Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 25, 2017

සමයං ඝාතනයට පෙරදා රෑ තමයි රෑ ! Featured

හිරෙන් නිදහස් වී පැමිණි පසුව තමන් පසුපස වෙඩික්කරුවන් හඹා ඒම නිසා තමන්ට නිදහසේ ජීවත් වන්නට සමයං ඉඩ නොදෙන බව අංගොඩ ලොක්කා තේරුම්ගෙන සිටි බව ඔහුගේ ගෝලබාලයින් ගෙන් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.
 
සමයංගෙන් බේරීමට නොහැකි තැන සමයංට එරෙහිව යුද ප්‍රකාශ කරන අංගොඩ ලොක්කා ඒ සඳහා මාකඳුරේ මධුෂ්ගේ සහාය පතා ඇත.
 
මාකඳුරේ මධුෂ් ලංකාවේ පාතාලයේ ගෝඩ් ෆාදර් සටනේ ඉහළින්ම සිටින දෙදෙනාගෙන් එකකු නිසා ඕනෑ තරම් අවි බලය පිරිස් බලය, මුදල් බලය මධුෂ්ට ඇති බවද පැවසේ.
 
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කරන්නට සිව්වැනි ඊළාම් යුද සමයේ දකුණට ආ කොටි ත්‍රස්තයන්ට කොළඹදී ඉලක්ක ගැනීමට නොහැකි වූ තැන හම්බන්තොටදී ඉලක්කය ගැනීමට සහාය පතන්නේ මධුෂ්ගෙන්ය.
 
මධුෂ්ට මයික්‍රෝ පිස්තෝල ලැබුණේ LTTE යෙන්
 
ඔහු ලංකාවේ සිටි සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මරා දැමීමට ක්‍ලේමෝ බෝම්බයක් හම්බන්තොටදී ඇටවුවද එම ඉලක්කය වැරදී ගොස් ඇත.
 
එහෙත් කොටි සංවිධානය මධුෂ් තමන්ට දුන් සහාය වෙනුවෙන් ආයුධ පෙට්ටියක් එවූ බව බුද්ධි අංශවලට එවකට තොරතුරු ලැබි තිබුණි.
 
එල්.ටී.ටී.ඊ.ය පමණක් භාවිත කරන මයික්‍රෝ වර්ගයේ කුඩා පිස්තෝල මෙම කල්ලියට ලැබී තිබුණේ එල්.ටී.ටීතඊ.යෙනි.
 
මේ ආකාරයට අවි බලයෙන්ද ශක්තිමත් මධුෂ්ගේ සහාය ඇතිව සමයං පරලොව යවන්නට අංගොඩ ලොක්කා පෙරුම් පුරද්දී මධුෂ් සිටියේ ඩුබායිවලය.
 
මධුෂ් එවූ මුදල්වලින් ලොක්කා ප්‍රහාරය සඳහා සියල්ල සූදානම් කළේය. අලුතින්ම ජංගම දුරකථන දහයක් මෙම ජනවාරි මාසයේ මිලදී ගෙන ප්‍රහාරය සඳහා තෝරාගත් දස දෙනකුට දුන්නේය. එම දුරකථන ලබා දුන් හැම සාමාජිකයකුටම දැමූ නීතිය වූයේ එයින් ඇමතුම් ගත හැක්කේ ලොක්කාට පමණක් කියාය. දහදෙනා අතරේ ඇමතුම් ගැනීමද තහනම් වූයේ මෙම මෙහෙයුම අතිශය රහසිගත ලෙස කරන්නට සැලසුම් කර තිබූ නිසාය.
 
මේ කරුණු මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර පෙරේරා විසින් රිවිර පුවත්පතට ලියන ලද “ඝාතනයට පෙර දා රෑ මැදියමේ අංගොඩ ලොක්කා කළුතර බන්ධනාගාරය අසල ඔත්තු බැලූ හැටි” යන ලිපියෙන් අනාවරණය කර ඇත. එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.
 
ජනවාරියේ සැලසුම් කළ මෙහෙයුමට මාකඳුරේ මධුෂ්ගෙන් වෙඩික්කරුවන් හතර දෙනකු ලොක්කාට එවා තිබුණි. සෙසු පිරිස ලොක්කාගේ සහ අතුරුගිරියේ ලඩියාගේ ගෝලබාලයන්ය.
 
ලඩියාගේ උපන් දිනයදාත් මෙම දස දෙනා එකට හමුවූහ. ඉන්පසු රත්තරන්ගේ හා බණ්ඩාගේ මළ ගෙවල්වලදීත් හමුවන මොවුහු ප්‍රහාරය ඉක්මනින් සැලසුම් කිරීමට තීරණය කරති. එසේ කරන්නේ ඉක්මන් නොවුණොත් සමයං ඉස්සර වන නිසාය.
සමයංට තිබුණේ පාතාලයේ ගෝඩ් ෆාදර් වීමේ සිහිනයකි. සෑම කල්ලියක්ම නැති භංග කර නැගී සිටින්නට සමයං දිගට හරහට වෙඩික්කරුවන් යෙදුව්වේය.
 
මේ වන විට සමයංව බන්ධනාගාරයේදී හෝ කඩුවෙල උසාවියේදී හෝ අවසන් ගමන් යවන්නට ලොක්කාගේ කල්ලිය සැලසුම් සකස් කළේය. කඩුවෙල උසාවිය ළඟදී මීට පෙර සමයං ඝාතනය කරන්නට උත්සාහ කළ නිසා නවගමුව ‍පොලිසිය, මිරිහාන විශේෂ ඒකකය, පෑලියගොඩ විශේෂ එක්කය පවා සමයං උසාවි එනදාට සූදානමින් සිටියේ යළි කොයි මොහොතේ හෝ සමයංට එරෙහිව ප්‍රහාරයක් මතු විය හැකි නිසාය.
 
නමුත් ලොක්කාගේ කල්ලිය මෙවර තෝරා ගත්තේ කළුතර බන්ධනාගාරය ඉදිරිපිටදීම සමයං අවසන් ගමන් යවන්නටය. ලොක්කා මේ සඳහා කළුතර බන්ධනාගාරය ළඟට ගොස් පාළු තැනක් තෝරාගෙන තිබුණේය. ඒ බන්ධනාගාරයේ සිට මීටර් දෙතුන් සීයක් දුරින් පිහිටි කළුතර උතුර ජාවත්ත පාරේ එතනමඩලය.
 
එය පාළුවට ගිය ප්‍රදේශයක් වූයෙන් ඉලක්කය සපුරා ගැනීමට සුදුසුම තැන ලෙස එතැන තෝරා ගත්තේය. කඩුවෙල උසාවියට පෙබරවාරි 27දාට සමයං ඇතුළු පස් දෙනකු රැගෙන ඒමට නියමිත වූයේ බාල්දි ප්‍රියන්ත හා ලඩියාට අරංගලදී වෙඩි තැබූ සිද්ධියේ බි 1862/15 දරන නඩුව කැඳවීමටය.
 
එම නඩු දිනයට ප්‍රහාරය සැලසුම් කළ අංගොඩ ලොක්කා මාකඳුරේ මධුෂ්ට සියල්ල සූදානම් කරන්නට උපදෙස් දුන්නේය.
 
මේ සියලු කාරණා කරළියට එන්නේ අංගොඩ ලොක්කා ඇතුළු සාමාජිකයන් එක්වී සමයං ඇතුළු හත් දෙනකු ඝාතනය කර දවස් විසි දෙකකට පසුවය. ඒ ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය මගින් කරන ලද බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස සෙල්ලකතරගමදී ප්‍රහාරයට එක්වූ බත්තරමුල්‍ලේ බන්ටි හෙවත් චතුරංග පුෂ්පකුමාර මෙන්දිස් (24) අත්අඩංගුවට ගැනීමත් සමගය.
 
සමයං ඇතුළු පාතාලයේ පස්දෙනකුත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුත් මරණයට පත් කළ රටම හෙල්ලූ අබිරහස් ප්‍රහාරයේ ඝාතකයන් සොයා ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයෙන් බස්නාහිර පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නන්දන මුණසිංහ මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නිශාන්ත සොයිසා මහතා යටතේ විශේෂ ‍පොලිස් කණ්ඩායම් පහක් පමණ යොදවා විවිධ තොරතුරු ඔස්සේ විමර්ශන සිදුකරමින් තිබුණේය. ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතාගේ නියෝග මත එම බළකායේ බුද්ධි අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිති ඊ.එස්. ධර්මප්‍රිය හා උප ‍පොලිස් පරීක්ෂක කේ.එච්.කේ. සංගීත් උප ‍පොලිස් පරීක්ෂක ඩී.එම්.එන්.එල් දිසානායක ඇතුළු කණ්ඩායමක් කළ බුද්ධි මෙහෙයුමකින් බත්තරමුල්‍ලේ බන්ටිව කොටු කරගත් පසු ඝාතනයේ සුලමුල සියල්ල අනාවරණය වන්නට විය. සැලසුමට අනුව ජනවාරි හයවැනිදා ගුවන් තොටුපළට කුලී ගමනක් යන මුවාවෙන් ඩොල්පින් වෑන් රථයක් මරදානේදී පැහැරගෙන ලොක්කාගේ කණ්ඩායමට දෙනු ලබන්නේ පාතාලයට සම්බන්ධ හිටපු ‍පොලිස් කොස්තාපල්වරයකු විසිනි. පෙබරවාරි 25දා උදෑසනම බත්තරමුල්‍ලේ බන්ටි ඇමතූ ලොක්කා ‘මල්ලි මම හවස ඔයාව අරන් යන්න බත්තරමුල්ල විදේශ සේවා එක ළඟට එනවා. ලෑස්ති වෙලා ඉඳපන්’ යැයි දැනුම් දුන්නේය.
 
ලොක්කා පිරිසක් සමග ඩොල්පින් වෑන් රථයෙන් පැමිණ බන්ටිවත් දමාගෙන යන්නේ අතුරුගිරියේ ජයන්තිපුර රබර් වත්තකටය. එතැනදී ලොක්කා සියලු දෙනාට සමයං අහවර කරන සිය සැලැස්ම පැහැදිලි කර ‘අපි වැඩේ කරන තැනටම ගිහිල්ලා බලමු.’ යි කියා කළුතර එතනමඩලට රැගෙන එන්නේ රාත්‍රී 10.30ට පමණය. පස් කඳු සහිත පාළු තැනක වෑන් රථය නවතා දස දෙනාම බිමට බැස දවස් දෙකකින් ඉලක්කය සපුරන තැන භූමිය ගැන සොයා බැලූහ.
 
ලොක්කා මෙම කණ්ඩායම සමග පයින්ම මීටර් දෙසීයක් පමණ දුර ගෙවා කළුතර බන්ධනාගාරයේ ගේට්ටුව ළඟටම පැමිණ එයද පෙන්වූයේය. බන්ධනාගාරයේ බස් එකේ සමයං අරන් පිටත් වෙන්නේ මෙතැනින් කියා පෙන්වා දී ලොක්කා, බන්ටි ලඩියා ඇතුළු කණ්ඩායම සමග යළි වෑන් රථය තිබූ තැනට පැමිණෙයි.
 
“අපි මෙතැන තමයි නතර වෙලා ෆයර් එක දෙන්නේ. ඕපන් එක තියෙන හරියේදී මොකක් හරි වෙයි කියලා සමයං ඇලර්ට් එකේ යන්නේ. ඒ නිසා අපි මේ කන්දේ ඉඳන් ෆයර් එක පටන් ගමු. ලඩියයි, උඹයි කැබ් එකේ ඉස්සරහ තැඹිලි වත්තේ තැඹිලි කපන්න ආවා වගේ තැඹිලි වලුත් දාගෙන එන්න ඕනැ”
 
ලඩියා සමග කැබ් රථයේ එන සගයා තැඹිලි කපන අයුරෙන් ගෙන එන මන්නයෙන් සමයංගේ බෙල්ල කපාගෙන ගොස් අතුරුගිරියේ බණ්ඩාගේ සොහොන් කොත මත තබා ලෙයට ලෙය පලිය ගන්නට සැලසුම වූයේය.
 
ලඩියා අතුරුගිරියෙන් රැගෙන එන කැබ් රථයක් මේ සඳහා සූදානම් කර තිබුණේය. තැඹිලි වත්ත ළඟ නවතා සිට බන්ධනාගාර බස් රථ එන මොහොත් ඒවාට ඉදිරියෙන් ගමනේ වේගය අඩාළ වන ලෙසින් සැක නොහිතෙන්නට ගමන් කර ඉලක්කගත කඳුගැටය අසලදී බස් රථ දෙක නවත්වා ගන්නා අයුරෙන් මග හරස් කිරීම ලඩියාට පැවරුණ කාර්යයකි. මෙය හමුදාවල විශේෂ පුහුණුවක් ඇති විශේෂ බළකා දිගුදුර ප්‍රහාරක කණ්ඩායම් මග රැක සිට සතුරාට පහර දෙන (ඒථඡභඵඩ) ආකාරයේ සැලසුමකි.
 
මෙම සැලසුම පෙන්වා දීමෙන් පසුව ලොක්කාගේ දහයේ කල්ලිය යළි අතුරුගිරිය බලා එන්නේ බත්තරමුල්ලෙන් බන්ටිව මග බස්සාගෙනය. “මල්ලි උඹට හෙට කෝල් එකක් දෙන්නම්. ලෑස්ති වෙලා හිටපන්” කියා ලොක්කා පිටව යන්නේ සෙසු කණ්ඩායම රැගෙනය.
 
පෙබරවාරි 26දා රාත්‍රියේ ලොක්කා යළි ප්‍රහාරය සඳහා සියල්ල සූදානම් කර “මල්ලි මම උඹ අරන් යන්න එනවා. ලෑස්ති වෙලා හිටපන්” යැයි කියා දුරකථන ඇමතුමක් දෙන්නේය. ඇඳුම් කිහිපයක් සහිත මල්ලක් රැගෙන බත්තරමුල්‍ලේදී ලොක්කාගේ වෑන් එකට නගින බන්ටිද සමගින් දහයේ කල්ලිය අතුරුගිරියේ ජයන්තිපුර රබර් වත්තේ සිය මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත පැමිණියහ.
 
ලොක්කා සියලු දෙනාට රාත්‍රී කෑමද රැගෙන විත් තිබුණේය. ලඩියා රැගෙන ආ නිල් පැහැති ටාටා කැබ් රථයේ තැඹිලි වලු පහක් හා මන්නයද විය. රබර් වත්තේදී රාත්‍රී ආහාරය ගත් මොවුන්ට වෑන් රථයේ පසුපස තිබූ කළු පැහැති දිග බැගයක් ඇර පෙන්වූ අංගොඩ ලොක්කා තමුන්ට ගැළපෙන වෙපන් එක තෝරා ගන්නැයි උපදෙස් දුන්නේය. එම දස දෙනාගේ කල්ලියේ සිටි මාකඳුරේ මධුෂ් එවූ හතර දෙනාගෙන් දෙදෙනකු ටී 56 අවි දෙකක් අතට ගත්තේය. එම බෑගයේ ටී 56 අවි හයක් හා පිස්තෝලයක් තිබුණි. මෙහෙයුමේ නායකයා වූ ලොක්කා පිස්තෝලය ගත් අතර ලඩියා, බන්ටි ඇතුළු ඉතිරි සිව්දෙනා ටී 56 අවි හතර අතට ගත්හ.
 
මීළඟට වෑන් රථයේ තිබූ අනිත් බෑගය ඇර මෙතැන යුනිෆෝම් එක එක සයිස් ඒවා තියෙනවා. හරියන ඒවා ඇඳලා ලෑස්ති වෙන්න යැයි ලොක්කා කීවේය.
 
එම නිල ඇඳුම් අතර තිබූ ‍පොලිස් පරීක්ෂකවරයකුගේ ලාංඡන සහිත නිල ඇඳුම හා බූට් සපත්තු දාගත් ලොක්කා එතැන් පටන් ‍පොලිස් පරීක්ෂකවරයකු ලෙස සැරසී සිටියේය. සෙසු පිරිසට තිබුණේ බන්ධනාගාර බුද්ධි අංශයට අයත් ලාංඡන සහිත නිල ඇඳුම්ය. ඔවුහුද බූට් සපත්තු හා නිල ඇඳුම් හැඳ සුළු මොහොතකදී බන්ධනාගාර නිලධාරීන් සේ සූදානම් වූහ. දැන් මෙහෙයුමට සියල්ල සූදානම්ය. සියලු දෙනාට අත් වැසුම්ද ලොක්කා ලබා දුන්නේය.
 
ගිනිඅවි දෙකට ටී 56 මැගසින් එක බැගින් වූ අතර අනෙක් අවි හතරේ මැගසින් දෙක බැගින් අමුණා සෙලෝ ටේප් කර තිබුණේය. ඉන්පසුව ප්‍රහාරයෙන් පසුව සියලුදෙනා තැනින් තැන බස්සවා සැඟවී යාමට කළ සැලසුමට අනුව සෑම අයකුටම මග වියදමට රුපියල් තිස්දහස බැගින් වෙන වෙනම වෙන් කර එවා තිබුණේය. හදිසියකදී සැක නොහිතෙන ලෙස බස් රථයකට ත්‍රිරෝද රථයකට වුව ගොඩවී මුදල් ගෙවීමට හැකි අයුරින් සෑම මුදල් බණ්ඩලයකටම රුපියල් සියයේ, පනහේ නෝට්ටු පවා එක් කර තිබුණේය. ඉන්පසු සමස්ත මෙහෙයුම සඳහා යාමට පෙර දහයේ කල්ලිය සමග සබඳතා පැවැත්වූ ජංගම දුරකථන දහයම ලොක්කාගේ භාරයට ගත් අතර කිසිවකුත් පුද්ගලික දුරකථන හදිසියකදී හැර භාවිත නොකිරීමටද උපදෙස් ලැබි තිබුණේය.
 
ප්‍රහාරය සඳහා සියල්ල සූදානම් කළ දහයේ කල්ලියේ නායකයා වූ අංගොඩ ලොක්කා මීළඟට මෙම මෙහෙයුමේ කෙරුම්කාරයා වූ මාකඳුරේ මධුෂ්ට වීඩියෝ දුරකථන ඇමතුමක් ලබා ගත්තේ ය.
 
සියලු දෙනාම රබර් වත්තේ වාහනය ඉදිරිපිට අවි ආයුධ සමග ‍පෝලිම් කර වෑන් රථයේ ලයිට් දමා මධුෂ්ට වීඩියෝ දුරකථන ඇමතුමෙන් පෙනෙන පරිදි සූදානම් කර අයියේ කට්ටිය වැඩේට යන්න ලෑස්තිවෙලා ඉන්නේ යැයි මාකඳුරේ මධුෂ්ට තම ප්‍රහාරක බළඇණිය ලොක්කා පෙන්නුවේය.
 
ඉන්පසු සැලසුම් කළ පරිදි වැන් රථයට හා කැබ් රථයට නැගගත් පිරිසට මොකක් හරි කේස් එකක් වුණොත් මම මගේ වැඩකට යන්නේ කියලා කියන්නම් යැයි ‍පොලිස් පරීක්ෂක නිල ඇඳුම ලා පිස්තෝලය සහිතව වෑන් රථය ඉදිරිපස වාඩි වූ ලොක්කා සගයන්ට කීවේය. ලඩියාගේ කැබ් රථයට මීටර් පනහක් පමණ වන්නට තියාගෙන අතුරුගිරියෙන් බණ්ඩාරගම හරහා කළුතර බලා යන්නට ගමන් ඇරඹුවේ පෙබරවාරි 27 දා අලුයම 2.30 ට පමණය.
 
ඉන්පසුව අංගොඩ ලොක්කා සමග ඉලක්කගත තැනට ගොස් පස් කණ්ඩියට නැගගත් හත් දෙනකු කැලෑව කොටසට ඇතුළුවන අතර කලින් සැලසුම් කළ පරිදි කැබ් රථයේ දෙදෙනා වෑන් රථ රියැදුරා ලෙස ගිය පාතාලයාට දී තිබූ උපදෙස් මත වාහන දෙක වෙනම තැනක නවතා තිබුණේය.
 
උදෑසනම ලඩියා හා අනෙක් සගයා ප්‍රහාරයට සූදානම් කළ කැබ් රථය තැඹිලිවත්ත අසලට ගෙනැවිත් නවතාගෙන සිටියහ. උදෑසනම බන්ධනාගාර බස් රථයක් ඉලක්ක ගත ප්‍රදේශය කරා ළඟා වෙමින් තිබුණද එම බස් රථයේ යන්නේ වෙනත් සිරකරුවකු බවට ලොක්කාට ඇමතුමක් ලැබුණේය. ඒ අනුව ඊළඟට බස් රථ දෙකකින් සමයං රැගෙන ඒමට උදෑසන 7.20 වන විට සූදානම් වන බවටද ලොක්කාට ඇමතුමක් ලැබෙන්නේය.
එම බස් රථ දෙක උදෑසන 8.30 ට පමණ බන්ධනාගාර ගේට්ටුවෙන් පිටව මීටර් දෙසීයක් පමණ ඉදිරියට ළඟා වෙද්දී ලඩියා කැබ් රථය පණගන්වා මාර්ගයට ගත්තේ කාටත් සැක නොසිතෙන්නටය.
 
පස්කඳුවල සිටින සියලුදෙනා ප්‍රහාරයට සුදානම් වන සංඥාව ලෙස කතා කරගෙන තිබුණේ කැබ් රථය ස්ටාට් වන සද්දයය.
 
බන්ධනාගාර බස් රථ දෙකකින් විශේෂ ආරක්ෂාවක් දෙන්නේ සමයංට බවත්, සාමාන්‍යයෙන් පසුපසින් යන්නේ ආරක්ෂාවට යන කණ්ඩායම රැගත් බස් රථය බවත් ලොක්කාගේ කල්ලියට අවබෝධයක් තිබිණි. දෙවැනියට එන බස් රථයේ සිටි බන්ධනාගාර ආරක්ෂකයන්ට බස් රථයෙන් බසින්නට බැරි අයුරින් එක දිගට වෙඩි තබන්නට සූදානම් කර පස් කණඩියේ එක තැනක හමුදා පුහුණුව ලත් අවිකරුවකු සිටි අතර අනෙක් අවිකරුවන් දෙදෙනාට සමයං යන බස් රථයට දිගටම වෙඩි තැබිමට උපදෙස් දී තිබිණි.
 
කැබ් රථයේ සංඥාව ලැබූ වහාම බස් රථයට නැග සමයං මැරීම සඳහා අංගොඩ ලොක්කා බන්ටි සමග හතර දෙනෙක් පස් කණ්ඩියේ පහළට බැස ගත්හ. සමයං ඉදිරියෙන් එන බස් රථයේ එන බවට ලොක්කාට ඒ මොහොතේ දුරකථන ඇමතුමක් ලැබුණේය.
 
මේ වන විට කැබ් රථය බන්ධනාගාර බස් දෙකට ඉදිරියට යන මග අවහිර වන සේ ඉදිරියට ඉලක්කය කරා ගෙන එමින් තිබූ අතර බන්ධනාගාර රියැදුරු ජනිත් දිලංක දිගින් දිගටම හෝන් නාද කළ ද කැබ් රථය ඉබි ගමනේ යන්නට වූයේය.
 
එක්වරම සැක නොහිතන සේ කඳුගැට දෙක අසලදී කැබ්රථය හරස්වන සේ දමන ලඩියා හා සගයා ක්ෂණිකව කැබ් රථයෙන් බැස වෑන් රථයට නැග ගත්හ.
 
බස් රථය නතරවුණු සැණින් පළාතම වෙඩි හ¾ඩින් දෙදරවමින් ටී 56 අවි තුනකින් වෙඩි වරුෂාවක් බන්ධනාගාර බස් රථ දෙසට දිගටම එල්ල වූයේ ආරක්ෂාවට ගිය නිලධාරින්ට හිතන්නටවත් ඉඩක් නොදෙමිනි. පසුපස බස් රථයේ ආ බන්ධනාගාර ආරක්ෂකයන්ට බිමට බහින්නට නොහැකි සේ දිගටම දොර වෙත වෙඩි ප්‍රහාර එල්ල වූයේ ය.
 
ඉදිරිපස බන්ධනාගාර බස් රථයේ සිටි දෙමළ ජාතික බන්ධනාගාර නියාමකයාගේ ගිනි අවියෙන් නිකුත් වූ උණ්ඩයක් ‍පොලිස් පරීක්ෂක නිල ඇඳුමෙන් සිටි අංගොඩ ලොක්කාගේ බූට් සපත්තුවේ කොනක වැදී ලිස්සා යාමත් සමග ලොක්කා සමග සිටි අවිකරුවන් ඒ දෙසටද වෙඩි වරුසාවක් නිකුත් කර ප්‍රතිප්‍රහාර නවතා ගත්තේය. ලොක්කා තම පිස්තෝලයෙන් බස් රථයේ ටයරයටද වෙඩිල්ලක් තැබිය. එසැණින් සමයංලා සිටි බස් රථය පස් කන්දේ සිට පහරදෙන වෙඩික්කරුවන්ට ප්‍රහාරය නවත්වන ලෙස කෑ ගසා කියා ක්ෂණිකවම ලොක්කා ඇතුළු සිව්දෙනා බස් රථයට නැග සමයං සොයන විටත් සමයංට වෙඩි වැදී මරු විකල්ලෙන් මෙන් සිටියේ ය.
 
සමයංගේ සගයන්ට දිගට හරහට වෙඩි තැබූ වෙඩික්කරුවන්ට සමයංගේ බෙල්ල කපන්නට ගෙන ආ මන්නය වෑන් රථයේ බව මතක් වන්නේ එතැනදීය. සුළු ප්‍රමාදයක් හෝ අවාසියක් විය හැකි නිසා සමයංගේ මුහුණට දිගට හරහට වෙඩි වරුසාවක් එල්ල කර බන්ධනාගාර බස් රථයේ පාපුරුව දක්වා ඇඳගෙන විත් ලෙයට ලෙයින් පළිගන්නා ජවනිකාව අවසන් කළහ.
 
මේ සියල්ලට ගතවූයේ විනාඩි තුනක් වැනි කෙටි කාලයක්ය. ඉලක්කය සපුරාගත් වෙඩික්කරුවන් පසුපස බස් රථයට ඒ වන විටත් වෙඩි තබමින් සිටි අනෙක් සගයාටද පහළට එන්නැයි කියා වෑන් රථයට වහාම නංවා ගත්තේය. මේ වන විටත් අතුරු මාර්ගවලින් වෑන් රථය ගෙනියන්නට මග පෙන්වන තැඹිලිපාට කබායක් හැඳගත් යතුරුපැදිකරුවකු මධුෂ් සැලසුම් කර එවා තිබුණේය.
 
වෑන් රථය තුළදීම නිල ඇඳුම් ගලවා යටට ඇඳ තිබූ සාමාන්‍ය ඇඳුමෙන් සූදානම් වූ ප්‍රහාරකයන් දස දෙනා අවි ආයුධ සියල්ල වෑන් රථයේ යනඅතරේම බෑග්වලට ඇසූරුහ.
ඒ අතරේ සැලසුම් කළ පරිදි එක්එක්කෙනා තැන තැන බැස්සවූ අංගොඩ ලොක්කා මෙහෙයුම අනාවරණය කළ බන්ටිව පානදුරෙන් බස්සවා මධුෂ්ගේ දුරකථන අංකය බන්ටිට දී පිටව යන්නේ ලඩියා සමගය.
 
එතැනින් එහාට අවි ආයුධ රැගෙන ගිය ලඩියා ලොක්කා ඇතුළු සෙසු කල්ලිය සමග බන්ටිට සබඳකමක් නොතිබුණු අතර බන්ටි ත්‍රිරෝද රථයකින් බත්තරමුල්ලට යන්නේ ය. මේ වනවිටත් චිකාගෝ ක්‍රමයට එල්ල වූ ප්‍රහාරයෙන් රටම ගිනිගෙන තිබුණේය. බත්තරමුල්‍ලේ නිවසට පැමිණි බන්ටි මධුෂ්ට දුරකථන ඇමතුමක් දී තත්ත්වය කියද්දී හවස් වෙද්දී වියදමට මුදල් එවන බව මධුෂ් දන්වයි.Lathif
 
නිවසේ අය බන්ටිව සැකකරන්නට වූයෙන් බන්ටි මාතර බලා යන්නේ මධුෂ් මුදල් ලබාදී එවන අලබෝලයා හමුවන්නටය. අලබෝලයා අතේ මධුෂ් එවූ රුපියල් ලක්ෂයක මුදලද සමගින් කුලියට වාහන දෙන තැනකින් කාරයක් ගන්නා බන්ටි නුවරඑළියේ විනෝද වන්නට හිතවතකු සමග නුවරඑළියට යන්නේය.
 
නුවරඑළියේ හිතවතකුගේ හෝටලයක නවාතැන්ගෙන දුරකථන කාඩ්පත් ලබාදෙන මධ්‍යස්ථානයට ගොස් කාඩ්පතක් ලබාගෙන හෝටලයට පැමිණි පසු බන්ටිගේ මුදල් පසුම්බිය දමා විත් ඇති වග හෙළි වන්නේය.
 
මධුෂ් දුන් ලක්ෂයද සමග රුපියල් ලක්ෂ එකහමාරක මුදල් හා රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා මැණික් කැටයක්ද බන්ටිගේ පසුම්බියේ ඒ වන විට තිබුණද යළිත් එහි ගියද එය සොයාගත නොහැකි වේ. මේ වන විට කාරයේ ටැංකිය පිරෙන්නට තෙල් ගසා තිබූ නිසා බන්ටි යළිත් බත්තරමුල්‍ලේ එන්නේ ගමන අතහැර දමාය.
 
පසුගිය සතියේ 14 දා කඩුවෙල උසාවියේ පරණ නඩුවකට බන්ටි තම සොහොයුරා හා නැන්දා සමග ගොස් කාටත් ඇස නොගැසෙන මානයේ රැඳී සිටියේ ය. ඒ මොහොතේ සමයංගේ විමර්ශන කරන ‍පොලිස් කණ්ඩායමක නිලධාරියකු බන්ටිගේ අයියා පෙන්වා මුගේ මල්ලිත් කළුතර සිද්ධියට සොයනවා යැයි එතැන සිටි තවත් ‍පොලිස් නිලධාරියකුට හොරැහින් පෙන්වන අයුරු හා කතාබහ බන්ටිගේ නැන්දා එතැන සිට අසා සිටියාය.
 
බන්ටිගේ නැන්දා ඒ බව කී වහාම නඩුවට පෙනී සිටීම පසෙකලා බන්ටි එතැනින් පැන ගනී. තම පසුම්බිය සමග හැඳුනුම්පතත් නැතිවුණ නිසා බන්ටි බත්තරමුල්ලෙන් පිටතට යන්නට බිය වූයේ ය. ඒ අතරේ පසුගිය 16 දා බන්ටිගේ පසුම්බියේ වූ ජාතික හැඳුනුම්පත පමණක් එය සොරාගත් පුද්ගලයා තැපෑලෙන් නිවසට එවා තිබුණේය. එය ලද විගස අලබෝලයාට කතා කර යළි අධිවේගී මාර්ගයේ බස් රථයකින් මාතරට යන බන්ටිට කඹුරුපිටියේ දුෂ්කර පළාතක නිවසක නවාතැන් දෙන්නට මධුෂ් අලබෝලයාට උපදෙස් දී තිබුණේ ය. කඹුරුපිටියේ සිට කිලෝ මීටර් විස්සකට වඩා දුර ගෙවා ගියද එම නිවසේ පහසුකම් නැති නිසා බන්ටි මිතුරකුට කතා කර වැලිගමට යයි.
 
වැලිගම ලොකූ හමු වී හබරාදුව තල්පේ තේ මහත්තයා සමග සිටින අතරේ මිරිහාන හා පෑලියගොඩ ඒකකවලින් බන්ටිව සොයන බවට බන්ටිට ආරංචියක් ලැබෙන්නේය.
 
යළි මධුෂ්ට කතාකර තමන්ට මාතර සිටීමට බය බව කී පසු බස් එකක නැගී දෙබරවැවට එන්නැයි මධුෂ් උපදෙස් දෙන්නේය. එහිදී මධුෂ්ගේ ගෝලයකු සෙල්ලකතරගම හෝටලයක් තුළ බන්ටිට නවාතැන් ලබා දෙයි. මේ වන විට සමයංගේ ඝාතනයේ අගමුල සොයා යන ‍පොලිස් කණ්ඩායම් අතරින් ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයට බන්ටි සෙල්ලකතරගම පැමිණ ඇතැයි ලද තොරතුරු මත වහාම ක්‍රියාත්මක වී සෙල්ලකතරගම කඩවීදියේ දී බන්ටිව කොටු කර ගන්නේය. සමයං ඝාතනයෙන් පසු දින විසි දෙකක් තිස්සේ අභිරහසක් වූ සියලු තොරතුරු බන්ටි අනාවරණය කරන්නට වූයේ ‍පොලිස් විශේෂ කාර්ය බළකාය කොළඹට රැගෙන විත් කොළඹ අපරාධ කොට්ඨාසය සමග ප්‍රශ්න කරන්නට ගැනීමත් සමගය.
 
දිගින් දිගටම පාතාල ක්‍රියාකාරකම් හිස ඔසවන්නට වීමත් සමග ‍පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ ජු නියෝග මත ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය සාර්ථක ප්‍රතිඵල නෙළා ගනිමින් සෙසු සැකකරුවන් හා අවි ආයුධ ගැනීමේ මෙහෙයුමද අරඹා තිබුණේය.
 
සමයං ඝාතනයට මග පෑදෙන පාතාල සටන
 
අංගොඩ ලොක්කා සමයංට එරෙහිව යුද ප්‍රකාශ කර සිටියදී බන්ධනාගාරයෙන් ඇප ලබා නිදහස්ව යන දිනයේ ලොක්කාව රැගෙන යාමට ආ අය අතරේ අතුරුගිරියේ බණ්ඩා සහ බත්තරමුල්‍ලේ බන්ටි ද සිටියෝය.
 
අතුරුගිරියේ ලඩියාගේ උපන්දිනය වෙනුවෙන් අතුරුගිරිය හෝටලයක ඩී. ජේ. කණ්ඩායම් හතරක් යොදා පැවැත් වූ සාදයට ලොක්කා ඇතුළු සියලුදෙනා පැමිණියහ. නළු නිළියන්ද එක් වූ මෙම සාදයේදී ඔටුන්නක හැඩයට සෑදූ උපන් දින කේක් එකක් ලඩියා වෙනුවෙන්ම සකසා තිබුණේය.
 
athurugiriyebandaඅතුරුගිරියේ කල්ලියේ විශේෂත්වය වූයේ හෙරොයින්, ගංජා පානය කරන පිරිස් යහමගට ගැනීමටත්, එවැනි පුරුදුවලට යොමු වූවන් ඉවත් කිරීමත්ය.
 
ජයටම පැවතුණ ලඩියාගේ සාදය ගැන හිරගෙදර සිටි සමයං දැනගෙන වියරු වැටුණේය. මුන් කොහොමද මම ඉන්දැද්දී කේක් කපන්නේ යැයි තම සගයන්ට දැන්වූ සමයං එහි වාඩුව ගන්නට අතුරුගිරියේ බණ්ඩා ඝාතනය කරන්නට සැලසුම් කළේ ය.
 
අතුරුගිරියේ මහජන බැංකු උඩුමහ‍ලේ ඇති රූපලාවණ්‍යාගාරයක මුහුණ පේෂල් කරන්නට ගිය බංඩාව සමයං කල්ලියේ ආමි අමිල හෙවත් ගොත් අසංක පැමිණ ජනවාරි 17 දා ඝාතනය කර යන්නේ ඒ වාඩුව ගන්නටය.
 
අනිල් බංඩාර නොහොත් බංඩාගේ මරණයෙන් අතුරුගිරියේ තරුණ කණ්ඩායම් සමයං කල්ලියට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේය. කාගේත් මිතුරා ලෙස සිටි බංඩාගේ මරණය නිසා සතියක් පුරා එම සාමාජිකයෝ හඬා වැටුණහ.
 
බංඩා ඝාතනය කර දවස් දෙකකින් කඩුවෙල හෝටලයක
දී සමයංගේ කල්ලිය ලඩියාගේ උපන්දින පාටිය මෙන් පාටියක් දැම්මේය. සමයං බන්ධනාගාරයේ සිට තම ත්‍රී.ජී. දුරකථනයෙන් කඩුවෙල හෝටලයේ බංඩා ඝාතනය කර සමරන පාටිය නරඹා තිබුණේය.
 
අතුරුගිරියේ බාල්දි ප්‍රියන්ත හා ලඩියාට අරංගලදී 2015 දෙසැම්බර් 17 දා වෙඩි තබා ඝාතනය කරන්නට සමයං සැලසුම් කළද එය ව්‍යර්ථ වන්නේ දෙදෙනා තුවාල ලබා බේරුණ නිසාය. සමයංගෙන් බේරෙන්නට බැරි තැන බාල්දි ප්‍රියන්ත ඔස්ට්‍රේලියාවට පැනගත් පසු ඔහුගේ කණ්ඩායමට නායකත්වය දෙන්නේ අතුරුගිරියේ ලඩියාය. මෙම කල්ලියේ දකුණු අත මෙන් වූ බංඩාගේ මරණය සමයං අවසන් ගමන යවන සැලසුම ඉක්මන් කරන්නට හේතු විය.
 
අංගොඩ ලොක්කාගේ ළඟම සාමාජිකයකු වූ සුරංග හෙවත් රත්තරන්ව ජනවාරි 05 දා වෙඩි තබා ඝාතනය කර තිබුණේද සමයංගේ කල්ලියේ ගොත අසංකගේ මෙහෙයවීමෙන්ය. අංගොඩ ලොක්කාවද දිගින් දිගටම මරන්නට ගත් උත්සාහයන් වැරදුණ තැන ලොක්කා එළියට ගන්නට රත්තරන්ට වෙඩි තබන සමයං තව සතියකින් උඹටත් ගහනවා යැයි ලොක්කාටද දුරකථනයට කතා කර අනතුරු හැඟෙව්වේය.makadureharsha
 
මේ නිසා ලොක්කාගේ කල්ලිය සමයංට කලින් ඉස්සරවීමට සැලසුම් කළේ ය.
මෙයට මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය එකතු වන්නේද ලොක්කාට තිබූ ආකාරයේම පළියක් ගන්නටය.
 
මාකඳුරේ මධුෂ්ගේ හිතවත් කණ්ඩායමක් වූ අංගොඩ ලොක්කාගේ කල්ලිය සමයංව මීට පෙර මරන්නට උත්සාහ කළේ කඩුවෙල උසාවියේදීය.
 
ඒ 2015 සැප්තැම්බර් 23 දාය. චමින්ද සඳමාල් එදිරිසුරිය හෙවත් චමී නමැති සමයංට එරෙහිව හිරගෙදරදී සටනක් කළ අයකු මෙයට යොදා ගත්තේය. මොහු කලින් යුද හමුදාවේ සිටි රටේ නමගිය ජාතික පාපැදි ශූරයකු ද විය.
 
චමියාට කඩුවෙල උසාවියේ දී සමයං ඝාතනය කරන්නට මාකඳුරේ මධුෂ්ගේ ළඟම සාමාජිකයා වූ කඹුරුපිටියේ හර්ෂ උදව් කළ බව සමයං දැන ගන්නේ ප්‍රහාරයෙන් තුවාල ලබා බේරුණ පසුවය.
 
හිරගෙදරදී එකට සිටි කඹුරුපිටියේ හර්ෂ හා සමයං උරණ වන්නේ සමයංගේ කීමට කඩුවෙල චරා ඝාතනය කරන්නට කළ කොන්ත්‍රාත් ඝාතනයට ‍පොරොන්දු වූ මුදල සමයං ගෙවීම පැහැර හැරි නිසාය. මාකඳුරේ මධුෂ්ගේ ළඟම සාමාජිකයා වූ හර්ෂ එයින් උරණ වී සමයංව හිරගෙදරදී දණගස්වා තිබුණේය.
 
සමයං මේ සිද්ධි දෙකටම පළිගන්නට හර්ෂව 2016 මාර්තු 03 දා රාජගිරිය ඔබේසේකරපුරදී ඝාතනය කරන්නේය. හර්ෂගේ ඝාතනයෙන් මාකඳුරේ මධුෂ් වියරු වැටී සිටියේ ය. දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ව සිටි ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතනයට මාකඳුරේ මධුෂ් සමග ගිය සගයා ලෙස චෝදනා එල්ල වූයේ ද හර්ෂටය. අවසානයේ හර්ෂගේ ඝාතනයේ පලිය ගන්නට මධුෂ් කරළියට එන්නේ අංගොඩ ලොක්කා කල්ලිය රත්තරන්ගේ වාඩු ගන්නටත්, අතුරුගිරියේ ලඩියාගේ කල්ලිය බංඩාගේ ඝාතනයේ පළිය ගන්නටත් සූදානම් වෙද්දීය.
 
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
samayan 7
ප්‍රහාරය සැලසුම් කළ අතුරුගිරියේ රබර් වත්ත ජයන්ති පාරට දිස්වෙන ආකාරය
samayan 3 1
පොලිස් විශේෂ කාර්යය බළකා නිලධෘරීන් පස් කණ්ඩිය පරික්ෂා කරන අයුරු.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top