nsb

Apr 23, 2017

ඉන්දියානු සාගරය සහ ශ්‍රී ලංකාවේ ඉරණම

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි දූපතක් වීම ක්‍රමෝපායික වශයෙන් තීරණාත්මක ලෙස වැදගත් වී ඇත. ක්‍රමෝපායික දේශපාලනයේ විශිෂ්ඨයෙකු වූ අද්මිරාල් ඇල්ෆ්රඩ් මාහන් පෙන්වා දෙන ආකාරයට “ලෝකයේ මුහුදු මාර්ග සියල්ලන්හි දොරටුව වැටී ඇත්තේ ඉන්දියන් සාගරය මතිනි. ඉන්දියන් සාගරයේ ආධිපත්‍ය දරන්නේ යම් ජාතියක් ද, භූ දේශපාලනයේ සහ ආර්ථිකයේ සුපිරි බලය ඔවුන් සතුය. ලෝකයේ අනාගත ඉරණම තීන්දු වන්නේ ඉන්දියන් සාගරයේ ජලය මතය.”

ඉන්දියානු සාගරයේ අධිපත්‍යය දැරීම සඳහා ශ්‍රී ලංකාව භෞතික, ආර්ථික, යුධමය සහ භූ දේශපාලනික වශයෙන් ශක්තිමත් නොවුවද, දැනට ඉන්දියානු සාගරයේ සිදුවන භූ දේශපාලනික දිගහැරීම් අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර බලවතුන්ගේ තීරණාත්මක කොටස්කරුවෙකු බවට පත් වෙමින් තිබෙන බවය.

එනම් ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව, චීනය සහ ඉන්දියාව යන රටවල් විසින් ඉන්දියානු සාගරයේ නාවුක, හමුදා සහ ආර්ථික බලය ගොඩනගා ගැනීමට දරන ප්‍රයත්නයේ දී ශ්‍රී ලංකාව ඒ සියළු රටවලට ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන කේන්ද්රස්ථානයක් බවට පත් වෙමින් තිබේ.

සේද මාර්ගය :

චීනය විසින් ගල්ෆ් කලාපයේ සිට චීනයට යන මුහුදු සේද මාර්ගය සඳහා බාධාවකින් තොරව ඇතුළුවීමට පාකිස්තානයේ ග්වදාර්, මාලදිවයින, හම්බන්තොට, බංගලාදේශයේ චිතගොං සහ මියන්මාරයේ කොකො දූපත් හි නාවුක සහ ගුවන් කඳවුරු ගොඩ නගා 400px Silk routeඇත.

ඒ අනුව සැතපුම් දහස් ගණනක දුර ගෙවා අප්‍රිකානු කලාපයත්, ගල්ෆ් කලාපයත් හරහා චීනය දක්වා තෙල් සහ ගෑස් ඇතුළු බලශක්තිය ප්‍රවාහනය කරන නැව් වලට මුහුදු කොල්ලන්කරුවන්ගෙන් එල්ල වන තර්ජන ඇතුළු සියලු ආකාර තර්ජන වලින් ආරක්ෂාව සැපයීම සහ ක්‍රමෝපායික පාවිච්චිය සඳහා එකී කඳවුරු චීනය විසින් යොදා ගෙන තිබේ.

එහි අරමුණ වන්නේ බාධාවකින් තොරව චීනයට බලශක්තිය සැපයීම සිදු කිරීමයි. අඛණ්ඩ බලශක්ති සැපයුම චීනයේ ඉහළ ආර්ථික දියුණුව පවත්වාගෙන යාම ඇතුළු දේශපාලනික, ආර්ථික සහ හමුදාමය අරමුණු ඉෂ්ඨ කර ගැනීම සඳහා තීරණාත්මක ලෙස බලපායි.

ඒ අනුව මුහුදු සේද මාර්ගය කේන්ද්ර කර ගෙන චීනයේ භූ දේශපාලනික අරමුණු පදනම් වී ඇති අතර ඇමෙරිකාව සහ ඉන්දියාව ඇතුළු සෙසු උනන්දුව දක්වන රටවල් වූ රුසියාව, පාකිස්ථානය, සහ යුරෝපය එකී සේද මාවත කේන්ද්රකරගත් චීනය කේන්ද්රකර ගෙන සිය භූ දේශපාලනික ක්‍රමෝපායන් සකස් කරමින් පවතී.

ඉහත විස්තර කරන්නට යෙදුණු මුහුදු සේද මාර්ගයේ ක්‍රමෝපායික වශයෙන් ඉතා වැදගත් තැනක් බවට ශ්‍රී ලංකාව පත්වී ඇත. එයට එක් ප්‍රධානතම හේතුවක් වන්නේ මුහුදු සේද මාර්ගයේ සැතපුම් දහස් ගණනකට අදාළව පිහිටි එකම ආසන්නතම ගොඩබිම ශ්‍රී ලංකාවත්, හම්බන්තොට එම සේද මාවතට ආසන්නතම ස්ථානයත් බවට ස්වාභාවික පිහිටීම අතින් පත්වී තිබීමයි.

මෙ සියල්ලේ ප්‍රතිපලය වී ඇත්තේ මුහුදු සේද මාවතේ පිහිටි සෙසු රටවල් සහ නාවුක කඳවුරු වලට වඩා ශ්‍රී ලංකාවත්, හම්බන්තොටත් ඉන්දීය සාගරයේ ආධිපත්‍යය සොයා යන ප්‍රධාන රටවල අනවරත අවධානයට ලක් වීමයි.

ක්‍රමෝපායික වැදගත්කම

The US and the Indian Ocean 2මෙකී අවධානය ශ්‍රී ලංකාවට ලැබීම හරහා මෙරට දේශපාලන, ආර්ථික, හමුදා සහ විදේශ සම්බන්ධතා කටයුතු ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් බවට පත්වී ඇත. පසුගිය දශකය පුරා චීනය ප්‍රධාන වශයෙනුත්, ඉන්දියාව තීරණාත්මක වශයෙනුත් ලංකාවේ ආරක්ෂක, දේශපාලන, වෙළඳ සහ රාජ්‍යතන්ත්‍රීක කටයුතු වලදී මැදිහත්වීම් සිදු කළද, වර්තමානයේ එය ඇමෙරිකාව සහ රුසියාව දක්වා ව්‍යාප්ත වී ඇත.

විශේෂයෙන් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය, වරාය නගර ව්‍යාපෘතිය, ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ව්‍යාපෘතිය යනාදිය ඉන්දියාවේත්, ඇමෙරිකාවේත් දැඩි රාජ්‍යතන්ත්‍රීක අවධානයට ලක්වී ඇත. එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරය තුළ දිග හරින භූමිකාව ශ්‍රී ලංකාවටත්, අනෙකුත් උනන්දුව දක්වන රටවලටත් තීරණාත්මක ලෙස බලපෑමට පටන් ගෙන තිබේ.

මෙහි ප්‍රතිපලය වී ඇත්තේ චීනය පමණක් නොව ඉන්දියාව, ඇමෙරිකාව, රුසියාව, ජපානය සහ යුරෝපය ශ්‍රී ලංකාව ක්‍රමෝපාය මාර්ගික ලෙස රාජ්‍යතන්ත්‍රීක මට්ටමින් දිනා ගැනීමට උත්සාහ දැරීමයි. විශේෂයෙන්ම වසර 30 කට පසුව ඉන්දීය අගමැතිවරයකු 2015 වසරේ දී ලංකාවට පැමිණීමත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට වසර ගණනාවකට පසුව රුසියාවේ රාජ්‍ය නායකත්වයෙන් නිල ඇරයුම් ලැබීමත් සහ ඉහළ රාජ්‍යතන්ත්‍රීක පිළිගැනීමක් එරටදී ලැබීමත් වැදගත් නිරීක්ෂණ ලෙස සටහන් කළ හැකිය.

දියාගෝ ගාර්ෂියා

එසේම ඇමෙරිකාව ඉන්දියානු සාගරය තුළ සිය යුධ ශක්තිය කේන්ද්රගත කර ඇති දියාගෝ ගර්ෂියා දූපත සඳහා බ්‍රිතාන්‍ය සමග ඇති කර ගෙන තිබූ බදු ගිවිසුම අවසාන වීමත් සමග ශ්‍රී ලංකාවේ ඩෙල්ෆ් දූපතේ එකී සේනාංක රැඳවීමට අදගස් කර ඇතැයි වාර්තා විය.

ඒ අනුව ආසියා-පැසිපික් සාගර කලාපයේ ඇමෙරිකානු 5 වන නෞකා සේනාංකය ශ්‍රී ලංකාව තුළ රැඳවීමේ ඉඩකඩක් පවතී. එවන් අවස්ථාවකදී එය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සහ බාහිර ආරක්ෂාව කෙරෙහි ඇති කරන ප්‍රතිපල සුබදායක වන්නට අවශ්‍ය ගිවිසුම් රාමුවක් සකස් කළ යුතුව ඇත. එය ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව කෙරෙහි යහපත් නිවර්තනීය (deterrence) බලපෑමක් ඇති කළ හැකිය.

එහෙත් ඒ සියල්ල ගෝලීයකරණය සහ අභ්‍යන්තර ස්වාධිපත්යය යන සංකල්ප අතර සමබර ලෙස ස්ථානගත කිරීම ආණ්ඩුව සතු aircraft carreir usවගකීමක් වන්නේ එහි බලපෑම දශක ගණනාවක් පුරා පවතින බැවිනි. එසේම කලාපයේ සෙසු බලවතුන් සහ රාජ්‍යයන් සමග රාජ්‍ය තාන්ත්‍රීක සම්බන්ධතා වලට අහිතකර ලෙස බල නොපාන්නට එකී සියලු කටයුතු සිදු කළ යුතුව ඇත.

ඉහත විස්තර කරන්නට යෙදුණු ඉන්දියානු සාගරයේ බලවතුන්ගේ ක්‍රමෝපායික අවධානයට අමතරව ව්‍යාපාරික වශයෙන්ද ඉන්දියානු සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම ජගත් බලවතුන්ට වැදගත් වේ. නිදසුනක් ලෙස ජපානයත්, o MODI CHINA facebookයුරෝපයත් ශ්‍රී ලංකාව අවට මුහුදේ මත්ස්‍ය සම්පත සම්බන්ධයෙන් ඇති කර ගැනෙන වෙළද ගිවිසුම් ද විදේශ විනිමය ශ්‍රී ලංකාව තුළට ගෙන ඒමට විශාල දායකත්වයක් සපයනු ඇත.

ඒ අනුව නුපුහුණු ශ්‍රමිකයන් සැපයීම මත පදනම්ව ඇති ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම වඩා සම්මත ක්‍රමවලට පරිවර්තනය කිරීමේ හැකියාවද දැනට නිර්මාණය වෙමින් පවතින භූ දේශපාලනික යථාර්ථය තුළ ගැබ්ව පවතී.

මූලික ප්‍රශ්නය :

එහෙත් වැදගත්ම ප්‍රශ්නය වන්නේ මෙසේ ශ්‍රී ලංකාවට වර්තමානයේ උදාවී ඇති සුවිශේෂිත රාජ්‍යතාත්‍රීක තත්ත්වය ශ්‍රී ලංකාවේ ජාතික අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන්නේ කෙසේද යන්නයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව නොබැඳි විදේශ පිළිවෙතක් අනුගමනය කරන රටක් වශයෙන් ඉන්දියානු සාගරයේ ආධිපත්‍ය උදෙසා තරග කරන කිසිදු ලෝක හෝ කලාපීය බලවතකුගේ පිලකට බර නොවී ක්‍රියා කරන්නේ කෙසේද යන්නත්, එසේ නොබැඳි ප්‍රතිපත්තියකින් ක්‍රියා කරද්දී එකී බලවතුන් ආකර්ෂණය කර ගන්නේ කෙසේද යන්නත්, එම සම්බන්ධතා ආර්ථික සහ සමාජයීය අරමුණු ඉෂ්ඨ කර ගන්නා කෙටි, මැදි සහ දීර්ඝ කාලීන අරමුණු ව්යාපෘති බවට පත් කර ගන්නේ කෙසේද යන්නත් පිලිබඳ පැහැදිලි දෘෂ්ටියක් ශ්‍රී ලංකාවට තිබිය යුතුය.

ඒ අනුව ඉකුත් රාජපක්ෂ පාලනය සමයේ සිට අනුගමනය කළ ප්‍රතිපත්තීන් වර්තමාන භූ දේශපාලනයේ ක්‍රමෝපායික පරිසරයට අනුව නැවත අර්ථ නිරූපණය කළ යුතුව ඇති අතර එය සහ එකී අර්ථ නිරූපණය ආර්ථික, දේපාලන, සමාජයීය සහ රාජ්‍යතන්ත්‍රීක වශයන් ක්‍රියාවේ යෙදෙවෙන්නේ කෙසේද යන්නත් මත පදනම්ව ශ්‍රී ලංකාවේ අනාගත පැවැත්ම තීරණය වනු ඇත. ඉතා වැදගත් වන්නේ වර්තමානයේ උදාවී ඇති අවස්ථාවේ ඇති සුවිශේෂී වැදගත්මක නියමාකාරයෙන් ග්‍රහණය කර ගැනීමයි.


dinesh d(නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ)

[ලේඛක: මෙම ලියුම්කරු වෘත්තියෙන් නීතීඥයෙකු වන අතර හිටපු ජනමාධ්‍යවේදියෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වේ. ඔහු බ්‍රිතාන්‍ය රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයෙන් ගෝලීය ආරක්ෂාව පිලිබඳ විද්යාපති උපාධිය ලබා ගෙන ඇති අතර ජාතික ආරක්ෂාව පිලිබඳ ඇමෙරිකානු ඩෙලවෙයාර් සරසවියේ ෆුල්බ්රයිට් ශිෂ්යත්වයක් ද දිනා ගන්න ලදී.]

( උපුටා ගැනීම - 2017 අප්‍රේල් මස 23 'සත්හඬ')

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top