Apr 16, 2017

ලිංගික ශ්‍රමිකයෝ ද මනුෂ්‍යයෝය Featured

ස්ත්‍රියකු හෝ පුරුෂයකු වේවා  ලිංගික ශ්‍රමිකත්වයට  යොමු  වන්නේ මන්ද යන්න  සම්බන්ධ‌යෙන්  සාමාන්‍ය සමාජයෙන් විමසු කල්හි  එම පැනයට සැපයෙන සෘජු පිලිතුරු දෙකක් වෙයි. එනම් එය පහසු මුදල්  ඉපැයිමේ  මාර්ගයක් ලෙසත්  දුගීභාවය නිසා යනුවෙනුත් වන සෘජු පිළිතුරයි. පහසු මුදල් ඉපැයිම යන කාරණව පසෙකට කලද  ඉතිරිවන අනෙක් පිළිතුර වන්නේ  දුගීභාවයයි.

මෙය  ඉහළ  පාන්තික  ස්වරූපයෙන් ගත් කළ සැබැවින් එය පහසු මුදල්  උපයන  මාර්ගයක්  බව  සැබෑවය.  ඒ තුළ ඔවුන්   ලබන වරප්‍රසදයන්ද  අර්ථික, සාමාජීය  ලාභයන්ද ඉතා ඉහළය. නමුත් මෙය මධ්‍යම පන්තික ලිංගික ශ්‍රමිකයන්ගේ පැත්තෙන් ගත් කළ  ඉතාමත් කටුක  අභියෝගමත්මක  රැකියාවක් වන්නේය. එසේම ඉහත  ලිංගික ශ්‍රමිකයා වෙත යන   සේවාදයකයාද  ඇතැම්  විට මුහුණ දෙනු ලබන්නේ කටුක  සිදුවීම් වලටය .
දුප්පත්කම  අනාරක්ෂිතතාව, අඩු  අධ්‍යාපන මට්ටම, විවාහ ප්‍රමාදවීම්, වැන්දඹු භාවය, ආහාර, විරුකියාව, දරුවන් නඩත්තු කිරීම වැනි  කාරණා  බහුතරයක් ලිංගික ශ්‍රමිකයින් බවට පත්වීමට හේතු සාධක වූ බවට සිද්ධි අධ්‍යනයන් තුළින් පැහැදිලිවි ඇත.

ලිංගික ශ්‍රමිකයින්ගේ වර්ගීකරණය

බහුතරයක් සදහා මෙම ලිංගික ශ්‍රමිකත්වයට නැඹුරු වීමේ ප්‍රවණතාවය උදාවී ඇති බ අප කළ නිරීක්ෂණ තුළ දී හා නිගමන වලදී සාක්ෂාත් වී ඇත.
අද වන විට ලංකාව තුළ ලිංගික ශ්‍රමිකත්වය පිළිබදව වන වර්ගීකරණයන් කිහිපයක් ඇත.

01 පැල්පත් නිවාස ගණිකාවන්
02 ජංගම ගණිකාවන්
03 ලොජ් සහ හොටෙල් ගණිකාවන්
04 කරෝකේ ගණිකාවන්
05 සම්භහන මධ්‍යස්ථාන ගණිකාවන්
06 සැලොන් ගණිකාවන්
07 ගණිකා මඩම්හි ගණිකාවන්
08 වීදි ගණිකාවන්
09 අවන්හල් හා රාත්‍රී සමාජශාලා ගණිකාවන්

ඉහත වර්ගීකරණයන් තුළ ලිංගික ශ්‍රමිකයන් සිටින අර මොවුන්ගේ සේවාදායකයන්ගේ වර්ග අනුව සමාජ මට්ටම් අනුව මෙම වෘත්තීමය වර්ගීකරණයකට ලක්වී ඇත.මීට පෙර සදහන් කළ පරදි අඩු අදායම්ලාභී වීම,අනාරක්ෂිතභාවය,රැකියා නොමැතිකම ,ආහාර හිඟතාවය,අඩු අධ්‍යාපනික මට්ටම යන කාරණා තුළ දී සිදුවන කුට්ටනය, එනම් තැරැව්කරුවන්ගේ මැදිහත්වීම් සහ නොමග යැවීම් තුළ මෙම ක්ෂේත්‍රයට පිවිසීමද ඉතා බහුල කාරණාවක් වේ.

බහුතරයක් දරිද්‍රතාවය හේතුවෙන් මෙම ක්ෂේත්‍රයට පිවිසෙන අතර ඔවුන් මෙම ක්ෂේත්‍රය හමුවේ තව තවත් පීඩාවට පත් වන්නේය. ලංකාවේ පවතින සංස්කෘතිකමය ආගමික පරිසරය තුළ ලිංගික ශ්‍රමිකත්වය යනු තහනම් නැතහොත් සාපරාධී අපරාධ ගණයට අයත් වන රැකියාවක් වේ.

1995 අංක 22 පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 360 ඒ වගන්තිය මගින් ඕනෑම වයසක සිටින ස්ත්‍රී හෝ පුරුෂ කිසිදු අයෙක් ඔවුන්ගේ කැමැත්ත සහිතව හෝ කැමැත්තෙන් තොරව,ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත හෝ ගණිකා වෘත්තිය සදහා යෙදවීම හෝ මිලදී ගැනීම හෝ ඒ සදහා උත්සාහ දැරීම හෝ ගණිකා නිවාසයක රැඳවියකු ලෙස රඳවා ගැනීම හෝ අපරාධයක් වේ. මෙම වරදට දඩුවම අවමය වසර 2 සිට උපරිම 10 දක්වා වන සිරදඩුවමක් සහ දඩයක් වේ.

ගණිකා වෘත්තිය සදහා ළමයින් සහ කාන්තාවන් ජාවාරම වැලැක්වීම සහ මර්දනය පිළිබද 2005 සම්මුතිය මගින්,ජාවාරම යන්න 'එසේ ජාවාරමට හසුවන කාන්තාවක හෝ ළමයෙකු ඔවුන්ගේ අනුදැනුමක් සහිතව හෝ රහිතව මුදල් හෝ වෙනත් සළකා බැලීම මත පදනම්ව රට තුළ හෝ රටෙන් බැහැරව ගණිකා වෘත්තිය සදහා ගෙන යෑම විකිණීම හෝ මිලදී ගැනීම' ලෙස නිර්වචනය කරනු ලැබ ඇත.

ලිංගික ශ්‍රමිකයන්  සම්බන්ධයෙන් පවතීන නීතිමය තත්ත්වය  යල්පැන ගිය නීතිමය තත්ත්වයක් වන අතර . ලිංගික ශ්‍රමිකයන්ට පොලිසිය විසින් නඩු පවරනු ලබන්නේ ‘පාදඩයන් පිළිබඳ ආඥා පනත’ යටතේ. මේ නීතිය 1960 දී පමණ මෙරට ගෙන ආ වතු කම්කරුවන්  පැනයාමට එරෙහිව ගනු ලැබු නීතිමය තත්වයකි.

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ තත්වය

වෙනස් ලෙස සැලකීම

විශේෂයෙන් කාන්තා ලිංගික ශ්‍රමිකයින්, තනි පුද්ගලයින් වශයෙන් සදාචාරය අහිමිව,අපරාධ ,නුසුදුසු හා නරක බලපෑම් සමග සමාජය තුළ සෑම කොටසකම චිරස්ථායී වෙමින්,බොහෝ ලිංගික ශ්‍රමිකයින්ම පවා ඔවුන් අසමාන තත්වයේ සිටින්නවුන් හෝ අපරාධකරුවන් ලෙස විශ්වාස කරනු ලබයි.

 ලිංගික වෘත්තියෙහි යෙදීම හේතුවෙන් සමාජය මගින් වන අපකීර්තිය සහ වෙනස් ලෙස සැලකීම පැතිරුණු පරාසයක බලපෑම් මතු කර ඇත. එක් සෘණාත්මක බලපෑමක් ,ලිංගික ශ්‍රමිකයින්ගේ දරුවන් කෙරෙහි සම්බන්ධ වන බව දක්නට ලැබේ. මහේශ්වරි, දේශීය මාධ්‍ය පුවත්පතකට සිය ඡායාරූපයක් සමඟම  සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් එක් ශ්‍රමිකයෙක් වන අතර ඇය ඇයගේ අසල්වාසීන්ගෙන් පමණක් නොව ,ඇයගේ දරුවාගේ පාසලේ දෙමාපියන්ගෙන් පවා බොහෝ හිංසනයන්ට මුහුණදුන් තැනැත්තියකි. මහේශ්වරි ගේ දරුවා තම දරුවන් කෙරෙහි නරක බලපෑමක් ඇති කරනු ඇති බවට කියමින්,දෙමව්පියන් විසින් වහාම මහේශ්වරීගේ දරුවා පාසලෙන් ඉවත් කල යුතු බවට ඉල්ලීම් කර ඇත.

පාසල් විසින් ලිංගික ශ්‍රමිකයන්ගේ දරුවන් පාසලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කර ගැනීම හේතුවෙන් කාන්තාවන්ට වෙනත් ගමකට නගරයකට සංක්‍රමණය වීමට බල කරනු ලැබීම හෝ තම දරුවන් තම ඥාතියකු සමඟ ජීවත් වීමට යැවීමට සිදුවේ. දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අනිවාර්ය ලේඛනයන් වන විවාහ සහතිකය, උප්පැන්න සහතිකය, සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී අනුමැතිය(පරිපාලන නිලධාරී) වැනි මූලික ලෙඛනයන් ලබා ගැනීමේදී බාධක පවතින බවටද ලිංගික ශ්‍රමිකයින් වාර්තා කරනු ලබයි. සමහර අවස්ථාවන්හිදී ලිංගික ශ්‍රමිකයන්හට දරුවාගේ පියාගේ නම සදහන් කරන ලෙසට බල කරනු ලබන අතර, එසේ සඳහන් කිරීමට ඔවුන් අසමත්වූ විට අදාළ සහතික නිකුත් කරන්නේ නැත.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි අධ්‍යයන වාර්තාවන් සදහන් කරන පරිදි 2015 වර්ෂයේදී අධ්‍යයනය සදහා ශ්‍රී ලංකාවෙන් සහභාගිවූ ලිංගික ශ්‍රමිකයින් තම ආසන්නතම පාර්ශවයන්ගෙන් පමණක් නොව තම සහකරුගේ පාර්ශවයෙන් තම ස්වාමි පුරුෂයාගේ මරණයෙන් හෝ ඔහුගෙන් වෙන්වීමෙන් පසුව ඔහුගේ අනෙකුත් ඥාතීන්ගේ පරිභවයන්ට භාජනය වන අතර සමහර අවස්ථාවලදී නිවසින් එළියට ඇද දැමීමේදී හෝ තම දරුවාගේ භාරකාරීත්වය සදහා සටන් කිරීමේදී මෙසේ ඔවුන්ගේ පරිභවයට ලක්වී ඇත.

රැකියාව

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික ලිංගික වෘත්තිය නීති විරෝධි නොවන නමුත් වීදි මත පදනම්, ගණිකා නිවාස ,සම්බාහන මධ්‍යස්ථාන සහ ස්පා පදනම්ව කටයුතු කරන ලිංගික ශ්‍රමිකයින්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට දඩ ගෙවීමට හෝ සිරගත කිරීමට කටයුතු කළ අවස්ථා බොහෝමයක් පවතී. අපරාධ ක්‍රියා තර්ජනයන්ට මුහුණ දීම හේතුවෙන් ,ශ්‍රී ලංකාව තුළ කාන්තා ලිංගික ශ්‍රමිකයන් හට ආරක්ෂාව තහවුරු කිරීම සහ පිළිගත් වෘත්තීය කොන්දේසි හෝ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැනි ශ්‍රී ලංකා කම්කරු නීති රාමුව තුළ එවැනි සංවිධාන ගතවීමකට හෝ ප්‍රතිලාභ සදහා හිමිකම් පෑමකට හිමිකමක් නොමැත.

තවදුරටත් ලිංගික ශ්‍රමිකයින් අත්අඩංගුවට ගන්නා බවට පවතින බිය හේතුවෙන්සහ ගණිකා වෘත්තියේ ඉපයීම් වලින් ජීවත් වීම නීති විරෝධී බවට වන නීති හේතුවෙන්, ඔවුන්ගේ ආදායම ප්‍රකාශ කිරීම වලක්වනු ලැබ ඇත.

ශ්‍රී ලංකාව තුළ පොලිසිය විසින් ලිංගික ශ්‍රමිකයින් අත්අඩංගුවට ගන්නා බොහෝ අවස්ථාවලදී,ලිංගික වෘත්තියෙහි යෙදුනු බවට සාක්ෂි වශයෙන් ඔවුන් සන්තකයේ පවතින උපත් පාලන කොපු භාවිතා කරනු ලබයි.  මෙවැනි ක්‍රියාවන් ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබන බව උසස් පොලිස් නිලධාරීන් විවෘතව ප්‍රකාශ කරනු ලැබ ඇති අතර, එවැනි තත්වයක් යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ලිංගික ශ්‍රමිකයින් අදාළ පොලිස් ස්ථානයේ ස්ථාන භාර නිලධාරීහට උල්ලංඝනය කිරීම පිළිබද වාර්තා කල යුතුබව ප්‍රකාශ කරනු ලැබ ඇත.

ප්‍රායෝගික තත්වය කෙසේ වෙතත්  එවැනි අවස්ථාවන්හිදී කිසියම් බියක් හේතුවෙන් ඒ පිළිබද වාර්තා කිරීමට ලිංගික ශ්‍රමිකයින් බියවෙති. ස්පා සහ සම්බාහන මධ්‍යස්ථානයන්හි සේවය කරන කාන්තාවන්හට ඔවුන්ගේ අත්බෑගයේ උපත්පාලන කොපු රැගෙනයා නොහැකිය. පොලිසිය විසින් ඔවුන් සතු දේ පරීක්ෂා කරනු ලබන අතර ඔවුන්ගේ අත්බෑගය තුළ කුමක් ගෙන ගියද විශේෂයෙන් මුදල්, ආදාළ පොලිස් නිලධාරීන් විසින් ගනු ලැබිම බෙහෝ ලිංගික ශ්‍රමිකයින්ට ඇති සුලභ අත්දැකීමකි.

බොහෝමයක් සේවාලාභීන් තැරැව්කරුවන් හෝ කුට්ටනියන් විසින් නීතිමය සුරක්ෂිතභාවයේ හිඟකම කාන්තා ලිංගික ශ්‍රමිකයින්හට පීඩා කිරීම සදහා වාසියක් ලෙස භාවිතා කරනු ලබයි. කුරුණෑගල ප්‍රදේශයේ ලිංගික ශ්‍රමිකයෙකු වන ප්‍රේමලතා විසින් පවසනු ලද්දේ, ඇය සේවා ලාභීන්ගේ ශාරීරික හිංසනයට ලක්වූ බවයි. නීතිය තුළ ලිංගික වෘත්තිය සදහා ආරක්ෂාවක් නොමැතිවීම හේතුවෙන් බොහෝමයක් කාන්තා ලිංගික ශ්‍රමිකයන් බොහෝ හිංසනයන්ට මුහුණ දෙනු ලබයි. ලිංගික වෘත්තිය නීතිවිරෝධී බැවින් හෝටල් හිමිකරුවන් සහ කුට්ටනියන් තැරැව්කරුවන් කාන්තාවන්ට පීඩා කරනු ලබයි. ඔවුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබද කතා කිරිමට අවස්ථාවක් නොමැති අතර හෝටල් හිමිකරුවන්ගේ අනුකම්පාව මත කටයුතු කරයි. තවදුරටත් සමහර ගණිකා නිවාස හිමිකරුවන් හෝ හෝටල් හිමිකරුවන් විසින් ලිංගික ශ‍්‍රමිකයින් හට අදාල ගාස්තුවෙන් ගෙවනු  ලබන්නේ 1/4  පමණක් වන මුදලකි. එනමුත් ලිංගික ශ‍්‍රමිකයින් හට එම අසාධාරණය පිළිබඳ එයට එරෙහිව පැමිණිලි කිරීමට හැකියාවක් නොමැත.
    
    ආසියාවෙහි ඒඩ්ස් පිළිබඳ ස්වාධීන කොමිසම සෞඛ්‍ය සඳහා අයිතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ අනුසන්ධානය එච්.අයි.වී සහ නීතිය පිළිබඳ ගෝලීය කොමිසම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු පැසිපික් සංවිධානය විසින් වැඩිහිටියන් සම්බන්ධ ලිංගික කාර්යය සාපරාධී බවින් තොර බවට නිර්දේශ කරනු ලැබ ඇත. සත්‍ය වශයෙන්ම හංගේරියානු රජය විසින් ලිංගික ශ‍්‍රමිකයින්ට එරෙහිව වෙනස් ලෙස සැලකීම වලක්වා ඔවුන්ගේ අයිතිය සහතික කිරීම සඳහා නීතිමගින් ආරක්ෂිත සේවා කොන්දේසි සහතික කිරීමට කටයුතු කර ඒ සඳහා පියවර අනුගමනය කරනු ලැබ ඇති බව 2013 වර්ෂයේදී සිඩෝ කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත.

    ප‍්‍රසිද්ධියේ සහ ගණිකා නිවාසයන්හි ලිංගික වෘත්තියේ යෙදීම අපරාධයක් ලෙස සැලකීම, ලිංගික ශ‍්‍රමිකයින් හට ආරක්ෂිත කොන්දේසි යටතේ කටයුතු කිරීමට ඇති අයිතිය ප‍්‍රතික්ෂේප කරනු ලබයි. කමලා නම් ලිංගික ශ්‍රමිකාව විසින් ප‍්‍රකාශ කරනු ලැබූ පරිදි ‘‘මා මෙය සිදුකරනු ලබන්නේ මා හට වෙනත් සහාය වන කිසිවක් නොමැති බැවිනි. ඒ සඳහා ඉල්ලූමක් ඇත. නමුත් අප සමාජයේ බොහෝ හිරිහැර වලට මුහුණ දෙනු ලබයි. අප හට නීතියෙන් ආරක්ෂාවක් පවතීනම්, අපට සමාජයෙන් එල්ල වන ප‍්‍රශ්න අවම වනු ඇත.’’ යනුවෙනි.

දණ්ඩනීති සංග‍්‍රහයේ 360 ඒ පරිදි සහ ජාවාරම් විරෝධී නීති මගින් , ලිංගික ශ‍්‍රමිකයින් හට සිය කැමැත්ත පරිදි වෘත්තියක් තෝරා ගැනීමට ඇති අයිතිය ප‍්‍රතිශේධනය කරනු ලබන අතර සංස්කෘති හා සදාචාරත්මක කඩතුරාවෙන් මෙම තත්ත්වය යටපත්කොට දමා ඇත.

මෙම ලිපියේ තවත් කොටස් කිහිපයක් බලාපොරොත්තු වන්න
තුෂාර‍ා සෙව්වන්දි විතාරණ

comment (1)

  • podu

    කුනුහරුප කතාකරන්න එපා තමන්ට කිරිමට දෙයක් නොමැති විට කුමක් හෝ නිතිගත කල යුතුයැයි මොරගැසිම අමන කමකි. ඔබත් මමත් අනියම් සම්බන්ධයෙන් පවත්වගෙන යමු එකට නිතිමය අවසර ඔනි නෑ ඉදිරියේදි සොරුන්ද මෙම ඉල්ලිම කරනු ඇත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top