Oct 31, 2016

ආගම්වාදී නොවන්න ! ශ්‍රී පාද රක්ෂිතය රැක ගන්න එක් වෙන්න

ශ්‍රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය - නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය නවතා තිබුනත් එයත් සමග නැවතත් හෝටල් ව්‍යාපෘතියක් ශ්‍රී පාද රක්ෂිතය තුළ ක්‍රියාත්මක කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

මෙම ප්‍රදේශය අභයභූමියක් ලෙස නම්කිරීම හේතුවෙන් නීතිය මගිනුත් ආරක්ෂා වී තිබුණු ස්වභාවික පරිසර පද්ධතියක් වන ශ්‍රීපාද අඩවිය, යුනිස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත් කරන ලද්දේ මෙහි පාරිසරික, ජෛව විවිධාත්මක හා ජල විද්‍යාත්මක ඉතාමත් වටිනා ඉතා සංවේදී කලාපයක් නිසාවෙනි.


2013 වසරේ නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගැනීමට උත්සහ කල ශ්‍රී පාද අඩවියේ අක්කර 99 ක භූමි ප්‍රමාණයක් පූජා භූමියක් ලෙස නම් කොට සංවර්ධනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කොට තිබියදී අප සහ තවත් පරිසර සංවිධාන හා දේශපාලන පක්ෂ ගෙන ගිය වීරෝධතා නිසා එය හකුලා ගැනීමට සිදුවිය.

නමුත් එම ව්‍යාපෘතිය වෙනත් ආරකින් නැවත ක්‍රීයාත්මක වෙිමින් පවතී. මෙතෙක් ශ්‍රී පාද අඩවියෙහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් හෝ වනය එළි පෙහෙළි කිරීමක් සිදුකිරීමට නොහැකි වූයේ මෙම භුමිය අභය භුමියක් ලෙස පැවැතීම හේතුවෙනි.

එහෙත් මෙය පූජා භූමියක් ලෙස නම් කිරීම යටතේ බැතිමතුන්ට පහසුකම් සැපයීම සඳහා ශ්‍රී පාදය දක්වා ගමන් කරන මාර්ගයේ දෙපස එළි පෙහෙලි කිරීමට අමාත්‍යංශයන් අවසරය හිමි වන අතර නවාතැන් පහසුකම් ගැනීම සදහා ගොඩනැගිලි ඉදිකිරීම හා ගමන් කිරීම සදහා දියුණු මාර්ග ඉදිවීමද සිදුවේ.

එමෙන්ම පරිසර සංවිධාන මැදිහත් වීමෙන් හකුළා ගනු ලැබූ කේබල් කාර් ව්‍යාපෘතිය හා හොටල් ව්‍යාපෘතිය නැවත නව ආරකින් සක්‍රීය කිරීමටද මෙමගින් අවස්ථාව සැළසෙන බව පෙනෙන්නට ඇත.

1940 ඔක්තොබර් මස 25 දිනැති අංක 8675 දරණ ගැසට් නිවේදනයට අනුව වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ අභය භුමියක් ලෙස නම් කොට තිබේ.

එයට අයත්වන මුළු භූමි ප්‍රමාණය අක්කර 12,329 වන අතර මෙම භූමි ප්‍රමාණයෙන් අක්කර 99 රූඩ් 3 පර්චස් 04 ක ප්‍රමාණයක් මෙලෙස පූජා භුමියක් ලෙස නම් කිරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් මහින්ද රාජපක්ෂ විසින් එවකට අමාත්‍ය මණ්ඩය සංදේශය ඉදිරිපත් කොට තිබිණි .

එම අවස්ථාවේ යටගිය මෙම ව්‍යාපෘතිය යහ පාලනය විසින් හොර රහසේ මේ වන විට ක්‍රියාත්මක කරමින් ඇත.

කෙසේවෙතත් ආගම් බේදයකින් තොරව පුද පූජා ලබන මෙම ශ්‍රී පාදස්ථානය පිහිටි රක්ෂිතය බේරා ගැනීමට සෑම සියලු දෙනා ආගම් බේදයකින් තොරව එක්‌විය යුතුය .

රවින්ද්‍ර කාරියවසම්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top