් කණ්ඩායමක් සැහැසි ලිංගික වධ හිංසනයට ලක් කළ බැව් කියන පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නට අධිකරණය විසින් නියෝග කරන ලද්දේ පෙබරවාරි 20 වැනිදා ය. සරසවි පරිශ්‍රයෙන් බැහැර කුලී පදනමින් ගත් නිවසක රඳවාගෙන නවක සිසුනට වධ හිංසා පමුණුවන ලදැයි කියන සිදුවීම සම්බන්ධයෙන් ඉමහත් කම්පනයට පත් ජනාධිපති සිරිසේන 22 වැනිදා මතුගම රජයේ පාසැලක පැවැති උත්සවයක දී මෙසේ කියා තිබිණ:

"කෘෂි විද්‍යා පීඨයේ තෙවන වසරේ ශිෂ්‍යයින් පළවෙනි වසරේ ශිෂ්‍යයින්ට තර්ජනය කරලා බලහත්කාරයෙන් වධකාගාරයට ගෙනිහිල්ලා. මේ වධකාගාරය ශිෂ්‍යයින් විසින්ම කුලියට අරගෙන තිබෙන ගෙයක්‌. ඒ දරුවන් සියලු දෙනාගේම ඇඳුම් ගලවලා නිරුවත් කරලා පොළවේ දිගා කරවලා පොලු වලින් ගහලා. දෙන්න තියෙන වධ සේරම දීලා තියෙනවා....ඒ ම්ලේච්ඡ ක්‍රියාව සම්බන්ධව අපි රජය විදියට පැහැදිලිවම අපේ කනගාටුව ප්‍රකාශ කරනවා."

පෙබරවාරි 22 වැනි දා 'දිවයින' පත්‍රය සිය කතු වැකියේ මෙසේ ලියා තිබිණ: "කෙනෙක්‌ තව කෙනකුට "වධ දෙනවා" යන්නෙහි අර්ථය ඒ කවරකු වුවද වධකයකු යන්න ය. "වධය" "නවක" වූවාට ක්‍රියාව නවක නැත. එය අමු තිරිසන් ය. විකෘති මානසික මට්‌ටමක්‌ ඇති මිනිසෙකුට හැර එතරම් අමානුෂික වීමට කිසිවකුටත් නොහැකි බව අප පිළිගත යුතු ය."

ඒ දවසේම 'රිවිර' පත්‍රයේ කතුවරයා මෙසේ විමසා සිටියි: "කෙසේ වුවත් මේ එවැනි සාහසික එක් වධක කල්ලියකි. නමුත් මෙසේ සංවිධානාත්මක වධකයෝ සහ වධකාගාර තවත් නැතැයි සිතිය හැකිද?"

වධක සිසුන්ගේ විපරීත පරපීඩකත්වය ගැන පුවත හුදී ජන හැඟුම් වඩදිය කළඹා උදම් රළක් මෙන් නැඟී ආ ඒ සඳුදාවේම, ජිනීවාහි රැස්වුණු කාන්තාවන්ට එරෙහි වෙනස්කම් දුරුකිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවට ශ්‍රී ලංකාවේ වධකාගාර පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් භාරදෙනු ලැබිණ. රජයේ ආරක්‍ෂක සේනා අත් අඩංගුවේදී ලිංගික වහලුන්ගේ තත්ත්වයට පිරිහෙළන ලද වින්දිත ස්ත්‍රීන් 55 දෙනෙකු විසින් සපයන ලද සාක්‍ෂිවලට අමතරව, රහස් වධකාගාර පවත්වාගෙන යනු ලැබූ නිශ්චිත ස්ථානයන් ද, ලිංගික හිංසනයේ යෙදුණු හමුදා නිලධාරීන් අවම වශයෙන් හය දෙනෙකුගේ නාම ලේඛනයක් ද ඒ වාර්තාව සමග කමිටුවට භාර දී තිබිණ. එ් වාර්තාවේ මෙසේ දැක්වේ:

"පුල්මුඩේ පොලිස් ස්ථානයේ දී ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ලී මුගුරකින් ලිංගික දූෂණය කිරීම ගැන එක් කාන්තාවක් විස්තර කළා ය.......පීඩිත කාන්තාවන් තුන් දෙනෙකු යුද හමුදාව විසින් දීර්ඝ කාලයක් තිස්සේ රඳවා තබාගෙන ලිංගික වහලියන් ලෙස පාවිච්චි කරන ලදී. මේ සිද්ධි විවිධ අවුරුදුවල දී නිශ්චිත ලෙස හඳුනාගත් ස්ථාන හතරක දී සිදු වී ඇත........එක් කාමරයක එකට රඳවා ඕනෑම සොල්දාදුවෙකුට පැමිණ තෝරාගෙන යාබද කාමරයකට හෝ කූඩාරමකට ගෙනගොස් දූෂණය කරන්නට ඉඩ සලසා තිබූ ආකාරය කාන්තාවන් දෙදෙනෙකු විසින් විස්තර කරන ලදී.......සිද්ධි දෙකක දී ආරක්‍ෂක හමුදා විසින් තමන්ට නිතිපතා පෙති හෝ එන්නත් දුන් ආකාරය කාන්තාවන් විසින් විස්තර කරන ලදී. ඒ උපත් පාලනය සඳහා යැයි ඔවුන් විශ්වාස කළේ තුන්වැනි සිද්ධියේ දී දූෂණයට ගොදුරු වූ කාන්තාව ගැබ්ගත් හෙයිනි."

අනතුරුව වධහිංසා සිදුකළ ස්ථාන නිශ්චිත වශයෙන්ම මෙසේ නම් කර දක්වයි: "මැණික් ෆාම් අනාථ කඳවුර, සම්පත් නුවර හමුදා කඳවුර, ජෝසප් කඳවුර (වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය), බූස්ස, ත්‍රිකුණාමලයේ ඕර්ස් හිල් හමුදා කඳවුර, පලාලි කඳවුර සහ චාවාකච්චේරි 512 කඳවුර ඇතුළු තවත් ස්ථානවල යුද්ධයෙන් පසුව කාන්තාවන් සිරකොට තබාගෙන කෙලෙසා තිබේ. මේ, පම්පමඩු සහ පූන්තෝට්ටම් 'පුනරුත්ථාපන කඳවුරු' සහ කලින් සඳහන් කළ පොලිස් ස්ථාන මෙන්ම රහසිගත/නොදන්නා කඳවුරු 28ට අමතරව ය."

ජනාධිපතිගේ කම්පාව කොහේ හෝ පළ වූ බවක් වාර්තා නොවිණ. මිනිසුන් අවමානවයන් සේ සළකා කැරෙන අයුතු සැළකීම් දැක රත් වූ ලෙයින් යුක්තිය පතා ලියැවෙන කතුවැකි, පුවත්, විශේෂාංග හෝ විමර්ශන වාර්තා මේ ලියන මොහොත වනතෙක් ඇසක නොගැටිණ. ඊට හේතුවක් තිබේ. රාජ්‍ය අනුග්‍රහ ලබන ආයතනගත පරපීඩකත්වය තේජාන්විත වීරත්වයක් ලෙස වන්දනා කිරීම අපේ ජාතිකානුරාගයේ අංගයක් සේ සැළකෙන බැවිනි.

පේරාදෙණියේ මෙගොඩ කළුගමුවේ 'ශිෂ්‍ය වධකාගාරය' වරලත් ආයතනගත වධක යන්ත්‍රයෙන් බැහැර එකකි. එනයින් විකෘතියකි. විපරීත වධකයන් දඟගෙයි ලෑමට නොපැකිළිය යුත්තේ එහෙයිනි. නමුත් කොළඹ චෛත්‍ය පාරේත්, වවුනියාවේ ජෝසප් කඳවුරේත්, ත්‍රීකුණාමලයේ ඕර්ස් හිල් හීත්, සම්පත් නුවර හා චාවාකච්චේරියේත් අනවරත වධහිංසාවලට පාත්‍රකොට පාගා මැඩලන මිනිස් ජීවිත වරලත් පරපීඩකයන්ගේ ගොදුරු ය. ඒ පුවත් අපේ සන්සුන් දෛනික දිවි පෙවෙතට බාධා නොකරන්නේ ඒ සැහැසිකම් විසින් අපේ සාමූහික පැවැත්ම සුරක්‍ෂිත කරන බැව් පැවසෙන හෙයිනි. අප සියල්ලන් අභිමානවත් පොදු ජාතික සම්මුතියේ වරපටින් ගැටගසන්නේ එක්කෝ ඒ රහස් ම්ලේච්ඡත්වය සඟවා තබා ගැනීමේ ආනන්දය විසිනි. නැතහොත් අසේල ගුණරත්නගේ පිති හරඹයෙනි.

කෘෂි විද්‍යා පීඨ සිසුන්ගේ විපරීත ලිංගික පරපීඩකත්වයෙන් හිටි හැටියේ හෙළි වූ 'විස්මිත කෘරත්වය' ගැන කෙස් පැලෙන මනෝ විශ්ලේෂණ සපයන ආත්ම රාගී ෆේස් බුක් ගොඩ වෙදුන් දෙවනුව කී ආයතනගත සාහසිකත්වය ගැන එක්කෝ මුනිවත රකිති. නැතහොත් දෙමළුන්ට කත් ඇදීමේ 'කුමන්ත්‍රණ' සේ සළකා බැහැර කරති. පේරාදෙණියේ ම්ලේච්ඡත්වය පිළිසිඳෙන පරපීඩක ගර්භාෂය, ඉකුත් දශකයක් තිස්සේ මහත් උත්කර්ෂයට නැංවූ වර්ගවාදී නීච සැහැසිකම් විසින්ම පෝෂණය කරන ලද්දේදැයි විමසා බලන්නට කල්පනා නොවන්නේ එබැවිනි.

'ම්ලේච්ඡත්වය හා කැලෑ නීතිය' රාජ්‍යයේ ව්‍යුහාත්මක පිළිවෙතක් සේ ජිනීවා නුවර දී ආරක්‍ෂා කරන අතරතුර පේරාදෙණියේ 'ම්ලේච්ඡත්වය' පොලිසියට කොටුකර ගැනීමේ ආහ්ලාදය දැන් බොහෝදෙනා විඳිමින් සිටිති. එකක් ජාතිය බේරාගැනීම සඳහා ය. දෙවැන්න මතු පරපුර බේරාගනු පිණිස ය.

ත්‍යාගශීලීත්වය පටන්ගත යුත්තේ ගෙදරිනැයි කවුරුන් හෝ වරෙක කියා තිබේ. නමුත් ම්ලේච්ඡත්වය පටන්ගන්නේ අල්ලපු ගෙදරිනැයි කියන්නට අමතක වීම අවසනාවකි.☐

(මෙම ලිපිය 2017 පෙබරවාරි 26 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

bashana abeywardane profile 1රෝහිත භාෂණ අබේවර්ධන

© JDS

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top