Mar 29, 2017

‘‘වියත් මග: ඒකාධිපති රාජ්‍යය වෙත යළි පල්ලම් බැසීම

මේ වන විට සිදාදියට ඇවිත් ඇති නවතම සංදර්ශනය හෙවත් සර්කසය වන්නේ, යහපත් අනාගතයක් වෙනුවෙන් වන වෘත්තිකයන්ගේ ‘වියත් මග’ යි. හොඳින් රංගගත කෙරුණු ‘වියත් මග’ සභාවේ ඉදිරි පෙළ මුල් අසුන්වල මහින්ද, ගෝඨාභය සහ බැසිල් යන රාජපක්ෂ සොහොයුරන් අසුන්ගෙන සිටීම, එම සභාවේ අභිප‍්‍රාය මොනවට කියාපෑවේය. එම ඉදිරි පෙළ සෙසු අසුන් අරක්ගෙන සිටියේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් සහ මහාචාර්ය ජී. ඇල්. පීරිස් වැනි, නීතිය සහ මූල්‍ය කටයුතු පිළිබඳ ඔප්පු කළ අතීත කෙරුවාවක් ඇති අයවළුන් ය.

වෘත්තිකයන් යැයි හඳුන්වා ගත් දෙදහසක් පමණ වන සෙනග ඇමතූ හිටපු ආරක්ෂක ඔස්තාද් ගෝඨාභය රාජපක්ෂ, රට බේරා ගත හැක්කේ නිර්භයව තීරණාත්මක තීන්දු ගැනීමෙන් පමණකැ යි කියා සිටියේය. යෝධ හෝටල් ව්‍යාපෘතියක් සඳහා ගෝල්ෆේස් තණ නිල්ල අභියස ඉඩම නිදහස් කෙළේ කෙසේදැ යි විස්තර කරමින්, යුද්ධයෙන් හෙම්බත්ව සිටි ‘සෙරන්ඩිබ් දීපය’ එක රැයකින් ‘ෂන්ග‍්‍රි ලා’ පාරාදීසයක් බවට පත්කෙළේ අකුණු වේගයෙන් බව, ඞී. ඒ. රාජපක්ෂගේ උඩු රැුවුල්කාර චණ්ඩි පුතා වන ගෝඨාභය රාජපක්ෂ සභාව අමතා කීවේය. එදා ඞී. ඒ. රාජපක්ෂ සිය නායකයා වශයෙන් ඇදහූ, ගෝල්ෆේස් තණ නිල්ල අභියස අද පිහිටා ඇති රුසියානු නිර්මාණයක් වන එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායකගේ ලෝකඩ පිළිරුව, රාජපක්ෂලාගේ එකී ‘ෂන්ග‍්‍රි ලා’ පාරාදීසයෙන් පස්ස නොබලා පළා යන්ට තතනන සෙයක් පෙනෙන්ට තිබේ.

දේශපාලනය වනාහී තරගකාරී ක‍්‍රීඩාවකි. එම ක‍්‍රීඩාවේ දී, නීතිරීති ප‍්‍රකාරව සෙල්ලම් කරන්නන්ට වඩා නිශ්චිත වාසියක්, සත්‍යය පිටුදකින, බොරුවෙන් වැජඹෙන අයවළුන්ට හිමි වෙයි. ‘වියත් මග’ වෘත්තිකයෝ, තමන්ගේම ක‍්‍රීඩා රෙගුලාසි සකසා ගැනීමට දක්ෂයෝ ය. විවිධ නිපුණතා, දක්ෂතා සහ අවශ්‍යතාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් එම සභාවට සහභාගී වී උන්හ. නිශ්චිතවම ක‍්‍රියාකාරී භාවිතය සම්බන්ධයෙන් අති දක්ෂයෙකු වන ගෝඨාභය රාජපක්ෂගේ හැකියාව එම සභාවේ සංයුතිය තුළින් පැහැදිළි විය. ඔවුන් වෘත්තිකයන් ය. විද්වතුන් ය. එසේම, පැවති රජය යටතේ සරුසාර වූ කතිපයාධිකාරයකින් ඉතිරි වූ සුන්බුන් ය. ඒ කතිපයාධිකාරයේ විශාල කොටසක්, සුපුරුදු පරිදි, එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වය තුළ සෙවණ ලැබීමට අද සමත්ව සිටිති.

රටේ බල ගතිකත්වයන්ට ආමන්ත්‍රණය කිරීමට ගෝඨාභය රාජපක්ෂට ඇත්තේ අපූරු හැකියාවකි. බලගතු පරදුදරන්නන් අතරේ පවතින සහසම්බන්ධතා ජාලය සූක්ෂම අන්දමින් මෙහෙයැවීමේ හපනෙකි ඔහු. ඒ පරදුදරන්නන් අතරේ ව්‍යාපාරිකයෝ වෙත්. ප‍්‍රභූ දේශපාලකයෝ වෙත්. හමුදා සහ මාධ්‍ය ක‍්‍රියාකරුවෝ වෙත්. ස්වකීය පවුල් ව්‍යාපෘතියට උරදිය හැකි දක්ෂතා ඇතියවුන් හඳුනා ගැනීමේ සහ සංවිධානය කිරීමේ අපූරු හැකියාවක් ඔහුට තිබේ. ඔහු බලයේ සිටියදී ඔහුගේ පහනින් යසඉසුරු ලත් හමුදාවේ වරප‍්‍රසාදිත සුළුතරයකගේ පූර්ණ පක්ෂපාතීත්වය ඔහුට තිබේ.

මේ සියල්ලන් සැදී පැහැදී සිටින්නේ, 2015 ජනවාරි 8 වැනි දා ලැබූ ජයග‍්‍රහණයන් ආපසු හැරවීමට ය. ඒ ගැන අප ඇස් කන් පියාගෙන සිටීම අපේම විනාශයට හේතු වනු ඇත. අප ජීවත් වන්නේ, භයානක ප‍්‍රකම්පන ඇති කරවන යුගයකයි. අපේ ජනතාවගෙන් විශාල කොටසක්, ප‍්‍රජාතන්ත්‍රවාදය යන්නෙහි අරුත නොදනිති. පුද්ගලවාදී රාජපක්ෂ ව්‍යාපෘතියෙන් හෙම්බත්ව සිටි නාගරික මැද පංතික, කුඩා, එහෙත් වැදගත් කොටසක්, රාජපක්ෂවාදයෙන් ගැලවීම සඳහා පොදු අපේක්ෂකයෙකු තෝරා ගත්හ. මේ රට ඒක-පුද්ගලවාදයෙන් ප‍්‍රජාතන්ත්‍රවාදයට මාරු වුණේ එකී මධ්‍යම පංතික කොටසේ මැදිහත් වීම හේතුවෙනි. නිර්දය ඒකාධිපතිවාදයක් යටතේ ලැබෙන ස්ථාවරත්වයකට වඩා, කෙටි කාලීන ප‍්‍රජාතන්ත්‍රීය වියවුලක අවදානම භාර ගැනීමට ඔවුන් එදා පසුබට වුණේ නැත.

ප‍්‍රජාතන්ත්‍රීය ආයතන කෙරෙහි එකී ප‍්‍රගතිශීලී මැද පංතික කොටස් දැරූ ආකල්ප අද වන විට කේඩෑරී වීමට පටන්ගෙන තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඥාන ක‍්‍රියාධරය, රාජපක්ෂ යුගයේ දී පූස් පැටව් සේ සිටි දොස්තරලාගෙන් සමන්විත වෙයි. එයින් ඇතැමෙක්, එදා පාලකයන්ගේ හිතසුව පිණිස පශ්චාත්-මරණ වාර්තා පවා වෙනස් කළහ. බොහෝ කොට ඒක-භාෂික වන සිංහල මැද පංතියට, ප‍්‍රජාතන්ත්‍රවාදයේ යහපත ගැන වැඩි අවබෝධයක් නැත. ඉන්දියාව ඊට වෙනස් ය.

බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබූවත්, ඉංග‍්‍රීසී ජාතික තෝමස් මැකෝලේ දායාද කළ ජයග‍්‍රහණයන් ඉන්දියානුවන් ඉවතලූයේ නැත. බොහෝ කොට ඒක-භාෂික වන සිංහල මැද පංතිය, යසඉසුරෙන් පමණක් මැද පංතික ය. එම පංතියේ ආචාර ධාර්මික ප‍්‍රමුඛතා හැඩගස්වනු ලබන්නේ, ඇල්ලේ ගුණවංශ සහ බෙංගමුවේ නාලක වැනි බෞද්ධ භික්ෂූන් විසිනි. කහ සිවුරේ සහ වටාපතේ බලය පාමින් ඔවුන් ද අර ‘වියත් මග’ සභාවේ සිටිනු දක්නා ලදි.

ප‍්‍රජාතන්ත්‍රවාදයක් තුළ ඇති ජීවිතයක අරුත සහ වටිනාකම අප තවම තේරුම්ගෙන නැත. ප‍්‍රජාතන්ත්‍රවාදය යනු ජීවන භාවිතයෙන් අත්දැකිය යුතු දෙයකි. වර්තමාන පරම්පරාව දන්නේ, සිවිල් යුද්ධයක පීඩනය යටතේ විටින් විට අටවන ලද මැතිවරණවලින් සමන්විත, සෙවනැලි ප‍්‍රජාතන්ත්‍රවාදයක් පමණි. අපේ තරුණයන් ද බොහෝ කොට ඒක-භාෂික ය. අගතිගාමී ය. ඔවුන්ට ‘අයිෆෝන්’ ගැන මනා හුරුවක් ඇතත්, අංක කරකවන ටෙලිෆෝනයේ සිට පුළුල් පරාස අන්තර්ජාලයට පැමිණි මානව ප‍්‍රගතිය පිළිබඳ ඉතිහාසය ඔවුහූ නොදනිති. විසිහතර පැයේ විද්‍යුත් සම්බන්ධතා ජාලයක ගැලී සිටින මගේ මුණුපුරු මිණිපිරියන් ද ඇතුළු යෞවනයන්, ප‍්‍රගතිය, සංවර්ධනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සේ දකින්නේ, යෝධ වෙළඳ සංකීර්ණ සහ විශ්ව ප‍්‍රචලිත නිෂ්පාදන සන්නාම හිමියන් වීමට ඇති හැකියාවයි.

මේ වනාහී අසහාය ගාම්භීරත්වයන් වැඩෙන සරුබිමකි. ‘වියත් මග’ සභාව ඇමතූ, දේශපාලන විද්‍යාඥ ආචාර්ය දයාන් ජයතිලක, රුවන්ඩාව, කියුබාව, සිංගප්පූරුව සහ ඉරානයේ මෙන්, අපත් මැද පංතික උගත් වෘත්තිකයන්ව ඇමති මණ්ඩලයට පත් කර ගත යුතුව ඇතැයි කීවේය.

ආකාර්යක්ෂම මුත්, අධිකාරීවාදී නොවන ප‍්‍රජාතන්තී‍්‍රය රාජ්‍යකරණයේ දෙවසරකින් පසු, ඉරානයේ මෙන් විප්ලවීය බලඇණි පාරට බැස්සිය යුතුව ඇති බවත්, කියුබාවේ මෙන් ආයතනගත කර ගත යුතුව ඇති බවත්, අපේ රාවුල් කැස්ත්‍රෝ කෙනෙකු වන් ගෝඨාව අපේ ජනාධිපති කර ගත යුතු බවත්, රුවන්ඩාවේ ‘හුටු-ටුට්සි’ වාර්ගික සංහිඳියාව මෙන් අපේ සංහිඳියාවත් ඇති කර ගත යුතු බවත් මේ අය අපට කියා දෙනු ලැබේ.

ප‍්‍රභාකරන්ගේ මළ සිරුර ස්වකීය හමුදාවන් විසින් සිය දෙපා ළඟට ගෙන ඒමේ වාසනාව ලද, ‘‘රණ මග ඔස්සේ නන්දිකාදල්’’ නැමැති කෘතියේ කර්තෘවරයා, එකී වාසනාව දකින්නේ නිරන්තර බෝධි පූජා සහ සිය බිරිය බෙල්ලන්විල පන්සලේ කළ වන්දනාමානවල හාස්කමක් ලෙසිනි. දැනට සිදුවෙමින් පවතින දේවල් තමා තුළ මහත් කණස්සල්ලක් දනවන බව කී ඔහු, රට බෙදීමට දරණ ඕනෑම ප‍්‍රයත්නයක් ව්‍යර්ථ කරවනු වස් පෙරට ඒමට තමන් සූදානම් බව කියා සිටියේය. ‘සුරැුකුම් සහ විනිමය කොමිසමේ’ හිටපු සභාපති නාලක ගොඩහේවා, ඊළඟ ආණ්ඩුව සඳහා සේවය සැපයීමට වෘත්තිකයන් සූදානම් බව කියා සිටියේය. ගත වූ වසර එක හමාරක කාලය තුළ රටේ ආර්ථිකය ගමන් කරමින් තිබෙන මාර්ගය දෙස ආපසු හැරී බැලූ ඔහු, ලූලා නැති වළේ පණ්ඩිත කම් පාමින්, දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව එදා සහ අද අපේ ණය බර පිළිබඳ සංඛ්‍යා ගෙනහැර පෑවේය.

පෞද්ගලික යමක් මෙහිදී කිව යුතුව තිබේ. මට මිතුරන් සිටින්නේ අතලොස්සකි. මගේ ජීවිතයේ ගත වූ වසර ගණනට වඩා අඩු වසර ගණනකි මට ඉතිරිව ඇත්තේ. එසේ හෙයින් මගේ මිතුරන්ට රිදවීමට මගේ කැමැත්තක් නැත. නාලක ගොඩහේවාගේ මාමණ්ඩිය මගේ හොඳ මිතුරෙකි. එබැවින් මම මොහු ගැන තරමක් මෘදු වෙමි.

බොහෝ දෙනාට ආර්ථික විද්‍යාව නීරස විද්‍යාවකි. එහෙත්, ආර්ථික විද්‍යාඥයෙකු සහ දේශපාලන න්‍යායධරයෙකු වන මරේ රොත්බාඞ් මෙසේ කියා තිබේ: ‘‘මෝහාන්ධකාරයක සිටින අතරේ ආර්ථික විෂයයන් පිළිබඳව කයිවාරු දැනමුතුකම් දීම, මුළුමණින්ම වගකීම් විරහිත ක‍්‍රියාවකි.’’

රාජ්‍ය ආයතන මගින් පසුගිය රජය යටතේ ගන්නා ලද විදේශ ණය ගැන ගොඩහේවා මහතා නොදන්නවා ඇතැයි මම අනුමාන කරමි. රාජපක්ෂලා මේ රට නැට්ටට ණය කළ බව, සැබෑ වෘත්තිකයන් වේවා ආරූඨ වෘත්තිකයන් වේවා, දැන සිටිය යුතු කරුණකි. ඇත්ත, මෛත්‍රී-රනිල් ද්වි-පුද්ගල සංදර්ශනය ශෝක-සුඛාන්තයක් තමයි. ඕනෑම ශෝක-සුඛාන්ත නාටකයක මෙන් මෙහිදී ද, අගමැතිවරයාගේත්, ජනාධිපතිවරයාගේත් බරසාර දැක්ම අප තුළ සිනාව නංවයි. ඔවුන්ගේ විඳවිල්ල, බැඳුම්කර සිද්ධියේදී මෙන්, එක්තරා අන්දමකින් බොහෝ විට අප තුළ දනවන්නේ, වින්දනයකි.

ජනාධිපතිවරයාට බලයට පත්විය හැකි වුණේ, උතුරේ දෙමළ ජනතාවගේ පූර්ණ සහාය නිසා පමණක්ම බව ජනාධිපතිවරයාට අප මතක් කර දිය යුතුව තිබේ. එසේ බලයට පත්වී දෙවසරක් ඇවෑමෙන්, ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හමුදා බුද්ධි අංශයේ ‘රණ විරුවන්ට’ එරෙහිව නඩු පැවරීමට තමා ඉඩ නොදෙන බව, උතුරේ හමුදා කඳවුරක දී ජනාධිපතිවරයා කීය. එවැනි ශෝක-සුඛාන්තයක තිත්ත අඳුර අභිබවා යා හැකි වෙනත් ජගතෙක් වේද?

ජනාධිපතිවරයාගේ මේ අතාර්කික සදාචාර තුන්තේරවිල්ල ගෝඨාභය රාජපක්ෂගේ සුධීමත් බව සමග ඈඳේ. හමුදාවේ සැබෑ නායකත්වයේ සිටි ගෝඨාභය රාජපක්ෂ ස්වකීය සිතැඟියා පරිදි අගේට හමුදාව මෑනුවේය. මාධ්‍යයේ කට වැසුවේය. සේනා සංවිධානය කොට ඊට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකාව හිරේ ලෑ ඔහු, ‘‘අපෙන් එකෙකි මේ මිනිසා’’ යනුවෙන් සොල්දාදුවාව මුරුංගා අත්තේ තිබ්බේය.

අතුරලියේ රතන හිමියන්ගේ අලූත්ම ප‍්‍රකාශය, ජුගුප්සාව දනවන තුච්ඡු විකාරයකි. වඩාත් නිවැරදිව කිවහොත් කුණුහරුපයකි. අතුරුදහන් වූ හෝ ප‍්‍රහාරයන්ට ලක්වූ ඇතැම් මාධ්‍යවේදීන්, ඔහුට අනුව, ද්‍රෝහීන් සහ ඔත්තුකරුවන් ය. එතෙකින් නොනවතින ඔහු, අභීත රණවිරුවන්ට ඇතැම් නිලධාරීන් වද දෙන බව කියයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් අංශු මාත‍්‍රයක් හෝ ඉතිරිව තිබිණි නම්, එය ද, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කොට මොහාන් පීරිස්ව නීතියේ මුරදේවතාවා වශයෙන් පත් කරනු ලැබීම තුළින් රාජපක්ෂ පාලනය නැති භංගස්ථාන කළ බව, අප අමතක නොකළ යුතුය. පසුගිය ජනාධිපතිවරණයේදී අප ලබා ගත් ප‍්‍රජාතන්ත්‍රීය නිදහස අගයන කවුරුත් මේ ‘වියත් මගට’ එකාවන්ව උත්තර දිය යුතුව තිබේ. වර්තමාන ආණ්ඩුව පිළිබඳ ගර්හාවෙන් පෙළෙන වෘත්තිකයන්ගේ මුවාවෙන් ප‍්‍රජාතන්ත්‍රවාදය කණපිට හැරවීමට ප‍්‍රජාතන්ත්‍රවාදයේ සතුරන් පෙනී සිටින තරමටම, අප ද නැවත වරක් ප‍්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එකට සිට ගත යුතුව තිබේ.

ආරක්ෂක සහ බුද්ධි අංශවල ඇති රහස්‍ය භාවයේ අවශ්‍යතා අපහරණය කරමින් පසුගිය පාලනය, නීති විරෝධී සහ සදාචාරමය වශයෙන් තුච්ඡ​ ක‍්‍රියාවන්හි නිමග්නව ඇති බවට තොරතුරු සනාථ වී තිබේ. හිටපු ආරක්ෂක ලේකම්වරයා එකල, ඉමහත් බල පරාක‍්‍රමයක් සහිත, ත‍්‍රාසය දනවන චරිතයක් විය. ඔහු, දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන කණ්ඩායම් වල්මත් කෙළේය. එම ගෝඨාභය රාජපක්ෂ අපේ ඊළඟ ජනාධිපතිවරයා හෝ අගමැති වුවහොත් තත්වය කුමක් වේද?

දුරදක්නා නුවණින් යුත් දේශපාලන විද්‍යාඥයෙක් එම රුදුරු අනාගතය ගැන අනාවැකියක් කියා තිබේ. පහත සඳහන් වන්නේ, අනාගතයේදී විය නොහැකි මුත්, වුණොත් සිදුවිය හැකි යැයි ඔහු සිතූ තත්වයයි.

    ‘‘ආරක්ෂාව, මානව හිමිකම් සහ ඒවාට අදාළ වෙනත් කරුණු සම්බන්ධයෙන් ඔහු දරණ, කවුරුත් දන්නා ආකල්ප අනුව බලන විට, උතුරු සහ නැගෙනහිර සම්බන්ධයෙන් ඔහු එදිරිවාදී ස්ථාවරයන් ගනු ඇත. දකුණේ විසම්මුතිය ඔහු නොඉවසනු ඇත. උතුරට ලැබෙනු ඇත්තේ ගාසා තීරයට (ඊශ‍්‍රායලයෙන්) ලැබුණු සැලකිල්ලයි. වැලිවේරිය න්‍යාය දකුණේ බහුලව දක්නට ලැබෙනු ඇත. තවත් ‘රතුපස්වල’ දෙක තුනක් සහ ඊටත් වැඩියෙන් ලැබෙනු ඇත. දැඩි මතධාරී කඳවුර තුළට, විදේශ කටයුතු සම්බන්ධයෙන් නව-හුදෙකලාවාදයක් රිංගන අතර, ඉස්ලාමාබාද්-බේජිං අක්ෂය වඩාත් සවිමත්ව ඊශ‍්‍රායාලය කෙරෙහි වැඩි පරායත්ත වීමක් දැකිය හැකි වනු ඇත. ආණ්ඩුව මෙහෙයවන අභ්‍යන්තර කල්ලිය හිස ඔසවනු ඇත. පශ්චාත්-යුද්ධ ශ‍්‍රී ලංකාව, බලකොටු රාජ්‍යයක් බවට පරිවර්තනය කෙරෙනු ඇත. සමාජය, ආර්ථිකය සහ රාජ්‍යය තුළට රටේ ආරක්ෂක අංශ කාවැදීමෙන් ඇති කෙරෙන බලපෑම, ප‍්‍රජාතන්ත්‍රවාදය පැමිණීමට කලින් ලතින් ඇමරිකාවේ පැවති, තුර්කියේ සහ අග්නිදිග ආසියාවේ පැවති ජාතික ආරක්ෂාව පිළිබඳ රාජ්‍යය මොඩලය දෙසට වන මහා පිම්මක් සඳහා තල්ලුවක් දෙනු ඇත.’’

ගෝඨාභය රාජපක්ෂ යටතේ රටේ ඇති විය හැකි තත්වය පිළිබඳ මේ සූක්ෂම පුරෝකථනය 2014 ජුනි 4 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්, වෙඞ් අඩවියේ පළ විය. (මේ ලිපිය එදා ලියා ඇත්තේ ආචාර්ය දයාන් ජයතිලකයි – පරිවර්තක).

‘වියත් මග’ යනු වියතුන්ගේ පර්ෂදයක් නොවුණි. එය, ඇස් නිලංකාර කරවන ගෝත්‍රික යුද රංගනයක් විය. විසි වැනි සියවසේ විසූ වඩාත් ගොරතර දුෂ්ටයන් දෙන්නා වන හිට්ලර් සහ මුසෝලිනීව සම්මුඛ සාකච්ඡාවකට සහභාගී කරගෙන සිටි, ස්විස් ජාතික කීර්තිමත් මනෝ විද්‍යාඥ කාල් යුං, ඒකාධිපති රාජ්‍යය ගැන මෙසේ ලියා ඇත.

‘‘ඒකාධිපතියන් යනු ගෝත්‍රික නායකයන් ය. ගෝත‍්‍රයකට තමන්ගේම වන පුද්ගල නායකයෙක් සිටී. මේ නායකයා සැරිසරන්නේ, ඔහුගේ විශේෂිත වූ අනුගාමිකයන් සමගයි. එය රදළ ආණ්ඩුවකි. එවිට, එතැනින් ‘රාජ්‍ය’ බිහිවෙයි. එම රාජ්‍යය වනාහී භූතයෙකි. එය, පුද්ගල නායකයෙකුගේ කැඩපත් පිළිබිඹුවකි. මේ භූත රාජ්‍යය, තමන්ගේම කතිපයාධිකාරය නිර්මාණය කර ගනී. රාජ්‍යය ද, පල්ලිය මෙන්, ජනතා උද්‍යෝගය තමන් කෙරෙහි ඉල්ලා සිටී. ආත්ම-පරිත්‍යාගය සහ ආදරය තමන් කෙරෙහි ඉල්ලා සිටී. ‘දෙවියන් පිළිබඳ බිය’ ආගම තුළ කේන්ද්‍රස්ථානයක් ගන්නේ කෙසේ ද, ඒ ආකාරයෙන්ම, ඒකාධිපතියා ද රටට අවශ්‍ය කරන බිය සැපයීමට වගබලා ගනී.’’

මේ සභාව ඇමතූ, ඇස් කන් නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරියක් වන සීතා අරඹේපොල, ස්වකීය ගර්හිත ආත්මය නිරුවත් කර ගනිමින් මේ සිද්ධිය ඉතා අගේට විග‍්‍රහ කළාය. සිංහල ගෝත්‍ර​ය තමන්ගේ රජතුමාව අහිමි කර ගැනීම ගැන දුකට පත් කුංකුනාවේ හාමුදුරුවන්ව උද්ධෘතයට ගනිමින්, ‘රජෙක් ලැබුණොතින් පෙරහැර කරඤ්ඤං, කැවුම් කිරිබත් උයංඤ්ඤං’ යි ඈ කීවාය. අපට රජ කෙනෙකු ලැබුණු විට අප පෙරහැර කරනු ඇත. කැවුම් පිසිනු ඇත.

එය උඩරට රාජධානියේ ජන වහරකි. අනිත් කියමන කාගේද, කවදා කීවේද යන්න මම නොදනිමි. සමහර විට, ‘සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා’ යැයි කියන්ට ඇත්තේ, ජී. ඇල්. පීරිස් සහ සරත් සිල්වා වැනි සිංහල වියතෙකු විය හැකිය.

ප‍්‍රජාතන්ත්‍ර​වාදයේ ඉල්ලීම් ගැන නෑසු කණ් ඇතිව සිටින, පළා හරින ලද ප‍්‍රජාපීඩක රජෙකු යළි සිංහාසනාරූඪ කරවීමට ශල්‍ය වෛද්‍යවරියක් ඉල්ලා සිටීම මොන තරම් අරුමයක් ද?

සරත් ද අල්විස්

(2017 මාර්තු 11 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Viyath Maga – Reverting To The Dictator State” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top