Jun 25, 2017

ආනන්ද ඉඩමේගම: ඝාතක යුගයකට ඇරුණු එක් මිනිස් කවුළුවක්

එක් දහස් අසූ තුනේ දුෂිත ජනමත විමසුම හරහා සිය නිල පාලන කාලය වසර හයකට දිගු කරගත් ජයවර්ධන 1988 දී යළි තෙවන වරටත් ඉදිරිපත් වීමේ සුදානම් විය.

එහෙත් ඊට එරෙහි වූ එවකට අගමැති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි නායක වූ ආර්.ප්‍රේමදාස ඊට සිය විරෝධය දක්වන්නට විය. ජනාධිපතිධුර අපේක්ෂකත්වය තමාට නොදුනහොත් එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරන බවට ඔහු තර්ජනය කළේය. තමන්ට එරෙහිව රට තුල පැන නැගී තිබුණු විරෝධයත්, එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමේ තර්ජනයත් හමුවේ තමන් හෝ තමන් කැමති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අදහස අත්හැර දැමූ ජයවර්ධන විසින් ජනාධිපති අපේක්ෂකධූරය ප්‍රේමදාස වෙත පැවරිණි.

'ධම්මික මහත්තයා'

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ '88 සැප්තැම්බරයේදී ඉල්ලීම් 43 කින් යුත් ජාතිය ගළවා ගැනීමේ වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කරන ලදි. එම වැඩ පිළිවෙල පදනම් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ජනාධිපතිවරණය සඳහා දේශප්‍රේමී එක්සත් පෙරමුණක් ගොඩනැගීමට පදනම් සකස් කරන්නට විය. ප්‍රධාන දේශපාලන පක්ෂ අටක් ඒ සඳහා එක් විය. මේ සාකච්ඡාවන්ට ජනතා විමුක්ති පෙරමුණු නියෝජනය කරමින් සහභාගි වූවන් අතර එක් විශේෂ පුද්ගලයෙකු විය. ඒ කලෙක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල ක්‍රියාකාරිකයෙකු මෙන්ම ජවිපෙ සමාජවාදි ශිෂ්‍ය සංගමයේ නායකයෙකු වූ ආනන්ද ඉඩමේගමය. පසුව ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ ආනන්ද ඉඩමේගම '89 නැගිටීම තුළ මතු වූ සුවිශේෂී චරිතයකි. ශිෂ්‍ය නායකයෙකු, බහුජන ක්‍රියාකාරිකයෙකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන කඳවුරු තුල දර්ශනය විෂය පිලිබඳ දේශකයෙකු ලෙසත්, අදත් මතකයෙන් ඈත් නොවන්නකි. විශේෂයෙන්ම රජයේ හමුදාවන් විසින් දියත් කර තිබූ සමූල ඝාතන සංහාරක ක්‍රියාදාමයට එරෙහිව සන්නද්ධ දේශපාලන ක්‍රියාමාර්ගයන්ට මූලික වැදගත්කමක් හිමිව තිබූ අතිශය මර්දනකාරී වාතාවරණයක් තුළ ද ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරිකයන් අධ්‍යාපනයෙන් හා නව දැනුමෙන් සන්නද්ධ කිරීම නොසළකා හැරිය නොහැකි අවශ්‍යතාවක් බවට පෙන්වා දෙමින් “ධම්මික මහත්තයා“ නොහොත් “බස්නායක සහෝදරයා“ නොහොත් ආනන්ද ඉඩමේගම පක්ෂය තුළ දැඩි අරගලයක් ගෙන ගියේය.

bandula idamegama
බන්ධුල ඉඩමේගම

1989 දෙසැම්බරයේදී රජයේ හමුදා විසින් ඔහු අත් අඩංගුවට ගෙන වධ බන්ධනයන්ට ලක් කොට මරා දමා පුරා විසි හත් වසක් ගතවී තිබේ.

“අපේ පවුල්වල ඔක්කොම පාරම්පරික එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ. අපේ අප්පච්චි බදුල්ලේ කන්දේ ගෙදර , අම්මා මාතලේ කන්දේගෙදර. අප්පච්චි අම්මාව කැන්දන් ඇවිත් තියෙන්නේ ඇඳිරි නීතිය දාලා තිබිද්දී, ඒ 1958 බණ්ඩාරනායක ආණ්ඩුව දෙමල මිනිස්සුන්ට ගහන දවස් වල, ඒ ගොල්ලෝ මාතලේ ඉඳන් බදුල්ලට ඇවිත් තියෙන්නේ ඇඳිරි නීති බලපත්‍ර අරන්. ආනන්ද මගේ එකම මල්ලි එයා මුලින්ම කන්දෙකැටිය ස්කෝලෙට ගිහින් පස්සේ ශිෂ්‍යත්වය පාස් වෙලා මාතලේ සයන්ස් කොලේජ් එකට ගියා. එයා ඉගෙන ගන්න දක්ෂයා විශේෂයෙන්ම ගණිතයට.“

ආනන්ද ඉඩමෙගමගේ වැඩිමහල් සොහොයුරු බන්දුල ඉඩමේගම සිය සොහොයුරා පිළිබඳ මතකය JDS සමග බෙදාගත්තේ, ඔහුට අනුව, කවර හෝ මාධ්‍යයක් වෙනුවෙන් පළමු වරට ය. බන්දුල ද සිය දේශපාලන දිවිය අරඹා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ හරහා ය. ඒ වෘත්තීය සමිති ක්‍රියාධරයෙකු ලෙසිනි. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විධායක නිලධාරියෙකු වූ බන්දුලට 1982 ජනාධිපතිවරණයෙන් පසු දේශපාලන පලිගැනීම්වලට ලක්විය. ඔහු මඩකලපුවට මාරු කර යැවිණ.

“ලයනල් බෝපගේ, විරාජ් ප්‍රනාන්දු, සුනිලා අබේසේකර, අතුල සුමතිපාල, ජිනදාස කිතුලේගොඩ, දයානි දිසානායක , බුද්ධදාස විතානාච්චි වගේ අයත් සමග මගේ දේශපාලන සම්බන්ධකම් තිබුණා. ඒ කාලේ අපි උත්සාහ කරා කොළඹ දෙමල ජනයා අතර පක්ෂයට පදනමක් දමා ගන්න. ඒත් එක සාර්ථක වුණේ නැහැ. පක්ෂයේ සංස්කෘතික අංශයේ වැඩවලටත් මගේ දායකත්වයක් තිබුණා. යාපනේ වීරසිංහම් ශාලාව, වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා රඟහල පදනම් කරගෙන මේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. ඒ දවස්වල අපි ප්‍රේමවතී මනම්පේරි චරිතය ගැන වේදිකා නාට්‍යයක් කළා. එකේ හාමුදුරු කෙනෙකුගේ චරිතයකුත් මම කළා. පස්සේ මේ නාට්‍ය ආණ්ඩුවෙන් තහනම් කළා. '82 ජනාධිපතිවරණ කාලේදී අපි රාජගිරියේ ඔබේසේකරපුර ගෙයක් කුලියට අරන් වැඩ කළා. පක්ෂයේ පුර්ණකාලිනයන්ගේ ප්‍රධාන තැනක් වුණේ එතන. අබේසේකර, ශාන්ත බණ්ඩාර, සෝමවංශ, වගේම අපේ මල්ලි එක්ක ලලිත් විජේරත්න, රන්ජිතම් ගුණරත්නම් වගේ බොහෝ දෙනෙක් මෙතනට ආවා - ගියා. බෝපගේ පක්ෂෙන් අයින් වීමත් එක්ක බුද්ධිමතුන් පක්ෂයට සම්බන්ධ කිරීම හා ඔවුන් සමග ගනුදෙනු කිරීම පැවරුණේ සෝමවංශ අමරසිංහට. එයා යටතේ පක්ෂයට ආවේ ගොඩක්ම ජාතිවාදියෝ. පසු කාලීනව විශේෂයෙන් '83 වන විට පක්ෂය ජාතික ප්‍රශ්නය ගැන දරපු ස්ථාවරය පිළිබඳව ගැටළු මතු වීමත් එක්ක මම දේශපාලනෙන් අයින් වුණා".

පන්ති තහනම

මාතලේ විද්‍යා විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙක් වුණු ආනන්ද ඉඩමේගම 1978 වසරේ අපොස උසස් පෙළ විභාගය ගණිත අංශයෙන් උසස් ලෙස සමත් වුයේ මාතලේ දිස්ත්‍රිකයේ පළමු වෙනියා ලෙසත් , මුළු දිවයිනෙන්ම දෙවැනියා ලෙසත් ලකුණු හිමි කරගනිමිනි. නිෂ්පාදන ඉංජිනේරු තාක්ෂණය පිලිබඳ උපාධිය සඳහා ඔහු පේරාදෙණිය සරසවියට තෝරා ගැනුණු අතර එය ආනන්දගේ දේශපාලන ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පෙරළුණි. '80 දශකය ආරම්භය වන විට පේරාදෙණිය සරසවිය තුල එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත සමවාදී ශිෂ්‍ය සංගමය සිය බලය තහවුරු කරගැනීමට ප්‍රචණ්ඩ ලෙස රාජ්‍ය බලය යොදාගනිමින් උත්සාහ දරන ලද වකවානුවකි. එවකට ප්‍රබල ඇමති වරයෙකු වූ ගාමිණි දිසානායකගේ සෘජු මැදිහත් වීම සරසවිය තුළ සමවාදින්ට මහත් අනුබලයක් වුවද සිසුන් අතර ඔවුන්ට පදනමක් වීමට එය සමත් නොවිණි.

“යු එන් පි ආණ්ඩුව බලයට පත් වුණු දා ඉඳන් දෙමල මිනිස්සුන්ට කරදර වුණා, විශේෂයෙන් නුවර පැත්තේ වතු කම්කරුවන්ට '77 දී පටන් '83 දී මහා සංහාරයකට ලක්වෙනකම්ම. මල්ලි ඒ දවස් වල කියල තිබුණා කැම්පස් එක ඇතුලෙත් තත්වය ඒකයි කියල. සමවාදීන්ගේ මේ වැඩවලට එරෙහිව තමයි එයා වැඩ කරමින් ඉඳල තියෙන්නේ. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ වැඩ කරන්න මේ තත්ත්වය බලපෑවා කියල තමයි මට හිතෙන්නේ. අනිත් පැත්තෙන් මාතලේ පැත්තෙන් පේරාදෙණිය කැම්පස් එකට ගිය ශාන්ත බණ්ඩාරත් ඒ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරය තුල ක්‍රියාකාරී වෙලා හිටියේ. එයාගේ බලපෑමත් මල්ලිට තියෙන්න ඇති. මොකද ශාන්ත බණ්ඩාර අපේ පවුල් වල හොඳට දන්න කෙනෙක් .“

jr jayawardena cropped
ජේ.ආර්.ජයවර්ධන

'82 වනවිට වාර්ෂික ශිෂ්‍ය නිලවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමය ශිෂ්‍ය නියෝජිතයන් බහුතර සිසු ඡන්දයෙන් පත්විය. බලය ගිලිහිනු සමවාදින් විසින් ඔවුන් හා ගැටුමක් ඇති කරගත් අතර ඒ පිළිබඳව සරසවි බලධාරින්ගේ පක්ෂග්‍රාහී පිළිවෙතට එරෙහිව සිසුන් උදඝෝෂණ කරන්නට විය. ජයවර්ධන ආණ්ඩුව මගින් පත කරනු ලැබූ උපකුලපති ලෙස්ලි පණ්ඩිතරත්න විසින් මේ පිලිබඳ විමර්ශනයට කොමිසමක් පත් කෙරිණි. ඒ සරසවි ඉතිහාසයේ අපකීර්තිමත් ම කොමිසමක් ලෙස සැළකෙන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිශ්ශංක උදලාගම ගේ ප්‍රධානත්වයෙන් යුත් උදලාගම කොමිසම ය. ප්‍රහාරකයන් නිදොස් කොට පීඩාවට පත්වූවන් වැරදිකරුවන් බවට ප්‍රකාශයට පත්කළ උදලාගම කොමිසම මගින් සිසුන් හත් දෙනෙකුගේ පන්ති තහනම් කෙළේය. මෙසේ පන්ති තහනමට ලක් වූ අතර ආනන්ද ඉඩමේගම මෙන්ම සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් වූ රන්ජිතම් ගුණරත්නම් හා ලලිත් විජේරත්න ද විය. ඊට එරෙහිව සිසුන් දියත් කරනු ලැබූ උපවාසය මාරාන්තික උපවාසයක් බවට පත් වුයේ දැඩි මර්දනයක් යොදමින් එය යටපත් කිරීමට උපකුලපති පණ්ඩිතරත්න ක්‍රියා කරමින් සිටියදීය. අපක්ෂපාතී විනිශ්චයක් ලබාදෙනතෙක් මහාචාර්ය ඩයස්ට ඔහුගේ කාර්යාලයෙන් බැහැරවීමට සිසුන් විසින් වළකන ලදි. නමුත් රජය විසින් පළමු වරට සරසවි භුමිය තුල පොලිස් මුරපොලක් පිහිටුවමින් ද, සිසුන් රැසකගේ පන්ති තහනමට ලක් කරමින් හා ශිෂ්‍ය සභා තහනම් කරමින් එම අරගලය මර්දනය කරන ලදි.

'83 ජුලි සංහාරය සම්බන්ධ කරමින් ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක් කිරීමත් සමගින් රහසිගතව දේශපාලනය කරන්නට තීරණය කල බොහෝ අය අතර ආනන්ද ඉඩමේගම ද එක් අයෙකි.

“ඉන් පස්සේ මල්ලි ගෙදර එන්නේ අපේ අප්පච්චිගේ මරණය ආරංචි වෙලා. හරියටම '87 අගෝස්තු 14 වැනිදා බදුල්ලේ කන්දෙගෙදරට , ඒ එන්නේ හොර රහසේ. ඇවිත් ටික වෙලාවකින් පොලිසියෙන් පැන්න ගෙදරට මල්ලිව හොයාගෙන. ඒ වෙනකොටත් මල්ලි ගෙදරින් පිටත්වෙලා හිටියේ. එයාට කලින්ම පණිවිඩය ලැබෙන්න ඇති එයාගේ සගයන්ගෙන්. එදා ගිය ගමන් මල්ලිට නැවත කවදාවත් ගෙදර එන්න හැකියාවක් තිබුණේ නැහැ.“

එහෙත් කිහිප අවස්ථාවකදීම රහසිගතව ආනන්ද හමුවීමට සොයුරු බන්දුලට අවස්ථාව ලැබිණි. 1986 වන විට ආනන්ද ඉඩමේගම ජනතා විමුක්ති පෙරමුණ තුළ ප්‍රබල වගකීම් දරන්නෙකු වූ අතර 1988 වසර තෙක්ම සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ධුරය දැරීය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරක සභිකයෙකුට අමතරව ය.

http://www.jdslanka.org/

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top