15976 BM WEB BANNER 01
May 13, 2017

භීම සමයක මරු මුවවිටට ගොස් පෙරළා ආවුන්ගේ සාක්‍ෂි එකතුවක් - I

රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කර, කාටූන් ශිල්පී යූනුස්ට පිහි ඇනුම් සිදුකළ ප්‍රේමදාස පාලන සමය මාධ්‍යවේදීන් කරා රාජ්‍ය භීෂණය ළඟා වූ වකවානුවක් සේ පොදු වශයෙන් පිළිගැනේ.

නමුත් ඒ සමයේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට දිවිහිමියෙන් කැපවූයේ යැයි අතවැසියන් ලවා ප්‍රශස්ති ලියාගත් මහින්ද රාජපක්ෂ බලයට පත් වූ සමයේදී තරම් මාධ්‍යයට තර්ජන එල්ලවූ කාලයක් මෙරට ඉතිහාසය පුරා දක්නට නොලැබෙන තරම් ය. ජාතික පුවත්පතක කතුවරයෙක් මහමඟ මරාදැමුණේද, මාධ්‍ය සේවකයන් කාර්යාල තුළදීම ඝාතනය කෙරුණේද, පැහැරගෙන යාම්, පහර දීම්, අතුරුදහන් කිරීම්, බිය වැද්දීම්, සිරගත කිරීම්, වධ බන්ධනයට ලක්කිරීම්, මාධ්‍ය ආයතන ගිනි තැබීම් , බෝම්බ ප්‍රහාර එල්ල කිරීම් වැනි සිදුවීම් රාජපක්ෂ පාලන සමයේ පොදු ලක්ෂණයක් විය. රාජ්‍ය මාධ්‍ය ආයතන තුළට පවා කඩාවැදී මැති ඇමතින්ගේ මැර බලය ප්‍රදර්ශනය කරන්නට හැකි සංස්කෘතිය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලනයේ සාඩම්බර නිර්මාණයකි. ඝාතනයට ලක් වූ බහුතරයක් දෙනා යාපනය , වන්නි හා කොළඹ දෙමළ මාධ්‍යකරුවන් වීමෙන් පෙන්නුම් කරන ලද්දේ මර්දනකාරීත්වය හා අත්වැල් බැඳගත් වර්ගවාදී පිළිවෙතයි.

රාජපක්ෂ පාලන සමයේ අගතියට පත් ජනමාධ්‍යකරුවන්ට සහන සළසනු වස් පැමිණිලි ඉදිරිපත් කරන්නැයි අලුත් ආණ්ඩුව කර ඇති යෝජනා ගැන විමසා බැලිය යුත්තේ ඉහත ඉතිහාසය පසුබිම් කරගෙන ය. ජනාධිපතිවරයා ඇතුළු අලුත් ආණ්ඩුවේ අති බහුතරයක් දෙනා ඒ භීෂණය දියත් කළ ආණ්ඩුවේම කොටස්කරුවන්ව සිටි බව මොහොතකට අමතක කළ ද කියන්නට ඇති කාරණාව සරළ එකකි. ඝාතනය හා අතුරුදහන් කරනු ලැබූවන් පමණක් නොව, පැහැරගෙන යනු ලැබූවන් ද, පහරදීම් හා බියවැද්දීම්වලට ගොදුරුවූවන්ට ද සැළසිය හැකි පළමු සහනය යුක්තියයි. අපරාධ ප්‍රසිද්ධියේ සිදුකළ පාලනයක් ගැන විභාග කරන්නට දිවි ගළවාගත් වින්දිතයන්ගෙන් ලිඛිත යෝජනා ඉල්ලා සිටීම හාස්‍යයක් වන්නේ ඒ නිසා ය.

නමුත් රාජපක්ෂ පාලන සමයේ දී මරණයේ මුවවිටට ගොස් ආපසු පැමිණි අතළොස්සක් දෙනා ගැන බොහෝදෙනා එක්කෝ නොදනිති. නැතහොත් පහසුව පිණිස අමතක කර ඇත්තාහ. දුර්දාන්ත පාලනයක් විසින් දියත් කළ මාධ්‍ය භීෂණය ගැන අමතක කළවුන්ට මතක් කර දෙනු පිණිස ඒ අතළොස්සක් දෙනා තවමත් ජීවත්ව සිටිති. කොටස් දෙකකින් ලියැවෙන මේ ලිපියට පාදක කොටගත් සම්පිණ්ඩිත සාක්‍ෂි සපයන ලද්දේ ඔවුන් විසිනි.

කීත් නොයර් විමර්ශන

keith noyahr croppedඒ අළොස්ස අතරින් එවකට නේෂන් පුවත්පතේ සම සංස්කාරකවරයෙක් වූ කීත් නොයර්ගේ පැහැර ගැනීම දැන් යළිත් කතා බහට ලක්වෙමින් තිබේ. වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ විමර්ශනය කෙරෙන 'සන්ඩේ ලීඩර්' පුවත් පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ ඔහුගේ දියණියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාවට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අහම්බයකින් කීත් නොයර් හමු වී ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමත් සමග ඒ ගැන විමර්ශන කඩිනම් වූ බවක් පෙන්නුම් කෙරේ. 2008 මැයි මස 22 වැනිදා රාත්‍රී 11.30 ට පමණ නිවෙස අසළ දී කීත් නොයර් ව පැහැර ගනු ලැබුයේ ඔහු සිය රාජකාරි කටයුතු අවසන්ව එමින් සිටියදී ය. ඊට වසර නවයකට පසු එම පැහැර ගැනීමට සම්බන්ධවුවන් ලෙස සැකපිට කොළඹ ට්‍රිපොලි කඳවුරේ රාජකාරියේ නිරතව සිටි යුද හමුදා ඔත්තු සේවාවට අනුයුක්ත මේජර්වරයෙකු වූ බුලත්වත්ත ඇතුළු හමුදා නිලධාරීන් පස් දෙනෙකු අත් අඩංගුවට ගැනුණි. ඒ පසුගිය මාර්තු මාසයේ පැවති ජිනීවා මානව හිමිකම් සමුළුව ආසන්නයේදී ය. යුද අපරාධ පිළිබඳ විමර්ශනයක් ඉල්ලා අන්තර් ජාතික මානව හිමිකම් කණ්ඩායම් විසින් එල්ල කරනු ලබන බලපෑමෙන් මිදීමේ සියුම් උපක්‍රමයක් ලෙසින් මෙම පිරිස් අත්අඩංගුවට ගත් බව වටහාගන්නට සාමාන්‍ය ප්‍රඥාව පමණක් සෑහේ. ඒ අනුව මාධ්‍ය මගින් ඉමහත් ප්‍රසිද්ධියක් ලබා දී අත්අඩංගුවට ගත් සැකකාර හමුදා නිලධාරින් මුදා හරිනු ලැබුයේ ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවට කිත් නොයර් නොපැමිණි බව පවසමිනි.

එහෙත් එම හමුදා කණ්ඩායම අත්අඩංගුවට ගැනීමේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන් එවකට ක්‍රියාත්මක වූ ඝාතක කණ්ඩායමක් පිළිබඳ යම් තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් විණි. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ වාස් ගුණවර්ධන, ගුවන් හමුදා බලඝණ නායකයෙකු වූ නිශාන්ත ගජනායක හා නාවික හමුදා නිලධාරියෙකු වූ සම්පත් මුණසිංහ යටතේ ක්‍රියාත්මක වූ මිනිසුන් පැහැරගෙන ගොස්, කප්පම් ලබා ගැනීම, වධ බන්ධනයට ලක් කොට මරා දැමීම ඇතුළු අපරාධ සිදු කරනු ලැබූ කණ්ඩායම් පිළිබඳ වැඩිදුර තොරතුරු මේ මගින් අනාවරණය විය. දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව රහසිගත මෙහෙයුම් කණ්ඩායම් ලෙස පිහිටුවනු ලැබූ බැව් ප්‍රකාශිත මෙවැනි ඝාතන කල්ලි සදහා රාජපක්‍ෂ ආණ්ඩුවේ මෙන්ම ඔවුන්ගේ සමීපතම දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල ද නිබඳ සහයෝගය ලැබිණි. 'ජාතික ආරක්ෂාව' හා 'රණවිරු ගෞරවය' පිළිබඳ මිනීමරු තර්ක හා න්‍යායන් පෙරට දමා මේ ඝාතන කල්ලි වලට එරෙහිව එදත් නිතිය ක්‍රියාත්මක නොවූ අතර අදත් සිදු වෙමින් පවතින්නේ ද එයමය.

මරණයේ එළිපත්තට ගොස් සිටි කීත් ට යලි පැමිණීමේ භාග්‍ය හිමි වූයේ සිය මාධ්‍ය සගයන්ගේ ඉමහත් ධෛර්ය නිසා ය. දුරකථන සම්බන්ධතා ඔස්සේ ඔහු සිටින ප්‍රදේශය සොයා ගැනීමට සමත් වීමත්, කරු ජයසුරිය ඇමතිවරයා ඔස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ට දැනුම් දීමත් සමග පැහැරගත් දිනට පසු දින අලුයම කීත් නොයර් ව ගල්කිස්ස ප්‍රදේශයෙදී අත්හැර දමා ගොස් තිබිණි. දරුණු ලෙස පහර දීමට ලක්ව සිටි කීත් නොයර් රෝහලට ඇතුලත් වී ඊට පසු දිනම සිය පවුලේ සාමාජිකයන් ද සමග ඕස්ට්‍රේලියාව බලා පිටත් යන්නේ නැවත කිසි දිනෙක ලංකාවට නොඑන්නට ය. තමන්ගේ සිද්ධිය පිළිබඳව කිසිදු පියවරක් නොගන්නා ලෙසත්, තමන් ඒ ගැන කතා කිරීමටවත් කිසිදු කැමැත්තක් නොමැති බව එවකට ශ්‍රීලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති සනත් බාලසුරිය හා ලේකම් පෝද්දල ජයන්ත සමග ඔහු පවසා තිබේ.

'යුද හමුදාව එහි ප්‍රධානියාගේ නින්දගමක් නොවේ' යනුවෙන් කීත් විසින් ලියන ලද ලිපිය මේ අයුරින් පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස පහර දීමට ආසන්නතම හේතුව සේ සැළකේ. ඒ පැහැර ගැනීම පිළිබඳව චෝදනාව එල්ල වුයේ එවකට හමුදාපති ධුරයේ සිටි සරත් ෆොන්සේකා වෙත ය. රාජපක්ෂලා හා ෆොන්සේකා අතර අද ඇති විරසකය එදා නොපැවති අතර, 2010 දී ෆොන්සේකා සමග විරසක වූ පසුව පවා පකීත් නොයර් ට පහර දීමේ චෝදනා එල්ල කිරීමට රාජපක්ෂ ලා උත්සුක නොවූයේ එහි වගකීමෙන් ගැළවීමට ඔවුන්ට ද නොහැකි නිසා ය.

2010 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර තම සමීපතම දේශපාලන ක්‍රියාධරයන් සමග කීත් නොයර් ගේ සිද්ධිය පිළිබඳව පවසා තිබිණි. 'නේෂන්' පුවත් පතේ මෙම ලිපිය පළ වී තිබුණේ සිය බාල දියණියගේ විවාහ යෝජනාවක් සඳහා මනාලයාගේ පාර්ශවය සිය නිවෙසට පැමිණෙන දිනයේ දි බවත්, 'අපට ඉතිරි කර ඇත්තේ මෙවැනි දේවල්දැයි' කියා දියණිය හඬා වැටුනු බවත්, එවැනි මොහොතක පියෙක් ලෙස තමන් වෙන කුමක් කළ යුතු දැයි එම පිරිසගෙන් ෆොන්සේකා විමසා තිබිණ. එවකට ශ්‍රීලංකා පුවත් පත් ආයතනයේ වැඩසටහන් සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දීමත් මෙම සිද්ධියේම දිගුවකි. එම ලිපියට අදාළ තොරතුරු නාමල් විසින් කීත්ට ලබා දුන්නේ යැයි සැකය මත ඔහුට පහර දෙනු ලැබිණි. කීත්ට පහර දී දින කිහිපයක් තුළ ඊළඟ ප්‍රහාරය නාමල් වෙත එල්ල වන බවට තොරතුරු මාධ්‍ය සංවිධානවලට ලැබීමෙන් නාමල් පෙරේරා වෙනුවෙන් ආරක්‍ෂිත වැඩපිළිවෙලක් යොදන මෙන් ශ්‍රී ලංකා පුවත් පත් ආයතනය දැනුවත් කළ බව වෘත්තීය පත්‍රකාලවේදීන්ගේ සංගමයේ එවකට සභාපති සනත් බාලසූරිය කියා සිටියි. නමුත් 2008 මැයි 30 දා නාමල් පෙරේරා ද මැර ප්‍රහාරයක ගොදුරක් බවට පත්විය.

යුද්ධය මහා ජන සංහාරයකින් නිමාකර අනතුරුව එහි කීර්තිය පිළිබඳව ඇණකොටා ගත් රාජපක්ෂලා සහ ෆොන්සේකලා කීත් නොයර් හා නාමල් පෙරේරා වැනි ජනමාධ්‍යකරුවන්ට එල්ල වූ පහරදීම් පිළිබඳව සාමුහිකව වගකිව යුතු ය. නමුත් ඒ සිදුවීම් හැරුණු විට එම වකවානුව තුළ සිදු කෙරුණු, එහෙත් කිසිදු විමර්ශනයකට ලක් නොවුණු ඒ හා සමාන තවත් සිදුවීම් ගණනාවකි.

කුරුපරන් පැහැරගැනීම

nadaraja kuruparan cropped88 – 89 ජයවර්ධන - ප්‍රේමදාස භීෂණ සමයේදී ක්‍රියාත්මක වූ අංක තහඩු නොමැති වාහනවලින් මිනිසුන් පැහැරගෙන ගොස් මරා දැමීමේ ක්‍රියාවලිය වෙනත් අයුරකින් රාජපක්ෂ පාලන සමයේ දී ක්‍රියාත්මක විණි. ඒ සුදු වෑන් මගින් මිනිසුන් පැහැරගෙන ගොස් මරා දැමීම ය. මෙකී සුදු වෑන් සංස්කෘතියේ නිර්මාතෘවරයා වන්නේ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව හෙළිදරව් කරනු ලැබුයේ එම ආණ්ඩුව නියෝජනය කරමින් මාධ්‍ය මර්දනයේ යෙදුණු කැබිනට් අමාත්‍ය මර්වින් සිල්වා විසිනි.

සුදු වෑන් මගින් පැහැර ගොස් මරා දැමීමට නියමිතව තිබියදී දිවි ගලවා ගැනීමට සමත් වූ අතළොස්සක් දෙනා අතර එවකට සූරියන් එෆ් එම් හි ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂක නඩරාජා කුරුපරන් ප්‍රමුඛස්ථානයක් ගනියි. 80 දශකයේදී 'තමිල් ඊළම් මහජන විමුක්ති සංවිධානයේ (PLOTE) ශිෂ්‍ය අංශය හරහා දේශපාලනයට සම්බන්ධ වූ කුරුබරන්, යාපන සරසවියේ දේශපාලන විද්‍යාව හැදෑරීමෙන් පසු පෞද්ගලික ආධාරක පංති ගුරුවරයෙකු ලෙස ඉගැන්වීම් කටයුතුවල නියැලීම සඳහා කොළඹට පැමිණියේය. 'ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාව සඳහා වූ ව්‍යාපාරය (MIRJE) මගින් ප්‍රකාශයට පත් කළ 'සරිනිහර්' පුවත්පතේ ජනමාධ්‍යවේදියෙකු ලෙස ඔහු සම්බන්ධ වූයේ ඒ අතරවාරයේ ය. පසුකාලීනව 'සූරියන් එෆ් එම්' ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයා දක්වා ගමන් කිරීමේ අඩිතාලම කුරුබරන්ට වැටුණේ ඒ හරහා ය. පැහැරගනු ලැබීමෙන් වසර දහයකට පසු පළමු වරට ඔහු එම බියකරු අත්දැකීම ගැන JDS හා කතා කළේය.

“2006 අගෝස්තු 29 වැනිදා උදේ 4.15 ට විතර මම ඔෆීස් එකට යන්න ගෙදර ඉඳන් පිටත් වුණා. ගාලු පාරට මීටර් 100 ක් විතර දුරින් මගේ වාහනය හරස් කරපු සුදු වැන් එකකින් ආපු කට්ටියක් පිස්තෝලයක් මගේ ඔලුවට තියලා 'මැරුම් නොකා බැහැලා ඒගොල්ලන්ගේ වැන් එකට නැගපං' කිව්වා. මට කිසිම දෙයක් කථා කරන්න වෙලාවක් තිබුණේ නැහැ. බලෙන්ම වෑන් එකට දාගෙන රෙදි පටියකින් ඇස් බැන්දා. මාව වෑන් එකේ බිම දිගා කරලා තමයි අරන් ගියේ. පිටිපස්සේ හිටිය අය කතා කළේ දෙමළෙන්. ඔවුන් මට පහර දුන්නා. එතකොට වෑන් එකේ ඉදිරිපස සිටි අයෙක් පහර දීම නතර කරන ලෙස අණ කළා සිංහලෙන්." දෙමළ බසින් කතා කළ පුද්ගලයින් දෙදෙනා රජයේ හමුදා සමග කටයුතු කළ කරුණා - පිල්ලයාන් කල්ලියේ සාමාජිකයන් විය යුතු බව තමන්ට වැටහුණු බව කුරුබරන් කියා සිටියේය.

තමන් පැහැරගනු ලැබූවන් ගමන් කළ වාහනය අගනුවර ආසන්නයේම ඇති හමුදාවට අයත් රහසිගත ස්ථානයකට පැමිණීමෙන් පසු කුරුපරන්ට වාහනයෙන් බසින්නට අණ කෙරිණ. ඒ වන විට ඔහුගේ දෑස් බැඳ තිබූ රෙදි පටිය මදක් ලිහිල් වී තිබීම හේතුවෙන් ඔහුට අවට පරිසරය පිළිබඳ අදහසක් ඇති කරගන්නට හැකිවී යැයි ඔහු කියයි.

“එතැන අමුතුම පෙනුමක පරණ තාලේ විශාල ගෙයක් තිබුණා. පරණ වලව්වක් වගේ. මුළු දවසම සිරස එෆ්. එම් එකේ සිංහල සින්දු දාලා තිබුණේ. එතැනදි මට කවුරුත් පහර දුන්නේ නැහැ. තේ දුන්නා, බුරියානි එකක් කන්න දුන්නා. මේජර් බස්නායක, රාළහාමි, වගේ නම් කියනවා මට ඇහුණා. එතැන ලොක්කා හමුදා බුද්ධි අංශ ප්‍රධානියාව හිටි හෙන්දවිතාරණ කියලත් කියනවා මට ඇහුණා. එත් මම දැක්කේ නැහැ. මොකද එතැන හිටපු මුළු කාලයේම ඇස් දෙක රෙදි පටියකින් බැඳලා තිබුනේ.”

පැය කිහිපයකට පසු එම රහසිගත ස්ථානයේ ප්‍රධානියා යැයි සැලකෙන අයෙක් කුරුපරන්ගෙන් ප්‍රශ්න කරන්නට විය. ඉතාමත් මෘදු ස්වරයෙන්, පැහැදිලි ඉංග්‍රීසියෙන් කතා කළ ඔහු කියා සිටියේ කුරුපරන් පිළිබඳව ලැබුණු තොරතුර වැරදි එකක් බව ය. කුරුපරන්ගේ පැහැරගැනීමත් සමඟ මාධ්‍යවේදීන්, සමාජ හා මානව හිමිකම් ක්‍රියාධරයන් හා වෘත්තීය සමිති ක්‍රියාධරයන් විදි බට බැවින් ඔහු නිදහස් කරන ලෙස දසතින් බලපෑම් එල්ල වන්නට විණි.

“තමන් එක්ක එකට වැඩ කරන සිංහල අයගෙන් පරිස්සම් වෙලා ඉන්නවා. ඒ ගොල්ලෝ තමයි තමුසේ ගැන වැරදි තොරතුරු දුන්නේ. තව පොඩ්ඩක් පරක්කු වුණා නම් ඔයා ජීවතුන් අතර නැහැ"යි ඔහු මට කිව්වා. දැන් මේවා අමතක කරලා පරිස්සමින් වැඩ කරනවා කියලත් එම නිලධාරියා කිව්වා.”

තමන් පැහැරගෙන යාම සඳහා ඔවුන් විසින් සති තුනක් පුරාවට දැරූ ප්‍රයත්නය ගැනත්, අවසන් මොහොතේ ඒවා වැළකි ගිය අයුරුත් ඔවුන් තමන්ට පැහැදිලි කළ බව කුරුබරන් කියා සිටියි. තමන් පැහැරගනු ලැබූවන් විසින් හෙළි කළ ආකාරයට පැහැර ගැනීමට පසුබිම් වූ හේතුව ද කුරුපරන් ජේඩීඑස් හා හෙළි කළේය.

“සිවරාම් මරා දැම්මට පස්සේ ටැමිල්නෙට් වෙබ් අඩවිය කරන්නේ මම කියල තමයි මෙයාලට තොරතුරු ලැබිලා තියෙන්නේ. මම හැමදාම ලැප්ටොප් එකක් ඔෆිස් එකට අරන් ඇවිත් ඊට අදාළ නිවුස් යවනවා කියලා තොරතුරු දීලා තියෙන්නේ අපේ සිංහල නිවුස් ඩෙස්ක් එකෙන්මයි,’කුරුපරන් කළකිරීමෙන් කියයි.

සූරියන් එෆ් එම් ගුවන් විදුලිය අයත් ආසියානු ගුවන් විදුලි සේවය ආරම්භවුයේ 90 දශකය අවසානයේ සිරස එෆ් එම් ගුවන් විදුලියෙන් හා ලක්හඬ ගුවන් විදුලියෙන් බිඳී පැමිණි පිරිස් එක්රැස් කරගනිමිනි. එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග ගේ සමීපතමයෙකු වූ රොනී පිරිස්ට හිමිව තිබු ගුවන් විදුලි විකාශන බලපත්‍රය මගින් රෙනෝ සිල්වා ඇතුළු තවත් කිහිපදෙනෙකුගේ ප්‍රාග්ධන දායකත්වයෙන් විකාශන පහකින් යුතුව එය ආරම්භ කෙරුණි. 'හිරු' හා 'තරු' (පසු කලෙක මෙය 'ෂා එෆ් එම්' ලෙස නම් වෙනස් කෙරුණි) සිංහල සේවා ලෙසත්, 'සන්' සහ 'ගෝල්ඩ් එෆ් එම්' විකාශයන් ඉංග්‍රීසි සේවා ලෙසත්, 'සූරියන්' දෙමළ සේවය ලෙසත් ක්‍රියාත්මක වූ අතර ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පියෙකු වූ නඩරාජා සිවම් ගේ ප්‍රධානත්වයෙන් යුතු 'සූරියන් එෆ් එම්' සේවාව එකළ පැවති දෙමළ ගුවන් විදුලි විකාශයන් අතරින්, ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹිනි.

වෙනස් භාෂාවන්ට අයත් විකාශන සේවා වෙන් වෙන්ව පැවතිය ද සියලුම මාධ්‍ය සේවාවන් සඳහා ප්‍රවෘත්ති අංශය පවත්වාගෙන යනු ලැබුවේ එක් කාමරයක් තුළ ය. හමුදා බුද්ධි අංශ වෙත තමන් ගැන වැරදි තොරතුරු ලබා දුන් තමන් සමග එකට වැඩ කළ මාධ්‍ය සගයන් පිළිබඳ ආවර්ජනයක යෙදුණු කුරුපරන් ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා වූ අජිත් ගමගේ පිළිබඳ ප්‍රසාදයෙන් කතා කළේය. 'දේශපාලන පසුබිම මොකක් වුණත්, අජිත් නිවුස් වලදී හරිම සමබර විදිහට කටයුතු කළා. අපේ දෙමළ නිවුස්වලටත් ඔහුගේ කිසිම බලපෑමක් තිබුණේ නැහැ. තොරතුරු නිවැරදි නම්, මුලාශ්‍ර සඳහන් කරන්න පුලුවන් නම් ඒ පිළිබඳ ඔහුගෙන් ගැටළුවක් නැහැ. එත් ප්‍රවෘත්ති අංශයේ වැඩ කරපු අනිත් අය මා කෙරෙහි දැක්වුයේ වෛරීසහගත ස්වරුපයක්. ඒ වගේම වැඩ කටයුතු කලේ හරිම ජාතිවාදී විදිහට. ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ, උදයජීව ඒකනායක, උදය ජනප්‍රිය විජේසිංහ, අපර්ණා බණ්ඩාර, නිරංජලා කරුණානායක ට අමතරව 'හිරු' එෆ් එම් වැඩසටහන් අංශයේ සුදේව හෙට්ටිආරච්චි හා ක්‍රිශාන්ත දයානන්ද බොහෝ වේලාවලට මම සම්බන්ධයෙන් ඉතාමත්ම වෛරිසහගත අයුරින් තමයි වැඩ කලේ. දවසක් මම ඉදිරිපත් කරපු දේශපාලන සංවාද වැඩසටහනක් කොටි සංවිධානයට පක්ෂපාතී බව කියමින් සුදේව හෙට්ටිආරච්චි මට ප්‍රසිද්ධියේම තර්ජනය කළා," කුරුපරන් කියයි.

'සුදේව ගැන මට මෙහෙම පූර්ව අත්දැකීමක් තියෙනවා. මම මේ කතාව කියන්නේ වගකීමෙන්. කුමාර් පොන්නම්බලම් ඝාතනය කරපු වෙලාවේ මුලින්ම නිවුස් එක ලැබුනේ මට. එදා සිංහල නිවුස් එඩිටර් හිටියේ සචිත්‍ර සිල්වා. නිවුස් රීඩර් සුදේව හෙට්ටිආරච්චි. එදා මේ දෙන්නා කුමාර් පොන්නම්බලම් ඝාතනය ගැනත්, ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන්න ඔවුන්ට ලැබීම ගැනත් එකිනෙකා වැළඳ ගනිමින් ම්ලේච්ඡ සතුට ප්‍රකාශ කළේ ප්‍රවෘත්ති අංශයේ හැමෝම ඉදිරියේදී යි. මිනිස් ජීවිතය සහ මරණය ගැන ඔවුන් දැරූ ජාතිවාදී, නොගැඹුරු ආකල්ප ගැන මට තිබුණේ ඇත්තෙන්ම පුදුමයක්. ඊට අවුරුදු කිහිපයකට පස්සේ සචිත්‍ර සිල්වා රිය අනතුරකට ලක්ව තරුණ වයසේදීම මියයාම ගැන මට අදටත් තියෙන්නේ කණගාටුවක්. ”

පැහැර ගැනීමට පෙර කිහිපවතාවක්ම එවකට රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු දසනායක වැන්නන් ඔහුට දුරකථනය ඔස්සේ තර්ජනය කළ බව කුරුපරන් සිහිපත් කළේය. ඒ 'සූරියන්' හි විකාශය කෙරුණු ප්‍රවෘත්ති කිහිපයක් සම්බන්ධයෙනි.

“සාම්පුර් බෝම්බ හෙලීමක් ගැන මම එවකට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වුනු කෙහෙළිය රඹුක්වැල්ල ගේ සහ එවකට විමුක්ති කොටි සංවිධානයේ ත්‍රිකුණාමලය බාරව හිටිය එළිලන් ගේ ප්‍රකාශ අරන් විකාශය කළා. තමන් හා එළිලන් සමානයන් ලෙස සැළකු බව කියමින් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මට දුරකථනයෙන් තර්ජනය කරා. ඔහුට ඕනෑ කළේ මේ සිද්ධිය ගැන ආණ්ඩුවේ මතය විතරක් ප්‍රකාශ කරන්නයි.”

කුරුපරන්, විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ අයෙකු ලෙස කොටු කර ගැනීමට නොයෙකුත් උත්සාහයන් දරණ ලද්දේ මේ සිදුවීම්වලට පසුව ය. රඹුක්වැල්ල ඇමතිවරයාගේ තර්ජනාත්මක දුරකතන ඇමතුමෙන් දින කිහිපයකට පසු එක්තරා පුද්ගලයෙකු කුරුපරන් සොයා පැමිණියේ සාම්පුර් ප්‍රදේශයේ යුද්දයෙන් විපතට පත් ළමුන්ට ආධාර කිරීමට ඉඩ ප්‍රස්තාවක් සලසා දෙන මෙන් ඉල්ලමිනි.

“ඒ මනුස්සයා දැක්ක ගමන් මට හිතුනා පොලිස් නිලධාරියෙක් බව. ඔහුට ඕනෑ කළේ ත්‍රිකුණාමල කොටි නායක එළිලන් ගේ සම්බන්ධතාවයක් මා හරහා ගොඩනගා ගන්න. ඔහු සිංහ සමාජයේ සාමාජිකයෙක් ලෙස තමයි හඳුන්වා දුන්නේ. මම කිව්වා ඉතින් ඔයාට පුළුවන්නේ ත්‍රිකුණාමලේ සිංහ සමාජය හරහා ඒක කරන්න කියලා. ඔහු පිටවෙලා ගියේ නොසතුටින්.. ඊට පස්සේ මම ඔහුව දැක්කේ නැහැ.”

කෙසේ වුවද, පැහැර ගන්නා ලද කුරුපරන්ට ජීවත්වීමේ අහඹු වාසනාව හිමි විය. පැහැරගෙන දින දෙකකට පසු පැහැරගත් පිරිසම යළිත් නුගේගොඩ කළුබෝවිල පාරේ අතුරු මාවතක දමා යනුයේ ත්‍රී වීලරයකින් ගෙදර යාමට රුපියල් 200 ක් ද ඔහු අත තබමිනි. “මම හිතුවේ ඔවුන් මාව ගෙනාවේ වෙඩි තියල දාන්න කියලා. ඔවුන් යනකම් මගේ ඇස් බැඳලා තිබුණු රෙදි පටිය ගලවා ගන්න තහනම් කරලා තිබුනේ. එත් මම වාහනේ පිටත් වෙන හඬ ඇහෙනවත් එක්ක ඒක ගළවා ගත්තා. ඒත් එක්කම ආව ත්‍රී වීරලරයක නැගලා මම ගේ ළඟට ඇවිත් ගාන ඇහැව්වාම රුපියල් 200 යි කිව්වා. පස්සේ තමයි මට කල්පනා වුණේ ත්‍රී වීලරයත්ඒ අයම සෙට් කළ එකක් බව.”

නිදහස්ව පැමිණි ඔහු යළිත් සුපුරුදු පරිදි මාධ්‍යකරණයේ යෙදුනු අතර කොළඹ පැවති මාධ්‍ය හමුවක් වාර්තා කිරීමට ගිය අවස්ථාවක ඔහුට හමුවූ එවකට හමුදා මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සමරසිංහ 'ඔයාව අරන් ගියේ අපේ කට්ටිය' බව කියා තිබිණ. ඊට කුරුපරන් සිනාසුනා පමණි. නමුත් සිය දරු පවුල ද රැගෙන පිටුවහල්වන්නට ඒ වනවිටත් කුරුපරන් තීරණය කර තිබිණ.

තිරූගේ කථාව

thirukumaran croppedකීත් නොයර් හා නඩරාජා කුරුබරන්ගේ බිහිසුණු අත්දැකීම් ගැන මතක ඇතියවුන් දකුණු ලංකාවේ සිටිය ද තිරුචෙල්වම් තිරුකුමාරන්ගේ සන්සුන් දිවි පෙවෙත විසුණු කළ භීෂණකාරී පරිච්ඡේදය බොහෝ දෙනා නොදනිති.

තිරුකුමාරන් දෙමළ සාහිත්‍ය ලෝකයේ ඉමහත් ඇගයීමට පාත්‍ර වූ නිර්මාණශීලි කවියෙකි. වසර තුනක් පුරා 'තිනක්කුරල්‍' පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කළ හේ ඊට පෙර MTV රූපවාහිනිය හා සම්බන්ධව වසර දහයක් පුරා මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළේය. සුදු වෑන් රියකින් පැහැර ගනු ලබන විට ඔහු පරිසර අමාත්‍යංශයේ රැකියාව කරමින් නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කරමින් සිටියේය. 2008 ජුනි 21 වැනිදා සවස සේවය නිමවා ඔහු පදිංචිව සිටි බොරැල්ල ප්‍රදේශයේ මහල් නිවාසය වෙත පෙරළා ගියේය.

“ෆ්ලැට් එකට ඇතුල් වෙන ගේට්ටුව වහලා තිබුනා, සිවිල් ඇඳගත් කට්ටියක් මගේ අයිඩෙන්ටි කාර්ඩ් එක ඉල්ලුවා. අමාත්‍යංශ අයිඩෙන්ටිය වගේම මගේ මීඩියා අයිඩෙන්ටියත් මම ඔවුන්ට පෙන්නුවා,” තිරූ කියයි. සිවිල් ඇඳගත් කණ්ඩායම තිරූගේ නිවෙසට බලහත්කාරයෙන්ම ඇතුල්වූයේ ඉක්බිතිව ය.

“අපි බොරැල්ල පොලිසියෙන්, අපිට ටිකක් කතා කරන්න ඕනේ කියලා සිංහලෙන් කිව්වා. මම ඇහැව්වා බොරැල්ල පොලිසියෙන් නම් ඇයි සිවිල් ඇඳුමින් කියලා. එතකොට එක් අයෙක් මගේ කාමරයටත් ඇතුල් වුණා. මගේ පුතාට එතකොට මාස හයයි. එයා අඬන්න ගත්තා. මං එයාව වඩාගන්න කියල හැදුවා විතරයි, කාමරයේ හිටිය කෙනා මගේ ඔළුවට පිස්තෝලය තියල සිංහලෙන් කිව්වා 'ළමයා ගන්න එපා හු.... පුතා! තොගේ ඔළුවට වෙඩි තියෙනවා. වැඩිය කරදර නොකර වරෙන් යන්න' කියලා.”

සිවිල් ඇඳුම් හැඳගත්තෝ හත් දෙනෙක් වූහ. ඊට අමතරව මහල් නිවාසය අවට ස්වයංක්‍රීය අවි ගත් විශේෂ කාර්ය බළකා සෙබළුන් රැකවලේ සිටියහ. බලහත්කාරයෙන් ගෙන යන තම පුත්‍රයා රැගෙන නොයන ලෙසල මහල් නිවාස දොරටුව අසළ සිටි තිරූගේ පියා සන්නද්ධ මැරයන්ට පින්සෙන්ඩු වුයේය. මාර්ගය අද්දර නවතා තිබුණු සුදු වෑන් රථය අසලට තිරුකුමාරන් රැගෙන යනවාත් සමඟ ඔහු මහත් හඬින් බැගෑපත් වූයේය.

“මාව අරන් යනවාට විරුද්ධ වුණු මගේ තාත්තාට මගේ ඉස්සරහම උන් බිම පෙරළාගෙන ගැහැව්වා. මම කෑ ගහලා කිව්වා 'මගේ තාත්තට ගහන්න එපා' කියලා. එතකොට උන් මගේ බෙල්ලෙන් අල්ලලා වාහනේ ඇතුළට දාගත්තා. උන් මට වෑන් එකේ දාගෙන හොඳටම පහර දී දී පැය තුනක් විතර එහාට මෙහාට ගියා.”

පැය තුනකට පසු කිසියම් ගොඩනැගිල්ලකට රැගෙන යන ලද තිරු කුමාරන් එහිදී අමානුෂික දහසකුත් ප්‍රශ්න කිරීම් මධ්‍යයේ වධ හිංසාවන්ට පාත්‍ර කෙරුණි. “මේ තැනට ගෙනාවට පස්සේ මගේ ඈස් බැඳලා තිබුණු රෙදි පටිය ගලවා දැම්මා. එක එක වර්ගයේ ඇඳුම්, සපත්තු, සෙරෙප්පු විශාල තොගයක් එතන ගොඩ ගහලා තිබුණා. සිමෙන්ති වලින් විශාල කුහර හදලා තිබුනා, සොහොන් පිට්ටනියක වගේ කොන්ක්‍රීට් වලවල් තිබුණා".

වධකාගාරයේ පළමු රාත්‍රිය තිරූ නිදිවර්ජිතව ගෙවා දැමුවේය. ඒ මරණ බිය නිසා ය. දෙවැනි දිනයේ ඔහුට වඩා දරුණු වධ බන්ධනයන්ට ලක්වන්නට සිදු විය. “මගේ ලිංගෙන්ද්‍රියට කරන්ට් එක ඇල්ලුවා. මගේ ජීවිත කාලයේම එකෙන් පීඩා විඳිනවා. එක දිගටම දවස් පහක් විතර වරින් වර පැට්‍රෝල් බෑග් ඇල්ලීම වගේ දරුණු වධ බන්ධන දුන්නා”.

පැහැරගන්නා මොහොත වනවිට තිරුකුමාරන් 'තිනක්කුරල්' පුවත්පතට ආරක්ෂක තත්ත්වය පිළිබඳ කොලමක් සම්පාදනය කරමින් සිටියේය. වධකයන්ගේ ප්‍රශ්න කිරීම්වලට පාදක වී තිබුණේ මේ ආරක්‍ෂක කොලමේ අන්තර්ගත කරුණු ය. ආරක්ෂක හමුදා නිලධාරීන් හා සාමාජිකයන් සමඟ ඔහුට ඇති සම්බන්ධතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීන්, රජයේ සේවකයන් හා නිලධාරීන් සමඟ ඇති ගණුදෙනු ගැන ද, ආරක්ෂක අංශ ගැන මෙහෙයුම් ගැන තොරතුරු ලබා ගන්නේ කෙසේද යන්න ගැනත් ඔහුගෙන් ප්‍රශ්න කෙරුණි. “මේ හැම ප්‍රශ්න කිරීමකදිම වධ දෙනවා. එක මොහොතක් නිදහස් නැහැ. කරන්ට් එක අල්ලන එක සාමන්‍ය දෙයක් වගේ තමයි මෙතැනදී සැලකුවේ. කොහොමද කොටින්ගේ ප්‍රචාරක කටයුතු කෙරෙන්නේ ? කව්ද ඒවාට සම්බන්ධ? විශේෂයෙන් කොටි සංවිධානය එක්ක සම්බන්ධ මාධ්‍යවේදීන් කව්ද? සිවරාම්ව, ප්‍රභාකරන්ව හමු වුණාද? මගේ ඉදිරි සැලසුම් මොනවද වගේ ප්‍රශ්න විතරක් නෙවෙයි, කුල ප්‍රශ්න ගැනත් අතොරක් නැති ප්‍රශ්න ඇහුවා. ඒක පළමු දවසේ ඉඳන් දිනපතාම අහනවා.”

එක් දිනෙක කාන්තාවක් ද ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකු තිරුකුමාරන් ඉදිරියට ගෙනා වධකයන් ඔවුන් දන්නේදැයි විමසා සිටියේය. තමන් ඔවුන් නොහඳුනන බව තිරූ කිවේය. එසේ දැන්වීමෙන් අනතුරුව ඔවුන්ව සිමෙන්ති කුහර තුළට දමා වසා දැමිණි. තවත් එක් මොහොතක දී එක් වධකයෙකු ජංගම දුරකථන ඇමතුමකට පිළිතුරු දෙනු තිරූට ඇසුණි. “පෑලියගොඩ එකේ ඉන්නේ”යි අදාළ පුද්ගලයා කීවේය. ඒ අනුව මෙම වධකාගාරය ඇත්තේ පෑලියගොඩ පැත්තේ බව හේ අනුමාන කළේය. එමෙන්ම අවට පරිසරයේ සිසිල, ජලයේ පවතින සිසිල නිසා මෙය පිහිටා ඇත්තේ ගඟක් හෝ ඔයක් අසළ බව ඔහුට පුර්ව වැටහීමක් තිබිණි.

“දවස් හතරක විතර එක දිගටම වධදීම් එක්ක කෙරුණු ප්‍රශ්න කිරීම් හමුවේ මම හිටියේ හොඳටම හෙම්බත් වෙලා. මට හිතුන මම ඉවරයි කියලා. මගේ ශරීරය තියෙනවාද කියලාවත් මට හැඟීමක් තිබුණේ නැහැ. එත් මම ජීවිතේ අත හරියේ නැහැ. මම හිතන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් එහෙමයි. මෙහෙම ඉන්නකොට එකෙක් ඇවිත් මගේ මුහුණට ආයෙමත් පැට්‍රෝල් බෑග් එක ඇල්ලුවා. හුස්ම ගන්න බැරිව මට සිහි නැතිවුණා. මට සිහිය එනකොට මම හිටියේ දෙහිවල පැත්තේ කියල මට තේරුණා. උන් මාව මගකට ගෙනත් දාලා ගිහින් කියලා මට තේරුණා.” කවර හෝ හේතුවක් නිසා තිරුකුමාරන් පැහැරගෙන ගිය වධකයන් ඔහුව අත්හැරීමට තීරණය කළෙන් ආබාධිතයෙකු ලෙස හෝ ජීවත්වීමේ අවස්ථාව යළි ඔහුට උදා විණ.

දරුණු වධ වේදනාවන්ට ලක් වීම හේතුවෙන් ඇතිවූ මානසික පීඩනයත්, මරණ බියත් හේතුවෙන් තිරූ ඉතාමත් කෙටි කලක් තුළ ඉන්දියාවට පලා ගියේය. එහිදී ඔත්පල වූ ඔහු මාස හයක් පුරා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව යම් ප්‍රමාණයකට ඇවිද යාමේ හැකියාව යළිත් ලැබීය. ඒ වන විට දෙමළ ජනතාවට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන 'මානුෂික මෙහෙයුම' ඇරඹී හමාර ය. ආහාර හා බෙහෙත් සම්බාධක පනවමින් ගෙනයන යුද්ධයට ඉන්දියාවේ සහයෝගය ලබා දීම කෙරෙහි බරපතල විරෝධයක් දකුණු ඉන්දීය දේශපාලන කණ්ඩායම්, බහුජන සංවිධාන හා වෘත්තීය සමිති මුල්කරගෙන පැන නැගෙමින් තිබිණ. ඔවුන් සමඟ සබඳතා ගොඩ නගා ගත් තිරූ, ජීවිතාරක්‍ෂාව පතා ඒ වනවිට ඉන්දියාවට පැමිණ සිටි ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ඉන්දීය බහුජන සංවිධාන හා සම්බන්ධතා ගොඩනගා දීමට උත්සුක විය.

“මෙහෙ තියෙන සාකච්ඡා හරහා යම් බලපෑමක් කරන්න මගේ මාධ්‍ය මිතුරෙකු වුණු කුසල් පෙරේරාට මම ඇරයුම් කළා. එතකොට සුනන්ද දේශප්‍රියත් චෙන්නායිවල හිටියේ. කුසල්ගේ ඉල්ලීම මත එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරියත්, එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මංගල පාර්ශවයේ ක්‍රියාකාරීව සිටි උපුලාංගනී මාලගමුවටත් ඇරයුම් කළා. සුනන්ද සහ කුසල් දෙන්නාටම ඉන්දියාවේ බහුජන සංවිධානවල පිරිස්, ජනමාධ්‍යවේදීන්, කලාකරුවන්, තමිල් නාඩු දේශපාලකයන් හදුන්වාදෙන්න මම කටයුතු කළේ ශ්‍රී ලංකාවේ ජනසංහාරක යුද්ධයට එරෙහිව මොනවා හරි බලපෑමක් කරන්නයි,” තිරුකුමාරන් කියයි.

2009 මැයි 18 වැනිදා අවසන් කළ ශ්‍රී ලංකා රජයේ හමුදා මෙහෙයුම් දෙමළ ජනයා ඉලක්ක කරමින් ගෙනගිය ජනවර්ග සංහාරක ක්‍රියාවලියේ නිමාව සළකුණු නොකළේය. චෙන්නායි පොලිසිය තිරූ ලුහුබැඳ එන්නට පටන් ගත්තේ ඉන් පසුව ය. “චෙන්නායි පොලිසියේ කිව් බ්‍රාන්ච් එක මාව අත් අඩංගුවට ගන්නේ හයි වේ එකක් මැදදී. ඊට පස්සේ ඔහුන් කෙලින්ම මාව අරන් ගියේ ට්‍රිචිවල තියෙන ඔවුන්ගේ කෑම්ප් එකකට. ලංකාවේ වගේ කායික වධ හිංසාවන් නෙමේ, ඔවුන් වැඩියෙන් වධ දෙන්නේ මානසිකව. ඒක දරුණු වේදනාවක්. මාස නවයක් තිස්සේ කිව් බ්‍රාන්ච් එකේ වධ හිංසාවලින් පස්සේ යම් සහනයක් ලැබුනේ මගේ ඩොක්ටර් මට ට්‍රීට්මන්ට් කරන්න අවශ්‍යයි කියලා කළ ඉල්ලීමෙන් පස්සේ.”

ඒ අනුව පුරා මසක කලක් ට්‍රිචි රෝහලේ ප්‍රතිකාර ලැබීමට තිරූට සිදුවිය. ඒ 2009 අගෝස්තු මාසයේදී ය. බොහෝ මානසික හා ශාරීරික පීඩාවන් මැද කිව් බ්‍රාන්ච් අඩස්සියේ ගෙවා දැමූ කටුක දිවිය නිමාවට පත් කරමින් එම කඳවුරෙන් නිදහස් ලබන්නට ඔහුට හැකි වූ නමුත්, ඔහුට කිව් බ්‍රාන්ච් නිලධාරීන්ගේ මානසික පීඩාවන්ගෙන් නම් අඩුවක් නොවිණි. ඉන්දියාවේ පැරණිම බහුජන සංවිධානයක් ස් සැළකෙන සිවිල් අයිිවාසිකම් සඳහා වන මහජන සංගමය ඇතුළු ඉන්දියාවේ බහුජන සංවිධාන විසින් කරන ලද මැදිහත්වීම්වල ආදාරයෙන් නිදහස ලබන තිරූ , 2010 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයේ මැදිහත්වීමෙන් අයර්ලන්තතය බලා පිටත් වූයේ පුරා වසර දෙකකට ආසන්න කර්කශ ඉන්දීයසරණාගත ජීවිතයට සමු දෙමිනි. අයර්ලන්තයට පැමිණි ඔහු ලන්ඩනයේ සිටින සිය ඥාතියෙකු හමුවීමට ගොස් සිටිය දී යළිත් බ්‍රිතාන්‍ය ආගමන-විගමන බලධාරීන් විසින් අත් අඩංගුවට පත් වූයේ ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ ය.

පැහැරගෙන යනු ලැබීමෙන් නව වසරක් ඇවෑමෙන් තිරුකුමාරන් යළිත් නිදහස භුක්ති විඳියි.

“දැන් අවුරුදු හතක් ගත වෙලාත් මම හැම මාසෙකම රෝහල් ගත වෙනවා. තවමත් ප්‍රතිකාර කරනවා. මගේ ඈස් වල පෙනීම අඩුවෙලා. පිට කොන්ද, තුනටිය තවම වේදනා දෙනවා. වම් කකුල කඩා දාලා වගේ. වැඩි දුර ඇවිදින්න බැහැ, හරිම වෙහෙසක්‌, වේදනාවක් දැනේන්නේ. ඝණ ආහාර දිරවන්න තවමත් මට අමාරුයි. ඒ නිසා වැඩිපුර දියර දේවල් විතරයි මම ගන්නේ. මාස හයේදී මගෙන් ඈත් කළ මගේ දරුවා මම පළමුවරට දැක්කේ එයින් අවුරුදු හතකට පස්සෙයි. කායිකව විතරක් නෙවෙයි, මානසිකවත් බාගෙට මරා දාලයි තියෙන්නේ.”

සිය දුෂ්කර ජීවන අත්දැකීම් අතරවාරයේ දැන හඳුනාගත් මිතුරන් විසින් කළ පාවාදීම් සහ ද්‍රෝහිකම් පිළිබඳව ද ඔහුට ඇත්තේ බලවත් සිත් වේදනාවකි.

“මම මාධ්‍යවේදියෙක් නෙමේ , කොටි සාමාජිකයෙක් කියලා ලේබල් ගහලා ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානවලට සමහර සහෝදර මාධ්‍යකරුවන් විසින්ම දන්වලා තියෙනවා. ඒ නිසා මුල් අදියරේදී ඒ අය මට උදව් කරන්න පැකිලුනා. එහෙම නොවුනානම් මට මේ තරම් කාලයක් රැඳවුම් කඳවුරුවල ඉන්න සිද්ධවෙන්නේ නැහැ. එහෙම කරන්න මුල්වෙලා තියෙන්නේ මම ඉන්දියාවේදි උදව් උපකාර කළ, විශ්වාස කළ ඇතැම් මාධ්‍ය දැවැන්තයන් කියලා දැන ගත්තාම මට අදහාගන්න බැරි වුණා. රෙෆ්‍යුජි කෑම්ප් එකේ ඉඳන් මම හොඳටම ඇඩුවා,” තිරූ සිහිපත් කරන්නේ බිඳුණු සිතිනි.☐

(මතු සම්බන්ධයි)

athula vithanage 1අතුල විතානගේ

http://www.jdslanka.org

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top