Oct 31, 2016

සමකය: කොකුවිල් වෙඩි තැබීම හා 'අහම්බයන්'ගේ ඉතිහාසය

පළමු සිදුවීම විසි අට අවුරුද්දකට පෙර එකකි.

1988 මාර්තු 23 වැනිදා මැදියම් රැයේ, මිතුරෙකු හමු වී පෙරළා නිවෙස් බලා එමින් සිටි තංගල්ල වීරකැටියේ ගැටවර සිසුන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. වධ බන්ධනයන්ට පාත්‍ර වූ බවට සළකුණු ද සහිත සිසුන්ගේ මළ සිරුරු පසුදා තංගල්ල - තිස්ස ප්‍රධාන මාර්ගයේ කිවුල හන්දිය ප්‍රත්‍යන්තයේ අත්හැර දමා ගොස් තිබුණි. තංගල්ල මැදි මහ විදුහලේ උසස් පෙළ සිසුන් වූ වසන්ත වීරසිංහ සහ ප්‍රසන්න වනිගසිංහගේ ඝාතන පුවත දකුණ කළඹා ලූ ප්‍රචණ්ඩ වාසුළියක් මෙන් පැතිර ගියේ ඉත්බිතිව ය. තංගල්ලේ සිසු ඝාතනයන්ට එරෙහිව මතු වූ විරෝධතා උද්ඝෝෂණ වඩා වැඩි ප්‍රචණ්ඩත්වයකින් මැඩ ලූ ආණ්ඩුව දික්වැල්ලේදී ද, බදුල්ලේදී ද, තෙල්දෙණියේදී ද, වළල හා නුගවෙලදී ද වෙනත් බොහෝ තැන්වලදී ද තව තවත් සිසු ජීවිත බිලි ගත්තේය. පැතිර ගිය ඒ විරෝධතාවන් මොළවාලන ලද්දේ වසන්ත - ප්‍රසන්න ඝාතනය අහම්බ සිදුවීමක් සේ සළකා නොතකා හරින්නට බොහෝවුන් දැක් වූ මැලිකම විසිනි.

දෙවැනි සිදුවීම, විසි අට අවුරුද්දකට පසු එකකි.

2016 ඔක්තෝබර් 20 වැනිදා, මිතුරෙකුගේ නිවසේ සිට ආපසු එමින් සිටි යාපනය විශ්ව විද්‍යාලයේ විජයකුමාර් සුලක්ෂන් හා නඩරාසා ගජන් කොකුවිල් කුලප්පිට්ටි මංසන්ධියේදී වෙඩි තබා ඝාතනය කෙරුණි. 21 වැනිදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ අත්සනින් යුතුව පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් 'මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන්' සිසුන් දෙදෙනෙක් මිය ගොස් ඇති බවට මාධ්‍ය වෙත දන්වා තිබිණ. සිසු මරණ වෙඩි තැබීමකින් සිදුව ඇති බව අනාවරණය වූයේ පශ්චාත් මරණ පරීක්‍ෂණයෙනි. 21වැනිදා යාපනයත්, අනතුරුව උතුරු පළාතත් හර්තාල් සහ විරෝධතාවලින් ඇළලී ගියේ ඒ හෙයිනි.

1988 තංගල්ලේ වෙඩි තැබීමෙන් සතියකට පසු එළඹි ඉරිදාවක, වින්දිත සිසුන් පිළිබඳ තංගල්ලේ හා වීරකැටියේ ගවේෂණයක යෙදී 'තංගල්ල ගම්මානයට කඳුළක් වැටුණු දවසක්' මැයෙන් සාමූහික සංවේගය අවුළුවාලන ලිපියක් පළකළ 'දිවයින' පත්‍රය, 2016 යාපනයේ කොකුවිල් වෙඩි තැබීමෙන් සතියක් ඇවෑමෙන් මෙසේ ලීවේය:

"බීමත් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙක්‌ පොලිස්‌ අණ නොතකා යෑම නිසා සිදුවූ වෙඩි තැබීමකින් එක්‌ සිසුවකු මියයෑමත් අනික්‌ සිසුවා යතුරුපැදිය අනතුරකට ලක්‌වීමෙන් මියයෑම නිසා උතුරේ දේශපාලකයන් දැන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමට අවස්‌ථාව උදා වී ඇත.... යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවන්නේ කුමක්‌ දැයි පැහැදිලි ය. පසුගිය මාස 19 දා කොටි ත්‍රස්‌තයන්ව සැමරුවේ යාපනයේ සරසවි සිසුන් පිරිසකි. ඉන් සනාථ වන්නේ කොටි හිතවාදීන් සරසවිය තුළ සිටින බවයි.''

ඒ අනුව සිසුන් දෙදෙනා එක් යතුරු පැදියක ගමන් කළද එක අයෙක් වෙඩි වැදී මිය ගොස් ඇති අතර අනෙකා රිය අනතුරකින් මියගොස් ඇති සෙයකි. දෙදෙනාම යාපනයේ සරසවි සිසුන් වන නිසා ඔවුන් කොටි හිතවාදීන් වීමට ඉඩ ඇති බව අමතක නොකළ යුතු ය. මක් නිසාද යත්, යුද්ධයෙන් මියගිය 'ත්‍රස්තයන්' සැමරීම සරසවි පරිශ්‍රය තුළ සිදු වූ හෙයිනි.

මින් ප්‍රකාශිත නග්න විසකුරු වර්ගවාදය නොතකා හැරියද, එය ඉක්මවා ගිය වැදගත් දේශපාලන තර්කනයක් එහි ගැබ්ව තිබේ. ඒ වනාහී දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ගැන ජනමාධ්‍ය ඔස්සේ ගොඩනංවන අධිපති සිංහල ආඛ්‍යානය යටින් ඇති ජනප්‍රිය දේශපාලන තර්කනයයි. එ් තර්කනයේ මූලික ලක්‍ෂණය කිහිපයකි. ඒ අනුව, දෙමළ ජනයා ඉලක්ක කොට මුදාහැ‍රෙන රාජ්‍ය ප්‍රචණ්ඩත්වය වනාහී 'අනපේක්‍ෂිත අහම්බයකි.' කොකුවිල් වෙඩිතැබීම වැනි කිසියම් හුදකලා ප්‍රචණ්ඩ සිදුවීමක් මගින් බාධා නොවන තාක් කල් දෙමළ ප්‍රදේශවල 'සාමාන්‍ය තත්ත්වය' රජයයි. ඒ සාමාන්‍ය තත්ත්වයට දෙමළ ජනයා කොළඹ ආණ්ඩුව කෙරෙහි කෘතඥ විය යුතු ය. ඒ සිතීම් අනුව 'අහම්බය' යනු 'සාමාන්‍ය තත්ත්වය'ට පටහැනි, සාමාන්‍ය තත්ත්වය තුළ සිදුවිය හැකි යැයි අපේක්‍ෂා නොකළ 'හුදකලා අවාසනාවන්" සේ සැළකේ.

නමුත් ඒ 'සාමාන්‍ය තත්ත්වය' නිර්මාණය කොට ඇත්තේ දෙමළ ජනයාගේ දෛනික දිවියේ නිදහස හා සාමකාමීත්වය උල්ලංඝණය කරන ප්‍රචණ්ඩ යථාර්ථයන්ගෙන් බව තව දුරටත් වසන්ව පවතී. ලක්‍ෂ සංඛ්‍යාත සෙබළුන් දෙමළ ජනයාට අයත් ගේ දොර ඉඩ කඩම් අත්පත් කොටගෙන කඳවුරු ලා සිටීම ඒ 'සාමාන්‍ය තත්ත්වයේ' කොටසකි. යාපන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් රැස්කළ දත්ත හා සංඛ්‍යා ලේඛණයන්ට අනුව, යුද්ධයෙන් සත් වසරකට පසු යාපන දිස්ත්‍රික්කයේ 97,000කට නොඅඩු ජනකායක් ගේ දොර ඉඩ කඩම් අහිමිව තව දුරටත් අවතැන්ව දිවිගෙවීමත් ඒ 'සාමාන්‍ය තත්ත්වයේ' කොටසක් සේ සැළකේ. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ඉකුත් වසරේ අග භාගයේ සිදුකළ සමීක්‍ෂණයන් මගින් අනාවරණය වූ පරිදි, යාපනය දිස්ත්‍රික්කය තුළ පමණක්, යුද අනාථ කඳවුරු 32ක පවුල් 1536ක් තව දුරටත් ගාල්කොට තැබීම ද ඒ සාමාන්‍ය තත්ත්වයේම පංගුවකි. කොකුවිල් සිදුවීම 'අවාසනාවන්ත අහඹුවක්' සේ පෙන්නුම් කරන්නේ ඉහත කී 'සාමාන්‍ය තත්ත්වයට' ඉන් බාධා වන නිසා ය.

විසි අට අවුරුද්දකට කලින් දකුණේ ගම් නියම් ගම්වල කඳවුරු ලා මහ රෑ වීදි සරණ රජයේ සන්නද්ධ සේනා පිළිබඳ ප්‍රචණ්ඩ යථාර්ථය නොතකා තංගල්ලේ සිසු ඝාතනය වටහා ගත නොහැකි බව බොහෝ දෙනා එදා දැන සිටියහ. නමුත් කොකුවිල් සිදුවීම් වටහාගැනීමට අත්‍යාවශ්‍ය සන්දර්භය උතුරේ රජයන ඉහතින් කී ප්‍රචණ්ඩ යථාර්ථයන් මගින් නිර්මාණය වී ඇති බව සිතන්නට දකුණේ බහුතරයක් දෙනා මෙදා පැකිළෙති. මහමඟ නිරායුධ තරුණයන් මරා දැමීම සෙස්සන් කෙරෙහි ත්‍රස්තය පතුරුවාලිය හැකි දැනුවත් උපක්‍රමයක් සේ රාජ්‍ය හමුදාවන් විසින් සළකන බව ලෙයින් උගත් සමාජයක් නිරායුධ දෙමළ තරුණයන් මහමඟ මරා දැමෙන්නේ මාර්ග නීති කඩ කොට, පොලිස් අණ නොතැකූ නිසා යැයි කල්පනා කරන්නේ ඒ නිසා ය.

ලංකාව අලුත් වටයකින් ලේ වැකි පැරණි ඉතිහාස මාවත් කරා ගමන් කිරීමේ ආහ්ලාදය විඳිමින් සිටිතැයි ලියන්නට සිදුවීම 'අවාසනාවක්' විය හැකි ය. නමුත් ඒ මාවත් අවුරා රැක සිටින පැරණි ඉරණම් තවදුරටත් 'අහම්බයන්' නොවේ.

(මෙම ලිපිය 2016 ඔක්තෝබර් 30 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

bashana abeywardane profileරෝහිත භාෂණ අබේවර්ධන

© JDS

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top