May 12, 2017

කටට රසට - මාධ්‍ය කලාව

ධනවාදය විසින් මිනිසුන්ගේ මොළය හැර සියලූම සාරයන් උරාගෙන තිබෙන තත්ත්වයක් තුළ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හෝ මුද්‍රිත මාධ්‍ය යන තර්කණයන් ද තම පැවැත්ම උදෙසා සකසාගෙන තිබෙන නිසා, ඒ තුළ වමේ ආකෘතියක් සහිත පුවත්පතක් ගොඩනැඟීම අපගේ පැත්තෙන් බලන විට විශාල අභියෝගයකි.

පශ්චාත් නූතන සමාජයක ජනමාධ්‍යයේ හැසිරීම කෙබඳුදැයි ඒ නිසා අපි මුලින්ම අවබෝධ කරගත යුතු වන්නෙමු.

ජනමාධ්‍යයේ හදවත කුමක්දැයි ලාංකික පරිණත පාඨකයකුගෙන් විමසුවහොත් ඔහු හෝ ඇය ඇඟිල්ල දිගු කරන්නේ අතීතය දෙසටය.

ලේක්හවුසියේ පතාක යෝධයකු වූ මාර්ටින් වික්‍රමසිංහ තමයි මුල්ම යුගයෙ දි ප්‍රබුද්ධ මාධ්‍ය කලාවක් නිර්මාණය කිරීමට උත්සාහ ගන්නෙ. ‘සිළුමිණ’ වැනි පුවත්පත් එම යුගයේ දී මිනිසුන්ට දැනුම ලබා දෙන ශාස්ත්‍රීය සංග්‍රහයන් බවට පත්වන්නේ ඒ නිසයි. මේ යුගයෙ දි පුවත්පත්වල ප්‍රධාන දෘෂ්ටිවාදය වූයේ සමාජයට දැනුම හෝ දැනුවත්භාවය සම්ප්‍රේෂණය කිරීමයි.

ලාභ උපයන පාරිභෝගික භාණ්ඩයක්:

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් විවෘත ආර්ථික ප්‍රතිපත්තීන් මෙරටට හඳුන්වා දීමත් සමඟ ජනමාධ්‍ය ප්‍රබුද්ධත්වයේ සිට ලාභ උපයන තවත් එක් පාරිභෝගික භාණ්ඩයක් බවට විස්ථාපනය විය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස විවිධ ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් ලාභ ඉපැයීම සහ සිය දේශපාලන මතවාදය මෙහෙයවීම සඳහා මාධ්‍ය ආයතන සඳහා මුදල් ආයෝජනය කිරීමට පෙලඹිණි. ඉන්පසු කිසිම දිනක මාර්ටින් වික්‍රමසිංහ වැනි පරිණත ජනමාධ්‍යවේදීන් බිහි නොවූයේ පුවත්පත ඍජු ලෙස එහි හිමිකරුවන්ගේ උවමනා - එපාකම් වෙනුවෙන් පෙනී සිටි බැවිනි.

මෙවැනි අවකාශයක් තුළ නිදහස් අධ්‍යාපනය නිසා දෙයියන්දර වැනි ඈත ශුෂ්ක ගමකින් කොළඹට පැමිණෙන සිරි රණසිංහ මහතා විසින් පාඨකයන්ට පුවත් විකිණිය හැකි නව ආකෘතියක් ලංකාදීපය හරහා හඳුන්වා දෙන ලදී. ගැමි කඩවල්වල රස්තියාදු ගසන බයියන්ගේ සිට සමාජයේ සියලූ පහළ සමාජ ස්තර සහ ඉහළ ස්ථරවල (ඉංග්‍රිසියෙන් කියවන පිරිසක් හැර) අයගේ රසඥතාව කුළුගැන්විය හැකි සියලූ මතවාදයන් එකට කැටිකොට දක්වන පාරිභෝගික භාණ්ඩයක් (පුවත්පතක්) ඔහු අතින් නිර්මාණය විය.

කිසිවකු මතුකර නොපෙන්වන මෙම කේන්ද්‍රීය සාධකය නිසා ජනමාධ්‍ය කලාව එකම ආකෘතියක් තුළ සිරවී ඇත. එම ආකෘතිය බොහෝ දෙනෙකුට අවිඥානික වන බැවින් අලූත් පත්තර කියා හැමදාම ඔවුන් කරන්නේ සිරි රණසිංහ මහතාගේ ආකෘතිය නැවත නැවත කරළියට රැගෙන ඒමයි.

සමාජය වෙනස් වේ යැයි සිතාගෙන :

මෙම ආකෘතියට අවශ්‍ය කරන්නේ කුමක් හෝ දෙයක් කියන පුද්ගලයකු හෝ සිදුවීමක් පමණි. පුවත්පත්වලට ලියන පුද්ගලයන්ගේ ලැයිස්තුවක් පෙළ ගැස්සුවහොත් ඔවුන්ගෙන් අතිබහුතරයක් යනු බුද්ධිමතුන් යැයි ඔබ සිතනවා විය හැකිය. ඔවුන් කියන දේවල් නිසා සමාජය වෙනස් වේ යැයි ඔවුන්ම සිතාගෙන සිටිති.

ඇත්ත! සමාජය වෙනස් වන බව අපි ද දන්නෙමු. එහෙත් ඒ මිනිසුන්ගේ නිදහස හෝ සමානාත්මතාව වෙනුවෙන් නොව, වෙළෙඳපොළ තර්කණයන් තහවුරු කිරීම පිණිසය.

ඔබ පුවත්පතක් මිලදී ගන්නේ තොරතුරු දැනගැනීම පිණිසද? එසේත් නැතිනම් ධනවාදී වෙළෙඳපොළ තර්කණයන් පවත්වාගෙන යෑම තහවුරු කරන අධිකතර ලෙස තව තවත් අලූත් පාරිභෝගික භාණ්ඩ (දැන්වීම් හරහා) පිළිබඳව දැනගැනීම පිණිසද? අප ඔබට කියන්නේ මේ ප්‍රශ්න දෙක යනු එකම කාසියක දෙපැත්ත බවයි.

(Id -දසුන් රාජපක්ෂ)

ඔබේ අවිඥානය කියවන්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top