Jun 15, 2017

ජාති හෝ ආගම් වාදයට සොබාදහම සුරැකිය හැකිද?

සොබාදහම සම්බන්ධව හා එහි ආරම්භය හා විකාශය සම්බන්ධව මිනිසා තුල කුතුහලය ඇති වූයේ අද ඊයේ නොවේ. එම නිසා එය සම්බන්ධව විවිධ මත සිය දහස් ගණනක් මේ වන විට පලවී ඇත. සොබාදහම දෙවියන්ගේ මැවීමක් නම් පරිසර ප්‍රශ්නයද දෙවියන් විසින් විසදනු ඇතැයි ඇතමුන් තව දුරටත් විශ්වාස කරති. තම තමන්ගේ විශ්වාසයන් හෝ ඇදහිලි තමතමන් ළඟ තිබෙන තාක් එය පොදුසමාජයට හෝ සොබාදහමට බරපතල ප්‍රශ්නයක් නොවේ.

නමුත් එය ක්‍රියාත්මක තලයේ සෘජුව ගැටෙන්නේ සෙබාදහමේ හා සමාජයේ සංඝටක සමඟය. එම නිසා පරිසරය හා පරිසර ප්‍රශ්නය සම්බන්ධව විඥානවාදි අදහසින් බැහැරව ජාති හෝ ආගම් වාදයට සොබාදහම සුරැකිය හැකිද?

පෙර කාලයේදී ඇතමුන්ට ගංවතුරක් නාය යෑම් හෝ ගිනි කදු පුපුරායාම අවබෝධ කරගැනීමට තිබූ අපහසුව නිසා ඔවුන් ඒවා දෙවියන්ට බාරදී සිටියේය. ලංකාවේ නම් පොල්ගෙඩියක් දෙවියන්ට බාරකලේය. හින්දු සමාජයේ පුද පුජා පැවැත්වූ අතර අනිකුත් ආගම් හා සමාජ වල එලෙසින්ම සමාන දේවල් සිදුකෙරිණ.

නමුත් මානව චින්තනයේ දියුණුවත් සමගම මිනිසා සොබාදහමේ යම් යම් කාරණා අවබෝධ කරගත්තද අද වන විටත් මෙවන් දේ සිදුවෙමින් පවති. මානව සමාජයේ සංස්කෘතික ගුණාංග හැරෙන්නට රජයන් විසින් සිදුකරණ තක්කඩිකමි වසා දමන්නට හෝ සබෑ අරගලයන් යටපත් කිරීමටත් එය එලෙස සිදුවන්නට හැකිය.

සොබාදහමේ අයිතිය

Nature and religioun

සොබාදහම සම්බන්ධ විශ්වීය තෙරුම් ගැනීමනම් ගස් වැල් " සතා සිව් පාවා" ඇල දෙළ අයිති කිසිදු ආගමකට හෝ ජාතියකට නොවේ. එවා අයිති සොබාදහමට බවය. ගසක් නිෂ්පාදනය කරන ඔක්ෂිජන් වාතය බෙදාදෙන්නේ ජාති හෝ ආගම්වාදයත් පංති සමාජයත් නොසලකමිනි. සොබාදහමේ සෑම අංගයක්ම එලෙසය. බෝගහ බෞද්ධයන්ගේ හෝ කෙසෙල් ගස හින්දූන්ගේ නොව ඒවා ඔහුනොවුන්ගේ සංස්කෘතික ලක්ෂණයන් පමණයි .

එක් සත්ත්ව කොට්ඨාසයකින් හෝ ශාක විශේෂයකින් පරිසර තුලනය කළ නොහැකි සේම එක් ජනවර්ගයකින් සමාජය තුලනය කළ නොහැක. එමනිසා ජෛව විවිධත්වය පිළිගන්නේ නම් එය ආරක්ෂා විය යුතු බව අදහන්නේ නම් සමාජයේ ජනවර්ගවල විවිධත්වය ද පිළිගත යුතුය. ජනවර්ග විවිධත්වය නිසා ඔවුනොවුන් අරගල කර ගැනීමෙන් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම හෝ පරිසර විනාශය වැළැක්වීම කළ නොහැකිය. එමනිසා අප විරුද්ධ විය යුත්තේ අප අසල සිටින මුස්ලිම්ල "දමිළ හෝ අනෙකුත් ජනයාට එරෙහිව නොවේ. එසේ එරෙහි වීමෙන් සිදුවන්නේ පරිසරය නසන සංහාරකයා අප සියල්ලම විනාශ කරමින් රටේ පරිසර සම්පතත් විනාශ කිරීමය.

පරිසර ප්‍රශ්නය යනු පරිසරයේ ප්‍රශ්නයක් නොවේ

Religioun and political

අනෙක් අතින් අප තෙරුම් ගත යුත්තේ පරිසර ප්‍රශ්නය යනු පරිසරයේ ප්‍රශ්නයක් නොවන බවයි. එය මෙම සමාජ ආර්ථික දේශපාලන සංදර්භයේ ගැටලු වල ප්‍රතිඵලයකි.

එසේනම් අප පිළිතුරු සෙවිය යුත්තේ අප ජිවත් වන සමාජයේ දියත්වන අර්බුදකාරි ආර්ථික දේශපාලන හා සමාජ ප්‍රශ්නයට පිළිතුරක් මිස වෙන කිසිවක් නොවේ.

පවතින හා පැවති සැම ආණ්ඩුවක්ම සම්පත් සුරා කැම හෝ සූරාකෑමට වෙනත් අයට ඉඩදීම යන්න සමාජයේ ප්‍රශ්නකාරී ස්භාවයක් ලෙස පැන නගින සෑම මොහොතකම එම පරිසරික අර්බුදය ජාතිවාදී හෝ ආගම්වාදී තැන්වල ගැටගසන ලදී. උදා විල්පත්තු වන විනාශය සමබන්ධ ගැටළුව නිර්මාණය වුයේ ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මත කිරීම සදහා ඉඩම් ලබාගැනීමත් කැලෑ එළි කිරීමත් නිසාය. නමුත් රජයට එන විරෝධය වලක්වා ලීම සදහා එය මුස්ලිම් ප්‍රශ්නයක් බවට පරිවර්ථනය කරන ලදී. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත්, මෛත්‍රීගේ ආණ්ඩුවත් දෙකම සිදුකලේ මෙම ක්‍රියාවය. මෙය එක් නිදසුනක් පමණි. මෙවන් නිදසුන් සියය ගණනක් ඇතුවාක් මෙන්ම අප මෙය තෙරුම් ගන්නා තාක්කල් එවන් දේ ඇතිවිය හැකිය.

පොල් ගැසීම සහ යට ගැසීම

Coconut

තවත් එක් උදාහරණයක් ගතහොත් ලංකාවේ වකුගඩු රෝගයට හේතුව අබිරහසක් හෝ නාථදෙවියන් කෝප වීමක් නොවන බව වඩා පැහැදීලිය .ලෝක සෞඛ්‍යය සංවිධානය 2010 වසරේ සිය පර්යේෂණ නියාමනයන් වල එය වඩා පැහැදිලිව පෙන්වා දී ඇත . බැරලෝහ ජලයට මුසුවූයේ කුඔුරු හා ගොවිතැන් වලට යෙදූ වස වලිනි. එය දේව ශාපයක් නොවනවා සේම සහල් වල ආසනික් ඇති බවට පර්යේෂණ තහවුරු කරනු ලැබුවේ නාථ දෙවියන්ගේ කෙරුවාවක ප්‍රතිපලයක් වශයෙන්ද නොව.

නමුත් එය නාථදෙවියන්ගේ හාස්කමක් ලෙස හුවා දැක්වු විශ්ව විද්‍යාල මාහාචාර්යවරුත් , රතන හාමුදුරුවන් වැනි තවත් පිරිස් වකුගඩු රෝගය නිසා මිනිසුන් මැරි මැරී යනවාත් සමගම රජරටින් නැගෙන්නට පටන් ගත් ආණ්ඩු විරෝධය යටපත් කලේ සිනීගම දේවාලයේ පොල් ගැසීමෙනි. ඔහුන් පවා එය හොදින් දැනුවත් වී සිදුකල එකකි. තවමත් රජරට වකුගඩු රෝගය එලෙසමය. නමුත් ජනතා විරෝධය යටපත්ව ගොස් රජයන්ගේ හා කොම්පැණි කරුවන්ගේ අවශ්‍යතාව ඉටුවී ඇත.

පරිසරය සංරක්ෂණයේ අනාගතය

save earth

මෙලෙස ලංකාවේ පරිසර විනාශයට හා එම ප්‍රශ්න නොමග යැවීමට ලංකාවේ ඇතැම් පරිසරවේදීන් හා පරිසර සංවිධානද වගකිවයුතුය. පරිසර ප්‍රශ්නයේ අයිතිකරුවන් මේ වන විට බිහි වී ඇත. ලංකාවේ පරිසර සංවිධාන 6000කට අධික ප්‍රමාණයක් තිබේ. මේ පරිසර සංවිධාන අතර බහුතරයක් විදේශ ආධාරවලින් යැපෙන ඒවාය .ඒ සම්බන්ධව අපට ගැටළුවක් නැත, මක් නිසාද යත් ඔහුන්ද මූලික අවශ්‍යතා සපුරාගන ජීවත්විය යුතු නිසාය. නමුත් සොබාදහම හා එහි ගැටළු තමන්ගේ ආදායම් මාර්ගය කර ගන්නවා සේම පෙරළා ඔහුන් සොබාදහමට යමක් කල යුතුය. නමුත් තම වගකීම පැහරහරින ලද හා පරිසර ප්‍රශ්නය අවුල් කිරීමේ වගකීම රටේ ඇතැම් පරිසර සංවිධාන භාරගත යුතුය.

ඇතැම් විට ඔවුන් පරිසරය වෙනුවෙන් සටන්වදිනවා කියන ප්‍රවෘත්තිය මවනවා හැරෙන්නට ඇත්ත ජනතා සටනට අකමැතිය. ඇතම් ජයග්‍රහණ වල අයිතිය පවා බොහෝ අවස්ථාවල ජනතාවගෙන් උදුරාගෙන ඇති ඇතර එහි ප්‍රතිඵලය නැවත ජනතාව කිසිදු අරගලයකට සහභාගී නොවීමයි. මෙහිදී අපහට උදා හරණ සමුහයක් ඇත. නමුත් ඒවා කීමට පෙර මෙම ලිපිය මගින් තවත් එක් වරක් අප උත්සහයක යෙදී සියල්ල පරිසරය වෙනුවෙන් එක් සටන් මගකට ගැනීමට උත්සහ කරමි .

එමෙන්ම අප පූද්ගලිකව අත්විදි කාරණයනම් පරිසර අධිකාරියට අමතරව පරිසරවේදීන්ගේද අධිකාරයක් ඇත. නව මිනිසෙකු ක්ෂේත්‍රයට බිහිවිම ප්‍රශන්සා සහගත විය යුතුය. නමුත් සිදුවන්නේ කුමන හො ක්‍රමයක්න් පරිසර ක්ෂේත්‍රයට පැමිණෙන ආධුනිකයින් පයට පගා විනාශ කිරිමට දරණ උත්සහයන්ය. වසනාවකට තවමත් තරුණ සත්වවේදීන්ගේ සංගමය වැනි ඒවා පොදු ඉඩ කඩ මිනිසුන්ට සොබාදහම ගැන ඉගෙන ගැනීමට ඉතුරු කර ඇත.

එම නිසා ලංකාවේ පරිසරය සංරක්ෂණයේ අනාගතය ගැන අප හිතනවානම් අප ඒ සදහා කැප කිරීම් කල යුතුවනවා සේම නව පරපුරක් බිහිවීමට අවශ්‍යය ආදරණිය මාවතක් ඔහුන් වෙනුවෙන් සකස්කල යුතුය.

මහපොළවට සදාකාලික පරාජයක්

Protect nature

අනෙක් අතින් පරිසර ප්‍රශ්නයද එලෙසය, පරිසර ප්‍රශ්නය හෝ එහි ඉගැන්වීම් අපි ජාතියකට හෝ ආගමකට කොටුකල විට සැම දිනම තාවකාලික ජයග්‍රහණයක් හා සදාකාලික පරාජයක් මේ මහපොළවට අත්වීම වලකාලිය නොහැකිය.

ජාතිවාදීන් ලෙස හෝ ආගම්වාදීන් ලෙස මැදිහත් වීමෙන් මෙරට පරිසර ප්‍රශ්නය විසඳිය හැකිද ? ජෛව විවිධත්වය තුළින් පරිසරය පොහොසත් කරන බව අප කාටත් කියා දිය යුතු නැත. නමුත් එය හොඳටම දන්නා මිනිසුන් පවා සමාජයේ විවිධත්වයට පහර එල්ල කරති. පරිසර ප්‍රශ්නය ආගම් වලට කොටු කරති.
සොබාදහමේ සියලු සංඝටක මකුළු දැලක්සේ එකින් එකට බැදී ඇත. එක් සංඝටකයක විනාශයක් අනෙකට කෙසේ හෝ බලපානු ලබයි. උදාහරණයක් ලෙස මී මැස්සන් වදවීයාම ආහර නිෂ්පාදනයට බලපාන්නාසේ එය නිමක් නැති බලපෑම් වලින් පූර්ණවේ. එලෙසම සමාජයේ ජාති හො ආගම්වාදී ප්‍රශ්නයද පරිසර සංරක්ෂණය කරනවා විණා වෙනත් විවිධ ගැටළු රාශියක ආරම්භයක් වේ .

මෙරට විශාලම පරිසර ඝාතනය සිදුවූයේ වසර 30 පැවති යුද්ධයෙන්ය. පරිසරයට ආදරය කරනවානම් සමස්ථ පරිසරයේ සෑම අංගයක්ම විනාශ කරන යුද්ධයන් ඇති වීම වැලැක්වීමට කටයුතු කල යුතුය .සිංහළයාට ,දෙමළාට, මුසල්මානුවාට මහ පොළව ආරක්ෂා කිරීම ගැන නැවත ඉගැන්විය යුතුසේම ඔහුන්ට පරිසරය විනාශය වෙනුවෙන් හෝ ජනසමාජයේ අසාධාරණයන්ට එරෙහි වීමට තිබෙන ඉඩකඩ ජාති ආගමි වාදී බැමි මගින් අප අහුරාලිය යුතු නොවේ . අප සමාජය හො පරිසර සංවිධාන මෙි සියල්ල තෙරුම් ගන්නා තාක්කල් සහ ඇතැම් කූට ව්‍යාපෘති ක්‍රියාත්මක වීමට ඉඩදෙන තාක්කල් අප රටෙහි පරිසර විනාශය අපට වලක්වා ගත නොහැකිය.

එම නිසා දීර්ඝ සටහන තවත් වසරකට කල් දමමින් මෙම කෙටි සටහන තැබුවේ මෙරට මහපොළව හා සොබාදම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සියලු දෙනාගේම එක්වීමේ අවශයතාව පෙන්වාදීමටත් ,පරිසර බේරාගැනීමේ අරගලය වඩා යහපත් තැනකට ගැනීමටය. කිසිවෙකු මේවා පුද්ගලික ගැටළුවක් බවට පත්කර නොගන්න. සැබෑ ජනතා ජයග්‍රහණය වෙනුවෙන් අප පෙළගැසෙමු!

රවීන්ද්‍ර කාරියවසම්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top