Mar 31, 2017

ශ්‍රී ලාංකික පිරිසක් මාලදිවයින් ආණ්ඩුව පෙරළන්න දියත් කළ මෙහෙයුම මෙන්න

මාලදිවයින් ජාතිකයන් අතර බොහොම ජනප්‍රිය ජනප්‍රවාදයක් තියෙනවා ලංකාවෙන් ආපු කොයිමාලේ කියලා රාජ කුමාරයෙක් ගැන. කොයිමාලේ කියන්නේ ලංකාවේ සිංහල රජතුමාගේ දියණිය පවා විවාහ කරගත්තු කෙනෙක්. කොහොම වුණත් ඔහු රාජ කුමාරිකාවත් එක්ක ගිය මුහුදු ගමනකදී මාලදිවයින් කලපුවේ අතරමං වෙලා තියෙනවා. 12 වැනි ශතවර්ෂයේදී සිදු වුණු මේ අනතුරෙන් පස්සේ ඔහු මාලදිවයිනේ පළමු සුල්තාන්වරයා විදිහට එරට පාලනය කිරීම ආරම්භ කළා කියලයි මේ ජනප්‍රවාදයේ දැක්වෙන්නේ.

ඊට අවුරුදු 800කට පස්සේ ලංකාවේම පිරිසක් ආපහු මාලදිවයිනේ බලය පැහැර ගන්න කුමන්ත්‍රණයක් කරලා තියෙනවා. ආයුධ සන්නද්ධව ක්‍රියාත්මක වුණු මේ මැර කණ්ඩායම හමුදා කුමන්ත්‍රණයක් මෙහෙයවලා මාලදිවයින් ජනාධිපතිවරයාව බලයෙන් පහ කරන්න උත්සාහ කළා. අපේ රටේ පිරිසක් සිදු කරපු මේ මහා කුමන්ත්‍රණය අසාර්ථක වුණත් ඒක මාලදිවයින් ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමක්. අපේ රටේ වැඩි දෙනෙක් මේ ගැන නොදන්නා නිසා ඒ ගැන ලිපියක් ගෙන එන්න Roar අපි තීරණය කළා.

මුල් සැලැස්ම

මේ 1988 අවුරුද්දයි. ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF) මෙරටට ගෙන්වන ගිවිසුම අත්සන් කරලා අවුරුද්දක්වත් නැති වුණත් ඒ වෙනකොටත් 80,000කට අධික ඉන්දියානු සෙබළුන් පිරිසක් ශ්‍රී ලංකාවට ඇවිත්. රටේ උතුරු පළාත් වල මේ භට පිරිස් සහ LTTE සාමාජිකයන් අතර දරුණු සටන් ඇති වුණා. දකුණේත් භීෂණය පැතිරෙමින් තිබුණේ. ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1000ක් විතර ඈතින් පිහිටි මාලදිවයිනේ ජීවත් වුණු “අබ්දුල්ලා ලුතිෆි” කියලා ව්‍යාපාරිකයෙක් කාලයක් තිස්සේ එරට පාලනය කරපු අබ්දුල් ගයූම් ආණ්ඩුව පෙරළා දමන්න කුමන්ත්‍රණයක් සකස් කළේ මේ අවධියේදීයි.

ලුතිෆි මුලින් හිතුවේ මේක ලේ සෙලවීමකින් තොරවම සිදු කරන්න පුළුවන් වේවි කියලයි. මාලදිවයින් ආණ්ඩුව දණ ගස්වන්න හමුදා බලය හොයා ගන්න ඔහු හැරුණේ ශ්‍රී ලංකාව පැත්තට. “උමා මහේස්වරන්”ගේ නායකත්වය යටතේ තිබුණු දෙමළ ඊළාම් මහජන එක්සත් සංවිධානය (People’s Liberation Organisation of Tamil Eelam) නැතිනම් කවුරුත් දන්නා විදිහට PLOTE එකේ දමිළ සටන්කාමීන් පිරිසක් මේ සඳහා යොදා ගන්න ලුතිෆි සැලසුම් කළා.

umamaheshwaran

PLOTE නායක උමා මහේෂ්වරන්. රූපය : youtube.com

1988 අවුරුද්දේ නොවැම්බර් 3 වැනිදා ප්‍රබල ආයුධවලින් සන්නද්ධ වුණු PLOTE සංවිධානයට අයත් සටන්කාමීන් 80ක විතර පිරිසක් ලුතිෆි සහ තවත් මාලදිවයින් ජාතිකයෙක් එක්ක මාලදිවයිනේ මාලේ වෙරළට ළඟා වුණේ මසුන් මරන ට්‍රෝලර් බෝට්ටුවකින්. ශ්‍රී ලංකාවේ කල්පිටිය වෙරළෙන් පිටත් වුණු මේ බෝට්ටුව පැදවූවෙත් සන්නද්ධ පිරිසෙන්ම කෙනෙක්. මේ මෙහෙයුම දියත් කරන්න කලින් PLOTE සාමාජිකයන් වරින් වර මාලේ ප්‍රදේශයේ සංචාරකයන් විදිහට මාස ගණන් නැවතිලා ඉඳලා මෙහෙයුමට අවශ්‍ය ඔත්තු බැලීම් කරලා තියෙනවා. හොඳින් සූදානම් වෙලා තමයි ඔවුන් අවසාන මෙහෙයුම දියත් කළේ.

මුලින් සුළු අතපසුවීම් සිදු වුණත් මනා පුහුණුවක් ලබලා හිටපු PLOTE සටන්කාමීන් ඉතාම කෙටි කාලයකින් ප්‍රදේශයේ තිබුණු ප්‍රධාන රාජ්‍ය ගොඩනැගිලි තමන්ගේ පාලනයට ගන්න ක්‍රියාත්මක වුණා. මාලේ නගරයේ පිහිටි අන්තර්ජාතික ගුවන්තොටුපළ, රූපවාහිනී හා ගුවන් විදුලි විකාශන ගොඩනැගිලි සියල්ලම තිබුණේ අනතුරේ. කොයි තරම් සැලසුම් කළත් වරදින්න පුළුවන් කියලා කතාවක් තියෙනවනේ. වැඩි වෙලාවක් යන්න කලින් සන්නිවේදනයේ අඩු පාඩු නිසා ඉක්මණින්ම ඔවුන්ගේ සටන අසාර්ථක වෙන්න පටන් ගත්තා.
සටන අඩපණ කළ හදිස්සිය

මීට අවුරුදු 5කට විතර කලින් අයිලන්ඩ් පුවත්පතට ලබා දුන්නු විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී අබ්දුල්ලා ලුතිෆි (කුමන්ත්‍රණයේ ප්‍රධානියා) මේ මෙහෙයුම සහ ඒක අසාර්ථක වෙන්න හේතු ගැන තොරතුරු හෙළිදරව් කළා. PLOTE සාමාජිකයන්ට උපදෙස් දීලා තිබුණේ ආරක්ෂක රැකවල් අඩු ස්ථානයකින් සූක්ෂමව හමුදා බැරැක්කවලට ඇතුළු වෙන්න කියලයි. කොහොම වුණත් රහසින් ඇතුළු වෙනවා වෙනුවට ඔවුන්ගෙන් කිහිප දෙනෙක් හමුදා සාමාජිකයන්ට වෙඩි තියන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා මාලදිවයින් හමුදාවෙන් නොහිතපු ප්‍රතිප්‍රහාරයකට මුහුණ දෙන්නත් ඔවුන්ට සිදු වෙලා.

“මුලින් උපදෙස් දීපු විදිහට ඔවුන් සූක්ෂමව හමුදා බැරැක්කවලට ඇතුළු වුණා නම් ලේසියෙන්ම හමුදා සාමාජිකයන් වැඩි දෙනෙක් අපේ පැත්තට නම්මා ගන්න අවස්ථාව තිබුණා. සැලසුම් කරපු විදිහට වැඩේ කෙරුණා නම් ඔවුන්ගෙන් බහුතරය අපේ මෙහෙයුමට සහය දක්වන්න තිබුණා කියලා මට අදටත් විශ්වාසයි. නමුත් වෙඩි හුවමාරුව නිසා අපේ කණ්ඩායමේ නායකයාට ජීවිතය අහිමි වුණා. ඒත් සමගම කණ්ඩායමේ ධෛර්යයත් නැති වෙලා ගියා.”

“මට ඇත්තටම කිසිම කෙනෙක් මරන්න උවමනාව තිබ්බේ නැහැ. ගයූම්ට (මාලදිවයින් ජනාධිපතිවරයා) පක්ෂපාතී පිරිස ඉක්මණින්ම යටත් වේවි කියලා මම විශ්වාස කළා. ඔවුන්ට හොඳ පුහුණුවක් ලබා සිටි PLOTE සාමාජිකයන් එක්ක සටන් කරලා දිනන්න කීයටවත් බැහැ. ඒත් හමුදා බැරැක්කවල පාලනය අල්ලා ගන්න භාර වෙලා හිටපු පිරිසේ හදිස්සිය නිසා අපේ මෙහෙයුම ආරම්භයේදීම අඩපණ වුණා.”

ලුතිෆි කණ්ඩායම් නායකයා කියලා හැඳින්වූවේ මෙහෙයුමේ නායකත්වය ගත්තු වසන්තෙයිව. ඔහු මෙහෙයුමට අදාළ වැඩිදුර තොරතුරු කාටවත් නොකියා රහසිගත විදිහට තියාගන්න කටයුතු කළා. ඒ වගේ ක්‍රමයක් අනුගමනය කළේ මෙහෙයුමේ රහස් පිට යන එක වළක්වන්න වුණත් ඔහු නොහිතපු විදිහට මිය යාමත් එක්ක මෙහෙයුමට අවශ්‍ය වැදගත් ඔත්තු බොහොමයක් අහිමි වෙලා ගියා. නායකයා මිය ගිය එක මෙහෙයුමට හිතුවාටත් වඩා විශාල බාධාවක් වුණේ ඒ නිසයි.

කොහොම වුණත් ඉතිරි සාමාජිකයන් පිරිස තාවකාලිකව හරි හමුදා සාමාජිකයන්ව බැරැක්ක ඇතුළෙම සිර කරලා තියා ගන්න සමත් වුණා.

PLOTE එකේ මාධ්‍ය ප්‍රකාශක ස්කන්ධා ලබා දීපු ප්‍රකාශයකට අනුව PLOTE සාමාජික “බාබු” ගේ නායකත්වයෙන් යුත් පිරිසකට භාර වෙලා තිබුණේ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය සහ සන්නිවේදන ජාලය තමන් යටතට ගන්නයි. “ෆරූක්”ගේ නායකත්වයෙන් යුතු පිරිස ජනාධිපති ගයූම් මහතා සහ මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරයා ජීවග්‍රහයෙන් අල්ලාගෙන තමන්ගේ භාරයට ගන්න නියමිතව තිබුණා.

බාබු ඇතුළු PLOTE සාමාජිකයන් පිරිස ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයට පහර දීලා අල්ලා ගන්න එතැනට යනකොට දකින්න ලැබුණේ ඒ වෙනකොටත් වසා දමලා තිබුණු ගොඩනැගිල්ලක්. නොවැම්බර් 3 වැනිදා කියන්නේ මාලදිවයිනේ නිවාඩු දවසක් කියන එක සැළකිල්ලට ගන්න සැලසුම්කරුවන්ට අමතක වෙලා. ගොඩනැගිල්ල වසා තිබුණු නිසා විශාල දොරකින් ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය ආරක්ෂාව සැලසුණා. තමන්ගේ සාමාජිකයන් සතුව තිබුණු පුපුරණ ද්‍රව්‍ය පවා පාවිච්චි කළත් මේ ශක්තිමත් වානේ දොරටුව කඩා ගන්න ඔවුන්ට බැරි වුණු බව PLOTE මාධ්‍ය ප්‍රකාශක ස්කන්ධා කියා තිබුණා.

මේ අතරේ ෆරූක් ඇතුළු පිරිස ජනාධිපතිවරයාව අල්ලා ගන්න ජනාධිපති මන්දිරයට කඩා වැදුණත් ඒ වෙනකොට ප්‍රහාරය ගැන ආරංචි ලැබුණු ජනාධිපති ගයූම් මහතා ප්‍රදේශය අතහැර ආරක්ෂිත ස්ථානයකට පැන ගොස් තිබුණා.
ඉන්දියාව සහයට එයි

එතැනින් එහාට මේ කුමන්ත්‍රණ මෙහෙයුම හැම පැත්තෙන්ම කඩා වැටීම ආරම්භ වුණා. ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයේ දොර කඩා ගන්න බැරි වුණු නිසා සන්නිවේදන ජාල ඒ වන විටත් ක්‍රියාත්මක තත්වයේ තිබුණේ. ජනාධිපති ගයූම් මහතා වහාම අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කරන්න කටයුතු කළා. ශ්‍රී ලංකා, ඉන්දියා හා ඇමරිකානු රජයන්ගෙන් හදිසි ආරක්ෂාව සලසන ලෙස සෘජු ඉල්ලීමකුත් කෙරුණා.

ශ්‍රී ලංකා ජනාධිපති J. R. ජයවර්ධන මහතාටත් පෙර ඉන්දියානු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ක්‍රියාත්මක වෙලා වහාම මාලදිවයින් ජනාධිපතිවරයා වෙත ඉන්දියානු හමුදා ආරක්ෂාව සලසන්න කටයුතු කළා.

1986capture

1986 අවුරුද්දේ පෙබරවාරි 7 වැනි දින රජිව් ගාන්ධි මහතා හා සෝනියා ගාන්ධි මැතිණිය මාලේහි පිහිටි නිල ජනාධිපති මන්දිරයේදී අබ්දුල් ගයූම් මහතා සහ ගයූම් මැතිණිය විසින් පිළිගනු ලැබූ අවස්ථාව. රූපය : thewire.in

ගයූම් මහතා රැකවරණය ඉල්ලලා පැය 16ක් යන්නත් කලින් ඉන්දියානු පැරෂූට් සෙබළුන් මාලදිවයිනේ මාලේ නගරයට ගුවනින් ගොඩ බැස්සා. “පතොක් මෙහෙයුම” නැතිනම් “Operation Cactus” කියලා හැඳින්වුණු මේ මෙහෙයුම හරියට හොලිවුඩ් චිත්‍රපටයක දර්ශනයක් වගේ. කොහොම වුණත් ඉන්දියානු මාධ්‍යයන්ට අනුව නම් ඉන්දියානු හමුදාවට මාලදිවයින හොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නෙත් බොහොම අමාරුවෙන්. ගොඩ බැහැපු සොල්දාදුවන්ටත් ආක්‍රමණිකයන් හඳුනා ගන්න එක ඒ තරම් පහසු වෙලා නැහැ. ඔවුන් දකුණු ආසියාවෙන් ආපු පිරිසක්ද නැතිනම් මැද පෙරදිගින් හරි අප්‍රිකා මහද්වීපයෙන් ආපු පිරිසක්ද කියලා හිතා ගන්න බැරි වුණාලු.

ඒ දවස්වල තිබුණු අන්තර්ජාතික දේශපාලන වාතාවරණයත් එක්ක ඉන්දියාව සහ අන්තර්ජාතික ප්‍රජාව අතර, විශේෂයෙන්ම බටහිර රටවල් සමග තිබුණු සම්බන්ධතා හොඳ අතට හැරෙමින් පැවතුණා. අලුතෙන් පත් වුණු තරුණ රජිව් ගාන්ධි මහතාගේ ප්‍රතිපත්ති මේකට හේතුවයි. ලෝක බලවතා වන ඇමරිකාවත් ඉන්දියාවට දකුණු ආසියානු කලාපයේ බලවතා ලෙස ක්‍රියාත්මක වෙන්න ප්‍රසිද්ධියේම අනුබල දුන්නා.

එක්තරා ඉන්දියානු විශ්ලේෂකයෙකුට අනුව ඉන්දියානු හමුදා මාලදිවයින බලා පිටත් කරවන අවස්ථාව වෙද්දීත් බටහිරින් ඒ සඳහා සහයෝගය හිමි වෙලා තිබුණේ. ඉන්දියානු ගුවන් යානයට ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබුණු ඇමරිකානු යුධ නෞකාවකින් ගමන් මාර්ගය සොයා ගැනීම පහසු කරවන්න කාලගුණ දත්ත පවා එවා තිබෙනවා.

“පුදුමයකට වගේ “පතොක් මෙහෙයුමේ” සාමාජිකයන් වැඩි දෙනෙකුට මාලදිවයින තියෙන තැන ගැනවත් තිබුණේ බොහොම අඩු දැනීමක් විතරයි. ඔවුන් සතුව ප්‍රදේශය නිවැරදිව දැක්වෙන සිතියමක්වත් තිබිලා නැහැ. මේ නිසා ඔවුන්ට ටික කලකට කලින් ශ්‍රී ලංකාවේදී වගේම සංචාරකයන්ට ලබා දෙන සිතියම් තමයි පාවිච්චි කරන්න සිදු වුණේ. ගුවන් යානය පිටත් කෙරුණු අග්‍රා ගුවන් කඳවුර මාලදිවයිනට බොහොම ඈතින් පිහිටා තිබුණු නිසා ඔවුන්ට ඒ හදිසියට සංචාරක සිතියමක්වත් හොයා ගන්න පුළුවන් වෙලා නැහැ. විනෝදයට කියවන සඟරාවක තිබුණු සිතියමක් තමයි පාවිච්චියට අරන් තියෙන්නේ.” ඔහු කියා තිබෙනවා.

Indianarmy

ඉන්දියානු හමුදාවේ අවසාන භට කණ්ඩය මාලදිවයිනට ගොඩ බැසීම. රූපය : vnews.mv
මහ මුහුදේ ජරමර

මේ වගේ තාක්ෂණික ප්‍රශ්න තිබුණත් ඉන්දියාව මාලදිවයිනට ඉක්මන් සහය ලබා දෙන්න තීරණය කළා. නමුත් ඉන්දියන් හමුදාව එන තුරු කාලය අතරතුර මාලේ නගරයේ තිබුණේ බොහොම ව්‍යාකූල තත්වයක්. කුමන්ත්‍රණය අසාර්ථක වුණා විතරක් නෙවෙයි කුමන්ත්‍රණකරුවන්ට ජීවිත අවදානමකටත් මුහුණ දෙන්න සිදු වුණා. කුමන්ත්‍රණය සැලසුම් කළ පිරිස සහ ඔවුන්ගේ ශ්‍රී ලාංකික සහචරයන් පිරිස ජීවිත බේරා ගෙන පලා යන්න ලොකු උත්සාහයක් ගත්තා.

“අපිට ආපසු යන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. බලය අල්ලා ගැනීම සාර්ථක වේවි කියලා හිතපු නිසා අපි මාලදිවයිනට ආපු ට්‍රෝලර් බෝට්ටුව ආපිටටම ලංකාවට පිටත් කරලයි තිබුණේ. හැමෝම හිටියේ කලබලෙන්. වෙඩි හුවමාරුවලින් PLOTE සාමාජිකයන් දෙදෙනෙක් මිය ගිහින් කිහිප දෙනෙකුටම තුවාල සිදු වෙලා තිබුණා. ඉන්දියානු පැරෂූට් භටයන් අග නගරයට ගොඩ බසිනවාත් එක්කම අපි මාලේ වරාය පැත්තට පසු බැස්සා. ඒ වන විට වරායේ තිබුණු “MV Progress Light” කියන නෞකාව පැහැර ගන්නවා ඇරෙන්න අපිට දිවි ගලවා ගන්න වෙන කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. 1988 නොවැම්බර් 3 වැනිදා දහවල් 11 විතර වෙද්දී අපි ඒකෙ නැගලා පලා ආවා. සටනේදී මිය ගිය PLOTE සාමාජිකයන් දෙදෙනාගේ මළසිරුරු දාලා එන්න සිදු වුණා. රබර් ඩිංගි බෝට්ටුවක නැගලා පලා එන්න උත්සාහ කරපු PLOTE සාමාජිකයන් තුන් දෙනෙකු එතැනදීම අත්අඩංගුවට ගැනුණා.” ලුතිෆි ඔහුගේ සම්මුඛ සාකච්ඡාවේදී කියලා තියෙනවා.

පලායන ත්‍රස්ත සාමාජිකයන් පිරිස MV Progress Light කියන භාණ්ඩ නෞකාව “හුල්හුලේ” දූපතේ දකුණු වෙරළ ප්‍රදේශයේදී සාර්ථකව තමන් යටතට ගන්න සමත් වෙලා. ඔවුන් නෞකාවේ මගීන් සහ කාර්යමණ්ඩලයත් ප්‍රාණ ඇපයට ගත්තා. නෞකාවේ මගීන් අතර මාලදිවයිනේ අමාත්‍යවරයෙක් වන “අහමඩ් මුජුතබා” මහතා සහ ඔහුගේ බිරිඳත් (තවත් තැනක මැය ඔහුගේ නැන්දම්මා කියලත් සඳහන් වෙනවා) සිටියා. නෞකාව වහාම නතර කරන්න කියලා අණ ලැබෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර මුහුදු ප්‍රදේශයේදී ඊළඟට දිග හැරුණු සිද්ධි දාමය ඇත්තටම ක්‍රියාදාම චිත්‍රපටයක දර්ශන පෙළක් තරමටම අපූරුයි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙහෙයුම තමන්ගේ අතට ගත්තු බ්‍රිගේඩියර් ෆරූක් බල්සාරා මහතා අසල හිටපු සොල්දාදුවෙක් ළඟ තිබුණු “කාල් ගුස්ටාව්” වර්ගයේ වාංගු නොවන රයිෆලයක් උදුරාගෙන වරායෙන් ඉවතට පලා යන නෞකාවට අවවාදාත්මක වෙඩි පහර තුනක් එල්ල කළා. නමුත් එයට ත්‍රස්තයන් කීකරු වුණේ නැහැ. ඉන් පස්සේ බ්‍රිගේඩියර් බල්සාරා මහතා සහ ස්ටාෆ් සාජන් ෂාම් මහතා ජීප් එකක නැගලා හුල්හුලේ දූපතේ කෙළවර දක්වාම නෞකාව ලුහුබැඳ ගියා. (දූපත තියෙන ආකාරය අනුව නැව මුල් කොටසේදී ගමන් කළේ වෙරළට සමාන්තරවයි) නමුත් නෞකාව වෙරළෙන් දුරස් වීමත් එක්ක නැවට තැබූ වෙඩි සියල්ලම මුහුදට පතිත වුණා.

පාන්දර 1:45 ට විතර ඉන්දියානු හමුදාව ජනාධිපති ගයූම් මහතා සැඟවී සිටි රහස් උමග තිබූ ප්‍රදේශයට ලඟා වුණා. ඒ වන විටත් අවට ප්‍රදේශය පුරාම ප්‍රදේශයේ හමුදා සාමාජිකයන් විසින් රැකවල් දමලයි තිබුණේ. ඉන් පස්සේ ඔවුන් ජනාධිපතිවරයාව මාලදිවයිනේ යුධ මූලස්ථානය වෙත ගෙන ගියේ ඉන්දියානු හමුදාවේ දැඩි රැකවරණ මැද්දේ. කුමන්ත්‍රණකරුවන් පැහැර ගත් නෞකාවකින් පලා යන බවට ආරංචිය ලැබුණු විගස ගයූම් මහතා ඉන්දියානු සහය ඇතිව වහාම එම නැව ලුහුබැඳ යාමේ මෙහෙයුමක් දියත් කරන්නට මාලදිවයින් හමුදාවට නියෝග ලබා දුන්නා.

ඉන්දියානු හමුදාව තමන්ගේ ආරක්ෂක නෞකා තුනකට මෙහෙයුම් තොරතුරු ලබා දෙන්න මොහොතක්වත් පසුබට වුණේ නැහැ. දකුණු අන්දමන් දූපතේ බ්ලෙයාර් වරායේ නවතා තිබුණු INS Godavari (ගෝදාවරී), සෝමාලියාවට යාත්‍රා කරමින් තිබුණු INS Betwa (බෙත්වා) සහ ඉන්දියාවේ කොචින් වරායේ නවතා තිබුණු INS Tir (තීර්) කියන නෞකා මේ මෙහෙයුමට සම්බන්ධ වුණා. (INS කියන්නේ ඉන්දියානු නාවික හමුදා නෞකාව කියන අර්ථය ඇති Indian Navy Ship යන්නට කෙටි යෙදුමක් විදිහටයි) මේ නෞකා තුනම පලා යන නෞකාව ලුහු බඳින්න පටන් ගත්තා.

මේ සේරම සිදු වෙන අතරේ මාලදිවයින් ජාතික ආරක්ෂක සේවයේ (National Security Service – NSS) නිලධාරීන් හතර දෙනෙක් කොළඹ බලා පිටත් කෙරුණා. ඔවුන් කොළඹින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයකට නැගී INS ගෝදාවරී නෞකාව බලා පිටත් වෙන්නයි සැලසුම් කෙරුණේ. ඔවුන්ගේ බලාපොරොත්තුව වුණේ ත්‍රස්තයන් සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමයි.

කුමන්ත්‍රණකරුවන් යටත් වේ

පැහැර ගැනුණු MV Progress Light නෞකාව ඒ වන විට යාත්‍රා කරමින් තිබුණේ ශ්‍රී ලංකාවේ මුල්ලිකුලම් ප්‍රදේශය වෙතයි. නමුත් නොවැම්බර් 5 වැනිදා උදේ වරුවේ ඔවුන්ගේ ගමන INS බෙත්වා නෞකාව විසින් හරස් කරනු ලැබුවා. කිහිප වරක්ම අවවාද නිකුත් කෙරුණත් ත්‍රස්තයන් පිරිස ඔවුන්ගේ ගමන්මග වෙනස් කළේ නැහැ. ඒ වන විට INS ගෝදාවරී නෞකාවත් එතැනට ඇවිත් තිබුණා. කොහොම වුණත් ත්‍රස්ත කණ්ඩායම යටත් වුණේ නැහැ.

“අවසානයේ බැරිම තැන ඉන්දියන් යුධ නෞකා භාණ්ඩ නෞකාව වෙත ප්‍රහාර එල්ල කරලා ත්‍රස්ත පිරිස යටත් කර ගන්න තීරණය කළා. INS ගෝදාවරී නෞකාවේ හෙලිකොප්ටරය මගින් මුහුදට හෙලපු ග්‍රෙනේඩ් බෝම්බවලින් MV Progress Light නෞකාව දැඩි ලෙස ගැස්සෙන අතරේ ආරක්ෂක නැව්වලින් වෙඩි ප්‍රහාරත් එල්ල වුණා. භාණ්ඩ නෞකාව සහ ආරක්ෂක නැව් අතර ඇති වුණු වෙඩි හුවමාරුව නිසා ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු සහ ප්‍රාණ ඇපයේ සිටි පිරිසෙන් තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.” කියලා සිද්ධිය වාර්තා කළ මාලදිවයින් වාර්තාකරුවෙකු කියා තිබෙනවා.

මෙහෙයුම සැලසුම් කරපු ලුතිෆි කියන විදිහට ඉන්දියානු යුධ නෞකාවේ හිටපු මාලදිවයින් ආරක්ෂක සේවයේ නිලධාරීන් පස් දෙනා ඔවුන්ට අණ කරලා තියෙන්නේ ඉන්දියාවේ හරි මාලදිවයිනේ හරි වරායක් වෙතට MV Progress Light නෞකාව ගෙන යන්න කියලයි. නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරලා. කොහොම වුණත් ඊලඟට සිද්ධ වෙන්න තිබුණු දේ දන්නවා නම් ලුතිෆි කීයටවත් ලැබුණු අණට විරුද්ධ නොවෙන්නට තිබුණා නොඅනුමානයි.

“අපි ඒ වෙලාවේදී යටත් වීම ප්‍රතික්ෂේප කළා. අපිට ඕන වුණේ මුහුද මැදදීම යම් විසඳුමක් ලබා ගන්නයි. අප සිටි නැවේ ඒ වන විටත් මාලදිවයින් ජාතිකයන් බොහෝ දෙනෙක් හිටියත් ඉන්දියානු හමුදාව ඔවුන්ගේ ජීවිත ගැනවත් නොසලකා ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. PLOTE කණ්ඩායමේ අණ දෙන නිලධාරියා ශ්‍රී ලංකාවේ සිටි ඔවුන්ගේ මූලස්ථානය නැවේ රේඩියෝව හරහා සම්බන්ධ කරගෙන උපදෙස් විමසුවා. ඔවුන් අපට උපදෙස් දුන්නේ එක ප්‍රාණ ඇපකරුවෙකු ඝාතනය කරලා මළ සිරුර මුහුදට විසි කරන්න කියලයි. නැවේ හිටපු මාලදිවයින් අමාත්‍යවරයා මොන තරම් බැගෑපත් වුණත් PLOTE සාමාජිකයන් ඔහුට ඇහුන්කන් දුන්නේ නැහැ. එක ප්‍රාණ ඇපකරුවෙක් නැවේ තට්ටුව මතට ඇදගෙන ඇවිත් ඔහුට වෙඩි තියලා මුහුදට විසි කරන්න ඔවුන් කටයුතු කළා. ඉන්දියානු නැවක් ඔහුගේ මළ සිරුර ගොඩ ගත්තා. අනිත් ප්‍රාණ ඇපකරුවන් තමන්ගේම කැමැත්තෙන් ඉන්දියානු හමුදා ප්‍රහාරය අධෛර්යමත් කරන්න නැව් තට්ටුවට එන්න ඉල්ලා සිටියා. නමුත් ඉන්දියන් නැවේ සිටි මාලදිවයින් ආරක්ෂක සේවයේ නිලධාරීන්ට ඕන වුණේ අපි සියළු දෙනා මිය යනවා දකින්නයි.” ලුතිෆි කියා සිටියා.

“නොවැම්බර් 6 වැනිදා උදෑසන ඉන්දියන් නෞකා අප වෙත තවත් ප්‍රහාරයක් එල්ල කරලා පැය තුනක් ඇතුළත කොන්දේසි විරහිතව යටත් වෙන්න, නැතිනම් ප්‍රතිවිපාකයන්ට මුහුණ දෙන්න කියලා අවසන් අවවාදය ලබා දුන්නා. කොහොම වුණත් අපි ලංකා මුහුදු සීමාව වෙත නැව පදවන එක නතර කළේ නැහැ. ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වෙන්න හැතැප්ම 30ක් විතර තියෙද්දී ඉන්දියානු නෞකා බර අවි යොදාගෙන ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා.  පළමු ප්‍රහාරයෙන්ම මාලදිවයින් ඇමතිවරයා තුවාල ලැබුවා. අපේ රයිෆල් තුවක්කුවලින් වෙඩි තියන්න බැරි තරම් ඈතින් තමයි ඉන්දියානු නෞකා තිබුණේ, ඒ නිසා අපි ප්‍රතිප්‍රහාර එල්ල කළේ නැහැ. අපේ යටතේ සිටි පිලිපීන ජාතික ඉංජිනේරුවාට නැවේ එන්ජිම නතර කරන්න කියලා මම අණ දුන්නා. ඔහු එන්ජිම නතර කරන අතරේ ඔහුටත් ප්‍රහාරයෙන් තුවාල සිදු වෙනවා මම බලාගෙනමයි හිටියේ. අපිට මුහුදට පනින්න කියලා අණ ලැබුණා. මුහුදට පැනලා සුදු කොඩි ඔසවාපු ගමන් ප්‍රහාරය නවත්වලා අපිව ගොඩට ගන්න ඉන්දියානුවන් කටයුතු කළා” කියලා ඔහු අයිලන්ඩ් පුවත්පතට කියා තිබෙනවා.

Mv progress light

ශ්‍රී ලාංකික සටන්කාමීන්ගේ භාරයේ තිබුණු MV Progress Light නෞකාව 1988 වසරේ නොවැම්බර් 3 සිදු කළ කුමන්ත්‍රණයෙන් පසු පලා යන අතරතුර INS ගෝදාවරී නෞකාවෙන් එල්ල වුණු ප්‍රහාරය හමුවේ අබලන් වී දුම් නැගෙමින් තිබූ අයුරු. රූපය : mihaaru.com

අවසන් ප්‍රතිඵලය

ලුතිෆි සහ ඔහුගේ සහචරයන් තමන්ගේ දැක්මට අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ බලපෑම්වලට යටත් නොවුණු කුරිරු ඒකාධිපතියෙකු බලයෙන් පහ කරන්න ගත්තු ඉතා නිර්භීත නමුත් පලක් නොවුණු උත්සාහය අවසාන වුණේ ඒ විදිහටයි.

“මට ඕන වුණේ මොනම ක්‍රමයකින් හරි ගයූම්ව බලයෙන් පහ කරන්නයි. මගේ රටේ මැතිවරණ ක්‍රමයෙන් කිසිම දවසක විපක්ෂයට සාධාරණ අවස්ථාවක් නොලැබුණු නිසා බාහිර බලවේගයක් ගෙනවිත් හරි හරි ගයූම්ව ඉවත් කරන්න අවශ්‍යයි කියන මතයේ මම හිටියා.” තමන්ගේ ව්‍යර්ථ වුණු කුමන්ත්‍රණයෙන් අවුරුදු 23කට පස්සේ ලුතිෆි සම්මුඛ සාකච්ඡාව අවසානයේ කියා සිටියේ ඒ වගේ දෙයක්.

මේ සන්නද්ධ කුමන්ත්‍රණය පරාජය කරපු (අවුරුදු ගණනකට පසුව තවත් ඝාතන තැතකින් දිවි බේරා ගත්තු) ජනාධිපති අබ්දුල් ගයූම් මහතා තවත් දශක දෙකක කාලයක් පුරාවට පාලනය පවත්වා ගෙන ගියා. අන්තිමේදී ඔහු වගේම ශ්‍රී ලංකාවෙන් අධ්‍යාපනය ලැබූ මොහොමඩ් නෂීඩ් මහතා 2008 වර්ෂයේ මැතිවරණයෙන් ඔහුව පරාජයට පත් කිරීමත් එක්ක ගයූම් මහතාගේ දීර්ඝ පාලනය කෙළවර වුණා. දූෂණ චෝදනා බොහොමයක් එල්ල වුණු ඔහුගේ මතභේදාත්මක ජනාධිපති සමය අවසන් වුණේ ඒ විදිහටයි.

1989 අවුරුද්දේ PLOTE එකේ නායක උමා මහේෂ්වරන් වෙඩි තබා ඝාතනය කෙරුණා. මෙහි අපූරුම දෙය වුණේ මේ වෙඩි තැබීම කොළඹ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිදු වුණු එකයි. ENDLF කියලා හැඳින්වුණු PLOTE එකෙන් බිඳී ගිය, ඉන්දියානු සහය ලැබූ සංවිධානයක් මේ ප්‍රහාරයේ වගකීම භාර ගත්තා. කොහොම වුණත් සමහරුන්ගේ අදහස නම් මේ ප්‍රහාරය අසාර්ථක වුණු කුමන්ත්‍රණයෙන් සිත්තැවුලට ලක් වුණු PLOTE සාමාජිකයන් පිරිසක්ම සැලසුම් කරන්න ඇති කියලයි.

ශ්‍රී ලාංකික ඩේලි මිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නු PLOTE එකේ මාධ්‍ය ප්‍රකාශකව සිටි ස්කන්ධා කියා සිටියේ මෙහෙම දෙයක්; “අපි [මාලදිවයිනේදී] කළ මෙහෙයුම සාර්ථක වුණා නම් අපිව කුලී හේවායින් කියලා හඳුන්වනවා වෙනුවට බැටිස්ටාව පළවා හැරලා කියුබාවේ බලය අල්ලා ගත්තු චේ ගුවේරා සහ ෆිදෙල් කැස්ත්‍රෝට සමාන ගෞරවයක් අපිට ලැබෙන්න ඉඩ තිබුණා.” නමුත් අවසානාවකට වගේ ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු වුණේ නැහැ.

ඒ අවුරුද්දේදීම MV Progress Light නෞකාවේ සිට අල්ලා ගත් PLOTE සාමාජිකයන් මාලදිවයින වෙත භාර දෙන්නත් ඉන්දියාව කටයුතු කළා. ඔවුන්ට මාලදිවයින් අධිකරණය වහාම මරණ දඬුවම ලබා දුන්නේ ගයූම් මහතාගේ අනුමැතියද සහිතවයි. කොහොම වුණත් ඉන්දියානු බලපෑම හමුවේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ලිහිල් කරන්න ඔහුට සිදු වුණා. ඊට අවුරුදු 4කට පස්සේ උමා මහේෂ්වරන්ගෙන් හිස් වුණු නායකත්වයට පැමිණි D. සිද්ධාර්තන් ඒ වන විට සිරභාරයේ සිටි PLOTE සාමාජිකයන්ට සමාව ලබා ගෙන නිදහස් කර ගන්න සමත් වුණා.

Abdullaluthif

කුමන්ත්‍රණයේ මහමොළකරු අබ්දුල්ලා ලුතිෆි. රූපය : mihaaru.com

හිටපු මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් නසීරුත් මේ කුමන්ත්‍රණයට දායකත්වය ලබා දුන් බවට චෝදනාවක් එල්ල  වුණත් ඔහු එය ප්‍රතික්ෂේප කරනවා. නසීර්ව කාලයකට ඉහතදී වෙනත් කුමන්ත්‍රණක් සැලසුම් කරන්න දායකත්වය දුන් බවට අනභිමුඛ (in absentia) චෝදනාවක් එල්ල කරලා සිරභාරයේ තබා තිබුණත් ඔහු රටට නිදහස දිනා දෙන්න සිදු කළ මෙහෙයට ගෞරවයක් විදිහට 1990 දී සමාව ලබා දී තිබෙනවා.

මේ කුමන්ත්‍රණයේ මහමොළකාරයා වන අබ්දුල්ලා ලුතිෆි මේ වන විට ඉන්නා තැනක් ගැන දැන ගන්නට නැහැ. අනිත් සහචරයන්ට වගේම ලුතිෆිට ලැබී තිබුණු මරණ දඬුවමත් ගයූම් ජනාධිපතිවරයා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විදිහට ලිහිල් කරලයි තිබුණේ. 2009 අවුරුද්දේ නව ජනාධිපති නෂීඩ් මහතා ලුතිෆිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියාවට යාමට විශේෂ අවසරයක් ලබා දුන්නා. මාලදිවයින් මාධ්‍ය සැක පළ කරන්නේ ලුතිෆි ආරක්ෂක රැකවල්වලින් රිංගා අතුරුදහන් වෙන්න ඇත්තේ මේ ගමනේදී කියලයි.

මාධ්‍ය වාර්තා අනුව අබ්දුල්ලා ලුතිෆි මේ වන විට වෙනත් අනන්‍යතාවක් නිර්මාණය කරගෙන ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා ඇති කියලා මාලදිවයින් බලධාරීන් විශ්වාස කරනවා.

හිමල් කොතලාවල

පර්වර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

(Roar සිංහල)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top