Apr 11, 2017

'මුදල විසින් තීරණය කරන අධ්‍යාපන රටාව පරාජය කළ යුතුයි' - චම්පික

ඇතැම් පිරිස් නිදහස් අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපනයේ නිදහස හඳුන්වාදී ලිබරල්වාදී අදහස් වෙන ආකාරයකට ගෙන එන්න හදන බවත්, එසේ මුදල විසින් තීරණය කරන අධ්‍යාපන රටාව පරාජය කළ යුතු බවත් -ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය වර්තමාන මධ්‍ය ආදායම් තත්වයට ගැලපෙන ආකාරයට සකසා ගත යුතු බවද හෙතෙම කියා සිටියි.

දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සිය ෆෙස් බුක් පිටුවේ එබව සඳහන් කර ඇත.

එහි මෙසේද දැක්වේ.

ට්‍රම්ප්ගේ පළමු දින 100යේ අවසන් දින කිහිපය ?

ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා තමාගේ පළමු දින 100යේ අවසන් දින කිහිපය ගෙවමින් සිටිනවා. ජනාධිපතිවරණයේදී ඔහු ලබාදුන් පොරොන්දු ඉටු කිරීම සඳහා විධායක නියෝග නිකුත් කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමට ඔහු බලගතු උත්සාහයක නියැලූණා.

එහිදී විශේෂයෙන්ම ත්‍රස්තවාදී ගැටුම් පවතින මුස්ලිම් රටවල ජනතාව ඇමරිකාවට ඇතුළුවීම වැලැක්වීමට, ඒ වගේම කාබන් විමෝචනය පිළිබඳව තිබිච්ච පැරිස් සම්මුතියෙන් ඉවත් වී විදුලිබලය නිපදවීම සඳහා නැවත ගල් අ`ගුරු භාවිතා කිරීමට pataleeයොමුවීමටත්, මෙක්සිකෝව හරහා තාප්පයක් ඉදිකිරීමේ කටයුත්ත වැනි කරුණු ගණනාවකට ඔහු උත්සාහ කර තිබෙනවා.

විශේෂයෙන්ම මුස්ලිම් රටවල ජනතාව රටතුළට ඇතුළුවීම තහනම් කිරීමේ වැඩපිළිවෙලට ඔහුට රටතුළින් විශාල විරෝධයක් එල්ල උනා. අධිකරණයෙනුත් එය නතර කරනු ලැබුවා.

ඒ වගේම ඔහු විසින් පත් කළ ප්‍රධාන විධායක නිලධාරීන් ගණනාවකට සිය පදවි හැර යන්නටත් සිදු වුණා.

ඔහුට විශාලතම ගැටළුවක් බවට පත් වුනේ ඔබාමා ජනාධිපතිවරයා සිටින කාලයේදී ගෙන ආ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදය වෙනස් කරන බවට රිපබ්ලිකන්වරු දුන් පොරොන්දුව.

ඒ වෙනස් කිරීම සඳහා ඔහු ඔබාමා කෙයා නම් ඔබාමාගේ සෞඛ්‍ය ප්‍රතිපත්තියට එරෙහිව නව ප්‍රතිපත්තියක් ගෙන එන බව ප්‍රකාශ කළා. නමුත් රිපබ්ලිකන් පක්ෂය තුළ ඇතිවුණු බෙදීම නිසා එය ඔහුට සම්මත කර ගැනීමට නොහැකි උනා.

ඔහු මෙයට එරෙහිව කටයුතු කරන රිපබ්ලිකන්වරුන්ට නොයෙක් ආකාරයේ දේශපාලන තර්ජන ඉදිරිපත් කළත්, ඒ සඳහා අවසාන දින නියමකළත් අවසානයේ ඔබාමා කෙයා නම් ඔබාමාගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය පරාජය කිරීමට ඩොනල්ඞ් ට්‍රම්ප්ට හැකිවුණේ නැහැ.

දියුණු සමාජ ක්‍රමයක් :

ඇත්තටම එක්තරා අතකින් මේ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල්වල සමාජයන් පරිනාමය වී තිබෙන ආකාරය දිහා බැලූවහම අපේ රටවල් ඒ අන්තයෙන් ඉතාම සමාජශීලි, ඉතාම පාරාර්ථකාමී ඒ වගේම දියුණු සමාජ ක්‍රමයක් පෙන්වන අවස්ථාවක් හැටියට මෙය සලකන්න පුළුවන්.

විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිත්තියක් නැහැ. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියකුත් නැහැ. අධ්‍යාපනය සඳහා ගෙවිය යුතුයි. ඇතැම්විට දක්ෂ ශිෂ්‍යයින්ට ශිෂ්‍යාධාර ආදිය ලැබෙනවා. ඒ වගේම ප්‍රධාන විශ්ව විද්‍යාල ලාභ පරමාර්ථයෙන් තොරව පවත්වාගෙන යනවා.

නමුත් දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීම සඳහා මුදල් වියදම් කළ යුතුයි.

ඒ වගේම තමයි සෞඛ්‍යත්, නිදහස් සෞඛ්‍ය සේවයක් එහි නැහැ. සේවකයින්ට සෞඛ්‍ය ආවරණය ලබාදෙන රක්ෂණ සේවාවන් තිබෙනවා. ඒ වගේම රාජයේ රෝහල් ඒ ආකාරයට පත්වාගැනීම සිද්ධ වෙනවා. නමුත් අනිවාර්යයෙන්ම තමන්ගේ සෞඛ්‍ය බිල සෑම පුරවැසියෙක්ම දරාගත යුතුයි.

නොඅසන ප්‍රශ්නය ?

මෙහි තර්කය තමයි නිදහස් අධ්‍යාපනය සඳහා වූ සහ නිදහස් සෞඛ්‍ය සඳහා අනිවාර්යයෙන්ම ජනතාවගේ බදු මුදල් වැය කරන්න සිද්ධ වෙනවා.

එතකොට ඇමරිකා එක්සත් ජනපදය වැනි පුද්ගලයින් මුල්කරගත්ත ලිබරල්වාදී ප්‍රවණතා තියෙන රටවල්වල අහන ප්‍රශ්නය, මා ගෙවන බදු වලින් අනුන්ට රෝහල් ගාස්තු ගෙවන්නේ ඇයි? වෛද්‍ය ගාස්තු ගෙවන්නේ ඇයි? මා ගෙවන බදුවලින් මගේ දරුවන්ට අධ්‍යාපනය ලැබෙනවා විනා අනෙක් අයගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නේ ඇයි? කියන ප්‍රශ්නය.

ඇත්ත වශයෙන්ම මේ රටේ මා දන්න තරමින් කිසිම පුරවැසියෙක් මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. අපේ නිදහස් අධ්‍යාපනයට වියදම් කරන මුදල් වැඩි කරන්න අපේ සල්ලිවලින් අනුන්ගේ දරුවන්ට වැඩියෙන් උගන්වන්න වියදම් කරන්න කියනවා මිසක් අපේ සල්ලිවලින් අනුන්ගේ දරුවන්ට වියදම් කරන්න එපා කියල කිසිම පුරවැසියෙක් කියන්නේ නැහැ.

සෞඛ්‍යයෙත් එහෙමයි, අපේ සල්ලිවලින් අපට විතරක් නෙමෙයි අනුන්ටත් බෙහෙත් කරන්න කියලා තමයි අපේ ජනතාව කියන්නේ. මේක ඉතාම බලගතු ප්‍රවණතාවයක්.

පුද්ගල කේන්ද්‍ර වෙච්ච ලිබරල්වාදී අදහස:

දැන් ඇත්තටම ලංකාවෙත් ඇතැම් පිරිස් උත්සාහ කරනවා ඇමරිකාව එක්සත් ජනපදයේ තිබෙන, ඒ පුද්ගල කේන්ද්‍ර වෙච්ච ලිබරල්වාදී අදහස වෙනත් ආකාරයට ගෙන එන්න.

ඔවුන් මේ නිදහස් අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපනයේ නිදහස යනුවෙන් හඳුන්වන්නේ මේකයි.

තමන්ට අධ්‍යාපනයට වියදම් කරන්න සල්ලි තියෙනවා නම් ඒක ලබාගන්න තමන්ටත් අයිතියක් තිබෙනවා කියන එක මත තමයි එය පදනම් වෙලා තිබෙන්නේ.

ඒ නිසා අපේ රටේ පරාර්ථකාමීව ගොඩනැගිච්චි නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය අපි මේ වර්තමාන මධ්‍ය ආදායම් තත්වයට ගැලපෙන ආකාරයට සකස්කර ගත යුතුයි.

හැකියා පූර්ණ පිරිස්වලට මුදල් අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා ලබාදීලා ඔවුන්ට ඒ අවස්ථා ජය ගැනීමට උදව් කරනවා මිසක් මේ නිදහස් අධ්‍යාපනය නැමති පරාර්ථකාමී සමාජය, මේ වටිනාකමකින් යුතු මේ දියුණු ක්‍රියාමාර්ගය අපි කිසිසේත් ආපසු හැරවිය යුතු නැහැ.

ඇමරිකාව අතිශයින්ම පසුගාමී සමාජයක්:

ඇමරිකා එක්සත් ජනපදය බොහොම දියුණුයි, ධනවත් යයි කිව්වට අතිශයින්ම පසුගාමී සමාජයක්. ඉන්දියානු ස්වදේශීක ජනතාවගෙන් ඉඩම් කොල්ලකා ගැනීමේදී යම්කිසි ආකාරයක රටාවක් ඇමරිකාව තුළ පෞද්ගලික දේපල සම්බන්ධව, champika670පෞද්ගලිකත්වය සම්බන්ධව ගොඩනැගුණද එයම තමා අදටත් එහි ක්‍රියාත්මක වෙන්නේ.

ඊට වඩා පුළුල් පොදු සාරධර්මවලින් පාරාර්ථකාමීව, ජනහිතකාමිත්වයෙන් වෙලිච්ච සමාජයක් හැටියට මේ සමාජයේ අපි, මේ ඔබාමා කෙයා ක්‍රියාවලියට එරෙහිව ඇමරිකාව ගෙනයන වැඩපිළිවෙල, ඇමරිකානුවන් ඒ පිළිබඳව හිතන ආකාරයෙන් හොඳ අත්දැකීමක්, හොඳ පූර්වාදර්ශයක් ලබාගත යුතුයි.

අපි මේ සමාජ සාධක, සෞඛ්‍ය සහ අධ්‍යාපනය දිහා බලනකොට දියුණු ඇමරිකාවට වඩා දියුණු සමාජ පද්ධතියක් තිබෙන රටක් හැටියට අපට සතුටු විය හැකියි.

ඒ වගේම මේ විෂකුරු අදහසත්, නිදහස් අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපනය නිදහස නමින් ගෙනඑන මේ පුද්ගලකාමීන් ලාභය මුල්කරගත්තු, මුදල විසින් තීරණය කරන අධ්‍යාපන රටාව තීරණය කරන මේ විසකුරු සර්පයානම් අප පරාජය කළ යුතුමයි.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top