May 07, 2017

වෙඩිසිංහගේ අනතුරෙන් රේස් කෙරුවාව පත්තුවෙයි !

මෙවර නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය නිමාවට පත්වූයේ මෝටර් රථ තරග ඉතිහාසයට අවාසනාවන්ත සිද්ධියක් මුසුකරමිනි. ඒ ලංකාවේ සිටින ප්‍රවීන යතුරුපැදි ධාවක ආනන්ද වෙඩිසිංහ එම තරගාවලියේදී දරුණු අනතුරකට මුහුණදීම නිසාය.

එම අනතුරෙන් තුවාල ලැබූ වෙඩිසිංහ මේ වන වනවිට ද සිටින්නේ මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමිනි.

අනතුරෙන් වෙඩිසිංහගේ කොඳුඇට පෙළට සහ හිසට දැඩි ලෙස හානි වී ඇති බව වෛද්‍යවරු කියති. එම අනතුරෙන් ඉතා අසාධ්‍ය තත්ත්වයට පත්වූ ආනන්ද වෙඩිසිංහ, පළමුව නුවරඑළිය රෝහලටත්, දෙවැනුව මහනුවර මහ රෝහලටත් ගෙනයනු ලැබිණ. මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සති එකහමාරකට වැඩි කාලයක් ඔහු සිටියේ ‘ලයිෆ් මැෂින්’ යන්ත්‍රයේ ආධාරයෙනි.

පසුගියදා ඔහුව ස්කෑන් පරීක්ෂණයකට ලක්කර තිබූ අතර එහිදී හෙළිව තිබුණේ ඔහුගේ හිසේ පවතින තුවාල තරමක් දරුණු බවයි.wedi2

සුපර් මෝටාර්ඞ් (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) තරගයේදී සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ ආනන්දගේ යතුරුපැදියේ හැඬල එකිනෙක ගැටීම නිසා මේ අනතුර සිදුවිය. එම තරගයේදී පළමු ස්ථානය වෙනුවෙන් වෙඩිසිංහ සහ සුරාජ් අතර ඉතා තියුණු තරගයක් පැවැති බවත්, පෙරමුණේ ගමන් කළ වෙඩිසිංහ පසුකරයෑම සඳහා සුරාජ් ගත් උත්සාහයක් වැරදීයාම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව, මෝටර් රථ ප්‍රවීනයන්ගේ මතයයි. සුරාජ් ද යතුරු පැදි කේෂත්‍රයේ කලක් තරඟ කළ අයෙකි.

දෙදෙනාගේ යතුරුපැදිවල හැඬල එකිනෙක ගැටීම නිසා දෙදෙනාටම සිය යතුරුපැදි පාලනය කරගැනීමට නොහැකි වීම මේ අනතුරට මූලික වූ බවද ප්‍රවීනයෝ කියති. පාලනයෙන් ගිලිහුණ වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටක ගැටී ඔහු යතුරුපැදියෙන් ඉවතට වීසිවී ගොස් ඇත. යතුරුපැදියෙන් ඉවතට විසිවූ වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී ඇති බවත්, පාදයක් දැඩි ලෙස බිඳීයාමකට ලක්ව ඇති බවත් පසුව දැනගන්නට ලැබිණි. කෙසේවුවද, ආනන්දගේ යතුරු පැදියේ ගැටුණු ධාවකයා වූ සුරාජ් පෙරේරා ඒ මොහොතේ සුළු තුවාල ලැබ මඳ වේලාවකට පසුව සිය යතුරුපැදියත් රැගෙන එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබිණි. පසුව කළ ස්කෑන් පරීක්ෂණයකදී ඔහුගේ දකුණු අතේ බිඳීමක් ඇති බව මේවන විට හෙළිව තිබේ.

අනතුරට මුල්වූ ප්‍රධානම කරුණ දුර්වල තරග සංවිධානය බව මේවන විට ප්‍රසිද්ධ රහසකි. මේ තරගාවලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සහ නුවරඑළිය මෝටර් රථ ක්‍රීඩා සංගමය විසිනි. නුවරඑළිය සැළලිහිණි වසන්තයේ එක් අංගයක් ලෙස පැවැති උක්ත තරගාවලිය දිවයිනේ පැරණිතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි වලින් එකක් සේ සැලැකේ. දිවයින පුරා සිටින මෝටර් රථ සහ යතුරුපැදි තරගකරුවන් ඊට සහභාගි වන්නේ විශාල වියදමක් ද දරමිනි.

ඒ මෙම තරගාවලිය වසන්ත සමයේදී (අප්‍රේල් මස) පැවැත්වීමයි. එම කාල වකවානුවේදී නුවරඑළිය නගරයේ නවාතැන් පහසුකම් සොයාගැනීම මහත් අපහසු කර්තව්‍යක් වන අතර නවාතැන් පහසුකම් සොයාගත්තද ඒ වෙනුවෙන් දැරිය යුතු වියදම වසරේ වෙනත් මාසවලට වඩා කිහිපගුණයක් විශාල වේ. මෙවැනි තත්ත්වක් මතද තමන් තරගවදින මෝටර් රථ සහ යතුරුපැදිද, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපාංගද, සහායක පිරිස්ද රැගෙන තරගකරුවන් නුවරඑළියට පැමිණෙන්නේ මෙම තරගාවලියට සහභාගි වී ජයග්‍රහණයක් අත්කරගැනීමේ අධිෂ්ඨානයෙනි. එසේ වුවත් මෙවර තරගාවලියට සහභාගි වූ බොහෝ තරගකරුවන් පවසා සිටියේ මෙවර තරගාවලිය තනිකරම අවුල් ජාලයක් බවයි.

කාල ගණනය ඉල්ලුවොත් විතරයි - ට්‍රැක්එකේ ට්‍රයල් බෑ

wedi3පැවැති තරගාවලිය සඳහා තරගකරුවන් 100 කට අධික පිරිසක් එලෙස නුවරඑළිය නගරයට පැමිණ ඇති නමුත් පෙර වසර වලදී මෙන් මේ වසරේදී ඔවුන්ට තරගාවලිය පැවැත්වීමට පෙර තරග පැවැත්වෙන ධාවන පථයේදී පුහුණුවීම් වල නිරත වීමට සංවිධාකයන් අවස්ථාවක් ලබාදී නොමැත. සාමාන්‍යයෙන් ඕනෑම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියක් පැවැත්වීමට පෙර ඊට අවශ්‍ය පරිදි සිය මෝටර් රථ සහ යතුරුපැදි සකසාගැනීම සඳහා මෙන්ම ධාවන පථය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා අදාල ධාවන පථයේ පුහුණුවීම් කිරීමට කාලයක් ලබාදෙන නමුත් මෙහිදී එවැනි අවස්ථාවක් ලැබී නොමැත.

මෙම ධාවන පථය දිවයිනේ සෙසු ධාවන පථ වලට වඩා ඉතා අනතුරුදායක ධාවන පථයක් සේ සැලැකේ. ඒ මෙය යතුරු පැදි හෝ මෝටර් රථ සඳහාම වෙන්කරන ලද ධාවන පථයක් නොවීමය. නැතිනම් මෙය වාර්ෂිකව මේ තරගය පැවැත්වෙන දිනකට හෝ දෙකකට වසාදමා ප්‍රයෝජනයට ගන්නා මහා මාර්ගයක්වීම නිසාය. එම තත්ත්වය නිසා එවැනි ධාවන පථවල ක්‍රියාත්මක තරගාවලිවලට සහභා වන ක්‍රීඩකයන් අවම වශයෙන් එම ධාවන තරගාවලියට පෙර මාර්ග මෝටර් රථ තරගාවලි 3 කට හෝ ඊට වැඩි සංඛ්‍යාවකට සහාභාගී වී තිබීම අත්‍යාවශ්‍ය කරුණකි. කෙසේවුවද, මේ තරගාවලියේදී එවැනි නීති රීතිවලට වැඩි අවස්ථාවක් ලැබී නොමැත. මෙහිදී සංවිධායකයින්ගේ වැඩි අවධානය යොමුව ඇත්තේ තරගාවලියට ඇතුළත් වීමේ ගාස්තු වලින් එකතු වන මුදල ඉහළ දමාගැනීමය. ඒ නිසාම මෙවර තරගාවලියට නවක ක්‍රීඩකයන් ගොන්නක්ම තරගාවලියට එක්තරගෙන තිබේ. එසේ වැඩියෙන් හම්බකරන්නට සංවිධායකයින් දස්කම් දැක්වුවද ඔවුන් එය වියදම්කර ඇත්තේ අඩුවෙන් බවද සත්හඬ කළ සොයා බැලීමකදී හෙළි විය.

පරණ CTB ටයර් ආරක්ෂාව

තරගකරුවන්ගේ සහ තරග නරඹන්නන්ගේ ආරක්ෂාව සඳහා යොදා තිබූ විදි විධාන මින් පෙර වසර වලදී යොදා තිබූ ප්‍රමාණයට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීම ඊට කදිම උදාහරණයකි. ධාවන පථයේ වැඩි වශයෙන් අනතුරු සිදුවිය හැකි වංගුවල මෙන්ම අනතුරුදායක ස්ථාන කිහිපයකම ආරක්ෂාකව සඳහා යොදන වැලි කොට්ට හෝ ටයර ප්‍රමිතියට යොදා නොතිබීම මේ අතරින් ප්‍රධාන අතපසු කිරීමකි. අදාළ වැලි කොට්ට ඇසිරීම මෝටර් රථ තරග පැවැත්වීමේදී අනුගමනය කරනු ලබන ජාත්‍යන්තර රීතීන්ට අනුව සැකසී නොතිබුණු බවට ක්‍රීඩකයන් චෝදනාකර සිටී. එසේම ධාවන පථය වටා දමා තිබූ යටර්ද ධාවකයන් හා ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව සඳහා යොදාගන්නා ප්‍රමිතියට නොතිබූ බව එම කේෂත්‍රයේ ප්‍රවීනයන්ගේ මතයයි. වැලිකොට්ට ඈතින් ඈත අසුරා තිබූ අතරම මේ සඳහා යොදාගෙන ඇති ටයර් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ඩිපෝවකින් සොයාගත් වසර ගණනාවක් පැරණි ඒවා බවද පැවසේ.

තවද ධාවන පථය වටා වැලි කොට්ට ඇසිරීම සඳහා මෙන්ම තරග පැවැත්වෙන අවස්ථාවන් වලදී එහි විනිෂ්චය කටයුතු සඳහාද යුද හමුදා සෙබලූන් යොදාගෙන තිබූ බවද කෙසේවුවද ඔවුන් අදාළ කේෂත්‍රය සම්බන්ධයෙන් අබමල් රේණුවක දැනුමක් ඇති වුන් නොවන බවද පැවසේ. එසේම සංවිධාන කටයුතු වලට යුද හමුදාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, යුද හමුදාවේ ඉහළ නිලයක් හොබවන මෝටර් රථ ක්‍රීඩකයෙන් තමා යටතේ සිට සෙබලූන් කිහිපදෙනෙක් තමාගේ අභිමතය පරිදි එම කර්තව්‍යන් සඳහා යොදවා ඇති බව අප කළ සොයා බැලිමකදී හෙළිවිය.

තරග පැවැත්වෙන දිනට පෙර දින කාල ගණනය කිරීමක් පවත්වා එහිදී දක්වන දක්ෂතාවන් අනුව තරගකරුවන්ට තරගය ආරම්භ කිරීම සඳහා ස්ථාන ලබාදෙන නමුත් මෙහිදී එවන් කාල ගණනය කිරීමක්ද සිදුව නොමැත. එහිදී තරගකරුවන්ගේ බලවත් ඉල්ලීම පරිදි ඇතැම් තරග සඳහා පමණක් තරග පැවැත්වෙන දිනයේදීම කාල ගණනයක් පවත්වා ඇති අතර සෙසු තරගකරුවන්ට තරග ආරම්භ කිරීම සඳහා ස්ථාන ලබාදී ඇත්තේ කුසපත් ඇදීමක් මගිනි.

එලෙස කුසපත් ඇදීමෙන් ආරම්භක ස්ථාන ලබාදී තරග පැවැත්වීම ආනන්ද සහ සුරාජ්ගේ අනතුරට හේතුවක් බවද ප්‍රවීනයන්ගේ චෝදනා අතර ඉදිරියෙන්ම තිබෙන්නකි.wedi4

වෙඩිසිංහ සමඟ එම අනතුරට මුහුණදුන් සුරාජ් පෙරේරා පසුගිය දිනෙක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ද මේ අදහස සනාථ කර තිබිණි. ඔහු එහිදී පවසා තිබුණේ කුසපත් ඇදීම මගින් ආරම්භක ස්ථාන ලබා නොදී, කාල ගණනයක් පවත්වා ආරම්භක ස්ථාන ලබා දීමට සංවිධායකයන් කටයුතු කළා නම් ඇතැම්විට මෙම අනතුර සිදුනොවීමට පවා ඉඩ තිබුණ බවයි.

තරගයේ වේගය අඩාල කිරීම සඳහා ධාවන පථයේ තෝරාගත් ස්ථානයක ඉදිකරනු ලබන ‘චිගේන්’ නම් මාර්ග බාධකයද මෙවර තාරගාවලියේදී ඉවත් කර තිබීම සම්බන්ධයෙන්ද කේෂත්‍රයේ ප්‍රවීනයන් චෝදනාකර තිබේ. මින් පෙර අවස්ථා කිහිපයකදීද මාර්ග බාධකය ඉවත් කර මෙම තරගාවලිය පවත්වා ඇති අතර ඉන් එක් අවස්ථාවකදී යතුරුපැදි ක්‍රීඩකයකු වූ රංජිත් ධනපාලද, තවත් අවස්ථාවකදී මෝටර් රථ ක්‍රීඩකයකු වූ ඩිල්ෂාන් බණ්ඩාරනායකද දරුණු අනතුරු වලට මුහුණපා ජීවතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම තරගාවලියට එවැනි ඉතිහාසයක් ඇති බව දැන දැනම ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයකට ඇද දමමින් මෙවර තරගාවලියේදීත් වේග සීමා බාධකය ඉවත් කිරීමට සංවිධායකයන් පියවර ගැනීම ඉතා කණගාටුවට කරුණකි.

වෙඩිසිංහ වැඩියෙන් ලෙඩවුණේ ප්‍රතිකාර ප්‍රමාදයෙන්

wedi6දරුණු අනතුරක් සිදුවීමෙන් පසු රතු කොඩි දමා තරගය නතර කර අනතුරට ලක්වූවන්ට ප්‍රතිකාර කිරීමට එම ස්ථානයට ගිලන් රථ යැවීම සාමාන්‍ය සිරිත වුවත්, අනතුරට ලක්වූවන් එම ස්ථාන වල සිටියදීම තරගය නතර නොකර දිගින් දිගටම පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කර ඇති බව මේවන විට හෙළිව තිබේ. තරගය අවසන් වීමෙන් අනතුරව වෙඩිසිංහ රෝහල්ගත කිරීමට අනතුර සිදුවූ ස්ථානයට ගිලන් රථයක් යැවීමට විනාඩි 20 ක පමණ කාලයක් සංවිධායකයන්ට ගතවී ඇති බවද වාර්තා වේ.

එසේ යැවූ ගිලන් රථයේද සිට ඇත්තේ රියදුරු හා වෛද්‍ය සහයකයෙක් පමණක් බවත්, වෛද්‍යවරයකු එහි සිට නැති බවද පැවසේ. එනිසාම වෙඩිසිංහ නුවරඑළිය රෝහලට රැගෙනයනතෙක් ඔහුට ඔක්සිජන් ලබාදීමක් නොවුණ බවටද රාවයක් පවතී. ඔහුගේ හිසේ අබාධ තත්ත්වය ඉහලයාමට එය හේතුව ඇති බවටද චෝදනාවක් පවතී.

එසේම නුවරඑළිය රෝහලට ඇතුළත් කළ වෙඩිසිංහට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා එහි ප්‍රමාණවත් තරම් පහසුකම් නොතිබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහු මහනුවර රෝහලවෙත මාරු කිරීමට හේතුවී තිබුණේ ඒ නිමිත්තය. එසේ වුවත් ඒ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඔහුව පස්වරු 1.00 සිට පස්වරු 6.00 පමණ වන තෙක් නුවරඑළිය රෝහලේම රඳවා ගැනීමට සිදුවී තිබේ.

වෙඩිසිංහ මහනුවර මහ රෝහල කරා මාරුකර යැවීම වේගවත්ව ඇත්තේ හිටපු ප්‍රවීන යතුරුපැදි ක්‍රීඩකයකු වන ෂේන් ගුණවර්ධන මහතාගේ සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත්වීම මත බවද පැවසේ.

අවසරය නොතකා පැය 5ක් පාර වහලා

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ නුවරඑළිය නරගය වටා ඇති ප්‍රධාන මාර්ගයේ වන බැවින් තරග පැවැත්වීම සඳහා මාර්ගය වසා තැබීමට නුවරඑළිය පොලිසිය සංවිධායකයන්ට අවසර ලබාදී තිබුණේ පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා පමණකි. එසේ වුවත් රටේ නීතියටද එරෙහිව යමින්, සිය බලපුලූවන්කාරකම් භාවිතා කර පස්වරු 6.00 පසුවන තෙක්ම තරගාවලිය පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු කර තිබිණි.

ඒ මගින් රැකි රක්ෂා සඳහා උදෑසන නිවසෙන් වලින් පිටත්ව ගිය සාමාන්‍ය ජනතාවට නැවත සිය නිවෙස් බලා පැමිණීම සඳහා මෙම තරගාවලිය නිමා වී මාර්ගය නැවත විවෘත කරන තෙක් පසෙකට වී බලා සිටීමට සිදුවූ බවද ඇතැම්හු පැවසති. තරග පැවැත්වීම සඳහා එතරම් වේලාවක් ගත්තද කාල වේලාව ප්‍රමාණවන් නොමැති බව පවසමින් ඇතැම් මෝටර් රථ තරල අවලංගු කිරීමටත්, තරග 2 බැගින් එකට එක්කොට පැවැත්වීමටත්, ඇතැම් මෝටර් රථ තරග වල වට සංඛ්‍යාවන් අඩු කිරීමටත් සංවිධායකයන් පියවර ගෙන තිබීමද මේ තරගාවලියේ අසංවිධානාත්මක බව හෙළිකරණ තවත් කරුණකි.

වෙඩිසිංහ අනතුරට පත් වංගුවේ අවුලක්

මේ තරගාවලිය සංවිධානය කිරීමට අවසර ලබාගයුතුවන්නේ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සගමයෙන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අප එහි ලේකම් පසිඳු පෙරේරාගෙන් විමසීමක් කළේය. ඔහු කියා සිටියේ මේ තරගාවලිය සංවිධානයේදී අතපසුවීම් කිහිපයක් තරගාවලියේ සංවිධායකයින් විසින් සිදුකර ඇති බව පසුව කළ සොයා බැලීම්වලදී හෙළිව ඇති බවයි. වැලි කොට්ට සැකසීමේදී ප්‍රමිතියක් නොවීම, පුහුණු වටයකට අවසර නොවීම වැනි කාරණා ඒ අතර ඇතැයිද ඔහු පිළිගත්තේය. කෙසේවුවද, වෙඩිසිංහ අනතුරට පත් වංගුව අඩි 40ක් පමණ පලල ස්ථානයක් බව කී පසිඳු එවැනි ස්ථානයක අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ පවතින්නේ 1%ක පමණ සම්භාවිතාවක නිසා එම ස්ථානයේ වැලි කොට්ට ඈතින් ඈත තබා තිබීම මේ අනතුර යම් ප්‍රමාණයකට බරපතල කර ඇති බවද පිළිගත්තේය. මේ තරගාවලිය අධීක්ෂය කිරීමට අධීක්ෂණ නිලධාරී ලෙස මනෝජ් සිල්වා පත්කර සිටි බවත්, ඔහු මෙහි අනතුරුවීමේ සම්භාවිතාව අඩු කිරීමට උපරිමය කර ඇති බව පසු අධීක්ෂණවලදී හෙළිවී ඇති බවද කියා පසිදු පැවසීය. කෙසේවුවද, පසුගිය කාලයේ ඇතැම් මාධ්‍ය හරහා පලවූ වාර්තාවල අසත්‍ය කරුණුද අඩංගුව තිබූ බවද ඔහු කීය.

අනතුර ධාවකයන්ගේ ක්‍රීඩා විලාශය නිසයි - ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ වික්‍රමසිංහ

wedi7මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවතවන්නේ දැයි අප ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ. වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව ගෙන්වා කරුණු විමසීමක් කළ බවයි. එහිදී ඔවුන් වීඩියෝ පටයක්ද ඉදිරිපත් කළ බවත්, අනතුරට ධාවකයන් දෙදෙනාගේ ක්‍රීඩා විලාශයේ ගැටලුවක්ද බලපා ඇති බවද ඔහු කියා සිටියේය.

තිසර රන්වැල්ල
(සත්හඬ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top