Mar 02, 2017

මැනේජ්මන්ට් M එක 'මෙඩිකල් ' වී පබ්ලික් P එක ප්‍රයිවෙට් වීම

ජනප්‍රිය අරුතින් 'සයිටම් ගැටලුව' ලෙස වරනගන උසස් අධ්‍යාපන වෛද්‍ය විද්‍යාල පුද්ගලීකරණ ගැටලුව හරහා කලාතුරකින් සිද්ධ වෙන විදිහේ ලංකාව දේශපාලනික ද්‍රවීයකරණයකට හෙවත් නිශ්චිත දේශපාලනික ස්ථාවර හරහා වෙන්වී පිල්ගත වීම ඇරඹී ඇත. රාජපක්ෂ යුගයේ ජාතිවාදී දෘෂ්ටිවාද හරහා වසා තිබූ තුවාලය ඊනියා යහපාලන ආණ්ඩුව හරහා බලාපොරොත්තු වියහැකි ලෙසම විවෘත වී ඇත.

Malabe 670px 02 03 17චීනය ආදර්ශයට ගමින් රාජපක්ෂ යුගයේ සිදුවූයේ ලාභය රාජ්‍ය කේන්ද්‍රීයව සමුච්චනයයි. එහිදී ජනප්‍රිය දේශපාලන ගැටළු මතුවන අතර ඒවා දෘෂ්‍යමානය. කෙටියෙන් ඉක්මනින් ගැටලුව ස්ථානගත කරගත්තොත් මෙහෙම සාරාංශ කල හැක. රාජ්‍යකෙන්ද්‍රීය (යුරෝපීය මොඩලය) සුභසාධන රාජ්‍ය ලංකාවේ පූර්ණ ලෙස අර්බුදයකට ගොස් ඇත. ඒ වෙනුවට ධනේශ්වර දේශපාලනයේ නග්න පැවැත්ම එළිපිට රැගීම ආරම්භ වී ඇත. ඒ කුමක්ද? එනම් මෙතෙක් ප්‍රාග්ධනයේ තර්කනයට පූර්ණ ලෙස විවෘත නොවූ සමාජ දේශපාලන අවකාශ ලාභ යාන්ත්‍රනය යටතට ගැනීමයි. මේ මොහොත වනවිට යන සාකච්චාවට අනුව මූලිකව 'වාමාංශික' සමාජවාදී දේශපාලන කණ්ඩායම් සුභසාධන රාජ්‍ය රැකගැනීමට යන පිරිස ලෙසත් සෙසු අය පුද්ගලීකරණයට පක්ෂ ධනේශ්වරය ලෙසත් වැරදි දේශපාලන වර්ගීකරණයකට ලක්කොට ඇත. දෘෂ්ටිවාදී ක්‍රියාදාමය වන්නේ සමාජවාදය හා ධනේශ්වර සුභසාධන රාජ්‍ය අතර සමානත්වයක් ගොඩනගා කරන පටලවීමයි. පළමුවම නැවත සලකුණු කරගත යුත්තේ මෙම සුභසාධන හා පුද්ගලීකරණ තීන්දු දෙකම ධනේශ්වර අවධි වලට සබැඳි රාමු දෙකක් බවයි. මින් එකක්වත් සමාජවාදයට සම්බන්ධයක් නැත.

සටනක් ලෙස පුද්ගලීකරණයට පක්ෂ පාර්ශවයේ 'අයිතිය ' නිතර වරනගෙන සාධකයකි. ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් බොහෝ දෙනා මෙතනදී නොවිමසයි. එනම් අයිතිය කුමක් සඳහාද' යන්නයි. ඒ අයිතිය යනු 'පරිභෝජනයට' ඇති අයිතියයි. පැහැදිලි ලෙසම පරිභෝජන හැකියාව ඇති අයගේ අයිතියයි. බස් ගැමුණුගේ සිට ගාමිණි වියන්ගොඩ දක්වා පිරිසකගේ තර්කය වන්නේ 'තමන්ට මුදල් ඇත්නම් ඊට නිදහස නැද්ද?' යන්නයි. එවිට 'අයිතිය', 'නිදහස' අර්ථකථනය වන්නේ පරිභෝජන හැකියාවට සාපේක්ෂවයි. ඊට ඇති අයිතියක් ලෙසයි. දෘෂ්ටිවාදී රාමුව වන්නේ මෙම පරිභෝජන ශාක්‍යතාව නිශ්චිත සමාජ පන්තියකට පමණක් හිමිවීමේ ඉතිහාසය මැකීමයි. ඒ වගේම මෙම නිදහස විවුර්ත කරන විටම සමාජය තුල ඇතිවන ව්‍යුහාත්මක වෙනසේ සමාජ සාධාරණය නොතකා හැරීමයි. ඊට ළදරු, සරල අර්ථකතන සැපයීමයි.

මීට ඉතිහාසයක් ඇත. දෙවන ලෝක යුද්ධය ඇරඹි 1930 දශකයේ සිට ජාතික රාජ්‍ය විසින් සමාජ වගකීම් අතහරිමින් ඒවා ලාභ ජනනය කල හැකි වෙළඳ ක්ෂේත්‍ර බවට පත්කලේම ප්‍රාග්ධනයේ ප්‍රසාරණයටය. ප්‍රාග්ධනය නිරන්තර චල්‍යතාවයක් අත්පත්කර නොගතහොත් එය මුහුණපාන්නේ ක්‍රමික බිදවටීමකටය. ධනේශ්වර ඉතිහාසයේ වරින්වර පැමිණි මූල්‍ය හා අනෙකුත් අර්බුද මීට සාක්ෂිය. ප්‍රාග්ධනය සම්බන්ධව දක්ෂිනාන්ශිකයන්ගෙන් පවා ජාතිකවාදී සටන්පාඨ අපිට තාමත් ලංකාවෙන් ඇසේ. ඔවුන්ට අනුව සිසුන් පිරටක ඉගෙන ගතහොත් ලංකාවේ ප්‍රාග්ධනය පිටරටට ගලා යයි. ධනේශ්වර දේශපාලනය මෙතරම් සරලද? එසේනම් නෙවිල් ප්‍රනාන්දු සිය ආයතනයෙන් ලබා ගන්නා ලාභය මහාභාන්ඩාගාරයට පූජා කරයිද? නැතිනම් රටේ වෙනත් පොදු දියුණුවකට යොදවයිද? ප්‍රාග්ධනය ධනපතියකු අතට යාමට ජාතික හෝ පර ජාතික වෙනසක් නැත. එක අතකින් මෙම සාකච්චාවේම ප්‍රමිතිය බරපතල ලෙස පහත වැටී ඇත. එවැනි ජනප්‍රිය ළදරු ප්‍රශ්නවලට පිලිතුරු නොබැඳිය යුතුය. මීට දශක දෙකකට පෙර පුද්ගලීකරණයට විරුද්ධ බහුතරයක් සිටි රටක් ක්‍රමයෙන් අනෙක් අනෙක්පැත්ත කැරකෙමින් තිබේ. එය ජාතික රාජ්‍ය කෙරෙහි තිබූ විශ්වාසයන් ක්‍රමයෙන් කොම්පැනි කෙරෙහි මාරුවීමක්ද? ඒ අර්ථයෙන් මේ ගැටලුවේදී රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ 'කාර්යක්ෂමතාවය' හෝ 'ප්‍රමිතිය' යන තේමාම ව්‍යාජ ගැටලුය. දෙපැත්තේම ප්‍රමිතීන් පවතින්නේ මීට දශක කීපයකට පෙර තත්ත්ව සැලකීමේදී හිතාගන්නත් බැරි තරම් පහලය. රජයේ රෝහල්වල කතුරු දමා මහන විට පුද්ගලික අංශයේ ලේ වර්ග මාරු කර වාර්තා දේ. ලේ ගන්න දන්නේ නැති පුද්ගලික හෙදියන් ලෙඩ්ඩු හා හුරතල් වීමේ වසඟය පමණක් පුහුණු වේ.Malabecumps 670px 02 03 17

තත්ත්වය මෙසේ පවතින විට අපි කුමක් සඳහා අරගල කල යුතුද යන ගැටලුව මතු වේ. මීට විසඳුම වඩා ප්‍රමිතිගත වෙළඳපොළක් හැදීමේ ජෝජ් සොරෝස් න්‍යාය නම් අපි ඒ අයට සුභපැතීම හැර කරන්නට දෙයක් නැත. අපිට අසන්නට ඇත්තේ ලංකාවේ බස්රථ වල සිට අනෙකුත් අධ්‍යාපන විෂය ක්ෂේත්‍ර වල සිට පුද්ගලීකරණය වූ අවකාශ වල ප්‍රමිතියට මොකක්ද වී ඇත්තේ යන්න පමණි. විශේෂයෙන් පරිවාරයේ රටක් ලෙස වෙළෙන්දන් පාලනයට හා ඊට බලදේශපාලනය දක්වන ශක්යතාවයේ ප්‍රමිතිය නොදන්නා අයෙක් වේනම් මොලේ පරීක්ෂාවක් කරගත යුතුය. මෙවන් ගැටලුවක මතුපිට ජබු ගැසීම වෙනුවට අපි තරමක් ඇතුලට කිමිදිය යුතුය. අපගේ මුළු අරගලයම සදාචාර තලයෙන් අප ජීවත්වන වටපිටාවේ අශ්ලීල යටි ආර්ථිකයට මාරු විය යුතු බවයි මේ කෙටි සටහනේ යෝජනාව. එය පුද්ගලීකරණය හා බැඳී පාතාල ආර්ථිකයේ සිට ( තජියුදීන් ඇට වැනි) කළු ආර්ථික දක්වා විහිදේ. අධ්‍යාපන, බෙහෙත් ආනයන හා රෝහල් යන අංශ තුනම සහිත ජාතික හෝ පසු ජාතික වෙළඳ ඒකාධිකාර ඇති වූ විටක මධ්‍යම පන්තික බුද්ධිමතුන් සමග අපි ප්‍රමිතියේ සිට ඕනෑම තේමාවක් කතා කරමු. ඒ අරුතින් සයිටම් යනුම ගැටලුවේ කේන්ද්‍රීය හරය නොවේ. නමුත් එය සංවේදකයකි. නිදහස් වෙළඳ පොළ තුල වෛද්‍ය විද්‍යාව වැනි අත්‍යාවශ්‍ය, මිනිස් ජීවිතය හා බැඳී සේවාවක් පූර්ණ ලෙස පුද්ගලීකරණයේ  බල කේන්ද්‍රයන්ට යටත් වූ විට සමාජයේ සිදුවන්නේ ව්‍යුහාත්මක වෙනසකි. සමාජයක් මෙතුවක් කල වැරදි වලින් තව වැරදි කරන්නට ලයිසන් ලැබෙන්නේ නැත. සටන ඇත්තේ එතනය.

රාජ්‍ය නිෂ්පාදන හෝ සේවා ඇති අවකාශයකට තරඟකාරී වෙළඳපොළක් ඇතුළු වූ විට සෑම ක්ෂේත්‍රයකම සිදුවූයේ රාජ්‍ය අංශය දුර්වල වී වියැකී යාමයි. එවිට පූර්ණ ලෙස ගෙවීම මත ජීවිත තීරණය වනු ඇත. ගෙවීමට නොහැකි අයට අඩුමිලට ප්‍රමිතියෙන් පහල දේ සැපයීම වෙළඳපොල සදාචාරයයි !!. මනුෂ්‍යත්වය හා සාධාරණත්වය ගැන සටන උපදින්නේ එතැනිනි. සෞඛ්‍ය සේවා වැනි අධ්යාපාන්  ක්ෂේත්‍ර, ධනේශ්වරයේ කේන්ද්‍රීය රටවල් පවා ලාභය මත සිදුවන ගනුදෙනුවකට තාමත් විවුර්ත කර නැත. කේන්ද්‍රීය රටවල් සියල්ල ජාතිකරාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිපත්ති හදන්නේ ඔවුන් ජාතිකවාදී නිසාද? ලින්මැඩියන් නිසාද? එසේනම් 'බ්රෙක්සිට්' යනු කුමක්ද? තමන් විප්ලවීය හා ජාත්‍යන්තරවාදී යයි සිතන ලංකික ධක්ෂිනාන්ශිකයින් 1977 සිටම සියලු අංශ හරහා ජාතික රාජ්‍ය දුර්වල කල අතර අදවන විට එය ඕනෑම කලාපයක් දක්වා විහදවීම සාමාන්‍යකරණය කර ඇත. ලංකාවේ දේශපාලන ජීවිතය අර්බුදයකට ගොස් තිබුනද තවමත් ඔවුන්ට ධනේශ්වර අරුතකින් හෝ විද්‍යාවක් නැත. ඇත්තේ හිතට නැගෙන හිතුවිලි හා වාචාලකම් පමණි. එකම විසඳුම පුද්ගලීකරණය යයි පැවසීමට විද්‍යාවක් අවශ්‍ය නැත. මෙවන් දේශපාලනික මිත්යාමතිකයන්ගේ මූලධාර්මික ශිෂ්ටාචාර විරෝධී කතා බොහොමයක් මේ දිනවල අපි අසමින් ඉමු. යහපත් වෙළඳපොළක් ගොඩනගා ගැනීමට සිහින දකින මහත්ම මහත්මීන්ට අපගේ යෝජනාව ගුවන්සේවා, ආහාර, පරිසර, ත්‍රස්තවාදය, ඛනිජ සම්පත් හෝ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර වල ලෝක පරිමානව සිදුවී ඇති අර්බුදයේ දිගපලල පොඩ්ඩක් සොයා බලන ලෙසයි. ධනේශ්වරය යනු ලාභය වෙනුවෙන් ඕනෑම අඩියක් තියනා ක්‍රමයකි. ඊට ප්‍රමිති, කාර්යක්ෂමතා අදාළ ඒ අරුතින් පමණි. අපි සමාජවාදය අමතක කරමු. අපි හොඳහැටි ධනේශ්වරයේ දිගපලල කතා කරමු !!!

එක අතකින් ලොව පුරා විශාල ශ්‍රම අතිරික්තයක් බිහිවෙමින් පවතී. සංක්‍රමණික අර්බුධයේ සිට ජාන තාක්ෂණ වැනි ක්ෂේත්‍ර වල පවතින අර්බුධ දක්වා කොතෙකුත් සංකීර්ණ ලැයිස්තුවක් මීට එකතුකළ හැක. මේක සුපුරුදු වාමාංශික 'බිල්ලන්' මැවීමක් ලෙස ගන්නේ නම් අපේ අදහස ඉදිරි දශකයක් අපි නිහඬ වීමට සූදානම් බවයි. එය පොඩි සීමාවක් මිස වර්ගවාදී ගැටළුවක් නොවේ.

වෙළෙන්දන්ට ලෝක ප්‍රශ්න බාරදීමේ දෘෂ්ටිවාදය සංකේතාත්මකව අසූව දශකයේ රේගන්ගේ සිට ට්‍රම්ප් රජය දක්වා කෙළවරකට අභ්‍යාස කර ඇත. එහි පරිවාරයේ ඩුප්ලීකේට් පිටපත අපි දැන් රනිල්- මෛත්‍රී හවුල් ආණ්ඩුව හරහා අත්විඳීම අරබා ඇත. මීට ජනප්‍රිය යෝජනාව සමාජවාදය ඇලජික් 'ඉවසීමේ' (Tolerance) දේශපාලනයයි. වඩා විධිමත්ව කියතොත් වෙළඳපොල ඉවසීමේ දේශපාලනයයි. ධනේශ්වරයේ අර්බුධ හමුවේ සිතීම නවතා ප්‍රතිවිරෝධතා වෙළඳපොළට බාරදී එය ලාභ ඉපයීමේ තවත් උපාංගයක් බවට පත්කරවන තරමට ජනසමාජ දේශපාලනිකව මුග්ධ වී හමාරය. සිනමාවේදී පිටපත් 35 සීමාව ඉල්ලමින් රාජ්‍ය කේන්ද්‍රය ඉල්ලීම් කරමින් සිටින අශෝක හඳගම සයිටම් වලදී ජාත්‍යන්තර ප්‍රාග්ධනය වෙනුවෙන් පෙනී සිටීම වැනි විහිලු හැර හරයාත්මක සතුරකු හෝ අපට තවම මුණගැසී නැත. නිවැරදි සතුරකු අභිමුක වූ විට මුහුණු පොතේ ස්ටේටස්  දැමීමේ හා වෙදිකාමත උගුර ලේරහ කිරීමෙන් මෙය නොවිසදෙන බවද සෙසු අයට මතක් කල යුතුය. මෙවැනි අතරමැදි බාගෙට ධනපතියන්ගෙන් ඇසිය යුතු තවත් ප්‍රශ්නයක් ඇත. මේ අකාර්යක්ෂමතාව හා ප්‍රමිති ගැටළු තවත් තැන් වලද ඇත. දුම්රිය සේවය, උසාවිය, හමුදාව හා පාර්ලිමේන්තුව වැනි තැන්වලද තත්ත්වය වෙනසක් නැත. ඉතින් අපි මේවත් ඇතුළුව මුළු රාජ්‍යම පුද්ගලීකරණය කරමුකෝ? ගැටළු තරඟකාරිත්වයෙන් විසදේවිනේ එතකොට ?

ලංකාවේ ශිෂ්‍ය අරගල ඉදිරියේ ඇති අභියෝගයක් ද ඇත. හෙළ උරුමයේ සිට අවස්ථාවාදී රාජපක්ෂවාදී කල්ලිය හා කරට අතදාගැනීමේ ජ.වී.පෙ පුරුද්ද තාමත් වාමන්ශිකයන් සතු බව ඉඟි කරන්නේ දෙශපාලනික බෙලහීනත්වයකි. එය ආත්මයක හෝ සංවිධානයක උතොපීය පිරිසිදුභාවය ගැන සදාචාරාත්මක ගැටළුවක් නොව, අරගලයේ හරයට සම්බන්ධ අනුවක් බව පමණක් දැනට සටහන් කරමු. මේ බව විශේෂයෙන් අ.වී.ශි.බ.ම. ටත් ගුණරත්නම්ගේ පෙ.ස.ප.ටත් මතක් කල යුතුව ඇත. අපි හැමෝම දන්නා මාඕගේ සුප්‍රකට කාරණයක් මතක් කරමින් දැනට නවතින්නම්. අරගල තීන්දු වන්නේ බාහිර ප්‍රතිවිරෝධතාවලින් නොව, අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා වලිනි.

බූපති නලින් වික්‍රමගේ   

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top