Jun 20, 2017

ටැංකි සුද්දා ගේ තහනමත් සමග ටැංකි තුල වාසය කරන සුද්දන්ට කුමක් වේවිද ?

බ්‍රසීලය ,ටොබාගේ වැනි දකුණු ඇමරිකාණු රටවල වාසය කල අප ටැංකි සුද්දා ලෙස හදුන්වන සත්ව විශේෂ පසුකාලිනව මත්ස්‍ය ව්‍යාපාරිකයින්ගේ වුවමනාව මත සිංගප්පුරුව,හොංකොං,ලංකාව වැනි රටවල් දාහතකට පමණ දැනට හදුන්වාදී ඇත.

ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරයට මුදා හැරි හෝ විසිතුරු මත්ස්‍යාගාර මගින් දැනටත් විකුණනු ලබන මෙම ටැංකි සුද්දා නිසියාකාර තාක්ෂණික හඳුනා ගැනීමකට ලක්කිරීමට වුවමනාය. මන්ද ටැංකි සුද්දා යනු එක් මත්ස්‍ය විශේෂයක් නොව විශේෂ හතරකට භාවිතාවන පොදු නාමයක් නිසාත් මෙම මත්ස්‍ය විශේෂ හතරෙන් විශේෂ කීපයක් දැනට ශ්‍රී ලංකාව තුළ ගෘහාශ්‍රිතව හෝ ස්වභාවික පරිසරය තුලින් හමුවේද යන්න නිසියාකාර අධයයනයක් සිදුවී නොමැති නිසාත්ය.

ඉංග්‍රීසි භාෂාවෙන් tank cleaner, scavenger, suckermouth catfish or common pleco නමින් හඳුන්වන මෙම මසුන් විද්‍යාත්මක වර්ගීකරණයේදී Siluriformes (බිළාල මසුන් / cat fishes) ගෝත්‍රයටත් Loricariidae කුලයටත් අයත් වේ. තවද ඝන දෙකකට අයත් වන මෙම මසුන් සිව් දෙනා ගේ සත්ත්ව විද්යාත්මක නාමයන් (Hypostomus Plecostomus) , (Hypostomus punctatus) , (Pterygoplichthys multiradiatus), සහ (Pterygoplichthys pardalis ) ලෙස දැක්විය හැකිය. මේ මසුන් අතරින් (Pterygoplichthys multiradiatus) විශේෂය ශ්‍රීලංකාව ඇතුළු ඉන්දු පැසිපික් / ඝර්ම කලාපිය රටවල පලිබෝධකයකු ලෙස ප්‍රකටය.

ටැංකි සුද්දා ඇල්ගා විශේෂ හා ජලජ පැලෑටි අහාරයට ගන්නා බව ප්‍රකට වුවත් මත්ස්‍ය බිත්තරද අහාරයට ගන්නා බව පර්යේෂකයන්ගේ මතයයි. කෙසේවෙත් ජලජ පැලෑටි උලා කෑම නිසා ස්භාවික ඇල දොලවලට මෙවුන් මුදා හැරීමෙන් මසුන්ගේ බිත්තර දමන ස්ථාන හා එම බිත්තර විනාශයට මොවුන් දැඩි බලපෑමක් සිදුකරනු ලබයි.

වර්ධිත මසෙකු සෙන්ටිමීටර 50 ක පමණ වන අතර මොවුන් උපරිම වර්ධන වේගයක් පෙන්වන මසුන් ලෙසද සලකේ. දැනට ශ්‍රී ලංකාව තුල නාගරික ජලාශ සහ පහත රට වැව් පොකුණු සහ කලපු ආශ්‍රිත වේගයෙන් පැතිර යයි.

මෙම කරුණු සියල්ල ඉහත කි මසුන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පෙර පරිසරවේදීන් පෙන්වා දුන් නමුත් මුදලාලි පැලැන්තිය ප්‍රබල වීම නිසා මහත් ව්‍යවසනයක් සිදුවී හමාරය, ඉස්තාලය වසන විට අශ්වයන් පැනගොස් සෑහෙන කල්ය. නමුත් කෙසේ වෙතත් දැන් අප බැලිය යුතු වන්නේ මෙම තහනමත් සමග සිදුවිය හැකි හානිය ගැනය.
මන්ද තහනමත් සමග රට පුරා විසිතුරු මසුන් ඇති කරන්නන් සහ විකුණන්නන් විසින් දැනට ඔවුන් ළඟ සිටින ටැංකි සුද්දන් විශාල වශයෙන් ස්වභාවික පරිසරයට මුදා හරිය හැකි බැවිනි. මන්ද මසුන් විනාශ කිරීමට කිසිවකුත් පෙළඹ වෙන්නේ නැතිබවිනි.

තහනම ප්‍රසංසනීය වුවත් තහනමින් පසුව මෙම මත්ස්‍ය විශේෂ ස්භාවික ජල මුලාශ්‍ර වලට මුදාහැරියහෙත් වන විනාශය අති මහත්ය. එම නිසා මෙම මත්ස්‍ය විශේෂය තහනම් කළා සේම දැනට නිවාස තුල හෝ මත්ස්‍යාගාර වල ඉන්නා මසුන් එක්කිරීමේ මධ්යස්ථානයක් හෝ කිහිපයක් නිර්මාණය කිරීම වන ජීවි අමාත්‍යාංශය මගින් කලයුතුය . එසේ නොවුනහෙත් මෙම මත්සය විශේෂ නිසා ලංකාවේ ආවේණික හා තර්ජනයට ලක්වී ඇති මසුන්ටත් අනෙක් සත්ව විශේෂ වල ආහාර දාමයන්ටත් දැඩි හානියක් සිදුවනු ඇත.

බන්දුල ජයනෙත්ති
රවීන්ද්‍ර කාරියවසම්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top