සේයාරුව: සාර්ජන්ට් මේජර් උදලාගම සේයාරුව: සාර්ජන්ට් මේජර් උදලාගම
Apr 29, 2017

සතියේ ආරක්ෂාව: යුද්ධය, සාමය සහ යුක්තිය හමුවේ බුද්ධි අංශය

සදාකාලිකව සැඟවිය නොහැකි දෑ තුනකි; එනම් ඉර, සඳ සහ සත්‍යය, යැයි ගෞතම බුදුන් පෙන්වා දුන්හ. නමුත් දේශපාලනයේදී, ආණ්ඩුව වැරදි කරන විට පුරවැසියකු නිවැරදි දෑ කිරීම අනතුරුදායක බව පළමුවරට තම රචනා වල පැහැදිළිව සඳහන් කරනු ලැබුවේ වෝල්ටෙයාර් විසිනි. දේශපාලන දර්ශනය කුමක් වුවද ඕනෑම රාජ්‍යයක පරිපාලන රටාව සමඟ මෙම මූලික කාරණය ඉතා මැනවින් බැඳී තිබේ.

මෙම තීරුව ඔස්සේ අවස්ථා රාශියකදී සඳහන් කළ ආකාරයට, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍යය ප්‍රතිපත්ති නොමැතිකම සහ විෂය නොදන්නා අයවලුන් විසින් විෂය සම්බන්ධයෙන් පෘථුල දැනුම් සම්බාරයක් මෙන්ම ප්‍රායෝගික අත්දැකීම් ඇති පිරිස් පාගා දැමීම හෝ ඔවුන්ට ඉදිරියට පැමිණීමට ඉඩ නොදීම පරිපාලන රටාව දුර්වල සහ අවතක්සේරු වීමට මූලික කාරණය වී තිබේ. ක්‍රමය තුළ හැඩගැසීම යනු හොරකමට පුරුදු වීම මිස වෘත්තීයමය මූලධර්ම අවස්ථානුකූලව රටේ බහුතර ජනතාවගේ අභිනවය උදෙසා භාවිතා කිරීම නොවේය; යන්න බොහෝ දෙනෙකුගේ මූලික න්‍යාය පත්‍රය වී තිබේ.

මේ නිසා යම් කිසි ධූරයකට පැමිණි පසු නිසි කළ එළඹී කළ එය නිසි පුද්ගලයාට සාමකාමීව භාරදී තම වෘත්තීයමය ගෞරවය රැක ගැනීම වෙනුවට දැක ගත හැක්කේ වෙනත් වේදනාකාරී භාවිතයකි. මෙම කාරණයේදී බොහෝ දෙනෙකු තම විශ්‍රාම යෑමේදී මෙන්ම නවකයෙකු නව ධූරයක් සඳහා පත්වීමේදී දැක ගත හැක්කේ වේදනාකාරී – අසතුටට පෙන්නුම් කරන ස්වාභාවකි.

පරිපාලනයේ සාර්ථකත්වය ධූරාවලියේ ශක්තිමත්භාවය සහ එකිනෙකට සම්බන්ධවී තිබීම මත තීරණය වන ආරක්ෂක අංශ වලට අයත් ආයතන එවැනි අවාසනාවන්ත තත්වයකට පත් වූ විට එය ස්වභාවිකවම අකර්මන්‍ය වේ. එවැනි ආයතන තුළ, වගකීම වෙනුවට උපයාසීලීව කරඇරීම, කැපවීම වෙනුවට රඟපෑමෙන් “ලොක්කාගේ” හොඳ හිතා තබාගැනීම, හැදෑරීම ඔස්සේ දිගුකාලීන දායකත්වයක් ලබා දිය හැකි මාවත් සකස් කරගැනීම වෙනුවට “අත පුච්චා ගෙන රස්සාවට තට්ටු වීමෙන්” වැළකී යාන්ත්‍රික වීම; ආදී වශයෙන් දැකගත හැකි ගති ලක්ෂණ රාශියකි. මෙය වෙනස් කිරීමට අවශ්‍යය නම්, වැදගත් වන්නේ සත්‍යය එලෙසම පැවතීමට ඉඩ දීම සහ එම සත්‍යය මත පදනම් වී පරිපාලනමය රටාව සකස් කිරීමය. එවැනි දෑ කිරීමට සහ ඔවුන්ට අවංකව සහෝයාගය ලබා දීමට හැකි පිරිසක් බිහි වන්නේ කවදාද? නමුත් අප්‍රසන්න ලෙස ව්‍යකූල වූ සමාජයක් ශෝධනය කිරීමේදී අත්‍යවශ්‍යය වන්නේ එයයි.

මෙම තීරුව ඔස්සේ අවස්ථා රාශියකදී පැහැදිලි කිරීමට උත්සහ කළ මූලික කාරණයක ඉලක්කගත වූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලිවීම ඉතා වැදගත් මෙන්ම අත්‍යවශ්‍යය යැයි සිතෙන්නේ මේ නිසාය. මෙවරදී සඳහන් කළ යුතු කාරණයක් වන්නේ, අදාළ කාරණය ලිවීම සඳහා මූලික කර ගන්නා නිලධාරීයා ගැන ලිවීම ඔහුගේ රාජකාරීමය ජීවිතය අනවශ්‍යය ලෙස පුම්බා දැමීම හෝ වෙනත් අයෙකු සම්බන්ධයෙන් වැරදි මතයක් ගොඩනැගීම මෙම ලේඛකයාගේ අපේක්ෂාව නොවන බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම රටේ ජනතාවගේ අවශ්‍යතාවක් මෙන්ම අයිතියක් වන්නේය යන්න මත පිහිටා අදාළ නිලධාරියා ගැන ඉතාම කෙටියෙන් හෝ සටහන් කිරීමට තීන්දු කළෙමි.

මේ වන විට බරපතළ අපරාධ කිහිපයක සැකකරුවකු ලෙස හඳුනාගෙන ඇති අදාළ නිලධාරියා තවමත් නීතියානූකූලව සැලකීමේදී නිවැරදිකරු වේ. අපරාධ පරීක්‍ෂණභාරව කටයුතු කරන්නෙකු යම් පුද්ගලයෙකු සැකකරුවකු යැයි නම් කොට, තමාට හිතවත් මාධ්‍යය භාවිතා කොට එම සැකකරුවාගේ රාජකාරිමය ජීවිතය පමණක් නොව පෞද්ගලික ජීවිතයද ජනතාව ඉදිරියේ හිංසනයට සහ අපහාසයට ලක් කිරීම ඉතාම කනගාටුදායක කාරණයකි. එලෙස නිර්දය ලෙස පහරදීමට ලක්වන සැකකරුවකු අවසානයේ කිසිඳු වරදක් කොට නොමැති බව අධිකරණය තීන්දු කළ හොත් එම තීන්දුවට සමගාමීව ඔහුගේ හෝ ඇයගේ ගරුත්වය යළි සමාජය ඉදිරියේ තහවුරු කිරීමේ වැඩපිළිවෙලක් තිබේද? එය මිල කිරීම සඳහා රාජ්‍යය ප්‍රතිපත්ති තිබේද? එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ නියමිත වැඩපිළිවෙක් තිබේද? මේ මොහොතේ රටේ සිදු වූ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ වලදී මතුවන මූලික ගැටලුවක් වන්නේ එයයි.

ගෙවී ගිය කාලාන්තරය පුරාම දැකගත හැකි වූ මෙම කාරණය විසින් රටට සහ රටේ අභිනවය වෙනුවෙන් ඇති වී ඇති වාසිය කුමක්ද? එය ජාතික ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා හේතූ වන්නේද? එමඟින් සැබෑ අපරාධකරුවන් සොයා ගැනීමට සහ අපරාධ වලට යුක්තිය ඉටු කිරීම හැකි වී තිබේද? ශ්‍රී ලංකා යුදහමුදාවේ බුද්ධි අංශයට අනුබද්ධ ඇතැම් නිලධාරීන් මුහුණ දී ඇති වත්මන් තත්වය මඟින් මෙම කාරණා ගැන දළ අවබෝධයක් ලබා ගැනීම සඳහා අවස්ථාවක් ලැබේ යැයි සිතේ.

එහිදී විමසා බැලිය යුතු යැයි හැඟෙන එක් ප්‍රධාන චරිතයක් ලෙස 1987 අගෝස්තු මාසයේ 07 වැනිදින ශ්‍රී ලංකා යුදහමුදාවේ පාබල බලඇණියෙන් තම රාජකාරී කටයුතු ආරම්භ කළ ආනන්ද උදලාගම මහතා හැඳින්විය හැකිය. මන්ද ඔහු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු රටේ බොහෝ දෙනෙකුගේ ප්‍රධාන මාතෘකාවක් වී ඇති බැවිනි.

වවුනියාවේ ජෝශප් කඳවුර

josapශ්‍රී ලංකාවේ ඔත්තු සේවයේ එක් මූල බීජයක් වන්නේ වව්නියාවේ ජෝශප් කඳවුර බව බොහෝ දෙනකු දන්නා කාරණයකි. බුද්ධි මෙහෙයුම් වල මූලීක ගුණාංග වර්ධනය වීම සිදු වූයේ එම කඳවුර කේන්ද්‍ර කරගෙනය. එසේම බුද්ධි අංශයේ කටයුතු විසරණය වීම සිදුවන්නේද ඒ වටාය. එය ප්‍රධාන බුද්ධි බලකා හතක් දක්වා පසුකාලීනව වර්ධනය කරනු ලබයි. උදලාගම, බුද්ධි අංශය සමඟ එකතු වන්නේ 1989දී බව සඳහන් වේ.

ඔහුගේ මුල් කාලීන ජීවිතය ගැන කළ දීර්ඝ විස්තර කිරීමෙන් පසු ඔත්තු බලන්නෙකු ලෙස රාජකාරී කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඔහුට සම්බන්ධ සමීපතම මූලාශ්‍රයක් පෙන්වා දෙනු ලැබුවේ, දෙමළ භාෂාව මැනවින් හැසිරවීමට හැකිවීම සහ භූමියේ මෙහෙයුම් සඳහා මුල් කාලයේ සිටම ඔහු තුළ වූ උනන්දුව ඊට එකතු වීමට පිටිවහලක් වූ බවයි. තම පෞද්ගලික ජීවිතය එතරම් පහසු දිවියක් නොවූ බව සැලයි.

පිස්සු බලු රෝගය වැළඳුනු බල්ලකු සපා කෑමෙන් ඔහුගේ අකාලයේ පියා මිය යෑම සහ මවට නිවසේ මූලික වගකීම් පැවරීම ඔස්සේ පවුල තුළ දිනෙන් දින මතු වූ අභියෝග රාශියක් විය. යෝජනා මත නොව ප්‍රේමයක් මූලික කරගනිමින් ඇති වූ පවුල් සංස්ථාව තුළ මූලික ආදායම් මාර්ගය වූ කෘෂිකාර්මික කටයුතු කන්තලේ ප්‍රදේශයේදී සිදු කිරීම මෙන්ම මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පිහිටි තම නිවසේ කටයුතු සොයා බැලීම ඔහුගේ පියාට සැබවින්ම අභියෝගයක් විය. තම පියාගේ අකල් මරණය එම මූලික කටයුතු ඉතාම සංකීර්ණ කළේය.

තමන්ට වයස අවුරුදු 19දී උදලාගම යුදහමුදාවට බැඳීම සඳහා මූලික පසුබිම සකස්වන්නේද ඒ අනුව බව පැවසේ .

ඔහු 1990 මුල් භාගයේ උදලාගම වව්නියාවේ රාජකාරී කටයුතු සඳහා අනුයුක්ත කරනු ලබයි.ශ්‍රී ලංකා යුදහමුදාව බිහිකළ කීර්තිමත් නිලධාරීයෙකු වූ කර්නල් මුතාලීෆ් ඇතුළු ශ්‍රී ලංකා යුදහමුදාවට අනුබද්ධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨයින් හමු වී ඇත්තේ එහිදීය.

එළාර බලකාය නමින් නව ඒකකයක ආරම්භය; ඒ සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු අනෙකුත් සන්නද්ධ සටන් කණ්ඩායම් වලින් වෙන් වූ පිරිස් බඳවා ගැනීම මෙන්ම ඔවුහුට අවශ්‍යය මූලික පුහුණුවීම ලබාදීම ආරම්භ වන්නේ මෙම කාලය තුළදීය. සතුරාට එරෙහිව සටන් කිරීම සඳහා නව උපයාන් අත්හදා බැලීම සිදුවන මෙම කාලය මෙරට බුද්ධි අංශයේ මූලික වර්ධනය සිදු වූ කාලය යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ.

එසේම බොහෝ දෙනෙකු මේ වන විට අමතක කොට ඇති සැබෑ කාරණයක් වන්නේ සිංහල නොවන රණවිරුවන් යුදහමුදාවේ බුද්ධි අංශයේ මෙන්ම අනෙකුත් ආරක්‍ෂක අංශ වල උන්නතිය උදෙසා කළ අව්‍යාජ දායකත්වයයි. යුද්ධයේ අවසානය සිංහල බෞද්ධන්ගේ “විජයග්‍රහණයක්” ලෙස දකින බොහෝ දෙනෙකු එහි ඇති සැබෑ දේශපාලනික කාරණා පමණක් නොව ඊට දායක වූ සමස්ථ සමාජගේ පොදු බලවේගය යටපත් කොට තිබේ.

නිලධාරීන් කිහිපදෙනෙකුගේ හෝ නම් කිහියක් මෙහිදී සඳහන් කිරීම වැදගත් යැයි සිතේ. මිලේනියම් සිටි හී පවත්වාගෙන ගිය දිගුදුර විහිදුම් බලකායේ අණදෙන නිලධාරියා වූ කැප්ටන් සහුඩ් හමීඩ් නිලාම්, කර්නල් තුවාන් නිෂාම් මුතාලිෆ්, වින්ග් කමාන්ඩර් ටී.ඩි.එස්. සිවපුල්ලේ, කර්නල් ඒ.එෆ්. ලෆීර්, පොලිස් පරීක්ෂක එන්.එම්. නිලබ්දීන්, බ්‍රිගේඩියර් ඒ. ඩබ්. තම්බිරාජා, ආදීන් මෙහිදී සඳහන් කළ හැකි රට වෙනුවෙන් දිවි දුන් කිහිප දෙනෙකු පමණි.

තරුණ බුද්ධි අංශ සාමාජිකයෙකු ලෙස උදලාගමට සහය වූ දෙමළ ජාතික තොරතුරුකරුවන් ගැන කතා කිරීමේදී සියගණනක් අතරින් ප්‍රධාන දෙදෙනෙකු ගැන ඔහුට සම්බන්ධ සමීපතම ආරංචි මාර්ගයක් සඳහන් කළේය. පළමුවැන්නා රඝුය. තම නැගෙණිය සහ වැඩිමහල් සහෝදරයා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පැහැරගෙන යෑම හේතුවෙන් හෙතම යුද හමුදාවේ ඔත්තුකරුවෙකු බවට පත්විය. ඉන් පසු රඝුට තම වැඩිමහල් සහෝදරයා බේරා ගැනීමට මෙන්ම ඔහු විදෙස් ගත කිරීමට උදලාගම ඇතුළු සගයින් කිහිපදෙනෙකුගේ සහයෙන් හැකි විය. නමුත් තම නැගෙණිය ගැන කිසිඳු තොරතුරක් නොලැබුණි. වසර කිහිපයකින් පසු රඝු මරා දැමීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය කටයුතු කළේය.

දෙවැන්නා වන්නේ, යුදහමුදාව සමඟ සම්බන්ධ වී කටයුතු කළ එක්තරා ලොරිරථ රියදුරෙකි. යුදහමුදාව සමඟ සම්බන්ධ වී මෙහෙයුම් රාශියක් සාර්ථකව කිරීමට සමත්වූ හෙතම එක්තරා අවස්ථාවක එල්.ටී.ටී.ඊ. සංවිධානයට හසු වූ බව සඳහන් වේ. ඒ ඔවුන්ට අයත් කඳවුරක භාණ්ඩ ප්‍රවාහනය සඳහා තම ලොරි රථය ලබා ගැනීමේ අවස්ථාවේදීය. ඔහුගේ රහස හෙළිදරව් වීමෙන් පසු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකත්වය ඔහුගේ දඬුවම නිර්දේශ කරනු ලබයි. කඳින් වෙන්කරනු ලැබූ හිස ඇතුළත් පෙට්ටියක් දින කිහිපයකින් පසු උදලාගම ඇතුළු නිලධරීන්ට ලැබේ. විවර කොට බැලු විට පෙරදා සගයාගේ දිවිය නිමා වී ඇති අයුරු මෙන්ම ඔහුට ලබා දුන් දඬුවම සවිස්තර වාර්තාවක් ලෙස එහි තිබේ. අදාළ වාර්තාව යළිත් සිහිපත් කළ උදලාගම සඳහන් කරනු ලැබුවේ, එම ලොරි රථ රියදුරාට කාන්තා ඇඳුම් අන්දවා දණබිම ගස්සවා ඔහුගේ ගෙල පිටිපස දිසාවෙන් ඉදිරියට කපා දැමීමට එල්.ටී.ටී.ඊ. නායකත්වය නියෝග කොට ඇති බවයි.

අතුරුගිරියේ මිලේනියම් සිටි

වව්නියාවේ සේවයෙන් පසු ත්‍රිකුණාමලයටත්, ඉන් පසු කෙටි කාලයකට යාපනයටත්, ඉන් පසු කොළඹටත් අනුයුක්ත කරන උදලාගම, කැප්ටන් නිලාම් යටතේ පළමුව කොහුවල ප්‍රදේශයේ සිට සහ පසුව අතුරුගිරියේ මිලේනියම් සිටි හීදි මෙහෙවනු ලැබූ දිගුදුර විහිදුම් බලකායට සක්‍රීය දායකත්වය ලබාදීමට සමත් විය. තම මෙහෙයුම්වල එක් ප්‍රධාන කටයුත්තක් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකත්වයේ ඇඟිලි සලකුණු තහවුරු කිරීමෙහිලා විශේෂ දායකත්වයක් ලබා දීම බව පැවසේ.

නමුත්, ප්‍රකට මිලේනියම් සිටි සිදුවීම ඔස්සේ අදාළ බලකාය ගැන සියලු තොරතුරු හෙළිදරව් කිරීමට එකළ සිටි ඇතැමුන් වුවමණාවන් වෙනුවෙන් පෙනී සිටි අයවලුන් කටයුතු කරනු ලැබුවෝය. එය මෙරට ඉතිහාසයේ ඔත්තු සේවා සම්බන්ධයෙන් සිදු වූ ප්‍රභල කඩාවැටීමක් බව බොහෝ දෙනෙකු පිළිගන්නා සත්‍යයකි. එහි කටයුතු කළ බොහෝ දෙනෙකු ක්‍රමිකව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගොදුරු බවට පත්වෙති. එසේම රටේ බුද්ධි අංශය ක්‍රමිකව ගරා වැටීමට පත්විය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන මෙන්ම සන්නද්ධ උපයාන් ඉතාම ශක්තිමත් වෙමින් පැවතුනි. අදාළ ගරා වැටීම යළි යථා තත්වයට පත්කිරීම සඳහා මෙරට ආරක්‍ෂක අංශවලට විශාල කාලයක්, ශ්‍රමයක් මෙන්ම ධනයක් වැයකිරීමට සිදුවිය.

එහි මූලික වැඩපිළිවෙලෙහි මූලික සිදුවීමක් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර පළාතේ සන්නද්ධ නායකයා වශයෙන් කටයුතු කළ කරුණා අම්මාන්ගේ වෙන්වීමයි. ඊට යුධ හමුදා බුද්ධි අංශය කළ බලපෑම ඉතාම ප්‍රභල එකකි. කරුණා නැගෙනහිර සිට කොළඹට රැගෙන ඒමෙන් පසු ඔහුගේ ප්‍රධාන සහකරුවා ලෙස කටයුතු කරනු ලැබුවේ උදලාගමය. මේ අතර සිදු වූ සිදුවීම් රාශියකි.

යුද්ධය අවසන් වීමෙන් පසු 2010 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා රාජධූත සේවයේ සුළු රැකියාවක් සඳහා ජර්මනිය බලා ගිය ඔහු 2014 මැයි මස යළි දිවයිනට පැමිණ තම රාජකාරී කටයුතු සිදු කළේය. ඔහු සහභාගී වූ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් රාශියකි. එසේම, ඔහුගේ ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන්ට අනුව උදලාගම යනු තම රාජකාරිය නිවැරදිව කිරීමට සමත් වූ නිලධාරියෙකි. ඔහුට එරෙහිව නැගෙන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බොහෝ දෙනෙකු, විවිධ පෞද්ගලික අභිලාශයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා “සැකකරුවන්” සමාජය ඉදිරියේ අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීම එතරම් යෝග්‍යය නොවන බව සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් තම අදහස් පල කළ උදලාගමට සම්බන්ධ මූලාශ්‍ර ප්‍රකාශ කළේද ඊට සමාන අදහසකි. අපරාධකරුවන් ඇල්ලීම පිළිබඳ කිසිවෙකුට ( අපරාධකරුවාට හැර) කිසිම විරෝධයක් නොමැති බවත් තමන් වුවද අපරාධයක් සිදු කොට ඇත්තේ නම් ඊට නිසි ලෙස යුක්තිය ඉටුවිය යුතු බවත් සඳහන් කළේය. නමුත්, යම් කිසි අයෙකු හුදු සැකකරුවකු වූ පමණින්, කිසිවෙකුට එරෙහිව සකස් කරනු ලබන බී. වාර්තා වල අඩංගු චෝදනා පරීක්‍ෂණ සිදුකරන කාලය තුළ ක්‍රමයෙන් අසත්‍යය චෝදනා ලෙස ඔප්පු වන්නේ නම් යමෙකුට එළඹිය හැකි නිගමනය කුමක්ද?

මෙම තත්වයටම සරිලන පරිදි කැබිනට් ප්‍රකාශකයෙකු ලෙස කටයුතු කරනු ලබන වත්මන් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයාද කරණු හරි හැටි දැන හෝ නොදැන සමස්ථ රටම මුලාවේ හෙලීම සඳහා මෙම සිදුවීම යළිත් භාවිතා කළේය. බරපතළ සිදුවීම් සම්බන්ධයෙන් අමූලික මුසාවාදයන් හෙලන රටක අපරාධ පරීක්‍ෂණ වලින් ලබා දීමට උත්සහ කරන ආදර්ශය රටේ උන්නතිය උදෙසා පිටිවලක් වන්නේද යන්න බරපතළ ගැටලුවකි. රටේ බුද්ධි අංශයක සාමාජිකයින් අරඹයා සිදුවන පරීක්‍ෂණ ස්වභාවය එලෙසනම් සාමන්‍යය පුරවැසියන් සැකකරුවන් කොට තම අභිලාශයන් දිනා ගැනීම ගැන කවර කතාද?

රටක අපරාධයක් සිදු වී ඇත්තේ නම් ඊට යුක්තිය ඉටුවිය යුතුය. එසේ නමුත් යුක්තිය සිදුකරන්නේය; යන මුවාවෙන් සැබෑ අපරාධකරුවන් ආරක්‍ෂා කළ යුතු නොවේ. වැදගත් වන්නේ අපරාධ සිදුකළ වුන්ට එරෙහිව පියවර ගැනීම මිස සැකකරුවන් අපරාධකරුවන් ලෙස හංවඩු ගසමින් තම පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීමේ වින්දනය සෙවීම නොවේ. එය අපරාධ පරීක්ෂණය නොවේ.

1333570243නිලන්ත ඉලංගමුව

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top